මූල්‍ය “ජල වධ හිංසා” සමඟ ජාමූඅ සඳහා අයවැය

අහිලන් කදිර්ගාමර්

පසුගිය සතියේ කොළඹ රසවත් හෝ උද්යෝගිමත් සිදුවීම් ගහණවූ ලෙසක් පෙනෙන්නට තිබුනා විය හැක. වසරේ අවසන් මාස හතර සඳහා අතුරු අයවැයක් ප්‍රකාශයට පත් කෙරුණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණුනි, සහ මාස දෙකකට ආසන්න කාලයක් පලා යාමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ නැවත දිවයිනට පැමිණියේය.

යථාර්ථයේ දී, ඒ සියල්ල අපේක්ෂා කළ පරිදි වූ අතර එය පාලක ප්‍රභූව සඳහා සුපුරුදු පරිදි සියල්ල කෙරෙන බව පමණක් අඟවයි. වඩාත් කප්පාදු පියවර සහිත අයවැය නිවේදනය කරන ලද්දේ හුදෙක් ජාමූඅ දිනාගැනීමට ය. එහි නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම බලාපොරොත්තු වූ දේ හරියටම ප්‍රකාශ කළේය; එය හුදු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් පමණක් වන අතර එම අරමුදල් පවා ලබා දෙන්නේ ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පමණි. රාජපක්ෂගේ පුනරාගමනය පැහැදිලිවම පෙන්නුම් කළේ ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් රාජ්‍ය බලය තරයේ අල්ලාගෙන සිටින බවයි.

පසුගිය සති කිහිපය තුළ රටේ ආර්ථික හා දේශපාලන ගමන් මගෙහි විශාල විශ්මයන් නොමැති අතර, වැඩ කරන ජනතාවගේ තත්ත්වය ඔවුන් කෙමෙන් ගෙල සිරකර මරා දැමීමකි. හිටපු ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරූෆාකිස් 2015 දී ග්‍රීසියේ ඇපදීමේ ගිවිසුම “මූල්‍ය ජල වධ හිංසා” ක්‍රියාවක් ලෙස කළ ලක්ෂණ නිරූපණය ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳ උචිත විස්තරයකි.

අතිමහත් පටිතදකරලීම

අයවැයෙන් ජනතාවට අර්ථවත් සහනයක් නැත. පසුගිය මාස හය තුළ රට දැක ඇති, නමුත් දැන් අයවැය මගින් නීත්‍යානුකූල කර ඇති පටි තදකරලීමේ පිළිවෙත් වැඩි ප්‍රමාණයක් එයට හුදෙක් ඇතුලත් වෙයි. ඇත්ත වශයෙන්ම, මෙම ආර්ථික ප්‍රතිපත්ති 2022 මාර්තු මාසයේදී ජාමූඅ ප්‍රසිද්ධියට පත් කරන ලද එහි මාණ්ඩලික වාර්තාවේ නිර්දේශයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වෙයි. ජීවන වියදම අතිමහත් ලෙස ඉහළ ගොස් තිබියදීත් ප්‍රතිගාමී අගය එකතු කළ බද්ද (වැට්) 15% දක්වා නැවත වැඩි කර ඇත. රජය සතු ව්‍යවසායන් විශේෂයෙන්ම උපයෝගිතා සේවා පුද්ගලීකරණය කිරීමට පියවර ගෙන ඇත. මෙය පවුලේ උරුම වූ වස්තුව විකිණීමට සමාන වේ, නමුත් ප්‍රභූවේ කොටස් ප්‍රීති වෙති. අර්බුදය විසඳීම සඳහා ධන බද්දක් හෝ ආදායම් ප්‍රතිව්‍යාප්තියට කිසිදු පියවරක් ගැන සඳහනක් නොමැති නිසා ඇත්ත වශයෙන්ම ඔවුන් උද්දාමයට පත් වනු ඇත. එමෙන්ම ජාතික ව්‍යාපාර එලෙස පුද්ගලීකරනය කිරීමේ සමාජ හා ආර්ථික පිරිවැය ඉදිරි වසරවලදී වැඩකරන ජනතාව විසින් ඉහල උපයෝගිතා සේවා පිරිවැය ලෙසින් දරනු ඇත.

පාන් මිල පසුගිය වසරේ රු. 60 ක සිට දින කිහිපයකට පෙර ප්‍රකාශිත රු. 300 දක්වා පස් ගුණයකින් වැඩි වීමක්ද ඇතුළුව, ආහාර උද්ධමනය දැන් 90% ඉක්මවා ඇති සන්දර්භය තුළ ජනතාවට ඇත්තේ සුළු සහනයකි. බොහෝ දෙනෙකු බංකොලොත් කරමින් මේ වසරේ පොලී අනුපාත 6% සිට 15.5% දක්වා වැඩි කරන ලදී, ක්‍රියාකාරී පොලී අනුපාත 25% සිට 30% දක්වා අනුපිළිවෙලින් පවතින බැවිනි. විශේෂයෙන්ම ඉන්ධන මිල තුන් හතර ගුණයකින් ඉහළ යාමත් සමඟ අවිධිමත් ජීවනෝපායන් අඩාල කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා සහනාධාර කපා හරින ලදී, නැතහොත් උද්ධමනයට යටකොට සුන් කරන ලදී.

සමෘද්ධි ලැයිස්තුවේ සහ පොරොත්තු ලේඛනයේ සිටින අයගෙන් සමන්විත ඉලක්කගත සමාජ ආධාර ලබන පවුල් මිලියන 2.5 කට ආසන්න ප්‍රමාණයකට මසකට රු. 5,000 ක් සහ රු. 7,500 අතර ලැබීම අපේක්ෂා කළ හැකිය. ඒ කියන්නේ ඔවුන්ට දිනකට පාන් ගෙඩි භාගයක් සහ හතරෙන් තුනක් අතර ප්‍රමාණයක් මිලට ගැනීමට හැකි වනු ඇත. ජාතික හා ජාත්‍යන්තර ආර්ථික සංස්ථාපිතය සහ කොලඹ ප්‍රභූව ජාමූඅ නොමසුරුව සහය දෙන බව දෙවා වදාරමින් සිට ඇති “ඉලක්කගත සමාජ සහයෝගය” මෙබඳු එකකි.

නිසරු ගිවිසුම

මේ වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සිය විදේශ ණය පැහැර හැරීමේ ආකාරය සහ එය කළ මෙහොත පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සංස්ථාපිතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යටත් වී හැම කේවල් කිරීමේ බලයක්ම ඉවත දමා ඇති බවයි. බලාපොරොත්තු වූ පරිදි, ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන නිසරු ගිවිසුම, එහි සියල්ල ජාමූඅ හි වට්ටෝරු පොතේ ඇති එකකි.  සැබවින් ම, අන්තර්වාර අයවැය යනු  වහාම සහ ලබන වසර සඳහා වන අයවැයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන බවට මූල්‍ය අරමුදල වෙත සහතික වීමයි.    ඇත්ත වශයෙන්ම, ජාමූඅ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම නිවේදනය කරමින් නිකුත් කළ සිය මාධ්‍ය නිවේදනයේ ශ්‍රී ලංකාව දැනටමත් එහි නිර්දේශ ක්‍රියාවට නැංවීම ගැන සුබ පතා ඇත. මෙම ප්‍රතිපත්ති වැඩකරන ජනතාව මන්දපෝෂණයෙන් හා සාගින්නෙන් හුස්ම හිරකරමින් සිටිමින් තිබීම පිළිබඳ ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ගිවිසුම සතුටින් සමරන අය එතරම් සැලකිල්ලක් නොදක්වති.

එහෙත් කොළඹ නවලිබරල්වාදීන්ට සියල්ල යහපත් නැත. විදේශ ණය පැහැර හැරීම සඳහා ඔවුන් වැරදි ගණනය කිරීම් මත දැමූ තල්ලුව, අතරමැද මූල්‍යකරණයක් නොමැතිව, ජාත්‍යන්තර සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දමා, සහ ආර්ථිකයේ සම්පූර්ණ බිඳවැටීම සමඟ රට උගුලකට තල්ලු කර ඇත. ඇත්ත වශයෙන්ම, ජාමූඅ විසින්ම සිය මාධ්‍ය නිවේදනයේ කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 8.7% කින් හැකිලෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. එය සෘණ 8.7% කින් දළ දේශීය නිෂ්පාදනය වර්ධනයවීමකි! ඉතින් ජාමූඅ පිරිනමන්නේ කුමක්ද, වසර හතරක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක්, එය මසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 60 කි. ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් දැන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 1,500 කට ආසන්නව පවතින අතර ප්‍රේෂණ සඳහා දිරි දීමනා සමඟ මසකට ඩොලර් මිලියන 1,800 දක්වා වැඩි කළ හැකිය. එනම් අපේම විදේශ ඉපැයීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ප්‍රමාණය මෙන් තිස් ගුණයක් විය හැකිය. එසේනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට මෙතරම් අයහපත් තත්ත්වයකට රට පත් කරන්නේ ඇයි? එය දෘෂ්ටිවාදය සහ පන්තියයි. ශ්‍රී ලංකාවේ කොම්ප්‍රදෝරු ප්‍රභූවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුමකට එහා දැක්මක් නොමැති අතර, ඔවුන්ගේ පන්ති ඵල ප්‍රයෝජනයන් ජාමූඅ වෙතින් කොළ එළිය ලබා ගැනීමට සහ ඔවුන්ගේ ඉමහත් ප්‍රීතියෙන් භුක්ති විඳින ජීවන රටාව සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලෙන් තවත් ණය ගැනීමට ගැලපෙයි.

ප්‍රභූන්ගේ නොදැනුවත්කම සහ ඵල ප්‍රයෝජනයන් අප සියල්ලන්ම කරා වඩා බරපතළ ප්‍රශ්නයක් ලෙසින් නැවත පැමිණෙනු ඇත. ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමේදී වැරදීම් සිදුවීමට නියමිත අතර ඔවුන් මස් රාත්තලකට වැඩි යමක් උද්ධරණය කර ගනු ඇත. ක්ෂුද්‍ර මූල්‍ය යෝජනා ක්‍රමවලට යටත් වන කාන්තාවන් රට තුළ මුහුණ දී ඇතිවාට සමාන කොල්ලකාරී පොලී අනුපාත ගෙවීමට අප සූදානම් නැතිනම් ණය පැහැර හැර ඇති රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමට අප සමත් වීමට පෙර බොහෝ කාලයක් ගතවනු ඇත.

ඉතින්, අපි යමින් සිටින්නේ කොහාටද? අන්තර්වාර අයවැය සහ ජාමූඅ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමඟින් දැන් නීත්‍යානුකූල කර ඇති ආර්ථික ප්‍රතිපත්ති “ජල වධහිංසාව” පැමිණවීමට සමාන වේ. ‘ අප “ජල වධහිංසාව” පැමිණවීමට යොමු නොවන්නේ නම් “ත්‍රස්තවාදීන්” අප සියල්ලන්ම විනාශ කර දමනු ඇත’ යනුවෙන් අතිශයින් වධහිංසා පැමිණවීම සාධාරණීකරණය කිරීමේදී කරන්නා හා සමානවම, මූල්‍ය “ජල වධහිංසාව’ පැමිණවීම සඳහා වන ආර්ථික සාධාරණීකරණය ආර්ථිකය “දැඩි අර්බුදයට ලක්වීම” වේ. නමුත් අප දන්නා පරිදි වධහිංසා පැමිණවීම සිදු කරනු ලබන්නේ අදාළ සිදුවීමෙන් අනතුරුව වන අතර, බොහෝ විට අහිංසක මිනිසුන් කුරිරු ඉරණමකට යටත් කරමිනි. ඒ හා සමානව “දැඩි අර්බුදයට ලක්වීම” පිළිබඳ කතාව ගම්බද ප්‍රදේශවල සිදුවෙමින් පවත්නා හුස්ම හිරකිරීම දැක නැති අය සඳහා ය. ලබන වසරේ ආර්ථිකය පටි තද කරවීමේ පිළිවෙත් සමග තවත් හැකිලෙනු ඇත. මේ අතර, ශ්‍රී ලංකාවේ කොම්ප්‍රදෝරු ප්‍රභූ පැලැන්තිය විශ්වාස කරන්නේ ඉලක්කගත සමාජ සහයෝගය ගැන කතා කිරීමෙන් ඔක්සිජන් මාත්‍රා සැපයිය හැකි බවයි.

කවුරුන් කුමන පැත්තේද, “ජල වධහිංසාව” පැමිණවීම කරන්නේ කවුද, එයට යටත් කෙරෙන්නේ කවුද යන්න ඇතුළුව, පන්ති බෙදුම් පැහැදිලි වෙමින් තිබේ. මීළඟ විරෝධතා රැල්ල එම බෙදුම් මත හොඳින් රැඳී සිටිය හැකිය.

( “Budget for IMF with Fiscal Waterboarding” මැයෙන් 2022 සැප්තැම්බාර 5, Daily Mirror පළ කළ ලිපියේ පරිවර්ථනයකි. ) 

————-

පාද සටහන

“ජල වධහිංසාව” යනු දියේ ගිල්වීම අනුකරණය කරමින්, නැඹුරු වූ වේදිකාවක් මත උඩු අතට වැතිර සිටින වින්දිතයෙකුගේ නාසය සහ මුඛය තුළට ඔහුගේ හිසට ඉහළින්, ජලය වත් කිරීමෙන් වධහිංසා දීමේ ක්‍රමය යි.