මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

වදනිසුරු ගම්ලත්හු
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

w1-1මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි. ඔහුගේ අභිලාෂයෝ විවිධාංගික වූහ. සාහිත්‍යාදී කලා, සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය, පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් ආදී වූ මානව ශාස්‌ත්‍ර විෂයයන් මෙන්ම සමාජවාදය, මාක්‌ස්‌වාදී මූලධර්ම හා මූලකෘති හා සමග සමාජවාදී භාවිතාවන්ද සමකාලීන දේශපාලනය ආදිය ඇතුළත් සමාජීය විද්‍යා ක්‍ෂේත්‍රයෙහිද ඔහු සිය ප්‍රවීණතාව පතුරුවාගෙන සිටියේය. සිංහල ලේඛකයකු වශයෙන් ඔහු විදහා දැක්‌වූ අසහාය නිපුණතාවට පදනම වූයේ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් පිළිබඳව ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම බව නොරහසකි. එම ප්‍රාචීන භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි හා තවත් භාෂා ගණනාවක්‌ ඔහු දැන සිටියේය. විශේෂයෙන් ඔහු ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳව දැක්‌වූ ප්‍රවීණතාව අගනා ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයක්‌ නිපදවීම කෙරේ ඔහු යොමු කළ බැව් පෙනේ. මෙම කර්තව්‍යයේදී තමන් තුළ වූ සිංහල, පාලි, සංස්‌කෘත භාෂා ඥනය අති විශිෂ්ට අන්දමින් ඔහු විසින් ප්‍රයෝජනයට ගෙන ඇති අයුරු විද්‍යමානය.

මෑත කාලයේ සිංහලයෙන් පොතපත ලිවූවන් අතර උසස්‌ ප්‍රමිතියකින් යුතු ඒ සා විශාල පොත් හා ලිපි ලේඛන සංඛ්‍යාවක්‌ නිමැවූ අන්‍ය විද්වතකු නොමැති තරම්ය. අප ඉහත සඳහන් කළ පරිදි එම ලිපි ලේඛන විවිධ ඉසව් රාශියක්‌ පුරා පැතිරී තිබිණි. ඔහු කුමන විෂයයක්‌ ගැන ලියූවත් ඔහුගේ වාග් විලාසය කෙතරම් රමණීය වීදයත් පාඨක අවධානය ඒ කරා ඇද ගැනීමේ හැකියාවක්‌ එහි තිබිණි.

අප ඉහත සඳහන් කළ පරිදි ගම්ලතුන් සතුවූ එම වාග් චාතූර්යය විශේෂයෙන්ම ඔවුන් සතුව තිබූ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍ය ඥනයයි. එහෙත් එබඳු ප්‍රාචීන භාෂා පටුත්වයක්‌ තිබුණු අන්‍ය කිසිදු පඬිවරයකු විදහා නොදැක්‌වූ අපූර්ව රචනා කෞශල්‍යයක්‌ ගම්ලතුන් සතුව තිබිණි. මීට උදාහරණ වශයෙන් ඔහුගේ ආචාර්යවරයකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලේඛනයකින් කොටසක්‌ සහ ගම්ලතුන්ගේ ලේඛනයකින් කොටසක්‌ උපුටා දැක්‌විය හැකිය.

මේ සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයෙන් ගත් කොටසකි.

‘සාහිත්‍යය ද ක්‍රියා කරන්නේ මේ අන්දමින්ය. එය මිනිසා අවනත කර ගන්නේ ඔහුට අණකොට තරවටු කොට නොව, ඔහුගේ සිත උණු කොටය. කම්පා කොටය. සාහිත්‍යය කෙළින්ම දැනමුතුකම් නොදෙයි. එහෙත් මිනිසා යහමඟට හරවයි’

මේ ගම්ලතුන්ගේ ‘සරච්චන්ද්‍රාභිනන්දන’ කෘතියෙන් ගත් කොටසකි.

‘අන්‍ය කලාවන් සේම කාව්‍ය කලාව ද විද්‍යාව මෙන් ලෝකය නියම පද්ධතියක්‌ ලෙස නොව සංකල්ප රූප පොකුරක්‌ මෙන් ඥනනය කරන්නා වූද, ස්‌පර්ශ කරන්නා වූ ද විධියක්‌ වන අතරම ඇතැම් හැඟීම් හා මනෝගතීන් පුදුබුවන්නා වූද විධියක්‌ වෙයි’

ගම්ලතුන්ගේ භාෂා ශෛලියෙහි විශේෂ ස්‌ථානයක්‌ තත්සම වචනවලට ලැබී තිබිණි. ‘ඥානනය කරන්නාවූ’, ‘ප්‍රසාරණය කරන්නා වූ’, ‘සුපරිපූර්ණව හා සුසංවාදව ජීවත්වීම, ‘සුශික්‌ෂිත කොට’, ‘සුභාවිත කොට’, ‘අවශෝෂණය කරගන්නා’ ආදී වූ ඔහුගේ වාග් විලාසයේ නිතර දැක්‌ක හැකිවූ යෙදුම්වල චිත්තාකර්ෂණීය ගුණයක්‌ ගැබ්ව තිබිණි. ඒ අතින් බලන කල සමකාලීන හෝ පූර්වකාලීන අන්‍ය ප්‍රාචීන භාෂා ප්‍රවීණයකු විසින් ප්‍රදර්ශනය නොකළ අන්දමේ වාග් චාතුර්යයක්‌ ප්‍රකට කළේ ඔහුගේ වාග් විලාසයෙහි තිබූ තවත් විශේෂිතා කිහිපයක්‌ නිසා බැව් පෙනේ.

මේ ඔහුගේ වාග් චාතුර්යය විදහා දක්‌වන තවත් තැනකි.

‘පැරදවිය යුතු සතුරන් නිර්ණය කර ගැනීමටත් ඔවුන්ගේ මං හසර පාදා ගැනීමටත් ඔවුන් පරදවාලීමටත් කරන අරගලයේදී ඇතිවන භග්නාශාවෙන් හටගන්නා ශෝක සන්තාපාදියත් ලැබ ගන්නා සාපේක්‍ෂ ජයග්‍රහණයන්ගෙන් ජනිත වන සුඛ ප්‍රහර්ෂාදියත් කලාවෙන් ප්‍රකාශ කෙරේ.’

(සාහිත්‍ය කලා ආදිය ගැන 20 පි)

අවශ්‍ය පරිදි තත්සම හා තත්භව වචන හැසිරවීමෙහි ඔහු තුළ වූ චාතුර්යය මෙහි දක්‌නට ඇත. මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුත්තක්‌ වන්නේ අවශ්‍ය අවස්‌ථාවන්හි කටවහරේ යෙදුම් භාවිතයට ඔහු නොපැකිල ඉදිරිපත් වූ ආකාරයයි.

‘මේ සියලු පොට වරද්දාගැනීම් සිදුවී තිබෙන්නේ යටගිය දවසින් උරුම කරගෙන කරගසාගෙන යනු ලබන විචාර මිනුම් දඬු නමැති හණමිටි කලා කෘතිය මත පටවන්ට යැමෙන්ය. අතීත විචාර මිනුම් යනු අතීත යථාර්ථයෙන් උපුටාගත් අතීත න්‍යායයි. ඒවා මැරිලාය. කලාකෘතිය නමැති නව යථාර්ථය ජීවමානය. මළ විචාර නමැති අච්චුවක ජීවමාන යථාර්ථය දඬු ගැසිය හැකිද?

(සාහිත්‍ය කලා ආදිය – 30 පි.)

‘පෞරාණික ලෝකය මළ ගොරොද්දේ අදිද්දී’

‘දැන් කළ යුත්තේ වෙනත් සංස්‌කෘතීන්ගේ වල්ගයේ එල්ලීම යෑයි ලණුදෙමින්’

‘ලොව පුරාම වෘත්තීය සමිති ව්‍යාපාරය කුජීත වී ඇත’

‘ධනේශ්වර ක්‍රමය මුළුමනින්ම පල්වන්නටත් ලෝක ආර්ථිකය පල්ලම් බහින්නටත්’

(‘කොමියුනිස්‌ ප්‍රකාශනය පිළිබඳ අධ්‍යයනයක්‌’ කෘතියෙන් ගත් නිදසුන් කීපයකි.)

කට වහරේ ප්‍රබල දෙස යෙදෙන මේ යෙදුම් අවශ්‍ය අර්ථය ව්‍යක්‌ත ආකාරයෙන් පැවැසීම සඳහා උචිතතම වන බව දුටු ගම්ලත්හු නොපැකිළ ඒ යෙදුම් භාවිතයට ගත්හ.

සුචරිත ගම්ලත් තමන් ප්‍රතික්‌ෂේප කරන දේ නිර්දය විවේචනයට භාජන කළ අයකු ලෙස ප්‍රකටය. ඔහු ඒ සඳහා ඇතැම් විට සංයමයෙන් යුත් වදන් මාලා යොදාගනී. ඇතැම්විට එසේ නොකරයි.

මේ ඔහු එක්‌ කෙටිකතා සංග්‍රහයක්‌ අවඥවට භාජන කළ ආකාරයයි.

‘කතුවරයාට කිරීමට ඉතුරුවන එකම දෙය කුමක්‌ද? මෙකී සංවේදනා හා ධාරණා වාර්තා කිරීම පමණි. ජංජාලයක්‌ බඳු මේ සංවේදනා හා ධාරණ වාර්තා තුළ වෛෂයික ලෝක නියාම නැති, මේ වාර්තාවලින් කියෑවෙන දෙය නම් කතුවරයා ඇතැම් දේවල් දැක හා අසා ඇති බවත් ඒ දැකුම් හා ඇසුම් ලේඛනගත කිරීම සඳහා ඔහුට පෑන වැනිය හැකි බවත් පමණි’.

(විචාර ප්‍රතිවිචාර 60 පි.)

ඇතැම් දේ ගම්ලත් ප්‍රතික්‌ෂේප කරන්නේ වඩා ප්‍රබල භාෂා ශෛලියකිනි(

‘බකුතින්වාදයේ වත්මන් දියාරුවක්‌ වන සියලු අධිකාරයනට, විශේෂයෙන්ම සම්භාව්‍ය මාක්‌ස්‌වාදයට හිස්‌ කෝම්බ දමාගසන එහෙත් ඊට සෘජු විකල්පයක්‌ ඉදිරිපත් නොකරන පශ්චාත් නූතනවාදය නමැති මදාවි අච්චාරුවාදය, කලා විහීන වූ ජනප්‍රිය සංස්‌කෘතිකවාදය, සාහිත්‍යය කැබලිති කරන පශ්චාත් යටත්විජිතවාදය යනාදී මේ පඹගාලෙහි පැටලුණු…’

(විචාර ප්‍රතිවිචාර – 152 පි.)

ඇතැම් විට ගම්ලතුන්ගේ පෑන අසිපතක්‌ සේ ක්‍රියාත්මක වී තමා ප්‍රතික්‌ෂේප කරන අය නිර්දය ප්‍රහාරයට ලක්‌ විය.

‘මේ කාලයේ තමාගේ… නාට්‍යය තහනම් කෙරිණැයි කියමින්… නාහෙන් අඬමින් ඇවිද්දේය. එහෙත් ආණ්‌ඩුවේ කලා ඝාතනයට විරෝධය පා ලිපියක්‌ අප පත්‍රයට ලියන ලෙස ඉල්ලූ කල්හි ඔහු එයින් කට්‌ටි පැන්නේය. ඔහුගේ කතාව බොරුවකැයි මම තවමත් සලකමි. දැන් ඔහු යූ.ඇන්.පී. ආණ්‌ඩුවේ වසුරු බුදිමින් වැජඹේ’

(විචාර ප්‍රතිචාර – 41 පි.)

මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ ආකර්ෂණීය වූ වාග්විලාසය ඇතැමුන්ට ආදර්ශයක්‌ විය. ඔහු නිතර නිවැරැදි බස්‌ වහර භාවිතයෙහි යෙදීමට ප්‍රවේසම් වූයේය. ඔහු විසින් භාවිතයට ගන්නා ලද ඇතැම් යෙදුම් අන්‍යයන් අතර ජනප්‍රිය වූ අවස්‌ථා ඇත. ඒ අතර ‘අනන්‍යවීම’, ‘ඇස්‌ නිලංකාරවීම’, ‘නිම්වළලු ප්‍රසාරණය’, ‘ඥානනය’, ‘ඥන මණ්‌ඩලය ව්‍යාප්ත කිරීම’, ‘සමතික්‍රමණය’ ආදිය විශේෂ වේ. අන්‍ය ලේඛකයන් කෙරේ එබඳු බලපෑමක්‌ ඇති කළ හැක්‌කේ දුර්ලභ ගණයේ බුද්ධිමතෙකුට පමණි.

මෙම සටහන අවසන් කරනු සඳහා පෞද්ගලික කරුණක්‌ සඳහන් කිරීමට කැමැත්තෙමි. සුචරිත ගම්ලත් සහ මා පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුවූයේ එකට 1959 දීය. අපි දෙදෙනාම සිංහල විශේෂ උපාධිය සඳහා ශිල්ප හැදැරූවෙමු. එම දිනවල අප දුටු දෙයක්‌ නම් ඔහු අපට වඩා මේරූ, අපට වඩා ඇසූ පිරූ තැන් ඇති අයකු බවයි. විශේෂයෙන් පාලි හා සංස්‌කෘති ඥානය ඔහු සතුව තිබෙන්නට ඇත. තමා ගෙන ආ එම දැනුම විශ්වවිද්‍යාලයේදී වඩා මුවහත් කරගත් බව පෙනේ. අපේ පන්තියේ සිටි තිදෙනෙක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරු වූහ. ගම්ලත්හු යාපනයේද පසුව රුහුණේද මහැදුරු වූහ. ඒ. ඒ. අභයසිංහයෝ කැලණියේ මහාදුරුව සිට ඉසිඹු ලත්හ. මම පේරාදෙණියෙහි සිට ඉසුඹු ලෑවෙමි. මා ගම්ලතුන්ගේ ඇතැම් අදහස්‌ විවේචනය කළ ද එය ඔහු හා මා අතර පෞද්ගලික ආරවුලක්‌ නොවන ශාස්‌ත්‍රීය සංවාදයක්‌ පමණක්‌ විය. මේ සටහන තබන්නේ ඔහුගේ ශාස්‌ත්‍රවන්තභාවය කෙරේ මා තුළ වූ ගෞරවය නිසාය.

දිවයින වටමඬල

Comments

  1. සුචරිත ගම්ලත් සරසවියට පිවිසුණේ නක්කාවිට ආනන්ද හිමි ලෙස ය. පිරිවෙනෙහි දී අධ්‍යයාපනය ඔහුගේ පෙළ සකු නැණ මුවහත් කොට තිබිණි. අහෝ එවකට එසේ වූ පිරිවෙන් අධ්‍යාපනය අද කොහි ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s