දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම

හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි. සර්වාධිකාරී පාලනය කඩා වැදීමෙන් විවර වූ අගාධයේ අනෙක් පස රැඳුනු මාක්ස්ගේ ස්ථාවරය බොහෝ අයුරින් ඔහු ස්ටාලින්වාදී යථාර්තය දෙසට නොව අහිමි සම්ප්‍රදාය දෙසට සමීප කරනු ලැබුවේය. පෙර නොවූ විරූ ජන සංහාර, සමූහ ඝාතන සහ භීෂණයෙන් ආණ්ඩු කිරීමේ ප්‍රතිපත්තිවලින් අනූන “මෙම නව ආණ්ඩු ආකාරය” බටහිර දාර්ශනික හා දේශපාලන චින්තන සම්ප්‍රදායේ අඛණ්ඩත්වය පිළිබඳ මායාව සුනු විසුනු කළේය. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ The Gauss Seminars in Criticism (1953 ) සඳහා ආරන්ඩ්ට ආරාධනා කළ විට ඇය තම කාර්යය බවට පත් කර ගත්තේ ඇරිස්ටෝටල්ගේ සිට මාක්ස් දක්වා වූ ගමන මාක්ස්ගේ සිට ස්ටාලින් දක්වා වූ ගමනට වඩා ඉතා ස්වල්ප මෙන්ම වඩා අඩු තීරණාත්මක බිඳීම් පෙන්නුම් කරන ආකාරය දැක්වීමයි.තම The Human Condition (1958) කෘතියේ තෙවැනි පරිච්ඡෙදය (පිටු 79-135) ශ්‍රමය පිළිබඳ මාක්ස් ගේ අදහස් සාකච්ඡාවට කැප කළ ආරන්ඩ්ට් එය ආරම්භ කරමින් මෙසේ සඳහන් කළා ය: “ ඊළඟ පරිච්ඡේදයේ දී කාල් මාක්ස් විවේචනය කරනු ඇත. මාක්ස්වාදී අදහස් හා තීක්ෂ්ණ බුද්ධියේ මහා සම්පතෙන් පැහැදිලිව හෝ නිහඬව ණයට ගනිමින් කලක් සිය ජීවිකාව ගෙන ගිය බොහෝ ලේඛකයින් වෘත්තීය මාක්ස් විරෝධීන් වීමට තීරණය කර ඇති මොහොතක මෙය අවාසනාවකි.මෙම ක්‍රියාවලියේදී, ඔවුන්ගෙන් එක් අයෙක්, කාල් මාක්ස් ගේ “ආධාරයෙන් යැපුණු” කතුවරුන්ගේ පරම්පරාවන් මොහොතකට අමතක කර, කාල් මාක්ස්ට ජීවත් වීමට නොහැකි වූ බව පවා සොයා ගත්තේය.”

නූතනත්වය යටතේ දේශපාලන දෙය යටපත් කරමින් සමාජීය දෙයෙහි පැණ නැඟීම පිළිබඳ හනා ආරන්ඩ්ට් ගේ අදහස් අප සාකච්ඡාවට ගන්නා මේ මොහොත, ලංකාවේ දේශපාලනයෙහි මාක්ස්වාදී සම්ප්‍රධාය තුළ පිළිසිඳ ගත් වාමවාදී දේශපාලන ප්‍රවාහයක් පළමුවරට දේශපාලන බලය තම අතට ගැනීමේ විභවයක් ඇති බවට ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැඟෙමින් තිබෙන බව පෙන්නුම් කරන අවස්ථාවකි. ’56 පරපුරේ දරුවන්ගේ වාම ප්‍රවණතාවය ලෙස සැළකිය හැකි එම දේශපාලන ප්‍රවාහය ආණ්ඩු බලය අත්පත් කරගන්නට සමත් වුවහොත් එම ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය නව යටත් විජිතවාදී, නව-අධිරාජ්‍යවාදී, නවලිබරල් අයිඑම්එෆ් ණය මරඋගුලින් ජාතික ආර්ථිකය මුදවාගෙන එයට පුනර්ජීවනයක් ලබාදීම අරමුණු කොට ලංකාව රටක් වශයෙන් කටයුතු කළ ආකාරය නිශ්චය කරගැනීමයි.එය ජාත්‍යන්තර මූල්‍ය ආර්ථිකය,දේශපාලන පද්ධතිය සහ කලාපීය භූ-දේශපාලනය සමඟද, ජාතික රාජ්‍යය මට්ටමින් ආර්ථිකය හා පංති සබඳතා සමඟද තදින් ගැට ගැසුණු මහේක්ෂ තලයේ විසඳා ගත යුතු ගැටළුවකි.

නවලිබරල්වාදය වූ කලී හනා ආරන්ඩ්ට් ‘සමාජීය දෙයෙහි පැණ නැඟීම’ යනුවෙන් විග්‍රහ කළ ආර්ථික ක්‍රියාවලියෙහි වත්මනෙහි මේ දක්වා ගෝලීය වශයෙන් අධිපතිව පැවත විත් ඇති නමුත් මේ වනවිට බිඳ වැටීම ආරම්භ වී ඇති ධනවාදයෙහි අධිපති ස්වරූපය යි. උත්ප්‍රාසජනකව, දේශපාලන දෙයට වින කටින ලෙසින් ආරන්ඩ්ට් හඳුනා ගත් ‘පැරැන්නන් ගේ ලෝකයෙහි පෞද්ගලික තලයට අයිති වූ ගෘහය ආශ්‍රිත මිනිසාගේ හා වර්ගයාගේ පැවැත්ම හා බැඳුණු කටයුතු ඉන් පිටතට ගෙන සාමුහික කළමනාකරණයට යටත් කිරීමේ’ ප්‍රථිඵලයට,එනම් ආණ්ඩුකරණය පිළිබඳ කරුණුවලට, අද අපට දේශපාලනය නමින් මුහුණ දීමට සිදුව ඇත. ඇයගේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ දේශපලාන පරිමණ්ඩලය මෙම අභියෝගෙයන් රැක ගැනීමේ බරපතළ අවශ්‍යතාව යි.ඊට අදාළව අප විසින් විමසිය යුතු කරුණක් වන්නේ අද වන විට ‘සමාජ මාධ්‍ය’ දේශපාලන පරිමණ්ඩලයේ තැන ගන්නා තැනට පත්ව තිබීමම ආරන්ඩ්ට් ‘සමාජීය දෙයෙහි නැඟීම’ යනුවෙන් හඳුනාගත් ක්‍රියාවලියෙහිම දිගුවක් නොවේද? යන්න යි.

ලංකාවේ වත්මනෙහි පශ්චාත්-මාක්ස්වාදී,රැඩිකල් වාම යනුවෙන් හඳුන්වාගනු ලබන කථිකාවන් විසින් අවධාරණය කෙරෙන්නේද ආරන්ඩ්ට් පෞද්ගලික බලමණ්ඩලය යනුවෙන් හඳුනාගත් තලයට අයත් වී යැයි නූතනයට පෙර සළකනු ලැබූ ලිංගිකත්වය,පවුල,ආදරය,වැනි දේ සහ පසුකලෙක සමාජීය තලයට අයත් ලෙසින් හඳුනා ගනු ලැබ ඇති එහි හරය ‘පූර්ණ ස්ත්‍රී විමුක්තිය’ ලෙස සළකන ‘අනන්‍යතා දේශපාලනය’ට අදාළ දේ ය.මෙම කථිකාවන්ට අනුව වත්මනෙහි ලාංකේය වාම දේශපාලනයේ ඉලක්කය ලෙසින් හඳුනාගෙන ඇති සැබෑ ‘ක්‍රම වෙනස’ උදාකළ හැක්කේ ඉහත හඳුනාගත් ක්ෂුද්‍ර තලයෙහි දේශපාලනය කිරීමෙනි.මන්ද යත්, පවුල නමැති ක්ෂුද්‍ර ව්‍යුහය තුළ ධනවාදය නම් වූ මහේක්ෂ පද්ධතිය අප විසින්ම ප්‍රතිනිෂ්පාදනය කරන හෙයිනි.

මේ පිළිබඳ සාකච්ඡාවකට ප්‍රවිශ්ඨයක් ලෙස හනා ආරන්ඩ්ට් ආදරය පිළිබඳ සඳහන් කළ පහත අදහස ගෙන හැර දැක්විය හැකිය.”ආදරය, එහි ස්වභාවයෙන්ම, ලෝකමය නොවන අතර, එහි දුර්ලභත්වයට වඩා මේ හේතුව නිසා එය න-දේශපාලනික (apolitical) වනවා පමණක් නොව සියළු මානව බලවේගයන්ගෙන් වඩාත්ම ප්‍රති-දේශපාලනික වන්නේය.”ලෝකයට ආදරය කිරීම එතරම්ම දුෂ්කර මන්ද?යන්න අප ඇසිය යුතු ප්‍රශ්ණය යැයි ආරන්ඩ්ට් සඳහන් කළා ය.”අද අප මුහුණ දෙන ප්‍රශ්නය මෙයයි.” ආරන්ඩ්ට් දේශපාලනික බව දුටුවේ ලෝකය රැකගැනීමේ එකම මඟ ලෙසිනි.

Leave a comment