EPF සහ ETF කොල්ලයට විරුද්ධ වන්න


සිවිල් සමාජ සංවිධානවල හිතවතුනි,


ඔබ දැනටමත් දන්නා පරිදි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව EPF සහ ETF ගිණුම් පදනම් කරගනිමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබේ.


EPF සහ ETF අරමුදල් යනු ඔබ සියලුදෙනාම ඇතුළත් වැඩ කරන ජනතාවගේ දීර්ඝකාලීන ඉතුරුම්ය. ඔබේ වැටුප්වලින් අඩු කරන මුදල් මහ බැංකුව යටතේ කළමණාකරණය කරනු ලබන ගිණුම්වල තැන්පත් කරනු ලැබේ. ඒ අනුව මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ආදී විවිධාකාර මූල්‍ය උපකරණවල ආයෝජනය කිරීමට තීන්දු කරයි. මෙවැනි ආයෝජනවල අරමුණ වන්නේ ඔබගේ EPF සහ ETF ගිණුමේ මුදල්වලට හැකි උපරිම ප්‍රතිලාභයක් ලබා දීමය. (දීර්ඝකාලීන ස්ථාවර ගිණුම්වලට ඉහළ පොළී අනුපාත ලබා දීමට බැංකු තීන්දු කරනවාක් මෙන්ය.)


ඔබ විශ්‍රාම යන මොහොතේ මුදල් ලබා ගනිද්දී, ඔබේ සැබෑ ඉතුරුම් සහ පොළිය ඔබට හිමි වනු ඇත. පොළිය ගෙවනු ඇත්තේ EPF සහ ETF අරමුදල් ආයෝජන තුළින් ලබා ගන්නා ලාභයන්ගෙනි. මේ ආයෝජනවලින් බහුතරය භාණ්ඩාගාර බිල්පත්වලින් ලැබේ.


ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවන්නේ රජය විසින් හඳුන්වා දී ඇති EPF සහ ETF අරමුදල්වල ඇති, පුද්ගලයන්ගේ මුදල් මත සිදුකෙරෙන දේශීය ණය ප්‍රතිව්‍යුහගකරණය නිසා, ඒ ඒ අය විශ්‍රාම යන මොහොතේදී ලැබිය යුතු මුදල් අඩකින් පමණ අහිමි වනු ඇති බවය. එමෙන්ම මහබැංකුව ඉදිරි වසර තුන සඳහා ලබා දෙනවායැයි පොරොන්දු වී ඇති සීයට 9ක පොළී අනුපාතය ප්‍රයෝගිකව ලබා දිය නොහැකි බව පෙන්වා දෙන්නේ, ගිණුම්වල ලාභය සහ විශේෂයෙන් ඔබ ඉතුරු කළ ප්‍රාග්ධනය අඩු වීමට නියමිත නිසාය.


වෙනත් වචන වලින් කිවහොත් රජය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පහත උපකල්පිත තත්වයෙන් විස්තර කළ හැක.


ඔබ රු. මිලියන 1ක් වසර දහයක් සඳහා පොරොන්දු වූ 5%ක වාර්ෂික පොලියක් සමඟ ස්ථාවර තැන්පතුවක තැන්පත් කර තිබුණායැයි සිතමු. ඔබේ බැංකුව ඔබට 5% ක පොරොන්දු වූ පොළිය ලබා නොදෙන බව පවසයි. එපමණක් නොව, ඔබට පෙර මුදල් ඉවත් කරගත් පාරිභෝගිකයන්ට පොළී ගෙවා ඇති බැවින් දැන් ඔබට රුපියල් මිලියනට 1කටත් අඩුවෙන් ලබා දෙන බව ප්‍රකාශ කරයි.


ඉහත උපකල්පිත තත්වය භයානක වනවා සේම, ඔබේ EPF සහ ETF ගිණුම්වලට සිදුවන දේත් එතරම් භයානකය.
මෙම EPF සහ ETF කොල්ලයට එරෙහිව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන රැසක් ඒකාබද්ධව 2023 අගෝස්තු 28 වැනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දහවල් 12.00 සිට ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.


කරුණාකර ඔබේ මිතුරන් සහ සගයන් සමඟ පැමිණ විරෝධතා පුවරු රැගෙන, සටන් පාඨ කියමින් හෝ ඔබ කැමති ඕනෑම ආකාරයක විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වන්න, රජය ආරම්භ කිරීමට යන EPF සහ ETF හොරකමට ඔබ විරුද්ධ බව රජයට පැහැදිලි පණිවිඩයක් ලබා දෙන්න.


ස්තූතියි,


මීට,
අගෝස්තු 28 විරෝධය සඳහා වූ එකතුව