වෙනසට බිය; මහ වෙනසට මහා බිය.

උස්වත්තෙ-ආරච්චි විසිනි

සියල්ල වෙනස් වන බව (සබ්බේ සංඛාරා අනිච්චා) ජන විඥානයේ පදනම වන සංස්කෘතියක හැදී වැඩුණු මිනිසුනට වෙනස් වීමට ඇති බිය,  පැහැදිලි කළ නොහැකි ය. ක්‍රමයෙන් සිදුවන වෙනස්වීම්වලට වඩා එකවර සිදුවන සමූල වෙනස්වීමට කවුරුත් වැඩියෙන් බිය වෙති; එබැවිනි, වැඩිමනක් මිනිසුන් අතර පොදුවේ ඇති,  මරණ බිය. සමාජයේ විප්ලවීය වෙනස්කම් වලට වඩාත්ම බිය වන්නන් වෙනස් වීමේ ක්‍රියාවලියක දී වරප්‍රසාද අහිමි වීමට ලක්වන  අය වෙති. වෙනස්වීම පවතින සෑම දෙයකම ස්වරූපය  බව දිනපතා දේශනා කරන භික්ෂූන් ඇතුළු සියලු තරාතිරම්වල මිනිස්සු ( අනිච්චා වත සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ) වෙනස සොයන අරගලයට බිය වෙති; අරුමයෙකි.2022කේ  ජුලි 20 වැනි දා, වෙනසක් සඳහා අවස්ථාවක් තිබුණු විට, පාර්ලිමේන්තුව පවතින තත්ත්වය එලෙසම පවත්වාගෙන යෑමට තීරණය කළේය. ඔවුහු ස්වර්ණමය අවස්ථාවකට පයින් ගැසූහ. පැරණි රෙජීමය  (ancien regime ) සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

අප අතර සිටින බොහෝ දෙනෙක් වර්තමාන තත්ත්වය පිළිකුල් සහගත ලෙස සළකති. සීඝ්‍රයෙන් සිදුවන ඕනෑම ක්‍රියාවලියකදී යම් විනාශයක් සිදුවිය හැකි වුවද, එම වෙනස්කම් තුළින් ලැබෙන යහපත කෙතරම්ද යත්, සංවේදී මිනිසුන් එවැනි පවත්නා ඛේදවාචකයකට ඔරොත්තු දෙන්නේ කෙසේදැයි යමෙක් කල්පනා කිරීමට පටන් ගනිති. විපර්යාස, විප්ලවීය විපර්යාස, මෙතෙක් ලෝකයට ඉමහත් යහපතක් උදා කර ඇත. ඇත්තේ හැටියට, එම විපර්යාස නවීන ලෝකය නිර්මාණය කළේය.

එය හුවා දැක්වීම සඳහා, ලෝකයේ ප්‍රධාන දේශපාලන හා සමාජ විප්ලවයන්ගේ ප්‍රතිඵල (ඊට අඩු යමක් නොව ) පිළිබඳ මගේ තෝරා ගැනීම සමඟ මිනිත්තු කිහිපයක් සඳහා මා ඉවසා සිටින්න. ඉන් පළමුවැන්න 1688 ඉංග්‍රීසි (‘මහිමාන්විත’, ලේ රහිත) විප්ලවය ය. නූතන ඉතිහාසයේ පළමු වතාවට එංගලන්තයේ ජනතාවගෙන් කොටසක් විසින් රජකු පලවා හැරියහ. (අප සති දෙකකට කලින් (2022 ජූලි 09)  එසේ කළෙමු,  ඉතා වෙනස් අනුප්‍රාප්තියකින් යුතුව ය.) එංගලන්තය පාලනය කිරීමට, මේරි සහ නෙදර්ලන්තයේ විලියම්ට ආරාධනා කෙරිණි. මේරි රැජින බවට පත් වූයේ (එකල වැදගත් වූ) මිනිසුන්ගේ ආරාධනයෙනි. රාජාභිෂේක දිවුරුම කුමක් පැවසුවද, මේරි රැජින වූයේ මිනිසුන්ගේ කැමැත්ත (ඇත්තේ හැටියට ආරාධනය) ඇතිවය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයකි. ජනතා පරමාධිපත්‍යය ආරම්භ විය. අප එයින් විප්ලවයේ ගමන් මග ඉගෙන ගත්තෙමු. අපි තොමස් හොබ්ස්, ජෝන් ලොක් සහ ජේම්ස් ස්ටුවර්ට් මිල්ගෙන් ආණ්ඩුවේ මූලික මූලධර්ම ඉගෙන ගත්තෙමු.

දෙවන ප්‍රධාන විප්ලවය වූයේ ඇමරිකීය විප්ලවය යි. ඔවුන් විප්ලවය ආරම්භ කළේ පළමුවැන්නෙන් උගත් පාඩමිනි: තෙවැනි ජෝර්ජ් තවදුරටත් ඔවුන්ගේ රජු නොවීය. රෝමයෙන් පසු ප්‍රථම වතාවට, විශාල (හා වේගයෙන් වැඩෙන) ජනගහනයක් තමන් ජනරජයක්, රජෙකු නැති පාලනයක් බවට ප්‍රකාශ කළේය. එකල ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය හැර මුළු යුරෝපයම පාලනය කෙරුණේ රජවරුන්, කුමාරවරුන් හෝ බිෂොප්වරුන් විසිනි. එහෙත් යුරෝපයේ සිට පැමිණි මෙම සංක්‍රමණිකයෝ වංශාශාධිපතිත්වය තහනම් කෙරුණු ව්‍යවස්ථාවක් ලියූහ, ‘එක්සත් ජනපදය විසින් පටබැඳි නම් ලබා නොදේ’ (1 වන වගන්තිය, 9 වන කොටස). අද දක්වාම ප්‍රාන්ත අධිකරණයක නීතිඥයෙකු විනිසුරුවන් ආමන්ත්‍රණය කරන්නේ ‘විනිසුරු (judge) වින්කල්හාර්ට්’ (එනම් ඔහු/ඇය ගේ නම) ලෙස හෝ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ නම්  ‘විනිසුරු (justice)( ව්)රින්කල්ෆ්‍රී’ (එනම් ඔහු/ඇය ගේ නම) යනාදී ලෙසයි. ජනරජයේ ජනාධිපතිවරයාට මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරන්නේ ‘ජනාධිපති මහතා’ (Mr.President) යනුවෙනි. එම අධිකරණවල කෘත්‍රිම හිස් පළඳනා සහ ‘ස්වාමිවරයාණෙනි’ වැනි යෙදුම් නොමැත. රජය විසින් නිරපේක්ෂ බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා ෆෙඩරල්වාදීන් ( Federalists) විසින් යාන්ත්‍රණ දෙකක් සහිත පාලන ක්‍රමයක් නිර්මාණය කරන ලදී: ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල එකිනෙකින් වෙන් කරන ලදී, ඒ සැම එකක්ම අනෙක් අයගේ කැමැත්තෙන් හැර අනෙකා විසින් බලය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම අවහිර කරයි. ඒ ඔවුන්ගේ පෙර මව් රටේ න්‍යාය සහ භාවිතයට සම්පූර්ණයෙන්ම පටහැනිව යමිනි. දෙවෙනුව, ඔවුහු වෙනම ඒකක අතර ආන්ඩුවේ අධිකාරිය සහ බලය ක්‍රියාත්මක කිරීම විසුරුවා හැරියෝය: ෆෙඩරල් රජය, ප්‍රාන්ත (State)රජය, නගර, කෝරළ (county), ගම් සහ පාසල් මණ්ඩල යනාදී වශෙයනි: ‘සෙනෙට් සභිකයින් සහ නියෝජිතයින් සඳහා මැතිවරණ පවත්වන වේලාවන්, ස්ථාන සහ ආකාරයන් එක් එක් ප්‍රාන්තය තුළ එහි ව්‍යවස්ථාදායකය විසින් නියම කෙරෙයි. (1 වන වගන්තිය, 4 කොටස). සෑම ඒකකයක්ම නීතිය තුළ ස්වායත්ත වෙයි. එක්සත් ජනපදයේ සියලුම විශ්ව විද්‍යාල (හමුදා ඇකඩමි හැර) සහ පාසල් (පුද්ගලික සතු ඒවා හැර )  ප්‍රාන්ත, නගර, කෝරළ , ගම් සහ පාසල් මණ්ඩලවලට අයත් වේ. ප්‍රංශ මහේස්ත්‍රාත්වරයෙකු වූ ඇලෙක්සිස් ඩි ටොක්විල් සියවසකට පෙර ඔහුගේම රටවැසියෙකු වූ  මොන්ටෙස්කියු වූවා සේම  මෙම ක්‍රමය පිළබඳ ඉමහත් ලෙස පැහැදුණි. 2021 දී කොවිඩ්-19 පාලනය කිරීමේදී එක්සත් ජනපදය පසුගාමී වූ විට ප්‍රමාදයට හේතුව ලෙස බොහෝ දෙනා දුටුවේ මෙලෙස බලය විසුරුවා තිබීම යි. එහෙත්, ඉක්මනින් තත්වය අනෙක් අතට හැරින. එක්සත් ජනපදය ඔවුන්ගේ ජනතාව එන්නත් කිරීමේදී අනෙකුත් රජයන් පැරදවීය. මේ සියල්ල සහ තවත් බොහෝ දේ 1776 විප්ලවයෙන් මතු විය. 1776 විප්ලවය නොවන්නට මෙම පාඩම් ඉගෙන ගැනීමට ඉඩ නොතිබුණු බවට කිසිවකුට සිහි නුවණින් තර්ක කළ නොහැකි වුවද, ඒවා 1776 විප්ලවයෙන් පැනනැඟුණු බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. තොමස් පේන්, ජේම්ස් මැඩිසන්, තොමස් ජෙෆර්සන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ අනෙකුත් ෆෙඩරල්වාදීහූ මෙම නව රජයේ දාර්ශනිකයෝ වූහ.

දැන් අපි මෙම විප්ලවවලින් වඩාත් සමරණු ලැබෙන එකට පැමිණෙමු: 1789 දී සිදුවූ ප්‍රංශ විප්ලවය. රාජාණ්ඩුව සහ වංශාධිපතිත්වය අහෝසි කිරීම, පැරිස් රජයට වඩා මිනිසුන්ට බදු පැනවීමට වඩා සඵල වූ කතෝලික පල්ලිය අක්‍රිය කිරීම, මන්ත්‍රණ සභාවේ තරාතිරම් තුන ( පූජ්‍ය පක්ෂය, වංශවත් අය සහ සාමාන්‍ය ජනතාව) අහෝසි කිරීම සහ තවත් බොහෝ වෙනස් කම් වහා සිදු විය. එක්සත් ජනපදය අනුගමනය කරමින්, ඔවුන් ප්‍රංශ ජනරජය පිහිටුවා ගත් අතර, එය නැවත රාජාණ්ඩුවකට යෑමට ගත් උත්සාහයන් කිහිපයක් ජයගෙන අද දක්වා පවතී. නිදහස පිළිබඳ සංකල්පය දේශපාලන දර්ශනයේ වචන මාලාවේ නව අරුත් සහ ස්ථිරභාවය ලබා ගත්තේය. ජාතික රාජ්‍යය බොහෝ ජනතාවන්ගේ  පරමාදර්ශයක් බවට පත් විය. එමෙන්ම තවත් බොහෝ වෙනස්කම් සිදු විය. ප්‍රංශ විප්ලවය අන් කිසිවකට වඩා චින්තකයන්ගේ කෘතියක් විය. 1688 විප්ලවයට පෙර එංගලන්තයේ කෝපි කඩ වූවාක් මෙන් මෙම බොහෝ විවාදවල වර්ධනයට පැරිස් සම්භාෂණ ශෘලා නිවහන විය. ලේඛකයන්, බුද්ධිමතුන් සහ විද්‍යාඥයන් (phliosophès) , ආර්ථික විද්‍යාඥයින්  (physiocrats), සමාජයේ උගත් මිනිසුන් (රොබෙස්පියර්, මහේස්ත්‍රාත්වරයෙකි), වොල්ටෙයාර්,  රූසෝ (විවිධ ආකාරයෙන්) සහ පූජ්‍ය පක්ෂය සමහර අය (ඇබෙ සියෙස්) පවා විප්ලවය සඳහා මාර්ගය සෑදූහ. පැරිසියේ සහ මාර්සෙයිල්හි මිනිසුන් වූ විප්ලවවාදීන් තමන්ම, පුරාණ පාලන තන්ත්‍රය වෙනුවෙන් පෙනී සිටි දේ විනාශ කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළහ. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ප්‍රංශ විප්ලවයට බොහෝ ණයගැතිය.

අවසාන මහා විප්ලවය සිදුවූයේ 1917 (ඔක්තෝබර් විප්ලවය) රුසියාවේ ය. 1914-19 යුද්ධය අධිරාජ්‍ය 4 ක් විනාශ කර තිබුණි. රුසීය අධිරාජ්‍යය ඉන් එකකි. ඔස්ට්‍රෝ-හංගේරීය සහ හැප්ස්බර්ග් අධිරාජ්‍යයන් 1918 දී බිඳ වැටුණි. ඔටෝමාන් අධිරාජ්‍යය 1922 දී විසුරුවා හරින ලදී. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවල සංගමයම (USSR) ජනරජයක් විය. 1939-44 යුද්ධයෙන් පසු අලුතින් පිහිටුවන ලද බොහෝ රටවල ආර්ථික සංවර්ධනය සඳහා ආදර්ශයක් බවට පත් වූ,වසර 50 කට වඩා වැඩි කාලයක් අනවරත ආර්ථික වර්ධනයක්, විවිධාංගීකරනයක් සහ නවීකරනය කිරීමේ කාල පරිච්ඡේදයක් සෝවියට් සංගමය උදා කළේය. මොස්කව්හි මධ්‍යම ආන්ඩුව නව ආන්ඩුකරන උපකරණයක් භාවිතා කලේය: දේශපාලන පක්ෂයක් සෝවියට් සංගම පුරා ව්‍යාප්ත විය, එය  බෙහෙවින් මධ්‍යගත කරනු ලැබූ සහ  මොස්කව් සිට පාලනය කරන ලදුවක් විය .

නව ආණ්‌ඩු ක්‍රම ආකාරයන් පිළිගත් ආණ්ඩු මගින් කෙරුණු සාහසික ක්‍රියා කෙනකුට අමතක නොවේ (මම මෙහි කරන්නේ එයයි).  නමුත් මම ඒ ප්‍රශ්න ගැන මෙතැන  උනන්දු නොවෙමි. ඒ හා සමානව, මූලික වශයෙන් එම විප්ලවයන් ඇති කළ ආර්ථිකයන්හි සහ සමාජවල බල සම්බන්ධතාවල භූ තල  මාරුවීම් ගැන මම කතා නොකරමි; ඒ මන්ද යත්, හේතුවලට වඩා ප්‍රතිවිපාක ගැන මා මෙහිදී උනන්දු වන බැවිනි.

මෙම විප්ලව හතර අපට නවීන ලෝකයේ සියලුම ආණ්ඩු හා  ඒවායේ විවිධ සංයෝජනවලින්,  සැදුම් ගන්නා  ඇති අත්‍යවශ්‍ය අංග ලබා දුන්නේය. ඒවා ඇතිවූයේ විප්ලවයන් සඳහා සූදානම් වීමේදී, ඒවා සිදුවන අතරතුර හෝ ඒවායේ අනුප්‍රාප්ති  වශයෙනි. එසේනම් මන්ද විප්ලවවලට බය; ඒ වෙනුවට ඒවා නොමැති වීම ගැන දුක් නොවන්නේ මන්ද? සමාජයක නායකයන් මිනිසුන්ගේ මනස් කියවා ඔවුන් පීඩාවට පත් කරන ප්‍රශ්න විසඳීමට වේගයෙන් ප්‍රතිචාර දක්වන විට විප්ලවයන් සිදුවීම වළක්වනු ලැබීය. එයට තිබුණු හොඳම උදාහරණය 19 වැනි සියවසේ ඉංග්‍රීසි දේශපාලන නායකයන්ගේ හැසිරීමයි. බ්‍රිතාන්‍යයේ බොහෝ දෙනෙක් ප්‍රංශ විප්ලවයේ ජයග්‍රහණ අගය කළහ. තවත් බොහෝ දෙනෙක් එය බෝ වනු ඇතැයි  බිය වූහ. තම රටේ එවැනිම කැළඹීමක් ඇති වෙතියි බියෙන් තැතිගත් තවත් අය සිටියහ. දේශපාලන නායකයින්ගේ වඩාත්ම බුද්ධිමත් ප්‍රතිචාරයන් වූයේ 1832 (අගමැති ග්‍රේ සාමිවරයා, විග් පක්ෂය) සහ 1867 (අගමැති ඩර්බි හි අර්ල්වරයා, කොන්සර්වේටිව් පක්ෂය) ප්‍රතිසංස්කරණ පනත් වන අතර ඒවා ‘යුරෝපයේ හොල්මන් කළ අවතාරය’ දුරු කළේය. අපගේ දුෂ්කරතාව නම්, ප්‍රතිසංස්කරණවලින් වඩාත් දේ අහිමි වීමට නියමිත අය සමාජයේ සියලු අධිකාරී බලය සහ මාරාන්තික බලය අල්ලාගෙන සිටීමයි. වෙනසක් බලාපොරොත්තු වන පුද්ගලයින්ට තිබෙන විකල්ප මොනවාද?

විප්ලවවලදී බොහෝ දේපළ විනාශ වන අතර බොහෝ ජීවිත අහිමි වන බව සත්‍යයකි. යුද්ධ සමයේදී ද එසේ වෙයි. 1914-18 යුද්ධයේදී අහිමි වූ තරුණ ජීවිත මිලියන ගණනකි. 20 වැනි සියවසේ යුද්ධ වලදී ගිල්ල වූ යුධ නැව්, අහසින් වෙඩි තබා විනාශ කළ ගුවන් යානා  සහ ඒවායේ ධාවන පථවල විනාශ වූ ටැංකි, සියලු විප්ලවයන් සඳහා ගිය හානි කුදු බවට කුරු කරයි. 1944 දී හිරෝෂිමා සහ නාගසාකි වෙත හෙළන ලද බෝම්බ දෙක සියළු විප්ලව හතරම ඒකාබද්ධව ගත් කළ විප්ලවවාදීන් සමඟ ඇති වූ ඕනෑම ගැටුමකට වඩා කුරිරු ආකාරයෙන් සමාජයට හානි කළේය. 1939-44 යුද්ධයේ දී ලන්ඩන් සහ ඩ්‍රෙස්ඩන් හි දේපල විනාශ කිරීම මෙම විප්ලවවල සිදු වූ කුමන හෝ දෙයක් ඉක්මවා ගියේය. (ලෝකය වඩා දුප්පත් වූ විට විනාශ කිරීමට බොහෝ දේපල අඩුවෙන් තිබූ බව සත්‍යයකි.) මම ඒත්තු ගන්වන්නට උත්සාහ දරන කාරණය නම් ‘විප්ලව තේ සාද නොවේ’ වන නමුදු, ඒවා අවසාන විසඳුම ලෙස කෙරෙන ක්‍රියා බව ය. ඒවා සිදු වන්නේ කුණු වූ සමාජවල ප්‍රතිසංස්කරණ සඳහා දරන සියලු උත්සාහයන් අසාර්ථක වූ විට ය. 18 වැනි සියවසේ අග භාගයේ ප්‍රංශයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ රුසියාවේ විප්ලව වලින් ඒ බව වඩාත් පැහැදිලි විය. කුඩා තිතක් බඳු මෙම දිවයිනට 21 වැනි සියවසේ පළමු භාගයේදී  මහා දේවල් සාධනය කරගත නොහැකි වීමට හේතුවක් නැත. ඒවා අසාර්ථක වන්නේ පවතින තත්ත්වයට සමාජයේ වඩාත්ම බලවත් පුද්ගලයන් වඩා කැමති වූ විට ය. ඔවුන්ට එරෙහිව ජනතාව සතු බලවත්ම මෙවලම සමඟ නැගී සිටිය යුතුය: ඒ තමන්ම ය.

මේ රටේ ජනතාව, දැන් බොහෝ කලක සිට, මේ රටේ මූලික නීති සකස් කරන ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට (2015 සිට 2020 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සහ 20 සංශෝධන; 21 වැනි සංශෝධනයක් සකස් වෙමින් පවතී) වසර ගණනාවක් තිස්සේ උත්සාහ කර ඇත. ඒවා එසේ තිබියදීත්, ක්‍රමානුකූලව සහ එන්ට එන්ටම දරුණු ලෙස තම ජන ජීවිතය විනාශ කළ මිනීමරු, චෞර්යතාන්ත්‍රික, දූෂිත සහ අදක්ෂ පාලකයින් රොත්තක් බිහි වී ඇති අතර ඔවුහු බලය යළිත් තම අතට ගැනීමට බලා සිටිති. දැන් අපගේ වැටීමේ පහළම තැන ය ( යැයි යමෙකු පතයි). ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුව ඔවුන් අධිකාරියෙන් සහ බලයෙන් නෙරපා හැරීමට උත්සාහ කළ අතර එය අසාර්ථක විය. ජනතාව අවසන් වරට තවත් එකක් උත්සාහ කළ යුතු අතර එම කාලය එළඹෙන්නේ ජනාධිපති තනතුර  සහ පාර්ලිමේන්තුව සඳහා වන  මීළඟ මැතිවරණ සමඟය.

මම මේ සියල්ල ගැන කරදර වන්නේ මක්නිසාද?  මා අයත් වන්නේ මෙම රාජ්‍යය විසින් පෙර ඇති දැඩි කරන ලද – පෝෂණය, ඇඳුම් පැළඳුම්, නිවාස සපයා ( කේම්බ්‍රිජ් ) විශ්ව විද්‍යාලය පවා දක්වා ඉගැන්වූ වයස් කණ්ඩායම්වලට ය: එම වැඩසටහන් මගින් බොහෝ ජීවිත සාරවත් වූ අතර ගුණාත්මක බවින් උසස් විය. එවකට ආණ්ඩු කළ බුද්ධිමත් නායකත්වය නිසා, ළදරු මරණ අඩු විය, මාතෘ මරණ අඩු විය, උපතේදී සාමාන්‍ය ජීවන අපේක්ෂාව කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය, පිරිමි සහ ගැහැණුන්ගේ සාක්ෂරතාවය ඉහළ ගියේ ය. එකළ මෙම රාජ්‍යය මෙහෙයවනු ලැබුවේ අවබෝධය, සූක්ෂාමාත්මතාව හා දක්ෂකම ඇති නායකයින් පිරිසක් විසිනි. බත්තරමුල්ලේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලය අවට ගැවසෙන සෙනග තුළින් වත්මන් තරුණ වයස් කාණ්ඩවල  බලාපොරොත්තු සුන් බව ප්‍රකට කෙරෙයි.

රාජ්‍යයක් එය පවත්වාගෙන යනු ලබන ආණ්ඩුව තරම්ම හොඳ ය. (ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට එරෙහිව එක්සත් රාජධානියේ ක්ලෙමන්ට් ඇට්ලී ගැන සිතන්න. ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂට සහ මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ඉන්දියාවේ ජවහර්ලාල් නේරු සහ මන් මෝහන් සිං ගැන සිතන්න). මේ සියල්ල (ඇඩොල්ෆ් හිට්ලර්ගේ දැවැන්ත ව්‍යාජ සංදර්ශනය පවා) ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලදී. අපේ තරම් ඉහළ සාක්ෂරතාවක් ඇති ජනතාවක් ඉදිරියේ ජනාධිපති ධූරයට සහ පාර්ලිමේන්තුවට තෝරාගැනීමට පවත්නා මැතිවරණයෙන් නැවතත් අසාර්ථක වීමට හේතුවක් නැත. ඔවුන් අසමත් වුවහොත්, අපට පුතේ ( අන් ) මඟක් නැතේ. 

( ඉංගිරිසියෙන් සිංහලට පෙරළීමෙකි. මුල් ලිපිය Such fear of change මැයෙන් ‘කතිකා’ හි පළ කෙරුණි.)

Leave a comment