නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම
උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත.….පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.
– ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss
1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ‘ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම’ යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් “ආරක්ෂිත” පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව “කළාලය යටට අතුගා දැමීමට” ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.
ජනවාර්ගික ගැටලුව අධිනිශ්චායක කරුණ වශයෙන් පිළිගැනීම පිළබඳ මෙම කරුණ,ලංකාවේ දේශපාලනයට කළ බලපෑම අප වටහා ගැනීම අද පවා වැදගත් යැයි සිතමි.’83 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර පසමිතුරු මානසිකත්වය උච්ඡස්ථානයකට ගෙන ආ බව සැබෑය.එහෙයින්,ඉන් පසු ආසන්න සමය ජනවාර්ගික ගැටලුව ලාංකේය සමාජයේ මතවාදී තලයේ ආධිපත්‍යය අත්පත් කරගත් සමයක් ලෙස දැකීමට පදනමක් තිබුණි.එකළ නිව්ටන් ගුණසිංහගේ තර්කය සනාථ කරමින් මෙන් පැරණි වමේ පක්ෂ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට වමේ උගතුන් සමග දේශපාලනිකව පෙළ ගැසුණි.එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛවූ ආණ්ඩුවට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට තම සහාය දීමට වමේ පක්ෂ සහ සංවිධාන යොමුවීය.
ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය පදනම් කොට ගත් වාම -ලිබරල් දේශපාලනය ලාංකේය දේශපාලන කතිකාවේ අධිපතිභාවයට පත්වීම සමඟින් ජනවාර්ගික ගැටලුවේ දේශපාලනය සම්බන්ධයෙන් එය ගත් මඟෙහි කෙළවර දී දැකිය හැකි වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් කර ගැනීමට ජාතික චින්තන ව්‍යාපාරය සමත් වීම සහ රාජපක්ෂ රෙජිමය යුද්ධය මගින් එල්ටීටීඊ ය පැරදවීමෙන් ජනවාර්ගික ගැටලුවට යුද්ධයෙන් ‘විසඳුමක්‘ සැපයීමට උත්සාහ ගැනීම යි.
1980දී,සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,’ජනවාර්ගිකත්වය සහ සමාජ විපර්යාසය’ පිළිබඳ සම්මන්ත්‍රණය පෙන්නුම් කළේ ඒ වනවිටත් ජනවාර්ගික ගැටලුව දේශපාලනමය වශයෙන් බුද්ධිමතුන්ගේ බැරෑරුම් අවධානය දිනාගත් කරුණක් බවට පත්වෙමින් තිබූ බවයි.එම සම්මන්ත්‍රණ පත්‍රිකා ජනවාර්ගික ගැටලුවට සිංහල හා දෙමළ ජනසමාජයන්හි පාදක වූ ඓතිහාසික හා සමකාලීන සමාජීය,සංස්කෘතික හා දේශපාලන තත්වයන් විග්‍රහ කිරීමට යොමු වී තිබුණි.1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලයට පසු මෙම සම්මන්ත්‍රණ පත්‍රිකා 1984 දී භාෂා ත්‍රිත්වයෙන්ම පළකිරීම සමගින් ජනවාර්ගික ගැටලුව සහ ඒ ආශ්‍රිතව මතු වූ යුද්ධයට විසඳුම් සෙවීම ඉලක්ක කොට දියත් වුණු ශාස්ත්‍රීය සහ දේශපාලන ව්‍යායාමය කෙතෙක්ද යත් ඉන් ජනිත වූ දේශීය සහ ජාත්‍යන්තර සාහිත්‍යය ඉමහත් ය.එසේ තිබියදීත්,2009 දී ජනවාර්ගික ගැටුමේ ප්‍රචණ්ඩ අදියර යුද්ධයෙන්ම අවසන් කිරීම කණගාටුවට කරුණකි.
1977න් පසු ලංකාවේ නිර්බාධී ආර්ථිකය ආරම්භයේ එහි සමාජීය ඵලවිපාක පිළිබඳ වාම සමාජ විද්‍යාඥයන් ගොඩ නැඟූ විචාරය,පසුව ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය කතිකා ලෙසින් අධිපතිබව බවට පත්වීම හරහා ලිබරල්වාදී දේශපාලන ප්‍රවාහය අධිපතිභාවයට පත්වීම තුළ,ගිලී ගියේය.දේශපාලන ලිබරල්වාදය වැළඳගත් වාම බුද්ධිමතුන් පසු කලෙක ලාංකේය සමාජයේ නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විචාරයක් සම්පාදනය කිරීම අත් හරින්නට හේතුවක් වූයේ නිර්බාධී ආර්ථිකය යටතේ ධනේශ්වර සංවර්ධනයක් සිදුවීමේ ශක්‍යතාව පිළිබඳ මාක්ස්වාදී අදහස පොතේගුරුවාදී ලෙස පිළිගැනීම විය හැකිය.පැරණි වමේ දේශපාලන පක්ෂ සහ වාම සිවිල් සංවිධාන ද මෙම ලිබරල්කරණයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස බහු ජනයා තව දුරටත් වමේ ව්‍යාපාරයෙන් වියෝ වී යැයි සිතමි.
මෙලෙස වාමාංශික ව්‍යාපාරය ජනවාර්ගික ගැටලුව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙහි ප්‍රතිවිපාකයක් වූයේ වමේ දේශපාලනය,ජයවර්ධන රෙජිමයේ නිර්බාධීකරණ ආර්ථික පිළිවෙතෙහි හානිකර ඵලවිපාකයන්ට ප්‍රතිරෝධය දැක්වීමෙන් වැළකී සිටීමයි,අධිකාරවාදයේ සහ නවලිබරල්වාදයේ වර්ධනය නොසලකා හරිනු ලැබීම යි.එහි ප්‍රතිඵලය වූයේ ලංකාවේ දකුණේ මෙන්ම උතුරේ ද සමාජ සාධාරණය වෙනුවෙන් කරන පංති සහ ආර්ථික සාධක මුල්කරගත් අරගලය පමණක් නොව දකුණේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන දේශපාලන අරගලයද විතැන් වී යාමයි.මහින්ද රාජපක්ෂ රෙජිමය බලයට ගෙන ඒමෙන් පරිපාකයට පත් ක්‍රියාවලිය ජයග්‍රහණය කිරීම ට මේ තත්වයද දායක වී යැයි සිතමි.
දේශපාලන තත්වය මෙසේ තිබියදීත් නිව්ටන් ගුණසිංහ තම ශාස්ත්‍රීය ලිපි ලේඛන මගින් තම විචාරක්ෂිය විවෘත ආර්ථික පිළිවෙතෙහි ආර්ථික,සමාජීය සහ දේශපාලන ගම්‍යමානවීම් විග්‍රහ කිරීමෙහි ලා අඛණ්ඩව යොමු කළ බව මෙහිදී සඳහන් කළ යුතුය.
වත්මනෙහිද,ලාංකේය දේශපාලනයෙහි ජනවාර්ගික ප්‍රශ්නය යළිත් වරක් “අධිනිශ්චය” වීමේ නැඹුරුවක් පවතියි.ඒ ව්‍යවස්ථා සම්පාදනය මුල් කොට ගෙන ය.වර්තමානයේදීත්,ලංකාවේ වාම ලිබරල් දේශපාලන ව්‍යාපාරය සහ සිවිල් සමාජය ඉහත සඳහන් වමේ ආස්ථානය හා සමාන ආස්ථානයකට එළැඹ සිටිති.ඔවුහු,සාමය හා සංහිඳියාව සහ ජනවාර්ගික ගැටලුව විසඳීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි පමණක් හෝ මූලිකව අවධානය යොමු කිරීමෙන්,පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට මෙන්ම නවලිබරල්වාදී ආර්ථික පිළිවෙතටත් ප්‍රතිරෝධය දැක්වීම ඒ වෙනුවෙන් කැප කර සිටිති.එම ක්‍රියාමාර්ගය මැතිවරණවලින් ජාතිකවාදී බලවේග යළිත් බලයට ගෙන එන තැනට බහුජනයා යොමු කිරීමට වක්‍රව දායක වනු ඇති බව මගේ අදහස යි.
මා දකින පරිදි,පශ්චාත් ’83 ජූලි යුගයේදී වම කළ යුතුව තිබුණේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා කැපවන අතරම,ඒ එකම වර නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් කරන අරගලයද අත් නොහැර කරගෙන යාම යැයි සිතමි.දේශපාලනය යනු පවතින තත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීය වීම යි.බලහත්කාරය යොදාගැනීමෙන් මෙපිට,දේශපාලනයෙන්ම වෙනස් කළ නොහැකි වන්නේ මතවාදය නොව පවත්නා සමාජ තත්වයන් යැයි සිතමි.දෙනලද සමයක සමාජයක මතවාදී අධිනිශ්චයවීමක් එහි දේශපාලනයේ අවසාන ඉරණම තීන්දු කරන්නක් ලෙස භාරගත යුතු නොවේ.මෙම අදහසට ආචාර්ය ගුණසිංහ ද පසු කලෙක එළඹුණු බව මම කියවා ඇත්තෙමි.
සිංහල සුළු ධනේශ්වරයේ නැගීම
ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඉදිරිපත් කළ තවත් වැදගත් විග්‍රහයක් ග්‍රාම්ෂ්චි ගේ ‘ඓතිහාසික හවුල’ පිළිබඳ න්‍යාය ගැන්වීම් ඇසුරෙන් ලංකාවේ පශ්චාත් යටත් විජිත යුගයේ සමාජයේ දේශපාලන පෙළගැසීම් සාකච්ඡාවට ලක් කරයි ( “Land Reform, Class Structure and the State”, 1979).කෘෂිකර්මයෙහි ධනේශ්වර සංවර්ධනය පිළිබඳ මාක්ස්වාදී ප්‍රවාදයට එක්තරා ආකාරයකින් සම්බන්ධවන,සමාජයෙහි විප්ලවීය විපර්යාසයක් සඳහා අවශ්‍ය දේශපාලන තත්වයන් සම්පාදනය වීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙසින් මාක්ස්වාදීන් විසින් සලකනු ලැබුණු, ගොවි-කම්කරු සන්ධානයක් ලංකාවේ ඇති නොවීම පිළිබඳ විශ්ලේෂණයක් ඔහු ඉදිරිපත් කරන්නේ ‘කෘෂිකාර්මික හවුල’ නම් වූ ග්‍රාම්ෂ්චියානු සංකල්පය ඇසුරෙනි.ඉතාලියේදී නම් එය ගොවීන්,සුළු ධනේශ්වරයේ මතවාදී මෙහෙයවීමෙන් ඉඩම් හිමියන් සමග එකට බැඳතබන හෙයින් ගොවියන් සහ කම්කරුවන් අතර සඵලදායී සන්ධානයක් වළක්වාලන හවුලකි.මේ අනුව,පශ්චාත් යටත් විජිත ලංකාවේ පළමු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පදනම වැටුණේ ගොවි-ඉඩම් හිමි රදළ සන්ධානයක් මත සහ ධනේශ්වර-රදළ සන්ධානයක් මත පදනම් වී නමුත් සුළු ධනේශ්වරය එයට පිටස්තරව සිටියේ ඔවුන්ගේ පංති ඵල ප්‍රයෝජනයන් ධනේශ්වර-රදළ පංතීන්ගේ ඵල-ප්‍රයෝජනයන්ගෙන් පීඩනයට ලක් වූ හෙයිනි.
ඔහු තව දුරටත් දක්වන පරිදි, 1956 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් බණ්ඩාරනායක ආණ්ඩුව ගොඩනඟන පංති සන්ධානය එම ‘කෘෂිකාර්මික හවුල’ බිඳ දැමීමට සමත් විය.ඒ,ගොවීන් තම මතවාදී ආධිපත්‍යයට යටත් කොට ගැනීමට සමත් වන සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ස්ථරයන් වන ග්‍රාමීය මෙන්ම නාගරික සුළු ධනේශ්වරයද එයට ඇතුළත් කරගැනීම මගින් ගොවීන් සන්ධානයට බැඳ ගැනීමෙනි.එලෙස ගොඩ නැඟූ ගොවි-සුළු ධනේශ්වර පංති මත පදනම් වූ සහ පැරණි ධනේශ්වර සහ රදළ පංති කොටස් ද ඇතුළත් වන නව සන්ධානය මඟින් කම්කරු පංතිය බැහැර කොට හුදෙකළා කළ හෙයින් යළිත් ගොවි-කම්කරු සන්ධානය ගොඩ නැංවීමේ කටයුත්තට බාධා එල්ල වූ බව ගුණසිංහ ගේ මතය යි.
මෙම විග්‍රහය ’56 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමේ පටන් පශ්චාත් යටත් විජිත ලාංකේය සමාජයේ සුළු ධනේශ්වරයේ නැගීම ලාංකේය දේශපාලනයට නොකඩවා කරන අතිමහත් බලපෑම පිළිබඳ අවලෝකනයෙහි යෙදෙන්නට අප යොමු කරයි.එතැන් පටන් චන්ද්‍රිකා කුමාරතුංග ගේ පාලන සමය තුළ හැරෙන්නට 2015 දක්වා ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවලට මතවාදී පදනම සපයන සිංහල බෞද්ධ මතවාදය මෙම පංතියේ ජාතිකවාදී පාර්ශ්වයන්හි මතවාදී ප්‍රකාශනය යි.මෙම මතවාදය 1956 පටන් අද දක්වාම සමස්ථයක් ලෙස ගත් කළ ලාංකේය දේශපාලනයේ ගමන් මඟ ජාතිකවාදී නැඹුරුවක් කරා තල්ලු කරමින්, අවසාන විග්‍රහයේදී එය තීන්දු කරන ප්‍රබලම සාධකය බවට ද පත් වී තිබේ.1971 කැරැල්ල සුළු ධනේශ්වර මතවාදය වාම දේශපාලනයට ඇතුළුවීම පිළිබිඹු කරයි.1988 දී ආචාර්ය ගුණසිංහ අභාවප්‍රාප්ත වනවිට,එවකට සිංහල බෞද්ධ ජාතිකවාදයේ සමකාලීන චින්තනමය අග්‍රඵලය ලෙසින් ප්‍රකාශ වූ ‘ජාතික චින්තනය’ පිළිබඳ විවේචනයකටද එළඹ සිටියේය. එනමුදු,එම චින්තනයෙන් මතවාදී පදනම ලබා සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය වෙනුවෙන් එකහෙළා පෙනී සිටින රාජ්‍ය නායකයෙකු 2005 වන විට ලංකාවේ බලයට පත් වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකරන්නට ඇත.
නිව්ටන් ගුණසිංහ ලාංකේය සුළු ධනේශ්වරයේ ජාතිකවාදී නැඹුරුව පිළිබඳ තම විග්‍රහය ඉදිරිපත් කරන්නේ ඔහු තම ගුරුවරයෙකු ද වූ මානව විද්‍යාඥ ගණනාථ ඔබේසේකර ඒ පිළිබඳ ඉදිරිපත් කළ විග්‍රහයට ද ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් යැයි සිතිය හැකිය.
ගණනාථ ඔබේසේකර:සිංහල සුළු ධනේශ්වරය
ඔබේසේකර 1960 ගණන් වල සිට සම්පාදනය කරමින් සිටි අදහස් වල අවධාරණය කළ තර්කයක් වූයේ සිංහල සුළු ධනේශ්වරයේ පැනනැඟීම කෙරෙහි අනගාරික ධර්මපාල ගොඩනඟා ප්‍රචාරය කළ මතවාදය බලපෑ බවයි. ධර්මපාල “සුළු ධනේශ්වර පංතියක් නිර්මාණය කිරීමට බලපෑමක් ද එක්තරා අරුතකින් උදව්ද” කළ බව ඔබේසේකර තර්ක කළේය.එම පිරිසට ගැමි බුද්ධිමතුන් (සහ නගර වල පැනනැගෙමින් පැවැති බෞද්ධ ව්‍යවසායක පංතියක්)ද අයත් වීය.ධර්මපාලගේ බලපෑමට ඉලක්ක වූ සිංහල ප්‍රභූන් අතර ගැමි භික්ෂුව,පාසල් ගුරුවරයා,සහ ආයුර්වේද වෛද්‍යවරයා මෙන්ම බ්‍රිතාන්‍ය නිලධාරී තන්ත්‍රය විසින් නිර්මාණය කරන ලද ගම්මුලාදෑනිවරයා, මරණ පරීක්ෂක,විවාහ රෙජිස්ට්‍රාර්,නොතාරිස්ලා සහ ගම් සභා නියෝජිතයන් ද අයත් වීය.ගමෙහි ජීවත් වූ නමුත් ගොවි පංතියට අයත් නොවූ මෙම සිංහල ගැමි බුද්ධිමතුන්,ගමේ ජීවත්වන අතරම සහ බොහෝවිට සාමාන්‍ය ගැමියන් සමග ඥාති සබඳතා ඇති නමුදු,අධ්‍යාපනයෙන්,අභිලාෂ මට්ටම් වලින්,සහ ජීවන ආකාරයෙන්, එන්න එන්නම ගැමියන්ගෙන් දුරස්ථ වී සිටියේ විභේදනය මගිනි. සිංහල පාසල් වල අධ්‍යාපනය ලැබූ මොවුහු, තමන් සහ තම දරුවන් වෙනුවෙන් ඉහළ අභිලාෂ ඇත්තේ වී නමුදු බ්‍රිතාන්‍ය සහ දේශීය,ඉංග්‍රීසිකරණයට ලක් වූ සහ අර්ධවශයෙන් ක්‍රිස්තියානි වූ ප්‍රභූන් අත දේශපාලන බලය පැවැති මෙසමයෙහි,එම දේශපාලන සහ ආර්ථික බලයේ ප්‍රභවයන්ගෙන් කපා හරින ලද්දේ වීය.අනගාරික ධර්මපාල නව සහ පුනර්ජීවනය කළ බෞද්ධ මතවාදයක් සැපයුවේ ශ්‍රී ලංකාවේ ගම් වල නායකයන් වූ මෙම ජනයාට ය.ධර්මපාල ගේ ඉගැන්වීම් ඔවුන්ගේ වැඩිදියුණු වීමේ බලාපොරොත්තු සමග පෑහුණු අතර ඔවුන්ගේ දරුවන්ට ක්‍රිස්තියානුවන් හා සමානව එකම ප්‍රභූ සමූහයට ඇතුළුවීමට සහ පරිපාලනයේ ඉහළ තලයන්හි සහ වෘත්තීන්හි රැකියා සඳහා ඔවුන් සමග තරඟ කිරීමට අවසර සැලසීය.ලංකාවේ දේශපාලනයේ බලයේ රැඩිකල් වෙනසක් උදාකළ 1956 මැතිවරණයේ පෙරමුණු බලකාය වූයේ මෙම අලුතින් බිහිවූ සිංහල සුළු ධනේශ්වරය බව හවර්ඩ් රිගින්ස් පෙන්වා දුන් බව ඔබේසේකර සඳහන් කරයි ( “Religious Symbolism and Political Change in Ceylon”; 1966, “The Vicissitudes of the Sinhala-Buddhist Identity Through Time and Change”, 1979; Buddhism Transformed, 1988 ).
සිංහල ගැමි සුළු ධනේශ්වරය සහ 2005
1956 බණ්ඩාරනායක රජය බලයට පත්කිරීම සිංහල ගැමි සුළු ධනේශ්වරය විසින් තමන්ගේ වැඩි දියුණුව සහ තම දරුවන් ප්‍රභූ පැළැන්තියට ඉහළ නංවාලීමේ අභිලාෂයෙන් දේශපාලන සහ ආර්ථික බලය ලබාගැනීමේ අරමුණ විසින් මෙහෙයවන ලද්දක් වී නම්,මා දකින පරිදි,පංතියක් වශයෙන් ඔවුන් ගේ එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සපුරා ඉටුවන්නේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්වීමෙනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය සංවිධානාත්මකව කළ මතවාදී සහ සංකේතාත්මක ගොඩ නැංවීම්,සහ දේශපාලන මෙහෙයවීම් එක්තැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
1956 දේශපාලන පෙරැළියේ සිටම සිංහල බෞද්ධ ජාතිකවාදී සුළු ධනේශ්වර පංති කොටස් වල නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ සහ පසු කාලයේදී පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේදීත් -විශේෂයෙන්ම ශ්‍රීලනිප ආණ්ඩු බලයට පත් වූ අවස්ථාවන්හිදී විවිධ මට්ටමින් වර්ධනය වෙමින් පැවැතියේය.නමුදු ඔවුන් පංති ස්ථරයක් වශයෙන් රාජ්‍යයේ අධිපතිභාවය අත්පත් කරගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම යටතේය.මේ අර්ථයෙන් ගත් කළ එය,ගුණදාස අමරසේකර ජනප්‍රිය කළ පදයක් ණයට ගෙන කියන්නේ නම්,“’56 දරුවන්” රාජ්‍ය බලය අත්පත් කරගැනීමකි.
මේ වනවිට,’56 දරුවෝ -එනම් ’56 දේශපාලන පෙරළියේ ඵල භුක්ති විඳින පරපුර- මෙන්ම ඉන් පසු පැමිණි ’77 දරුවන් ද ‘නිදහස් අධ්‍යාපනය’ මගින් නිලධාරී තන්ත්‍රය,ශාස්ත්‍රාලීය අධ්‍යාපනය (පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළුව),නීති පද්ධතිය යනාදී රාජ්‍ය අංශය මූලික කොටගත් සැම වැදගත් සමාජ තලයකම අරක් ගෙන සිටියහ.(’56 දරුවන් අධ්‍යාපනය තුළින් සමාජයේ ඉහළට නැඟ ගැනීමට ගන්නා උත්සාහයේදී ඔවුන් මුහුණ දෙන අකරතැබ්බයන් ගුණදාස අමරසේකරයන් ගේ කෙටි කතා වල අපූරුවට චිත්‍රණය කොට තිබේ.)
2005න් උදාවූ රාජපක්ෂ සමය මෙම දෙපරපුර දේශපාලන බලය යොදාගෙන,ස්වාර්ථ සාධනය සඳහා ආර්ථික වත්කම් සහ සමාජ බලය ගොඩනඟා ගැනීමේ උග්‍ර අරගලයක යෙදෙනු පෙන්නුම් කළේය.’56 පරපුර හා සසඳන කළ,සිංහල සුළු ධනේශ්වරයේ ’77 පරපුර,නිර්බාධී ආර්ථිකයෙන් වර්ධනය කෙරුණු වෙළෙඳපොළ මූලික ආකල්ප තුළ හැදියාව ලද නමුදු,ඔවුන් ගේ කොටසක්ද මතවාදී වශයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී වූයේ,තම පැවැත්ම සඳහා මූලික වශයෙන්ම තවමත් සිංහල භාෂාව මත සහ රජය සහ දේශීය ප්‍රභවයන් මතම පමණක් යැපෙන්නට සිදු වී තිබුණු හෙයිනි.
1956 පටන් විවිධ මට්ටමින් සිංහල සුළු ධනේශ්වරය ලංකාවේ දේශපාලන බලයට ඇතුළුවීම තුළ එම පංති කොටස්වලට තම පැවැත්ම සහ ප්‍රාග්ධන සමුච්ඡායනය සඳහා මුළුමනින්ම පාහේ රජය මත යැපෙන්නට සිදුව තිබීම ලංකාවේ දේශපාලනයට කළ බලපෑම ඉමහත් ය.2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමග සුළු ධනේශ්වරය රාජ්‍ය බලයට සෘජුව හිමිකම් කීමෙන්,ඔවුන් තම ආර්ථික ඵලප්‍රයෝජන සාක්ෂාත් කරගැනීම සඳහා කළ අරගලය උග්‍රවීය.
රාජපක්ෂ රෙජිමයේ පාලන සමය පිළිබඳ විචාරකයන් විසින් එකල ආණ්ඩු ක්‍රමයේ නිත්‍ය ලක්ෂණ වී තිබුණි යැයි අවධාරණය කෙරුණු ‘නීතියේ පාලනය බිඳ වැටීම,දැඩි අධිකාරීත්වය,අධික දූෂණය හා නාස්තිය,පළිගැනීම, සුදුසුකම් නොසැලකීම,අසාධාරණ ලෙස ඵල බෙදාගැනීම’ (වික්ටර් අයිවන්,රාවය)යනාදී ලක්ෂණ සිංහල සුළු ධනේශ්වරය තම ස්වාර්ථ සාධනය සඳහා ගෙන ගිය එම අරගලයේ තීව්‍රභාවය ප්‍රකාශ වන ආකාරයයි.
සිංහල බෞද්ධ මතවාදය වෙනුවන් පෙනී සිටින අතරම සිංහල සුළු ධනේශ්වරය ඉහත පරිදි ක්‍රියාකිරීමෙහි බැලූ බැල්මට ප්‍රතිවිරෝධයක් සේ පෙනී යා හැකි හැසිරීම වටහා ගැනීමට අපට අවධානය යොමු කළ හැකි වැදගත් කරුණක් ගණනාථ ඔබේසේකර තම “දුටුගැමුණුගේ හෘදය සාක්ෂිය” පිළිබඳ සුප්‍රසිද්ධ රචනයෙන් ඉදිරිපත් කොට තිබේ (“Dutthagamini and the Buddhist Conscience”,1993,මෙම ලිපියෙහි මුල්කාලීන පිටපතක සිංහල අනුවර්තනය සඳහා බලන්න,“දුටුගැමුණුගේ හෘද සාක්ෂිය” kathika.wordpress.com ).
බෞද්ධ හෘදය සාක්ෂිය බිඳදැමීම
එය නම් ’56 පරපුර වනවිටත් සිංහල බෞද්ධයන්,කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුදත් බුද්ධිමය (rational) බුද්ධාගමත් අනගාරික ධර්මපාල අනුදත් දේශපාලන බුද්ධාගමත් වැළඳගැනීමෙහි බලපෑම යටතේ,එතෙක් සිංහල ගැමියන් තුළ බෞද්ධ හෘදය සාක්ෂිය වගා කළ බෞද්ධ මානවීය ආචාර ධර්මීය පදනමින් වියෝ වී තිබීම යි.
මා දකින පරිදි,’71 කැරැල්ල සටහන් කළේ අඩු වැඩි වශයෙන් එබඳු බුද්ධිවාදී ( rationalist) චින්තනයක් තුළ හැදුණු වැඩුණු,සමාජයෙන් වියෝ වූ තරුණ පරපුරක සමාජ විරෝධී ප්‍රකාශයයි.’77 පරපුරේ සමය වන විට පොදුවේ ගත් කළ මෙම වියෝ වීම සම්පූර්ණ වී තිබුණි යැයි තර්ක කළ හැකිය.
‘නූතන යුගය විසින් බෞද්ධ හෘදය සාක්ෂිය කඩා බිඳ දැමීම’ පිළිබඳ ඔබේසේකර ඉදිරිපත් කරන මෙම අදහස සංක්ෂිප්තව පහත දක්වමි.
සම්ප්‍රදායිකව ලාංකේය ගැමි බෞද්ධයෝ බුදුන්ගේ ජීවන චරිතය පාදක කරගත් ධර්ම ග්‍රන්ථයන්හි සහ ජාතක පොතෙහි එන කථා පදනම් කොටගෙන ජනවහරේ පැවත ආ,විවිධ අවස්ථාවල විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කෙරුණු කතාන්තරවලට සවන් දුන්හ,ඒවා රඟ දක්වනු නැරඹූහ.ඒවායින් කියැවුණේ අන්‍යයන්ගේ යහපත තකා බෝධිසත්වයන් කරන ආත්ම පරිත්‍යාගය,මානව සත්වයෙකු ලෙස ඔහු තුළ වූ අසාමාන්‍ය කරුණාව,සහ ඔහු බොහෝ බවයක ඉපිදෙමින් මිය යමින් පෙරුම් පිරූ පාරමිතාවන් නැතහොත් ආචාරධර්මීය සුසාධිතතාවන් පිළිබඳ ය.මේ අන්දමට සමාජ ජීවිතයට මුසුවුනු කථාන්තර තුළින් බුද්ධ චරිතයේ එන යහගුණ,බෞද්ධ ආචාර ධර්මය වශයෙන් තමන් තුළ වගා කර ගැනීමෙන් හෘදය සාක්ෂිය වඩා ගැනීමේ සම්ප්‍රදාය මගින් ඇතිවුනු බෞද්ධ මානව භක්තිය ඔවුන් තුළ වීය.
මේ තත්වය වෙනස් කරන යමක් නූතන යුගයේ,දහනව වැනි සියවසේ අගභාගයේ හා විසිවැනි සියවසේ දී,එකට බැඳී උදාවූ නව පෙරමුණු දෙකක බලපෑමට ගැමි බුද්ධාගම යටත් වීමෙන් සිදුවීය.ඉන් එකක් නම්, අලුතින් මතුවෙමින් පැවැති සුළු ධනේශ්වරයක් සඳහා ධර්මපාලගේ නායකත්වයෙන් ඇතිවුණු විප්ලවකාරී බුද්ධාගම ය.අනෙක,ඕල්කොට් ගේ නායකත්වයෙන් ගොඩ නැංවූ,බුද්ධ ධර්මය නවීන විද්‍යානුකූල,අන්ධ වූ දේව භක්තියකින් තොර වූ යථාර්ථවාදයක් ලෙස හඳුන්වන උගතුන්ගේ බුද්ධ ධර්මය ය.
ඕල්කොට් මෙරටට බටහිරින් ගෙනැවිත් ප්‍රචලිත කළ බුද්ධධර්මය පිළිබඳ බුද්ධිමය දැක්ම අනුව යමින්,ලාංකික උගත්තු බටහිර බුද්ධිවිචාර සම්ප්‍රදායයේ විධික්‍රම වල ආභාෂය ලැබ,බෞද්ධ ජන සංස්කෘතියේ පුරාණොක්තිමය,ඇදහිළිවාදී,සහ භක්තිවාදී අංග ඉන් බැහැර කළ,ධර්මය මත පදනම් වූ බුද්ධිවාදී බුදු දහමක් බිහි කළහ,එම දැක්මට අනුව ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය පාසල් සහ දහම් පාසල් සහ පොතපත සම්පාදනය සකස් කළහ.
ධර්මපාල ගොඩ නැඟූ විප්ලවකාරී බුද්ධාගම ලාංකේය සමාජය මත ඇති කළ බලපෑම ඔබේසේකර,තම්බයියාගෙන් ගන්නා,“සම්ප්‍රදායිකව මුල් බැසගත් බෞද්ධ සංස්කෘතියේ අඳුරු පැත්ත” යන යෙදුමෙන් පැහැදිලි කෙරෙයි.එය අදාළ වන්නේ බුද්ධාගම ලංකාවේ රාජ්‍ය ආගම ලෙස මුල් බැස ගැනීම පිළිබඳ මහාවංශ අර්ථකථනයට ය.රාජ්‍ය ධර්මය සහ අහිංසා ධර්මය අතර ගැටුමෙහිදී අහිංසා ධර්මයට ප්‍රමුඛතාව දුන් අශෝක දහමට පටහැනිව යන මහාවංශ රචකයා දකින අන්දමට සිංහල ජාතියේත් බුද්ධාගමේත් ඉරණම එකට බැඳී ඇති හෙයින් බුද්ධාගම රැකීම වෙනුවෙන් කෙරෙන හිංසා හා ඝාතන යුක්ති සහගත වෙයි.
මහාවංශ අර්ථකථනයට නව ජීවනයක් සපයමින් ධර්මපාල පදනම් ලූ අලුත් දේශපාලනික බුද්ධ ධර්මය ගැමි බුදු දහමේ මානවීය ආචාර ධර්මය පසෙක ලා,නැඟී එන සුළු ධනේශ්වරය වෙනුවෙන්,නවීකාරක ආචාරධර්ම පද්ධතියක් බිහි කළා පමණක් නොව ජනප්‍රිය බුද්ධාගමේ එම අඳුරු යටිපැත්ත එනම් බුද්ධාගම රැකීමේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය යළිත් නූතන ලාංකේය සමාජයෙහි ස්ථාපිත කරලීය.
ඔබේසේකර ගේ ඉහත විග්‍රහයෙන් කියැවෙන්නේ ’56 බණ්ඩාරනායක රජය බලයට එන්නේම ගැමි බෞද්ධ ආචාර ධර්මයේ මුල් සිඳගත් සිංහල සුළු ධනේශ්වරයක් මතින් බවයි.සිංහල බෞද්ධ ජාතිකවාදය ජාතිවාදය බවට පරිවර්තනය වීමත් ඒ හා ආශ්‍රිතව බුද්ධාගම රැකගැනීමේ නාමයෙන් අන්‍ය ජනකොටස් මත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සාධාරණීකරණයත් මෙම බුද්ධිවාදී බුද්ධාගම මෙරට මුල් බැස ගැනීමේ ප්‍රතිඵල යැයි සිතමි.
ඕල්කොට් සහ ධර්මපාලගේ නූතන බෞද්ධ ව්‍යාපෘතිය සිංහල සුළු ධනේශ්වරය අතර මුල් බැස ගන්නේ ඒ වනවිටත් යටත් විජිතවාදී ලිබරල් බුද්ධිවාදය (rationality) කෝල්බෘක් -කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ ජාතික දේශපාලනයෙහි පිහිටුවා ඇති විටකදීය.ඩේවිඩ් ස්කොට් Refashioning Futures(1996) කෘතියෙහි තර්ක කරන පරිදි මෙම ලිබරල් බුද්ධිවාදය ආර්ථිකය,සමාජය සහ එබඳු බුද්ධිවාදයක් ඒ මත පදනම් වනු ඇති විෂයීයභාවයක් (subjectivity)ලාංකේය සමාජය මත කාවැද්දීම මඟින් යටත් විජිත දේශපාලන තන්ත්‍රය නූතන දිශාවක් කරා ප්‍රතිසංවිධානගත කිරීම අදහස් කළේය.
එම පසුබිමෙහි බුද්ධිවාදී බුද්ධාගම ප්‍රචලිත වීම තුළින්,දහම්පාසල් සහ පාසල් අධ්‍යාපනය සහ ධර්ම සාහිත්‍යය පැතිරවීම මගින් මෙන්ම ධර්මපාලගේ ආගමික ව්‍යාපාරය තුළින් බුද්ධිවාදී භාවිතාවන් ප්‍රචලිත කිරීමෙන්, බුද්ධිවාදී දැක්මෙන් යුතු නව පරපුරක් බිහි කෙරුණි.එම භාවිතාවන් සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයේ එදිනෙදා ජීවිතයට කා වැදීමෙන් පරම්පරා ගෙවීයත්ම ඒවා සාමාන්‍ය ගැමි ජනතාවගේ එදිනෙදා දිවි පෙවෙතටද කාවැදීම අනිවාර්යයක් වීය.එහි ප්‍රතිඵලය නම් බෞද්ධ මානවීය ආචාර ධර්මය ක්‍රමක්‍රමයෙන් ලාංකේය සමාජයෙන් අහෝසි වී යාමයි.
එලෙස බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි කරගත් සිංහල සුළු ධනේශ්වරයක සහ ගැමි ගොවි ජනකායක ගේ පසු පරපුරු නිර්බාධී ආර්ථිකයක වෙළෙඳපොළ නියාමයන් වැළඳගත් විට රාජ්‍යය සහ මහජන ජීවිතය පිළිබඳ කටයුතු වලදී ආචාර ධාර්මික විනිශ්චයන් පසෙක ලා හුදු ස්වාර්ථ සාධනය පිළිබඳ මාවතට යොමුවීම අපට වටහා ගත හැකි විය යුතුය.පශ්චාත් 2005 සමයේ රාජ්‍ය කේන්දීය ප්‍රාග්ධන සමුච්ඡායනය නග්න ස්වරූපයක් ගැනීමේ පදනම බුද්ධිවාදී දේශපාලනය ලාංකේය සමාජයේ අධිපතිභාවයට පත්වීම යැයි සිතමි.
මෙලෙස සිංහළ සුළු ධනේශ්වරය දේශපාලන බල තන්ත්‍රයට අවතීර්ණ වීම ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම,නිලධාරී තන්ත්‍රය,අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතනික පද්ධතියද එම පංතියේ ඉහළනැඟීමේ අපේක්ෂාවන්ට යටත් මෙවලම් බවට හැරවීමෙන් පිරිහෙළන ලදී.පශ්චාත් ’77 ජේආර් ජයවර්ධන රෙජිමයේ පාලන සමය තුළ රාජ්‍ය කේන්ද්‍රීය සුළු ධනේශ්වරයේ දේශපාලන ව්‍යාපෘතිය එක්තරා දුරකට පසු බෑමකට ලක් වුවද,2005 රාජපක්ෂ රෙජිමය මෙම ක්‍රියාවලිය යළි එහි උච්ඡස්ථානයට ගෙන ආවේය.අද වන විට ලංකාවේ දේශපාලනය,ආණ්ඩු බලයේ කුමන පක්ෂයක් බලයේ සිටියද,සමස්ථයක් ලෙස මෙම ව්‍යාපෘතියේ ග්‍රහණයට පත්වී තිබේ.
මේ සියල්ල කරන ලද්දේ “සංවර්ධනය” නාමයෙනි.ජේආර් ජයවර්ධන පාලන සමයේ පටන් “සංවර්ධන” කතිකාව ලංකා දේශපාලනයේ අධිපතිභාවයට පත් විය.යුද සමයේ පසු බැස ගිය සංවර්ධන කතිකාව යළිත් වරක් බලවත් වන්නේ එය උච්ඡස්ථානයට නැඟුණු පශ්චාත් යුද සමයේ රාජපක්ෂ රෙජිමයේ යටතේ ය.(බලන්න,” ’සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය:‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම,” කතිකා අංක 1, kathika.lk ).
නන්නත්තාර පංති කොටස්
මෙලෙස රාජ්‍යය,ආණ්ඩුකරණය සහ ජනතාව අතර දේශපාලන සම්බන්ධය උග්‍රලෙස පිරිහීමට දායක වූ තවත් වැදගත් කරුණක් මෙහි ලා කෙටියෙන් හෝ වුව නිරීක්ෂණය කිරීම අවශ්‍යය.එයනම්,පශ්චාත් ’77 පාලන සමයේදී නිර්බාධී ආර්ථිකයේ ව්‍යාප්තිය සමග බැඳී මෙරට ව්‍යාප්ත වූ නනන්න්තාර නැතහොත් පාදඩ පංති කොටස් ලාංකේය සමාජය මත ඇති කරන බලපෑමයි.සම්ප්‍රදායිකව නන්නත්තාර පංතිය නාගරික පහළ පංතීන් හා සබැඳි සංසිද්ධියක් නමුත්,ඉහත සාකච්ඡා කරන ලද නූතන බුද්ධාගමේ ව්‍යාප්තියේ දිගුකාලීන ඵලවිපාකයක් ලෙස මෙම පංති කොටස් අර්ධ නාගරික සහ ග්‍රාමීය සම්භවයන්ගෙන්ද පැනනැඟී ව්‍යාප්ත වීය.
මෙම දෙවනුව කී කොටස් වල සම්භවයේ එක් මූලයක් පිළිබඳ වැදගත් නිරීක්ෂණයක් නිව්ටන් ගුණසිංහ ගේ ඉහත සඳහන් “Land Reform, Class Structure and the State” ලිපියේ දැකිය හැකිය.එය නම් ග්‍රාමීය සුළු ධනේශ්වරය සැදුම්ගත් සිංහල පාසල් ගුරුවරු, ආයුර්වේද වෛද්‍යවරු, සහ ජ්‍යොතීර්වේදීන් ගම්බද සුළු වාණිජමය ක්‍රියාකාරකම්වල ද නිරත වූ බවයි.ඔහු ම මහනුවර පළාත් ආශ්‍රයෙන් කළ තවත් අධ්‍යයනයක ( “Agrarian Relations in the Kandyan Countriside in Relation to the Concept of Extrement Social Disntetgreation” 1979),නිරීක්ෂණය කළේ යටත් විජිත සමයේ සිට වතුකෘෂිකර්මාන්තයට සේවා සැපයීම, සන්නිවේදන කටයුතු සහ වෙළෙඳාම මත පළමු වතාවට දැකිය හැකි සුළු ධනේශ්වර කොටසක් කන්ද උඩරට පළාත් වල දකින්නට ලැබුණු බවයි. ඔවුහු දහනම වැනි සියවසේදී එක්කෝ මුහුදු බඩ පළාත්වලින් පැමිණි සිංහළ වික්‍රමිකයෝ නැතහොත් මුස්ලිම් වැසියෝ වූහ.ඔවුහු කුඹුරු ඉඩම් කැබැළි හෝ ගෙවතු මිළ දී ගනිමින් ගම් තුළ ඉඩම් වෙළෙඳපොළට ඇතුළු වූ අතර ඔවුහු වාණිජ සමපේක්ෂණයෙහි ලා සම්බන්ධ ව සිටියහ.
මෙලෙස සුළු වාණිජමය ක්‍රියාකාරකම්වල නිරතවෙමින්,ගමේ ඉඩම් වෙළෙඳපොළ තුළ ක්‍රියාකාරීව,වාණිජ සමපේක්ෂණයෙහි නිරතව සිටි,සිංහල සුළු ධනේශ්වර පංති කොටස් වැළඳගත් බුද්ධිවාදී බුදුදහමෙහි සම්ප්‍රදායෙහි හැදුණු වැඩුණු ඔවුන් ගේ දූදරුවන් නිර්බාධී ආර්ථිකය අභිමුඛවීම තුළ ඔවුන් මුල් සිඳුණු නන්නත්තාර පංතිකොටස් බවට විකාශනය වීමේ අවකාශයක් බිහිවුණි.
නන්නත්තාර පංති කොටස් වලින් ආ සාමාජිකයෝ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිත්වය යටතේ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිත්වය යටතේ පැවැති රජයන් ගේ සමය තුළ පළාත්පාලන මට්මේ සිට ජාතික මට්ටම දක්වා වැඩි වැඩියෙන් ඉහළට නැඟෙමින් එන්න එන්නම දේශපාලන බලයේ කොටස් කරුවන් බවට ද පත්වූහ.
මෙම පංති කොටස් අතරින් වර්ධනය වූ පාදඩ ධනේශ්වර පංති කොටස් ද 2005න් පසු රාජ්‍ය බලයේ ප්‍රධාන කොටස් කරුවන් බවට පත්වීම රාජ්‍ය දේපළ සහ සම්පත් අවභාවිතය සහ දූෂණය ජාතික මට්ටමේත් එහි සිට පළාත් පාලන මට්ටම දක්වාත් ව්‍යාප්තවීමටත් දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය පැතිරීමටත් හේතුවූ ප්‍රධාන සාධකයක් යැයි සිතමි.ඔවුන් අත සිංහළ බෞද්ධ ජාතිකවාදය බලය සඳහා වන හුදු මෙවළමක් වන හෙයින් ඉතා පහසුවෙන් ජාතිවාදය බවටත් ප්‍රචණ්ඩත්වයටත් හැරවිය හැකිය. (මෙහි පාදඩ යන්නෙන් ඔවුන් ගේ මුල් ඉදිරුණු සහ අල්ලසට නැඹුරුවූ, දූෂිත ස්වරූපය යි.)විධායක ජනාධිපති බවට මහින්ද රාජපක්‍ෂ පත්වීම සමගින් ලංකාවේ සමාජයේ අධිපති තලයට නැඟණු නව පාදඩ ධනේශ්වර කොටස් රාජපක්ෂ රෙජිමයේ දේශපාලන බලයෙන් ලාංකේය සමාජය තම ග්‍රහණයට නතු කර ගත්හ.රාජපක්ෂ රෙජිමයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට මෙරට ජනයා බහුතරයක් පෙළඹවූ ප්‍රධාන හේතුවක් වූයේ මෙම පිරිස් ජනයාට නිදහස සහ ප්‍රජාතන්ත්‍රීය හිමිකම් අහිමි කරමින් රාජ්‍ය බලය අවභාවිතයට යොමු වීම යැයි සිතමි.
ජාතිවාදී කළ කෝළාහලවලදීත් මෙන්ම දේශපාලනයේදීත් (උදා:මෑතකාලීන මුස්ලිම් විරෝධී කෝළාහළ වලදී මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු සමයේදීත්) ජනයා මත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට නන්නත්තාර පංති කොටස් විවිධ දේශපාලන බලවේග විසින් යොදා ගනු ලැබීම,පසුගිය කාලය තුළ දකින්නට ලැබුණි.ඉදිරියේදී සිංහල බෞද්ධ ජාතිකවාදය පදනම් කොට ගෙන ලාංකේය දේශපාලනයේ යළිත් මතු වීමට ඉඩ ඇති අධිකාරවාදී තත්වයන් යටතේ දේශපාලන බලවේග තම පසමිතුරන් මර්ධනයට බල සේනා වශයෙන් මෙම පාදඩ පංති කොටස් යොදා ගැනීමේ බලවත් අනතුරක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
නමුත්,මේ අතරම සිංහල බෞද්ධ සුළු ධනේශ්වරය සහ නන්නත්තාර පංති කොටස් ලාංකේය සමාජය මත බල පවත්නා අධිපතිභාවයේ නිශේධනාත්මක ඵලවිපාක කිසියම් දුරකට සමනය කිරීමට දායක වීමට ඉඩ ඇති නැඹුරුවක්ද සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන පිළෙන්ම මතු වනු අද දක්නට ලැබෙයි.
සිංහල සුළු ධනේශ්වරයෙහි ඉහළ ස්ථරයන් අද වන විට සංක්‍රමණීය අවධියකට එළඹ ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය.රාජපක්ෂ රෙජිමය යුද්ධයෙන් පසු එළඹි “සංවර්ධන” සමයේදී ආර්ථික ඵල ප්‍රයෝජනය සඳහා ගෝලීය මූල්‍ය ධනවාදය සහ එහි දේශීය ඒජන්තයන් සමග ද ගැට ගැසුණු මොවුන්,උග්‍ර සිංහල බෞද්ධ ජාතිකවාදී ස්ථාවරයන්ගෙන් දුරස්ථවීමේ නැඹුරුවක් වත්මනෙහි පවතින අයුරු ඔවුන්ගේ දේශපාලන නායකත්වයේ කොටස් වලින් ප්‍රකාශ වන බව දැනටමත් විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත.ඔවුන්,ඉදිරියේදී රාජ්‍ය කේන්ද්‍රීය,ධනේශ්වර ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා දේශපාලන බලය යළිත් තමන් අතට ගැනීමට යොමුවිමේ ඉඩකඩ පවතියි.
නමුත්,රාජ්‍ය කේන්ද්‍රීය ධනේශ්වර ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳ අදහස නවලිබරල්වාදයට විකල්පයක් ලෙස ඉදිරිපත් කෙරෙන විට,ඉන් මතුවන ගැටලුවක් වන්නේ ‘එවැන්නක් සැබැවින්ම නවලිබරල්වාදයෙන් මිදුණු ව්‍යාපාතියක් විය හැකිද?’ යන්නයි.
මෙම අදහස් දැක්වීමෙහි ඉදිරි කොටසින් මා උත්සාහ කරන්නේ නවලිබරල්වාදය පිළිබඳ ලාංකේය සමාජයෙහි පවත්නා වත්මන් කතිකාවෙහි නිම් වළලු පුළුල් කිරීමට සමත් වනු ඇතැයි මා විශ්වාස කරන ජාත්‍යන්තර කතිකාවෙහි එන අදහස් සමූහයකට ප්‍රවිශ්ඨ වීමට ආරම්භටක් ගැනීමට ය.
නවලිබරල්වාදය වූ කලී හුදෙක් වෙළෙඳපොළ ආර්ථිකයේ ප්‍රමුඛතාව ගැනීම පිළිබඳ කරුණක් පමණක් නොවන බව දැන් කලක් තිස්සේ න්‍යායධාරීන් විසින් අවධාරණය කරමින් සිටිනු ලැබ ඇත. උදහරණයක් ලෙස නවලිබරල්වාදය පිළිබඳ ප්‍රමුඛතම න්‍යායධාරියා ලෙසින් පතළ ඩේවිඩ් හාර්වි ( A Brief History of Neoliberalism 2005) නම් කෘතියෙහි, නවලිබරල්වාදය, වෙළෙඳපොළ හුදෙක් ජීවිතයේ පවත්නා කරුණක් ලෙස නොව ජීවන ආකාරයක් ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකාරික වගකීමක් රජයට ආරෝපණය කරන බව තර්ක කොට ඇත. ඔහු තර්ක කරන පරිදි, වෙළෙඳපොළ, ජීවන මාර්ගයක් ලෙස එයටම අයත් විස්තීර්ණ වටිනාකම් පද්ධතියකින් සම්පූර්ණ වූ එකකි. පුද්ගලවාදය, තරඟකාරීත්වය, සියලු ගිවිසුම්කාර නොවන (non-contractual) මානව සබඳතා මතින් ගිවිසුම්කාර (contractual) සබඳතාවල ප්‍රමුඛතාව, වේගය, නවෝත්පාදනය, අන්තර්සබඳතා ඇතිබව, සහ සම්ප්‍රධායෙන් පැනවුණු යදම් ඉවත හෙළීම එහි අත්‍යවශ්‍ය අංග වෙයි.( Peter C Grosvener, The Humanist.com, 2015)
මෙම පොදු අදහස් සංවර්ධනය කරමින්, පෝල් වර්හාග, සහ වෙන්ඩි බ්‍රවුන් ඉදිරිපත් කර ඇති අදහස් ඉදිරි කොටස් වලින් වෙන වෙනම ඉදිරිපත් කරන්නෙමි.
මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග
II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග
බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය.
වත්මන් සිතීමට අනුව, සාර්ථකවීමට අපොහොසත් වන කවරෙකු අත හෝ යමක් වැරදී තිබෙනවා විය යුතුය. සාධනය කිරීමට සහ සතුටින් සිටීමට ඇති පීඩනය, තමාම පිළිබඳ අගතිගාමී දැක්මක්, දිශානතිහරණයක් (disorientation) , සහ අපේක්ෂාභංගත්වය උදා කරමින් අප මත අධික බරක් පටවයි. ජනයා පෙර කවරදාකටත් වඩා හුදෙකලා බවින් පෙළෙයි. ප්‍රේමය සොයා ගැනීම එන්න එන්නම උගහටය. අපි අර්ථවත් ජීවිත ගතකිරීමට අරගල කරමින් සිටින්නෙමු.
‘මෙම මානසික අර්බුදයට මඟ පෑදුවේ කෙසේද?’ යන්න සහ ‘අප අප පිළිබඳවම සිතන ආකාරය වෙනස් කොට ඇත්තේ කෙසේද?’ යන්න විමර්ශණය කිරීමේදී වර්හාග ගේ අවධානය සමාජ විපර්යාසය කෙරෙහි යොමුවීය. අනන්‍යතාව සහ සමාජ-ආර්ථික ක්‍රමය අතර ඇති සම්බන්ධතාවන් ගවේෂණය කරන ඔහු ආර්ථික වෙනස්කම් අපේ සාරධර්ම මත පමණක් නොව අපේ පෞරුෂයන් මත පවා ගැඹුරු බලපෑමක් කරන බව නිරීක්ෂණය කරයි. නවලිබරල්වාදයේ, නිර්බාධිත වෙළෙඳ පොළ බලවේගවල , පෞද්ගලීකරණයේ අවුරුදු 30 ක ඵල සහ අපේ ඉංජිනේරුකරණයට ලක් කළ සමාජය සහ පුද්ගල අනන්‍යතාව අතර සම්බන්ධය විමසුමට ලක් කළ ඔහු, වත්මනෙහි අපගේ සාමුහික සහ පුද්ගල මානසික යහ පැවැත්ම කෙරෙහි බලපාන සාරධර්ම පද්ධතිය නවලිබරල්වාදය බවත් එම කුසලතාතන්ත්‍රමය (meritocratic) නවලිබරල්වාදය සමහර පෞරුෂ ගති ලක්ෂණ වලට උපකාර කරන අතර වෙනත් ඒවා ට දඬුවම් පමුණුවන බවත් නිගමනය කරයි.
“ සමහරක් අයට පැහැදිළි වාසි සහතික කරන “කුසලතා තන්ත්‍රය”ක ඔබ ජීවත්වන විට, ඔබ අනවරතයෙන්ම ඇගයුමට ලක්කරනු ලබන විට සහ ඔබ ප්‍රමාණවත් තරම් උත්සාහ නොකරන්නේ යැයි ඔබට කියනු ලබන විට, ඔබේ නිර්මාණශීලීත්වය සහ ලාලසාමය (passionate) ශ්‍රමය සැණෙකින් සංඛ්‍යානමය ලෙසින් ප්‍රකාශ කොට වෙළෙඳපොළ වටිනාකම සඳහා තක්සේරු කරනු ලබන විට, දුර්මුඛ සහ බියෙන් තැතිගත් බව නොහැඟී සිටීමට ඔබට හැක්කේ කෙසේද? ඔබට රෝගයක් ඇතැයි රෝග විනිශ්චයට ලක්කරනු ලැබීම, අපේක්ෂිත මට්ටමට නැඟීමට ඔබට නොහැකියාවට නිදහසට කරුණු දැක්වීම කරනු පිණිස එය ඔබේ අනන්‍යතාවට ඇතුළත් කරගැනීම, සහනයක් සේ පවා ඔබට හැඟෙන්නට ඉඩ තිබිය හැකිය. “ජයග්‍රාහකයන්” සඳහා වෙන්කොට ඇති ඉතා සීමිත ඉඩ සංඛ්‍යාව පුරවාලීමට ඇති විකල්ප අල්ප ව සහ ඒ සඳහා එතරම්ම පීඩනයක් තිබියදී, අසාර්ථක වනවාට වඩා ස්නායුවේදීව නිර්ණය කෙරුණු ආසාදනයක් ඇතිවීම බොහෝවිට වඩා හොඳ යැයි දැනෙයි. නවලිබරල්වාදී තර්කණය පැතිරී ඇති ස්වභාවය ඔබ රෝගී තත්වයට පත් කොට ඇති හෙයින්, වරදකාරීත්වය පිළිබඳ හැඟීමෙන් ආවරණයක් ලෙස මනෝචිකිත්සාමය අපර්යායක් (disorder) යොදාගැනීම හොර ලෙඩ ගැනීමක් නොවේ. “
මේ, නවලිබරල්වාදය සහ මානසික රෝග ව්‍යාප්තිය පිළිබඳ වර්හාග ගේ විග්‍රහය එක් විචාරකයෙකු ( Anna Fishzon, New Books Network ) සාරාංශ කළ අයුරු යි.2
වර්හාග ගේ අධ්‍යයනය ගෝලීය උතුරේ රටවල ජනයාගේ අත් දැකීම් පදනම් කොට ගනියි. එනමුදු ඔහු සාකච්ඡා කරන සමාජ-ආර්ථික-සංස්කෘතික තත්වයන් ගෝලීය නවලිබරල්වාදයේ ව්‍යාප්තිය සමගින් එහි අධිපතිභාවයට අඩු වැඩි වශයෙන් යටත් වන ලංකාව වැනි රටවලද එන්න එන්නම අත් දැකිය හැකි වනු ඇත. මා ඔහුගේ අදහස් මෙහිලා ඉදිරිපත් කරන හේතුව එය යි. මා මගේ කරුණු දැක්වීමේදී වර්හාග අනන්‍යාතව පිළිබඳත්, මානසික රෝග පිළිබඳත් කරන විග්‍රහය පිළිබඳ කරුණු දැක්වීමට අදහස් නොකරමි. මා පහත කොටසින් ඉදිරිපත් කරන්නේ වර්හාග What About Me? කෘතියෙහි නවලිබරල්වාදය පිළිබඳ ගොඩ නඟන මූලික ප්‍රවාදයට අදාළ තෝරාගත් ඔහුගේ ප්‍රධාන අදහස් ය.
ආර්ථික විග්‍රහය
ආර්ථික විද්‍යාවට අනුව සළකන්නේ නම්, නවලිබරල්වාදය, නියාමනය ඉවත් කිරීම, පෞද්ගලීකරණය, වෙළෙඳපොළකරණය, සහ ගෝලීයකරණය පිළිබඳ රැඩිකල් වැඩ සටහන් ප්‍රවර්ධනය කරයි. සම්භාව්‍ය ලිබරල්වාදය, රජය පෞද්ගලික ජීවිතයට මැදිහත් වීම සීමා කරමින්, රාජ්‍යය සහ සමාජය අතර දැඩි බෙදීමක් අපේක්ෂා කරයි. නවලිබරල්වාදය, නිදහස් යැයි සිතාගන්නා වෙළෙඳ පොළට රාජ්‍යය යටත් කිරීම අපේක්ෂා කරයි.
මානවීයභාවය පිළිබඳ නවලිබරල් දැක්ම පහත පරිදිය. මානවයෝ වූ කලී තම ලාභය කෙරෙහි නාභිගත වූ තරඟකාරී සත්වයෝ වෙති. තරඟය, හැම කෙනෙකුම ඉහළටම නැඟිමට උපරිම උත්සාහ දැරීම අවශ්‍ය කරන හෙයින් මෙයින් සමාජයට සමස්තයක් ලෙස වාසියක් වෙයි. එහි ප්‍රථිඵලයක් ලෙස රාජ්‍යයේ මැදිහත්වීමෙන් නිදහස්ව තනි නිදහස් වෙළෙඳ පොළක් ඇතුළත වඩා හොඳ සහ වඩා ලාභ නිෂ්පාදන සහ වඩා කාර්යක්ෂම සේවා අපට ලැබෙයි. එම තරඟයෙහිදී සාර්ථකත්වය හෝ අසමත්වීම තනිකරම පුද්ගල උත්සාහය මත රඳා පවතින හෙයින් එය ආචාර ධර්මීයව නිවැරදි ය. හැම කෙනෙකුම තම සාර්ථකත්වය හෝ අසමත්වීම ට වග කියයි. අධ්‍යාපනයෙහි වැදගත්කම, අප ජීවත්වන්නේ සුනම්‍ය නිපුණත්වයන් ඇති අතිශයින් පුහුණුව ලද පුද්ගලයන් අවශ්‍ය කෙරෙන වේගයෙන් පරිණාමය වන දැනුම් ආර්ථිකයක හෙයිනි. තනි උසස් අධ්‍යාපන සුදුසුකමක් හොඳ ය, දෙකක් වඩා හොඳ ය. නමුත් තරඟය උග්‍ර හෙයින්, ජීවිතය පුරාම ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය ය. සියල්ල කේන්ද්‍රීය කළමනාකාරිත්ව අධිකාරයක අදිසි හස්තයෙන් මෙහෙයවනු ලැබෙන කාර්ය සාධන (performancee) සම්මුඛ පරීක්ෂණ සහ නිරන්තර ඇගයීම් ( evaluations) සඳහා ඇති වත්මන් අනිවාර්යය පිටුපස ඇත්තේ මෙයයි.
වර්හාග දකින පරිදි, පුද්ගලයන්ට ස්වෝත්සාහයෙන් තම සමාජ-ආර්ථික තත්වය ඉහළ නංවා ගත හැකි වනු ඇතැයි සමාජ සංචලතාව සම්බන්ධයෙන් නවලිබරල්වාදය දුන් පොරොන්දුව ඉටු කිරීමට එය අසමත් වී ඇත. නව ප්‍රභූන් පැණ නැඟී, ක්‍රමය තමන් ගේ ඵල-ප්‍රයෝජනයන් වෙනුවෙන් සකස් කොට ගෙන ඇති හෙයින් සැබවින්ම ගත් කළ සමාජ සංචලතාව පිරිහෙළා ඇත. නිලධාරිතන්ත්‍රය සහ නියාමනය ට එරෙහිව කටයුතු කරන්නේ යැයි කී නමුත් නවලිබරල්වාදය ඒ වෙනුවට ඉලක්ක, විගණන, සහ විමර්ශන පිළිබඳ නව තන්ත්‍රයන් පණවා ඇත. එය පෙරළා කළමනාකරුවන්, විශේෂඥයන්, පරීක්ෂකයන් සහ ඇගයුම්කරුවන් ගෙන් සමන්විත නව නිලධාරිතන්ත්‍රයක් උත්පාදනය කොට ඇත. එය, හුදු ආර්ථික වැඩ පිළිවෙළක් පමණක් නොවේ.
සම්ප්‍රදායිකව පැවති පරිදි ආර්ථිකයන් හැම විටම ආගමික, ආචාර ධර්මීය හෝ සමාජීය ව්‍යුහයන් තුළ ගිලී පැවතුණි. ඒ වෙනුවට, නවලිබරල්වාදය යටතේ එම සියලු පද්ධතීන් ‘වෙළෙඳ පොළ’ ට යටත් ය. එම අරුතින්, නව ලිබරල්වාදය තව දුරටත් ආර්ථික න්‍යායයක් නොවේ එය වඩා පුළුල් මතවාදය කි. අද අපේ සංස්කෘතිය පාලනය කෙරෙන සහ එහි විපාකයක් ලෙස අපේ අනන්‍යතාව සකස් කරන මහා ආඛ්‍යානය නව ලිබරල්වාදය යි.
නවලිබරල්වාදය පිළිබඳ ආර්ථික විග්‍රහයෙන් ඔබ්බට යමින් වර්හාග ගොඩ නඟන තර්කය නම්, නවලිබරල්වාදය ආර්ථිකය, දෛනික ජිවිතය, පාසැල් පද්ධති, විශ්ව විද්‍යාල, විද්‍යාව, සෞඛ්‍ය අංශය, මාධ්‍ය යනාදී සමාජයේ සියලු ක්ෂේත්‍ර ආක්‍රමණය කරන බවයි, එය තම අණසක යටතට පත් කොට ගෙන ඇති බවයි. එය අප අප පිළිබදව සිතන ආකාරය වෙනස් කරන බවයි.
නවලිබරල්වාදය අපගේ යුගයේ අධිපති මතවාදය බවට පත්වී ඇත. සියවස් ගණනාවක් තිස්සේ ආගම සහ මතවාදය ආචාර ධර්මය සහ හවුලේ බෙදා හදා ගන්නා පොදු අරුත් පිළිබඳ හැඟීමක් කෙරෙහි නාභිගත වෙමින්, පොදු අනන්‍යතාවට ප්‍රභවයක් සැපයීය. නවලිබරල්වාදය සාරධර්ම පිළිබඳ විප්ලවයක් උදාකර ඇත. එය, අපගේ පුද්ගල අනන්‍යතා, පෞරුෂයන් මත ගැඹුරින් හානිකර වෙනස්කම් ඇති කොට තිබේ. ඒ එකම වර සමාජය දුර්වල කොට තිබේ. එය, ප්‍රජාව අමතක කරමින් පුද්ගලයා කෙරෙහි ආශක්ත වෙයි. ආදරය සහ ආගන්තුක සත්කාරය කෙරෙහි මානවයා තුළ ඇති මූලික තෘෂ්ණාව නොසළකා හරියි.
අහංවාදය (egotism), තරඟකාරීත්වය, සහ ආක්‍රමණශීලීභාවය සහජ මානව ලාක්ෂණිකයන් වන්නා සේම පරාර්ථකාමීත්වය, සමූපකාරය, සහ සහයෝගීතාව (solidarity) ද එපරිද්දෙන්ම සහජ වන්නේ යැයි අග්‍රේෂයන් පිළිබඳ ඕලන්ද විශේෂඥ ෆ්‍රන්ස් ඩි වාල් ගේ අධ්‍යයන ( The Age of Empathy , 2009) ඇසුරෙන් වර්හාග පවසයි. අප තුළ කුමන ලාක්ෂණිකයන් අධිපති වන්නේද යන්න තීරණය කරන්නේ පරිසරය යි.
සම්ප්‍රදායික ප්‍රතිමාන සහ සාරධර්ම ඉවත හෙලීම පරිපූර්ණ නිදහස නොව වියවුල සහ බිය ඇති කරයි. නවලිබරල්වාදී මිනිසාගේ වඩාත් කැපී පෙනෙන ලාක්ෂණිකය නම් විෂාදිමයව (depressively) ණය මත සංතෘෂ්ඨිය-සොයායෑම යි.
කුසලතා තන්ත්‍රය (meritocracy) – ‘එන්රොන් සමාජය’ (Enron Society)
ආර්ථික මිනිසා පිළිබඳ සංකල්පයේ නව ලිබරල් පිටපත ට අනුව ආර්ථික මිනිසාට මඟ පෙන්වන නිර්ණායක දෙකකි. එකක් නම්, සාර්ථකත්වය යි. ඒ අනුව වෘත්තීයමය දියුණුව සහ ද්‍රව්‍යමය සෞභාග්‍යය පුද්ගල හෝ සමාජීය වලංගු භාවයේ එකම ප්‍රභවයන් වෙති. දෙවැන්න, සාධනයන් හෝ ඒවා නොමැතිවීම සහමුලින්ම පුද්ගල දක්ෂතාවට ආරෝපණය කළ හැකියැයි දක්වන, කුසලතා තන්ත්‍රය පිළිබඳ සංකල්පය යි. ඒ අනුව, සාර්ථකත්වය සහ අසාර්ථකත්වය දෙකම හැමවිටමත් පුද්ගලයා උපයා ගන්නා දේය.
‘ අපි නව සමාජීය ආකෘතියක ඵල විපාක අපි අත් දකිමින් සිටින්නෙමු. එය වෙනස් ප්‍රතිමාණ සහ සාරධර්ම රැගත් නව අනන්‍යතාවක් බිහි කොට ඇතැ’යි පවසන වර්හාග එය කුප්‍රකට ඇමෙරිකානු සමාගමක නමින් “එන්රොන් සමාජය” යනුවෙන් නම් කරයි.
නවලිබරල්වාදය විලිවසා ගන්නේ කුසලතා තන්ත්‍රය පිළිබඳ අදහසට ආවරණය වෙමිනි. මහජන “ඵලප්‍රයෝජන” සහ “සමාජ සේවය” වෙනුවට ලාභ අරමුණ ආදේශ කළ ‘එන්රොන් සමාජය’ එහි ආදර්ශය යි. මෙම සමාජය තුළ ජයග්‍රාහකයන් සිටිය හැක්කේ (පූර්වයෙහි තීරණය කළ ප්‍රතිශතයකට අනුව) තීරණය කෙරෙන ස්වල්ප දෙනෙකි. තම අසාර්ථකත්වය හේතුවෙන් වරදකරුවන් ලෙස සැළකෙන අන් අය අය නිග්‍රහයට ලක් කෙරෙයි.
අමෙරිකානු බහුජාතික සමාගමක් වූ එන්රොන් සමාගම පසුගිය සියවසෙහි අවසානයේදී, ඉදිරිපත් කළ එළඹුමෙහිදී, එය ‘ශ්‍රේණිගත කිරීම සහ ඇදීමේ ඇගයුම් ක්‍රමය’ (‘‘Rank and Yank appraisal system’) යනුවෙන් නම් කෙරෙමින්, ඉහළම නිෂ්පාදන සංඛ්‍යා ඇති සේවකයාට සියලු පාරිතෝෂක ලැබෙන අතර අඩුම සංඛ්‍යා ඇති සේවකයා සේවයෙන් පහකිරීමට කටයුතු කළේය. පුද්ගල කාර්යසාධනයන් නිරතුරුව සුපරීක්ෂාවට සහ ඇගයුමට සහ සංසන්දනයට ලක් කෙරුණි. එහි ප්‍රථිඵල මත හැම වසරකම එහි සේවකයන්ගෙන් පහෙන් එකක් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමෙන් අනතුරුව සේවයෙන් පහ කරන ලදී. මෙහි ප්‍රථිඵලයක් ලෙස වැඩි කල් නොයා සියලු දෙනම පාහේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර ව්‍යාප්ත වූ වංචාවන් ගේ ප්‍රථිඵලයක් ලෙස සමාගම නඩු විභාගයකටද බංකොළොත් වීමට ද යොමු වීය.
නමුත්, එන්රොන් ආකෘතිය අදත් පුළුල්ව භාවිතයට ගැනෙයි. බහුජාතික සමාගම්වල මානව සම්පත් කළමනාකරණයේදී 20/ 70/ 10 (ඉහළ පලදාවක් ගෙනෙන සියයට 20/ ප්‍රමාණවත් මට්ටමක ඇති සියයට 70/ අසමත් සියයට 10) රීතිය අනුගමනය කිරීම අපේක්ෂා කෙරෙයි. සමාගම ප්‍රමාණවත් ලාභයක් සහ වර්ධනයක් අත්පත් කරගත්තද මෙම පහළම සියයට 10ට අයත් වන්නන් සේවයෙන් පහ කෙරෙයි.
මෙය සාධාරණීකරණය කිරීමෙහි ලා ස්පෙන්සර් ගේ “වඩාත්ම ගැළපෙන්නා රඳාපැවතීම” පිළිබඳ ප්‍රවාදය සහ ඩෝකින්ස් ගේ “ආත්මාර්ථකාමී ජානය” පිළිබඳ සංකල්පය යොදා ගැනෙයි. පරිණාමය, “ප්‍රගතිය” යනුවෙන් අර්ථගන්වමින් ‘සමාජ වෙනස නිවැරදි මාර්ගයක මෙහෙයවිය හැකිය’ යන්න සමාජ පරිණාමවාදයේ අරමුණ වීය. ඩාර්වින් පරිණාමවාදයේදී පරිසරයට වඩාත්ම හොඳින් අනුගත වීම පිළිබඳ අදහස යෙදුවේ ඓන්ද්‍රීය ජීවය සම්බන්ධයෙනි. හර්බට් ස්පෙන්සර් මානව සමාජය සම්බන්ධයෙන් එය යොදා ගනිමින් ‘වඩාත්ම උචිත සත්වයාගේ උන්නතිය’ යනුවෙන් වෙනස් කිරීම සමාජ පරිණාමවාදය යනුවෙන් හඳුන්වනු ලැබිණි. එය පිළිපදින්නෝ උචිතෝන්නතිය පිළිබඳ එම අදහස අරුත් ගැන්වූයේ සමාජයද ස්වභාවිකව පරිණාමය වන ඓන්ද්‍රීය ජීවියෙකු ලෙස සළකමිනි. ඒ අනුව, වඩාත්ම සාර්ථක නැතහොත් ශක්තිමත් සමාජ පංතීන් සහ සමූහ සියළු සම්පත්වලට හිමිකම් කියති, එසේ කළ නොහැකි දුර්වලයෝ මිය යති, මෙය ස්වභාවික ක්‍රියාවලියකි. තවද, සමාජ අපයෝජනයන් සමාජ-ආර්ථික ප්‍රපංච නොව ව්‍යාධීන් ය, ඒවායේ වාහකයන් වනසාදැමිය යුතුය. රිචඩ් ඩෝකින්ස් ගේ The Selfish Gene (1976) පළවීම, අන් අය පසෙකට තල්ලු කොට පුද්ගලයා කරන තරඟය ට ජාන පිළිබඳ න්‍යායකින් විද්‍යාත්මක සාධාරණත්වයක් ලබා දීමට ඉඩ සැළසීය. සමාජය සහ ආචාර ධර්මය ඉංජිනේරුකරණයට ලක් කළ හැකි යැයි ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය අභ්‍යුපගමනය කළේය. නව ලිබරල්වාදය සමාජ පරිණාමවාදයේ නවතම විපර්යාසය යි. ‘වෙළෙඳපොළ බලවේග ස්වභාවධර්මය මෙනි’ යැයි ඉන් අර්ථ කථනය කෙරෙයි.
කුසලතා තන්ත්‍රය එය විසින්ම ගත් කළ නරක අදහසක් නොවේ, නමුත්, හානිකර වන්නේ, එය නවලිබරල්වාදය යටතේ යොදා ගැනෙන ආකාරයයි. එහි වාසිය ස්වල්ප දෙනෙකුට පමණි, එය අමතක කරන දෙය නම් ජනයා හැමකෙනෙක්ම එකම මට්ටමකින් ආරම්භ නොකරනවා පමණක් නොව ඔවුන්ට එක හා සමාන අවස්ථාද නොලැබෙන බවයි. දක්ෂයා කවුරුන්ද යන්න තීරණය කෙරෙන්නේ වැරදි ආකාරයට වන අතර එම ක්‍රියාවලිය නිශේධනාත්මක ඵලවිපාක ගෙනදෙයි. අධි-නියාමනය (over regulation) සහ පාලන ක්‍රමය, එක්ව ගත් කළ, වඩා අඩු ඵලදායීතාවට සහ වඩා අඩු නිර්මාණශීලීත්වට මඟ පාදයි. අත්‍යන්තමය අභිප්‍රේරණය විනාශ කිරීමට හේතුවෙයි. වැඩ කරනවාට වඩා තමන්ගේ ප්‍රථිඵල ඔප්පු කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සේවකයනට සිදුවෙයි. එහෙයින් වැඩ වල ගුණය තවත් අඩු වෙයි.
මෙම නව ප්‍රෘථුළ සාරධර්ම පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයන් නම් තරඟකාරීත්වය, ගිවිසුම් මත පදනම් නොවන සියලු මානව සබඳතා පරයා ගිවිසුම් මත පදනම් වන සබඳතාවලට මූලිකත්වය දීම, වේගය, නවෝත්පාදනය, අන්තර්සබඳතාමයභාවය, සහ සම්ප්‍රදාය විසින් පනවනු ලැබූ යදම් ඉවත හෙළීම වෙයි.
සදාචාර ප්‍රතිමානය යළිත් වරක් පුද්ගලයාගෙන් භාහිරව පවතියි, අපට අභ්‍යන්තරීකරණය කළ අධිකාරයක් අහිමිය. වැඩිහිටියන්ටත් රීති පිළිපැදීමට ද්‍රව්‍යමය ත්‍යාග පිරිනැමීමෙන් දිරිගැන්වීමට සිදුවෙයි. එහෙයින් සංවිධාන ප්‍රවීක්ෂණය (sureveillance), නිතර කෙරෙන ඇගයීම් කළ යුතු වෙයි, ඉක්මණින් ඒවා, පාලනය කිරීම් හා සමාන බවට පත්වෙයි.
ස්වාධිපත්‍යය සහ පුද්ගල පාලනය අතුරුදහන් වෙයි. එහි තැන සංඛ්‍යානමය ඇගයීම, කාර්යසාධනය පිළිබද සම්මුඛ පරීක්ෂණ, සහ විගණනය කිරීම් විසින් ගනු ලැබෙයි. තමන්ගේ වැඩ පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිය අහිමි කරනු ලැබු සේවකයෝ වැඩ කිරීම කෙරෙහි ඇති කැපවීම අඩු කරති. වැඩ පිළිබඳ ඔවුන් තුළ ඇති වගකීම හීන වෙයි.
නවලිබරල් කුසලතා තන්ත්‍රය යටතේ නින්දාවට ලක්වීම සහ බලාපොරොත්තු රහිත වීම පිළිබඳ හැඟිමක් සම්පූර්ණ අපේක්ෂා භංගත්වයට, ආක්‍රමණශීලීත්වය වැඩිවීමට, ආත්මවිශ්වාසය හීනවීමට, බිය වැඩිවීමට, ප්‍රජා ජීවිතයෙහි ලා අඩු සහභාගීත්වයට මඟ පෑදිය හැකිය, පළිගැනීම සහ ප්‍රචණ්ඩත්වය බිහිවෙයි.
නවලිබරල් සමාජයන්හි මංමුලා වූ පුරවැසියෝ තෘප්තිකරභාවය ලබාදෙන සහ කල්පවත්නා අනන්‍යතා – සාංකා සහගත, ප්‍රතිගාමී, ජාතිකවාදී හෝ මූලධර්මවාදී අදහස් හෝ ව්‍යාපාර සොයා යන්නට ඉඩ තිබේ. වඩා පොදුවේ, ඔවුන් පාරිභෝජනවාදයෙහි සතුට සොයා යති. ඒ වෙනුවට, එහි ප්‍රථිඵලය වන්නේ “විශාදිමය සුඛපරමවාදය” ( depressive hedonia ) යි.
නවලිබරල්වාදයේ ආධිපත්‍යය අධ්‍යාපනික ප්‍රභාෂාවෙන් පැහැදිළි වෙයි. එහි ලා ආර්ථිකවිද්‍යා පද අධ්‍යාපනයට සහ මානව සබඳතා වලට යොදාගැනෙයි. ඒ අනුව, දැනුම මානව ප්‍රාග්ධනය වෙයි, යෝග්‍යතාවන් ( competencies) යනු තරුණ ජනයා පවත්වාගෙන යා යුතු සහ වර්ධනය කළ යුතු ප්‍රාග්ධනයකි, ඉගෙනගැනීම දිගුකාලීන ආයෝජනයකි.
නව අධ්‍යාපනික න්‍යායයන්, අද වන විට දෙමව්පියන්ගේ බලපෑම අල්ප මට්ටමට හැකිලී තිබීම පිළිබඳ අවධානය යොමු කරන්නේද? කලෙක, ප්‍රතිමාන සහ සාරධර්ම, වැඩිමනත්ම මධ්‍යයනය කරනු ලැබූවේ දෙමව්පියන් විසින් වූ නමුදු අද එහි ලා වඩා විශාල භූමිකාවක් ඉටු කරන්නේ මාධ්‍ය යි. අධ්‍යාපනය සහ පරිණතභාවයට පත්වීම පිළිබඳ ක්‍රියාවලියක් ලෙස අරමුණු කෙරුණු සම්ප්‍රදායික අධ්‍යාපනයෙහිදී ( Bildung ) ප්‍රශස්තව සරු සංස්කෘතියක්, භව්‍යව අනන්‍යතාකරණය ලැබීමේ සරු වර්ණ තැටියක් සහතික කරයි.
වර්හාග නවලිබරල් කුසලතා තන්ත්‍රය ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබඳ උදාහරණ මනෝ වෛද්‍ය පර්යේෂන ක්ෂේත්‍රය/ විශ්ව විද්‍යාලය යනාදියෙන් ගෙන හැර දක්වයි.
පර්යේෂන ක්ෂේත්‍රය/ විශ්ව විද්‍යාලය
අධ්‍යාපනයේ සහ පර්යේෂණවල කාර්යක්ෂමභාවය මිණිය හැකි විය යුතු යැයි වත්මනෙහි කියැවෙයි. වර්හාග දකින පරිදි, කාර්ය සාධනයට වැටුප් ගෙවීමේ ( pay-for-performance ) වත්මන් මානසිකකත්වය පාසැල්, විශ්ව විද්‍යාල සහ රෝහල් වැනි ආයතන ව්‍යාපාර බවට හරවමින් පවතියි. අලුත් මෝස්තර කථා – අධ්‍යාපනික කාර්යසාධනය (educational performance), නිමැවුම (output) ශ්‍රේණිගත කිරීම (ranking ) මිණුම් ලකුනු (bench- marks) එය මැනිය හැකි යැයි හැඟීමක් ඇති කරන නමුදු බුද්ධිමය කටයුතු මැනීම පහසු නොවේ. මෙලෙස ශාස්ත්‍රාලීය සහ සායනික (පර්යේෂණ) ස්වාධීනත්වය අත්හැරීම අධීක්ෂණය ඉහළ නැංවීමක් සමග එක්ව යයි.
විශ්ව විද්‍යාල – ඉහළම විශ්ව විද්‍යාල, ඉහළම ගුරුවරු යනාදී වශයෙන්, එකිනෙකා සමග තරඟ කරති. පුද්ගලයන්ට පවා තමන් තනි පුද්ගල ව්‍යවසායයන් ලෙස සිතන්නට සළස්වනු ලැබ ඇත.
උසස් අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණයට එහි දායකත්වය හැරුණු විට, වැඩිමනත්ම එහි සමාජීය අදාළත්වය සළකා අගය කෙරුණේ එතරම් ඈතක නොවේ. එහි අරමුණ වූයේ විචාරශීලී, සමාජයට සේවය කරනු වස් තම දක්ෂතා යෙදවිය හැකි බෙහෙවින් උගත් පුරවැසියන් බිහිකිරීමයි. නමුත් මේ දිනවල සමාජයට සේවය කිරීම යල්පැන ගිය අදහසක් ලෙස සැළකෙයි. විශ්ව විද්‍යාල, දැනුම් වෙළෙඳ ව්‍යාපාර ලෙස යළි-නිමැවුම් කොට තිබේ. ඒවායේ කටයුත්ත ව්‍යාපාර අංශයට සෘජුව ධාරාගත වීමට ඔවුනට ඉඩ සළසන නිපුණත්වයන්ගෙන් ශිෂ්‍යයන් සජ්ත කිරීම යි.
වත්මනෙහි සරසවි ශාස්ත්‍රාලීය සහ පර්යේෂණ කාර්ය මාංඩලිකයෝ විශේෂයෙන්ම ඔවුන් තරුණ නම්, තම වෘත්තීන් ට තමන්ට කළ හැකි බලපෑම අල්ප යැයි හඟිති. අදිසි පරිපාලනයක සංගීතයට නැටීමට ඔවුන්ට බලකෙරී තිබේ. ඔවුහු මහන්සි වී වැඩ කරති, නමුත් තමන්ගේ රැකියා තෘප්තිකර යැයි නොදකිති. ඔවුහු තව දුරටත් තම සංවිධානය සමග කිසිසේත්ම අනන්‍ය නොවෙති, තවද වැඩ සගයන් අතර සාමූහිකත්වය බොහෝ කොට අතුරුදහන් වී ඇත. මෙයට හේතුව කුසලතා තන්ත්‍රයක් ලෙසින් ඇරඹි නමුත් නවලිබරල් ඇගයීමේ ක්‍රමයක් බවට හැරුනු ක්‍රමයෙහි පරිණාමය යි. මෙහි අවධාරණය සහමුලින්ම ඇත්තේ සංඛ්‍යාත්මක නිෂ්පාදනය කෙරෙහි හෙයිනි, එය නවලිබරල් ලෙසින් හැඳින්වෙන්නේ.
වසර පහළොවක් තුළ, සේවකයන් ගේ ගුණාංග සහ උත්සාහයන් සියුම් වෙනස්කම් සළකා තක්සේරු කරනවා වෙනුවට නිෂ්පාදනය හෝ නිමැවූ ප්‍රමාණය වාච්‍යාර්ථයෙන් මිනීම හෝ ගණනය කිරීම ක්‍රමයෙන් ආදේශ කෙරුණි, මිනීමට අසීරු දේ ඉන් බැහැර කෙරුණි, අධ්‍යාපනය දීම සහ සමාජයට දායකවීම ට බැඳුනු වැදගත්කම වේගයෙන් කඩා වැටුණි. දැන් නාභිගතවීම තනිකරම පාහේ පර්යේෂණ සහ ‘ව්‍යාපෘති’ කෙරෙහි වීය. බෝතල් කර්මාන්ත ශාලාවක මානසිකත්වය පැවැත්මට ආවේය. එහි නිෂ්පාදන ඒකකය වූයේ ශාස්ත්‍රාලීය ප්‍රකාශන යි. මෙම මිනීමෙහි ඉහළ සීමාව නොකඩවාම ඉහළ දැමුණි. ‘ජාත්‍යන්තර’ යන්න ‘ඉංග්‍රීසි’ යන්නට ආරූඪ නාමයක් වීය. (වර්හාග මෙහි ලා සඳහන් කරන්නේ බෙල්ජියානු අත්දැකීම යි.) නාභිගත වීම පොදුවේ ඉංග්‍රීසි ප්‍රකාශනවල සිට A1 යනුවෙන් හැඳින්වෙන් ඉහළම වාරප්‍රකාශන අතලොස්සකට, සහ ඉන් අනතුරුව ‘ග්‍රන්ථනාමාවලීමය-බලපෑම සාධකය’ ( bibliographical-impact factor ) ට සහ ‘සඳහන් කිරීම් සුචින්’ ට (citation indices), මාරුවීය. ශාස්ත්‍රවන්තයෙකු ඉහළම ජාත්‍යන්තර ( එනම්, ඉංග්‍රීසි-සැක්සෝනියානු ) ශ්‍රේණිගත කිරීම් ලබන වාරසංග්‍රහ වල පළ කළ යුතුය. අලුතින් එකතු වූ නිර්ණායකයක් නම් හොඳම යනු, වඩාත් උචිතව පේටන්ට් බලපත්‍රලැබීමේ අග්‍ර පදවි ප්‍රාප්තිය ලබන වඩාත්ම ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීමට සමත්වන්නා හෝ වන්නියයි. අධ්‍යාපනය සහ ආර්ථකය අතර සම්බන්ධය වඩාත් පැහැදිළිව දෘශ්‍යමාන වන්නේ මෙතැනදීය.
මෙම උග්‍ර තරඟය වඩා විශාල පරිමාණයෙන් සිදුවන විට විශ්ව විද්‍යාල පිළිබඳ සියලු ආකාරයේ පුරාණෝක්තිමය ශ්‍රේණිගත කිරීම් ( ෂැංහයි ශ්‍රේණිගත කිරීම් හෝ CHE විශිෂ්ඨත්වය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් ) වලට මඟ පෙන්වයි. මෙය, පරිපාලකයන්ට නිදි නැති රාත්‍රීන් ගතකරන්නට සළස්වමින්, කොටස් වෙළෙඳ පොළේ ගුණය අත්පත් කර ගනියි, කඩදාසි වල සඳහන් වන නිෂ්පාදනය දිගටම ඉහළ නැංවෙයි. පෞද්ගලික අසහනය, ඊර්ෂ්‍යාව, බිය සහ අනථිභීතිකාව පිළිබඳ පරිසරයක් නිර්මාණය කරනු ලැබෙයි, නිර්මාණශීලීත්වය සඵලදායී ලෙස වළක්වා ලනු ලැබෙයි.
විනය පිළිබඳ ෆූකෝල්ඩියානු මතියන් සිහිපත් කරන පරිද්දෙන් වත්මන් ශාස්ත්‍රාලීය ලෝකයේ හැම කෙනෙකුම, සියලු දෙනා විනය ගන්වමින් ඔවුනට හිමි තැන සිටුවාලමින්, ඉහළම ශ්‍රේණියේ වාර සංග්‍රහ නමැති ඔලිම්පස් කන්දේ සිට පහතට බැල්ම හෙළන, ගෝලීය නිර්ණාමික ඇගයුම්කරුගේ වියගසට බැඳෙයි. ජුපිටර් බඳු ඔහුගේ ඇසට බියෙන් කිසිවෙකු විරෝධය නොදක්වයි.
මෙහි ඇති විරුද්ධාභාසය නම් මෙම ගුණ නිරීක්ෂණ-ඇගයුම් ක්‍රමය, ආචාර්ය උපාධි පිළිබඳ වංචා, මහා පරිමාණයෙන් දත්ත ව්‍යාජව ගෙතීම සහ හැසිරවීම වැනි ප්‍රෝඩා ඇති දැඩි කිරීමයි. පැණ නැගෙමින් පවතින වඩා විශාල ගැටළුවක් නම් පර්යේෂණ සොයා ගැනීම්වල අතිමහත් ප්‍රමාණය ව්‍යාජ ඒවා වීමයි. එයත් තනිකරම තරඟය සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා වන පීඩනය හේතුවෙනි.
මෙම ප්‍රවණතාව දිගටම පැවතුනහොත් විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය බහුජාතික සමාගම් සඳහා මහජන අරමුදලින් නඩත්තු කෙරෙන මිල අඩු පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත. තරඟකාරී, සුනම්‍ය යනාදී ලෙසින් සැදුම් ගැනීමෙන්, මෙම ආයතනවල සේවයට බැඳීමට පරමාදර්ශී ලෙස සූදානම් කෙරුණු අපේ උපාධිධාරීන් බිහි කිරීම අතිරේක පාරිතෝෂිකයකි. අනෙක නම් විශ්ව විද්‍යාල හුදෙක් මිලට ගනු ලැබ කොටස් වෙළෙඳ පොළේ නිර්දේශිත සමාගම් බවට පත් කෙරෙනු ඇත. එහි යෙදවුම් (ශිෂ්‍යයන්) සහ නිමැවුම් ( සේවකයන්) වෙළෙඳ පොළේ අනුකම්පාවට යටත් වනු ඇත.
නවලිබරල්වාදය උදා කරන, වේගයෙන් වැඩෙන අසමානතාව අද හුදෙක් සංවිධාන හෝ වෙළෙඳ ව්‍යාපාරවල පමණක් නොවේ, පොදුවේ ගත් කළ සමාජය තුළ විශ්වීය සංසිද්ධියකි. විශ්වවිද්‍යාල තුළ, මිනුම් ක්‍රමයට වඩාත් හොඳින් ගැළපෙන දෙපාර්තමේන්තු, මෝස්තරයක් නොවන තැනට පත් දෙපාර්තමේන්තු යටපත් කොට වැජඹෙනු ඇත.
ඉහත ඉදිරිපත් කළ පෝල් වර්හාග ෙග් විග්‍රහයෙන් අප හමුවේ මතු කෙරෙන ගැටළු සහ කරුණු බොහෝ ය.
සාර්ථකත්වය,සාධනය,සතුට යනු කුමක් ද?අප ඒවා නිර්ණය කරන්නේ කුමන පදනමක් මතද?ජීවිතයේ වැදගත් දේ සාර්ථකත්වය,සාධනය,සතුට ලුහුබැඳ යාමද?හැම කෙනෙකුටම තරඟයෙන් ඉහළටම නැඟ ගත හැකි වේද? දෙන ලද සමාජ සම්මතයන් මත සාර්ථකත්වය,සාධනය,සතුට අහිමි යැයි පිළිගැනෙන මිනිසුන් නිග්‍රහයට ලක් කොට සමාජයෙන් පිටමං කිරීම කෙතෙක් දුරට සාධාරණ ද?පුද්ගලයකු තමන්ගේ වරණයෙන් පරිභාහිරව,කල්තබාම තම ජීවිතය ස්ථාන ගත වී ඇති,සමාජයේ අත්විඳින සියලු අසමානතාවන් තිබියදී,පුද්ගල උත්සාහයෙන්ම ඒවා ජයගෙන ඉහළටම යි හැකි යැයි අභ්‍යුපගමය කිරීම කොතරම් නිවැරදි ද?වඩා වැදගත් වන්නේ ‘අප මානවයන් ෙලස සාමුහිකව ජීවත් විය යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳ කුසලාකුසල විනිශ්චයන් පදනම් කොට ගත් සාකච්ඡාවක් අප අතරම ඇති කර ගැනීම සහ ඒ අනුව සාමුහිකව ක්‍රියාකිරීම නොවේද?
ඉහත සංදර්භය පසුබිමෙහි මානව සමාජය තුළ රාජ්‍යයේ භුමිකාව කුමක් විය යුතුද?එය හුදෙක් රාජ්‍යය සහ වෙළෙඳපොළ අතර සබඳතාව පිළිබඳ කරුණකට පමණක් සීමා විය යුතුද?වෙළෙඳපොළ සහ ආර්ථිකය මානව ජීවිතයේ අධිපති ආචාරධර්මය බවට පත්වීම මානවයන්ගේ ජීවිත මත ඇතිකරන ඵලවිපාක පිළිබඳ කටයුතු කිරීමට එයට භූමිකාවක් නොමැති ද?
මානවයා සහජයෙන්ම ආත්මාර්ථකාමීය,නැතහොත් ඊට ප්‍රතිපක්ෂව,පරාර්ථකාමීය යන මානව ස්වභාවයක් පිළිබඳ මතවළට ෙවනස්ව,ඔවුන්ට ෙමම දෙලක්ෂණයන්ටම අනුව හැඩගැසීමට හැකියාව ඇති බව සහ යමෙකු තුළ අධිපතිබවට පත්වන්නේ ඉන් කුමක් ද යන්න තීන්දු කරන්නේ පරිසරය ය යන්න, වඩා භව්‍ය කරුණ නොවන්නේද?
අප එන්රොන් සමාජය හා ඉන් පැණවෙන විෂම චක්‍රයක් බවට පත්වන කාර්ය සාධන ප්‍රවීක්ෂණය,ඵලදාව ඇගයීම්,මිණුම්,සහ සංඛ්‍යානමයකරණය යනාදිය වැළඳ ගැනීමට සූදානම් ද?ඉන් අපට පැණවෙන මානසික ව්‍යාධිමය තත්වය සහ එහි සමාජීය සහ දේශපාලන ඵලවිපාක සළකා බලන්නට අප යොමු නොවන්නේ මන්ද?
වැඩිහිටියන් වන අපව පාලනය කිරීමට ආචාර ධර්මීය ප්‍රතිමාන බාහිරින් පැණවීම අවශ්‍ය වේ නම් ඉන් අප ගැනත් සමාජය ගැනත් කියැවෙන්නේ කුමක් ද?මෙහි ලා අධ්‍යාපනයේ භූමිකාව කුමක් ද?එය හුදෙක් අපේ ආර්ථික පැවැත්ම සඳහා අවශ්‍ය කෙරෙන නිපුණතා පුහුණුවට ඇති මෙවලමක් ද?
‘නවලිබරල්වාදය අධ්‍යාපනයෙහි ලා ඇති කළ වෙනස්කම් සිදුකරන ලද්දේ අවුරුදු පහළොවක් තුළය,’ (මේ වන විට වර්හාග ගේ පොත පළවී අවුරුදු හයකි)යන අදහස, අනාගතයේදී එහි නව වෙනස්කම් ඇති කිරීමේ හැකියාව පිළිබඳ අපට කියන්නේ කුමක් ද?
පෝල් වර්හාග නවලිබරල්වාදය මහා ආඛ්‍යානයක් ලෙසින් සමාජයේ අධිපතිභාවයට පත්වීම යටතේ මානව සත්වයා ගේ කටුක අත්දැකීම පිළිබඳ මූලිකව මනෝවිද්‍යාමය,ආචාර ධර්මීය,සහ සමාජීය විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ නම්,ඉන් ඔහු ගම්‍ය කරණ දේශපාලන ඉඟි පුළුල්ව සහ ගැඹුරින් වර්ධනය කරන චින්තිකාවක වන වෙන්ඩි බ්‍රවුන් ගේ අදහස් මෙම අදහස් දැක්වීමේ මීළඟ කොටසින් ඉදිරිපත් කරන්නෙමි.එහි ලා ඇයගේ ප්‍රධාන යොමුවීම ඇත්තේ මිෂෙල් ෆූකෝ ගේ ආණ්ඩුකරනමයභාවය (governmentality) පිළිබඳ විග්‍රහය අනුව යමින් නවලිබරල්වාදය ආණ්ඩුකරණමය බුද්ධිවාදයක් (rationality) ලෙස ක්‍රියාකරමින් ප්‍රජාතන්ත්‍රවාදය එහි ඇතුළතින් බිඳ දැමීමට යොමුව ඇති ආකාරය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ය.මෙම ආණ්ඩුකරණමය බුද්ධිවාදය ක්‍රියාවට නැඟිමේ යතුර ඇත්තේ අධ්‍යාපනය,සුවිශේෂීව උසස් අධ්‍යාපනය නවලිබරල්වාදයට අනුව නැවත තැනීමෙහි ය.
වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය
III
වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolutionජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය
අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදිය.

එම කෘතිය “ නවලිබරල් තර්කනය, එය සුරක්ෂිත කරන්නේ යැයි ව්‍යාජව පොරොන්දුවන දේශපාලන ආකාරය සහ දේශපාලන පරිකල්පනාවට අඩන්තේට්ටම් කරන්නේ මන්ද සහ කෙසේද යන්න පැහැදිළි කරයි. නවලිබරල්වාදයත් සමග, යුක්තිය පිළිබඳ සැළකිලිමත්වීම්, පෞද්ගලික දේපළ පිළිබඳ පරමවාදය සහ වර්ධන අනුපාත සහ ආයෝජන දේශගුණය විසින් අභිබවනය කරනු ලැබෙයි. නිදහස, මානව ප්‍රාග්ධන අගය වැඩිවීමේ විධික්‍රියාව මගින් සේවයට යොදා ගනු ලැබෙයි. සමානාත්මතාව, ජයග්‍රාහකයන් සහ පරාජිතයන් පිළිබඳ විශ්වව්‍යාපී වෙළෙඳපොළවල ගිල්වනු ලැබෙයි. ජනතා පරමාධිපත්‍යය ආකූල බවට පත්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, විසිවැනි සියවසේ උතුරු තරුව වීම අපේක්ෂා කළේනම්, අද එය යලිසිතාබැලීම, ප්‍රතිනිර්මාණය, සහ අරගලය අවශ්‍ය කෙරෙයි.”
“ජනතාව බිඳ දැමීම” යනුවෙන් නම් කොට ඇති එහි පූර්විකාවෙහි ඇය මෙසේ කියයි:
ශීතල යුද්ධය අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය ගෝලීය වශයෙන් විජයග්‍රහණය කොට ඇතැයි ප්‍රකාශ කෙරෙත්ම නව ආකාරයේ ආණ්ඩුකරණමය තර්කනයක් යුරෝ-අත්ලාන්තික ලෝකයේ මුදාහැරෙමින් තිබුණි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පීය බැඳීම් ලිහා දැමීම සහ සෑහෙන ප්‍රමාණයකින් එහි අතුණු බහන් ඉවත් කිරීමක් මුදා හැරියේය. තිස් වසරක් තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කෘශ, අවතාරමය බවින් වැඩෙයි, එහි අනාගතය එන්න එන්නම කොටු කරමින් සහ අසම්භව්‍ය කරමින්.
නවලිබරල්වාදය ප්‍රජාතන්ත්‍රවාදෙය් අර්ථය හෝ අඩංගුව වෙළෙඳපොළ වටිනාකම් වලින් හුදෙක් සංතෘප්ත කරනවාට වඩා ජනතාව විසින් ගෙනයනු ලබන පාලනය ලෙසින් වටහාගත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපත්ති, භාවිතාවන්, සංස්කෘතීන්, විෂයන්, සහ ආයතන වලට ප්‍රහාර එල්ල කරයි. එපමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා රැඩිකල් ප්‍රකාශනයන් මතුවීම වළකාලයි.
නවලිබරල්වාදය ආර්ථික ප්‍රතිපත්ති මාලාවක්, මතවාදයක්, හෝ රාජ්‍යය සහ ආර්ථිකය අතර සබඳතාව වෙනස් කොට පිහිටුවීමක් යනාදියට වඩා තිස් වසරක් තිස්සේ පුළුල්ව සහ ගැඹුරින් බෙදාහරිනු ලැබූ ආණ්ඩුකරණමය හේතුවාදයක් බවට සංවර්ධනය වූ, ප්‍රතිමාණාත්මක පර්යායකි. නවලිබරල්වාදය හැම මානව බලමණ්ඩලයක්ම සහ ආයාසයක්ම මානවයන්මත් කැටුව ආර්ථික දෙයෙහි සුවිශේෂ ප්‍රතිරූපයකට අනුව පූර්ණව වෙනස් කරයි. සියලු කල්ක්‍රියාව ආර්ථික කල්ක්‍රියාව වෙයි; පැවැත්මෙහි සියළු පරිමණ්ඩලයන් ආර්ථික කොන්දේසි සහ මිණුම් වලින් රාමුගත කොට මණිනු ලැබේ. එම පරිමණ්ඩල සෘජු මුදල්කරණයට ලක් කොට නොමැති විට පවා. නවලිබරල් තර්කණය තුළ සහ එය විසින් ආණ්ඩු කෙරෙන බලමණ්ඩලයන්හි, අපි, එයටම ඓතිහාසිකව සුවිශේෂී ආකාරයක් ඇති, ආර්ථික සත්වයන් පමණක් වෙමු, සහ හැමතැනෙකම එසේ වෙමු.
අද ආර්ථික මිනිසා ඇඩම් ස්මිත් ගේ ආර්ථික මිනිසා මෙන් නොව තම තරඟකාරී ස්ථානගතවීම වැඩිදියුණු කරගැනීම සහ වාසිදායකබවට හරවා ගැනීම සහ එහි සියළු උත්සාහයන් සහ ස්ථානයන් හරහා එහි (මුදල්මය සහ එසේ නොවන) ආයෝජන කළඹෙහි වටිනාකම වැඩිකර ගැනීම පිළිබඳ කටයුත්ත පවරනු ලැබ ඇති තීව්ර ලෙස නිමවනු ලැබූ සහ ආණ්ඩුකෙරෙන මානව ප්‍රාග්ධන පුංජයකි. නවලිබරල්වාදී රාජ්‍ය, විශාල සමායතන, කුඩා වෙළෙඳ ව්‍යාපාර, ලාභ නොලබන ආයතන, පාසැල්, විශේෂඥසේවා සපයන්නන්, කෞතුකාගාර, රටවල්, ශාස්ත්‍රවන්තයන්, අභිවාහකයන්, මහජන ආයතන, ශිෂ්‍යයන්, වෙබ් අඩවි, ක්‍රීඩකයන්, ක්‍රීඩා කණ්ඩායම්, පශ්චාත් උපාධි වැඩ සටහන්, සෞඛ්‍යසේවා ප්‍රතිපාදකයන්, බැංකු සහ ගෝලීය නීති සහ මූල්‍ය ආයතන යනාදී සියල්ලෙහිම ව්‍යාපෘති හැඩ ගස්වන වරම් සහ දිශානතියන් වන්නේ ද මේ එකම කටයුතු ය.
මා පහත ඉදිරිපත් කරන්නේ වෙන්ඩි බ්‍රවුන්ගේ කෘතියෙහි පළමු පරිච්ඡේදයෙහි එන අදහස් ය. එම පරිච්ඡෙදය නම් කොට ඇත්තේ “ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රාජ්‍යය සහ මිනිස් විෂය යළිතැනීම “ යන මැයෙනි.
නවලිබරල්වාදය, පැවැත්මේ සියළු අංශ ආර්ථික අර්ථයෙන් හැඩ ගස්වන සුවිශේෂ තර්කන ආකාරයකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග සෙමින් බිඳ දමයි. මෙම අංග වලට අපේ වාං මාලා, යුක්තිය පිළිබඳ මූලධර්ම, දේශපාලන සංස්කෘතීන්, පුරවැසිභාවය පිළිබඳ හුරුපුරුදු, පාලනය පිළිබඳ භාවිතාවන්, සහ අන් සියල්ලටමත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පරිකල්පනාවන් අයත් වෙයි.
මෙහිලා තර්කය නම්, හුදෙක් වෙළෙඳපොළ සහ මුදල්, ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරන්නේය හෝ පිරිහෙළන්නේය, දේශපාලන සංස්ථා සහ තීන්දු එන්න එන්නම මූල්‍ය සහ සමායතන ප්‍රාග්ධනයේ අධිපතිභාවයට යටත්වන්නේය, නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ තැනට කතිපයාධිපතය්‍යයන් එනම්, ධනවතුන් විසින් ධනවතුන් සඳහා පාලනය, පත්වන්නේය යන්න පමණක් නොවේ. අද රාජ්‍ය ශිල්පයේ, සහ වැඩපොළෙහි, අධිකරණ පද්ධතියේ, අධ්‍යාපනයෙහි, සංස්කෘතියෙහි, සහ සාමාන්‍ය ක්‍රියාකාරකම් අතිමහත් පරාසයක, විශ්වව්‍යාපීයව පවතින නවලිබරල් තර්කණය, ප්‍රජාතන්ත්‍රවාදය සැදුම් ගන්නා අංගවල විශද දේශපාලන ස්වභාවය, අර්ථය සහ ක්‍රියාත්මක වීම ආර්ථික ඒවා බවට හරවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ භාවිතාවන් සහ හුරුපුරුදු මෙම හැරවීමට ඔරොත්තු නොදීමට ඉඩ ඇත. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී සිහින වුවද මෙම එකම ඉරණමට මුහුණ දිය හැකිය.
නවලිබරල්වාදය මීට පෙරාතුව ආර්ථික මිම්මෙන් වටිනාකම මනිනු නොලැබූ පරිමණ්ඩල සහ ක්‍රියාකාරකම් “ආර්ථිකකරණය” කිරීමේ වඩා සාමාන්‍යකරණය කළ භාවිතාවකි.
නවලිබරල්වාදය, ප්ලේටෝ ගේ ජනරජයේ පුරවරය සහ ආත්මය පිළිබඳ සාදෘශ්‍යය සිහිපත් කරමින්, පුද්ගලයන් සහා රාජ්‍යයන් යන දෙකම සමකාලීන ව්‍යාපාරික සමාගම ( firm ) පිළිබඳ ආකෘතියට අනුව වටහා ගැනෙයි. පුද්ගලයන් සහ රාජ්‍යයන් දෙකම වර්ථමානයේදී තම ප්‍රාග්ධන වටිනාකම උපරිමකරණයට සහ ඒවායේ අනාගත වටිනාකම ඉහළ නංවාලන ආකාරයෙන් ක්‍රියාකිරීම අපේක්ෂා කෙරෙයි. ඔවුන් එසේ කරන්නේ ව්‍යවසාකත්වවාදය, ස්වයං ආයෝජනය, සහ/හෝ ආයෝජකයන් ආකර්ෂණය කරගැන්ම මගිනි. එසේ නොකිරීම කුමන හෝ රෙජිමයකට හෝ පුද්ගලයාට විපත් ගෙන දෙයි.
මෙම ප්‍රාග්ධන ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියට යටත් වන කරුණු පරාසයට යුක්තිය ( නිදහස, සමානාත්මතාව සහ සාධාරණය), පුද්ගල සහ ජනතා පරමාධිපත්‍යය, සහ නීතියේ පාලනය අයත් වෙයි. ඒවාට අවම මට්ටමේ ප්‍රජාතන්ත්‍රීය පුරවැසිභාවයේ භාවිතාවන්ට පවා අදාළවන දැනුම සහ සංස්කෘතික දිශානතිගතවීම් ද ඇතුළත් ය.
විශ්වවිද්‍යාලය
විශ්වවිද්‍යාලය මෑත දශකයන්හිදී රැඩිකල් ලෙස විපර්යාස කොට ප්‍රති-ඇගයීමට ලක් කොට ඇත. ඉහළ යන පාඨමාලා ගාස්තු අනුපාත, පිරිහෙළන රාජ්‍ය අනුග්‍රහය, ලාභ ඉලක්ක කොට ගත් සහ අන්තර්ජාල මාර්ගගත අධ්‍යාපනය, සමායතන “හොඳම භාවිතාවන්” (best practices) තුළින් විශ්ව විද්‍යාල යළි-නිමැවීම, “සහතික” වෙනුවට “නිපුණතා” (competencies) පිළිබඳ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික සංස්කෘතියක්, මේ සියල්ල, අවුරුදු තිහකට පෙර පැවැති එක්ටැම් ගෙය, යල්පැන ගිය, මිල අධික, සහ අප්‍රතිරෝධී ලෙසින් නිරූපණය කොට ඇත. අධ්‍යාපනය, ගුණාත්මකභාවය මනින ලද පැරණි මිණුම් වෙනුවට, “මුදලට හොඳම ප්‍රථිඵල” ගෙන දෙන නව ශ්‍රේණිගත කිරීම් රාශියක් වේගයෙන් හඳුන්වා දෙනු ලැබ තිබේ.
බ්‍රිතාන්‍යය බොහෝ රාජ්‍ය අංශයේ අධ්‍යාපන ආයතන අර්ධ පෞද්ගලීකරණයට ලක් කොට ඉතිරි රාජ්‍ය අරමුදල්, දැනුම එහි බලපෑමට අනුව මණින ශාස්ත්‍රාලීය ඵලදායික මිණුම්වලට ගැට ගසා ඇත. ඇමෙරිකාවේ වඩා අවිධිමත් ශ්‍රේණිගත කිරීම් පද්ධති මහත් සංඛ්‍යාවක් බිහිවීම, ජනරාශියකගේ අදහස් විමසීමකට සමීප වෙයි.
අධ්‍යාපනික ගුණාත්මකභාවය මනිණ මිණුම් වල තැනට, ආයෝජනයට ප්‍රථිලාභ වෙනුවෙන් සහමුලින්ම දිශානතිගත වූ මිණුම් සහ දෙන ලද කුමන හෝ ආයතනයකින් ශිෂ්‍ය ආයෝජකයන් අපේක්ෂා කිරීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ ආදායම් ඉහළ නැංවීමක් ද සහ රැකියා ස්ථාන ගත කිරීමක් ද යන්න ආදේශ වී ඇත.
නවලිබරල්වාදය, පුද්ගලයා සහ පුරවැසියා සංවර්ධනය කිරීම පිළිබඳ අපූරු සැළකිලිමත්වීම් ඉවත් කරමින් හෝ බාගවිට එවැනි සංවර්ධනයන් ආර්ථික වාසිය සඳහා වන ශක්‍යතාවට ලඝු කරමින්, උසස් අධ්‍යාපනයේ වටිනාකම පුද්ගල ආර්ථික අවදානමට සහ ප්‍රථිලාභයට හකුළුවයි.
මෙම නව මිණුම් වලට රජයේ අරමුදල් සපයා, එමගින් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ ස්ථානයක් ලබාගන්නා විශ්ව විද්‍යාලවලටඉහළ ශිෂ්‍යාධාර පිරිනැමීමේ අවකාශ සැළසීමේ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක ය. මෙම සැළසුම් සාර්ථක වුවහොත්, ආයතන මෙන්ම ශිෂ්‍යයන්ද මෙම දර්ශකයන් මගින් බලහත්කාරයෙන් යළි-නිමැවෙනු ඇත. විශ්ව විද්‍යාල අන් කුමන හෝ ආයෝජනයක් මෙන්ම, අවදානමට අනාවරණය වීම සහ අපේක්ෂිත අස්වැන්න ආශ්‍රයෙන් ශ්‍රේණිගත කෙරෙන හෙයිනි.
මෙම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය, විශ්ව විද්‍යාලවල වියදම් සීමා කිරීම පිළිබඳ එහි ප්‍රකාශිත සැළකිලමත්වීම් අතිවිශාල ලෙස ඉක්මවා යන ආයතනික අමිහිරි ප්‍රථිඵල ගෙන දෙනු ඇත, ඒ වෙනුවට, සාමාන්‍ය අධ්‍යාපන අවශ්‍යතාව සහ උපාධියට ගතවන කාලය කඩිනමින් සංක්ෂේප කිරීමෙන්, මානව ශාස්ත්‍ර සහ ඓතිහාසිකව අසාධාරණයට ලක් වු ජනගහණයන් බඳවා ගැනීම යන දෙකෙහිම ශේෂව ඇති කුමක් හෝ පීඩාවට පමුණුවමින්, සහ වඩා පුළුල්ව, විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගෙන් අපේක්ෂිත දැනුම අත්පත් කර ගැනීම සඳහා වන ශික්ෂණ ශාස්ත්‍රය, මංපෙත් සහ ප්‍රමිතීන් යළි නිමවමින්. කෙටියෙන් කියතොත්, නව මිණුම්, උසස් අධ්‍යාපන විප්ලවයක් සූචිගත කිරීම සහ මෙහෙයවීම යන දෙකම කරයි. කලෙක බුද්ධිමත්, චින්තාපර ප්‍රභූන් සංවර්ධනය කිරීම සහ සංස්කෘතික ප්‍රතිනිශ්පාදනය කිරීම පිළිබඳ වූ, වඩා මෑතකදී සමාන අවස්ථා පිළිබඳ මූලධර්මයන් ක්‍රියාවට නැංවීම සහ පුළුල්ව අධ්‍යාපනය ලැබූ පුරවැසි සමූහයක් වගා කර ගැනීමක් පිළිබඳ වු අධ්‍යාපනය, දැන් මානව ප්‍රාග්ධනය නිපදවයි, එලෙසින් සම්භාව්‍ය මානවීය වටිනාකම් හිසින් නඟා සිටුවාලයි. මෙපරිද්දෙන් උසස් අධ්‍යාපනය විප්ලවීයකරණයට ලක්කළ විට ආත්මයද, පුරවැසියා සහ ප්‍රජාතන්ත්‍රවාදයද විප්ලවීයකරණයට ලක් කෙරෙයි.
නවලිබරල්වාදයේ මූල ප්‍රතිපත්තිය නිර්බාධිත වෙළෙඳ පොළවල් තහවුරු කිරීම යි. එය අනුයන ආර්ථික ප්‍රතිපත්ති වන්නේ, කර්මාන්ත නියාමන ඉවත් කිරීම, සහ ප්‍රාග්ධන ප්‍රවාහ, සුභසාධන රාජ්‍ය සැපයුම්, සහ අවදානමට ලක්වන්නන්ට ආරක්ෂණය රැඩිකල් ලෙස අඩු කිරිම; අධ්‍යාපනය, උද්‍යාන, තැපැල් සේවා, මංමාවත් සහ සමාජ සුභසාධනයේ සිට බන්ධනාගාර සහ හමුදාවන් පවා දක්වා වන පරාසයක මහජන භාණ්ඩ පෞද්ගලීකරණය කිරීම සහ ඒවා සැපයීම භාහිර ආයතනවලට පැවරීම; ප්‍රගතිශීලී බදු සහ තීරුබදු වල තැනට ප්‍රතිගාමී බදු යෝජනාක්‍රම ආදේශ කිරීම; ආර්ථික හෝ සමාජීය දේශපාලන ප්‍රතිපත්තියක් වශයෙන් ධනය ප්‍රති-ව්‍යාප්තිය නවතා ලීම; විද්‍යාලවලට ඇතුළත්වීමට සූදානම් වීමේ සිට මිනිස් ඉන්ද්‍රිය බද්ධ කිරිම දක්වා, දරුවන් හදාගැනීමට ගැනීමේ සිට පරිසර දූෂණ අයිතීන් දක්වා, පෝලිමේ සිටීම මඟ හැරීමේ සිට ගුවන් යානයක දෙපා දිගු කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම දක්වා වන හැම මානව අවශ්‍යතාවක් හෝ ආශාවක්ම ලාභ ලැබිය හැකි ව්‍යවසායක් බවට හැරවීම; වඩාත් මෑත කාලයේ, සෑම දෙයම මූල්‍යකරණයට ලක්කිරීම, ආර්ථිකයේ සහ එදිනෙදා ජීවිතයේ ගතිකයන් තුළ නිෂ්පාදන ආර්ථිකය පරයා මූල්‍ය ආර්ථිකයේ අධිපතිභාවය එන්න එන්නම වැඩිවීම, යනාදිය යි.
නවලිබරල්වාදය ප්‍රතිමානමය තර්කණය පිළිබඳ පර්යායකි. එය ආරෝහණ තත්වයට පත් වූ විට, ආර්ථික වටිනාකම්, භාවිතාවන් සහ මිණුම් පිළිබඳ සුවිශේෂ සූත්‍රගත කිරීමක් මානව ජීවිතයේ හැම පැතිමානයකටම ව්‍යාප්ත කරමින්, ආණ්ඩුකරණමය බුද්ධිවාදයක හැඩය ගනියි. මෙම බුද්ධිවාදය මීට පෙරාතුව න-ආර්ථික පරිමණ්ඩලයන් සහ භාවිතාවන් වූ ඒවා “ආර්ථිකකරණයට” ලක්කිරීමේ සහ මෙම පරිමණ්ඩලයන් සහ භාවිතාවන්ට උචිත ඥානය, ආකෘතිය, අඩංගුව සහ පැවැත්ම යළි-නිමැවීමේ ක්‍රියාවලියක් අඩංගු කර ගනියි.
වැදගත් කරුණ වන්නේ එවැනි ආර්ථිකකරණයන් හැමවිටමත් මුදල්කරණයන් ( monetization) ඇතුළත් කර නොගනු ඇති වීමයි. එනම් අප, මූල්‍ය ධනය උත්පාදනය කිරීම ආසන්න විවාදාපන්න කරුණ නොවන අවස්ථාවලදී, උදාහරණයක් වශයෙන්, යමෙකුගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ශාරීරික සුවතාව, පවුල් ජිවිතය, හෝ අසල්වැසි සමූහය පිළිබඳ එළඹීමේදී, සමකාලීන වෙළෙඳපොළ (මානව) විෂයන් (subjects) ලෙස සිතන්නට සහ ක්‍රියාකරන්නට ඉඩ තිබේ ( නවලිබරල්වාදය, අප එසේ කරන විෂයක් ලෙස පොළා පන්නවයි ).
මෙහි ලා වැදගත් කරුණ වන්නේ නවලිබරල් බුද්ධිවාදය සියළු කලාපයන්ට සහ ක්‍රියාකාරකම් වලට – මුදල් අදාළ කරුණක් නොවන තැන්හිදී පවා – වෙළෙඳපොළ ආකෘතිය පතුරුවා හරින සහ මානව සත්වයා නිරවශේෂයෙන් වෙළෙඳපොළ කාරකයන්, හැමවිටමත්, එලෙසින්ම පමණක් සහ හැම තැනකම, ආර්ථික සත්වයා, ලෙස හැඩ ගස්වන්නේ ය, යන්නයි.
යමෙකු තම පෙම් ඇසුර (dating) ට ව්‍යවසායකයෙකු හෝ ආයෝජකයෙකු ආකාරයෙන් එළඹෙනු ඇති නමුත්, මෙම අඩවිය තුළ මුදල් ධනය උත්පාදනය, සමුච්ඡායනය හෝ ආයෝජනය කිරීමට උත්සාහ නොකරනු ඇත. පෙම් ඇසුරු සඳහා සේවා සපයන බොහෝ ඉහළ මට්ටමේ අන්තර්ජාල සමාගම්, කාලය සහ මුදල් පමණක් නොව ආවේදනයන් ද ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රථිලාභ උපරිමකරණය කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් තම සේවාදායකයන් සහ ඔවුනට පිරිනැමෙන දේ මෙම අරුතින් නිර්වචනය කරයි.
උපරිමාධිකරණය, නිදහස් කථනය යනු, යමෙකුගේ වටිනාකම (worth), මුදල්කරණය කිරීමෙන් තොරව ඉදිරිපත් කිරීම හෝ ප්‍රචාරණය කිරීමට ඇති අයිතිය ලෙසින් සැළකීමට ඉඩ තිබේ. ශිෂ්‍යාවක තම විශ්ව විද්‍යාල අයැදුම් පතේ තම පැතිරුව සරු කිරීමට පුණ්‍යමය සේවයක නිරතවිය හැකි නමුත් සේවයට වැටුප් නොලබයි. සුවිශේෂ විශ්ව විද්‍යාලයක් සඳහා ඇති ආශාව, ආදායම් ඉහළ නංවා ලීමට එයින් වන පොරොන්දුව ඉක්මවා යා හැකිය, එපරිද්දෙන්ම, මාපියෙකු ප්‍රභූ විශ්ව විද්‍යාල වලට ඇතුළු කිරීමෙහි ලා ඉහළ අනුපාතයක් ඇති ද්වීතියික පාසැල්වලට ඇතුළු කිරීමෙහි අනුපාතය මත පදනම්ව, තම දරුවාට ප්‍රාථමික පාසැලක් තෝරන්නට ඉඩ තිබේ. නමුත් මූලික වශයෙ ඉන් මෙම දරුවාට ලැබිය හැකි මුදල්මය ප්‍රමාණය හෝ වැඩුණු දරුවකු උපයනු ඇතැයි අපේක්ෂා කරන ආදායම හෝ ගණනය නොකරනු ඇත.
මීට පෙරාතුව, න-ආර්ථිකව පැවති අඩවි, ක්‍රියාකාරකම් සහ විෂයයන් පුළුල්ව ආර්ථිකකරණයට ලක් කිරිම නමුත් අවශ්‍යයෙන්ම වෙළෙඳපොළකරණයට හෝ මුදල්කරණයට ලක් නොකිරිම නවලිබරල් බුද්ධිවාදයේ විශද අනන්‍යතා ලකුණ යි.
වසර තිහකටපෙර නව ලිබරල්වාදයේ හිමිදිරියේදී වූවාක් මෙන්, ආර්ථික සත්වයා තම ඵලප්‍රයෝජනයන් හෝ ලාභ සෙවීමට යොමුව සිටි නමුදු, එහි නවලිබරල් අනුවාදය වන්නේ, දැන් හැම විටෙකම එය ව්‍යවසායකකරණයට ලක්කිරීම සහ මානව ප්‍රාග්ධනය ලෙස සූත්‍රගත කරනු ලැබීම යි.
ෆූකෝ එය දක්වන පරිදි, මානව විෂය දැන් සමාජීය දේහය ඇතුළත ව්‍යවසාය ආකාරය විසිරීම සහ බෝ කිරීමට යටත් කොට තිබේ. අද ආර්ථික සත්වයා එම ව්‍යවසායකත්වවාදයේ අංග පවත්වා ගනියි, නමුත් මූල්‍යකරණයට ලක් වූ මානව ප්‍රාග්ධනය ලෙසින් වැදගත් ලෙස හැඩගන්වා ඇත: එහි ව්‍යාපෘතිය නම් එහි වටිනාකම වැඩිකරන ආකාරයන්ගෙන් සවයං-ආයෝජනය කිරීම හෝ එහි සැබෑ හෝ සාලංකාර වත්කම් ප්‍රමාණයට නිරන්තර අවධානයෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සහ මෙය පැවැත්මේ සියළු පරිමණ්ඩලයන් හරහා කිරීම යි.
නවලිබරල්වාදයේ තර්කන මාදිලිය, වැඩ පොළවල්, පාසැල්, මහජන ආයතන, සමාජීය සහ දේශපාලන කතිකාව, සහ සියල්ලටමත් ඉහළින් මිනිස් විෂයයෙහි කඳ සහ අංගවලට කාවෙකු ලෙස විදගෙන යයි. ජනයා අද තමන් මානව ප්‍රාග්ධනය පිළිබඳ මතියට අනුව හඳුන්වා ගනිති.
නවලිබරල් බුද්ධිවාදය විසින් මිනිස් විෂයයන් සමකාලීන “ආර්ථිකමයකරණයට” ලක් කිරීම අවම වශයෙන් තෙආකාරයකින් සුවිශේෂ වෙයි.
පළමුව, සම්භාව්‍ය ආර්ථික ලිබරල්වාදයෙන් වෙනස්ව අපි හැම තැනෙකම ආර්ථික සත්වයෝ වෙමු, ආර්ථික සත්වයන් පමණක් වෙන්නෙමු.
දෙවනුව, නවලිබරල් ආර්ථික සත්වයා හුවමාරුව හෝ ඵලප්‍රයෝජන පිළිබඳ රැවක් ලෙස නොව, තම තරඟකාරී ස්ථානගත වීම ශක්තිමත් කරගැනීම සහ එහි වටිනාකම වැඩිකර ගැනීම අපේක්ෂා කරමින් මානව ප්‍රාග්ධනය ලෙසින් එහි හැඩය ලබා ගනියි.
තෙවනුව, සහ සම්බන්ධිතව, අද මානව ප්‍රාග්ධනය සහ එහි ක්‍රියාකාරකම් පරිමණ්ඩලය සඳහා වන සුවිශේෂ ආකෘතිය, නිෂ්පාදනය හෝ ව්‍යවසායකත්වමය ප්‍රාග්ධනය පමණක් නොව වැඩි වැඩියෙන් මූල්‍යමය හෝ ආයෝජන ප්‍රාග්ධනය වෙයි.
ලාභදායී හුවමාරුව සහ යමෙකුගේ වත්කම් සහ උත්සාහයන් ව්‍යවසායකත්වකරණයට ලක් කිරීම මත පදනම් වූ අලෙවිකරණය සහමුලින්ම අතුරුදහන්ව ගොස් නැති අතර, ‘සමකාලින මානව ප්‍රාග්ධනය යනු කුමක් ද?’ කරන්නේ කුමක් ද?’ යන්නෙහි අංගයක්ව පවතියි. එනමුදු, වැඩි වැඩියෙන් ආර්ථික සත්වයා මානව ප්‍රාග්ධනය ලෙසින් ජීවිතයේ සියළු අඩවිවල තම ආයෝජන කළඹ වැඩි කර ගැනීමෙහි ලා උනන්දුවක් දක්වයි. මෙය, ස්වයං-ආයෝජනය සහ ආයෝජකයන් ආකාර්ෂණය කරගැනීම පිළිබඳ භාවිතාවන් තුළින් ක්‍රියාත්මක කෙරෙන කටයුත්තකි. සමාජ මාධ්‍යයන්හි “අනුගාමිකයන්” “කැමැත්තවල්” සහ “ප්‍රති-ට්වීට්” මගින් හෝ වේවා, හැම ක්‍රියාකාරකමක් සහ අඩවියක් සඳහා ශ්‍රේණිගත කිරීම් ( ranking ) සහ මට්ටම් ( ratings) මගින් හෝ වේවා, වඩා සෘජුව මුදල්කරණය කළ භාවිතාවන මගින් හෝ වේවා, අධ්‍යාපනය පුහුණුව, විවේකය, ප්‍රජනනය, පාරිභෝජනය සහ තවත් දෙය හඹායාම තදාත්මයේ අනාගත වටිනාකම වැඩිකර ගැනීමට අදාළ උපායික තීරණ සහ භාවිතාවන් ලෙස වැඩි වැඩියෙන් සංරූපණය කරයි.
ආර්ථික සත්වයා ඉහතදී අරුත් ගැන්වූ ආකාරයක් වූයේ තම ඵල ප්‍රයෝජන උපරිමකරණය කරන්නෙකු ලෙසින් නම්, ඒ වෙනුවට මිනිස් විෂයය, සමාගමක ( firm ) සාමාජිකයෙකු ලෙසත්, එයම සමාගමක් ලෙසින්මත් – සූත්‍රගත කිරීමට ඉඩ හරියි. ඒ මෙම අවස්ථා දෙකේදීම සමාගම් සඳහා උචිත ආණ්ඩුකරණමය භාවිතාවන් විසින් උචිත ලෙස මෙහෙයවනු ලැබූ ඒවා ලෙසිනි.
රාජ්‍යය, සමාගම සහ මිනිස් විෂය තුළ එක හා සමානව, ඉහළින්-පහළට එන පාලනය සඳහා වන, හැම විටමත් පරිණාමය වෙමින් පවතින නව කළමනාකරණ ශිල්ප ක්‍රම ආදේශ කරනු ලැබෙයි.
කේන්ද්‍රගත අධිකාරය, නීතිය, පොලිස් සේවය, රීති, සහ පංගු වල තැන, දිරිගැන්වීම්කරණය, මාර්ගෝපදේශ, සහ මිණුම් ලකුණු (benchmarks) අවධාරණය කරමින්, ජාලකරණය කළ, කණ්ඩායම් පදනම් වූ, භාවිතාවට යොමු වූ ශිල්පක්‍රම, විසින් ගණු ලැබෙයි.
දේශපාලන ජිවිතයෙහි නවලිබරල්වාදය, යුක්තිය පිළිබඳ නවලිබරල් මූලධර්ම වල තැනට ආර්ථික වාංමාලාවක් ආදේශ කරයි, වෙළෙඳ සමාගමක (firm) ආකෘතිය අනුව යමින්, රජයම පවා ජාතියේ කළමනාකරුවකු බවට විපර්යාස කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවයේ සහ ජනතා පරමාධිපත්‍යයේම පවා හරයෙන් බොහොමයක් හාරා ඉවත හෙළයි. එහෙයින් නවලිබරල්වාදයේ එක් වැදගත් ඵලයක් නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ දැනටමත් රක්ත හීනතාවට ලක්ව ඇති දේශපාලන සමාජය පරාජය කිරීම යි. මෙම පරාජය ප්‍රජාතන්ත්‍රීය ආයතන, සංස්කෘතීන් සහ පරිකල්පනාවන් සඳහා අතිමහත් ඵලවිපාක සහිත ය.
නව ලිබරල්වාදය ක්‍රියාවට නැංවෙන්නේ ආණ්ඩුකරණය පිළිබඳ සුවිශේෂී ශිල්පක්‍රම මඟිනි, යහපත්ම භාවිතාවන් (best pracatices) සහ නෛතික – සියුම් වෙනස්කම් තුළිනි, කෙටියෙන් කියතොත්, ප්‍රචණ්ඩත්වය – අධිකාරවාදී අණකිරීම් නැතහොත් දේශපාලන වේදිකා මතින් නොව, සහානුමතිය සහ මිලට ගැනීම මත පදනම් වෙමින් “මෘදු බලය” තුළිනි. නවලිබරල්වාදය, එය පැල පදියම් වන, සුවසේ සිටින, සහ තහවුරුවීම ලබන හැමතැනකම, ආයතන සහ මානව සත්වයන් යළි නිමවමින්, යථාර්ථය පිළිබඳ මූලධර්මයක් ලෙසින්, විදග්ධ ව්‍යවහාරික ඥාණයක් ලෙසින් ආණ්ඩු කරයි.
එය නව මානව විෂයන්, පැවතුම්, සබඳතා සහ ලෝකයන් පැවැත්මට ගෙන එයි.
නවලිබරල් තර්කණයෙහි, වෙළෙඳපොළෙහි මූල ප්‍රතිපත්තිය සහ පදනම් යහපත ලෙස, හුවමාරුවේ තැනට තරඟය ආදේශ කරයි. නවලිබරල් තර්කණය, තරඟය ස්වභාවික නොව ප්‍රතිමාණමය ලෙසින් සූත්‍රගත කොට, එහෙයින් එයට පහසුකම් සැළසීම සහ නෛතික අනුබලය අවශ්‍ය ලෙසින් සූත්‍රගත කරයි. හුවමාරුවේ තැනට තරඟය පත්කිරීමේ සියුම් ස්ථාන වෙනස්වීමෙන් අදහස් වන්නේ, එකිනෙකා සමග හුවමාරුවේ යෙදෙනවා නොව තරඟ කරමින්, සියළු වෙළෙඳපොළ කාරකයන් හිමිකරුවන්, සේවකයන්, සහ පාරිභෝජකයන් ලෙස නොව කුඩා ප්‍රාග්ධනයන් ලෙස සකස් කරනු ලැබේ යන්නයි.
මානව ප්‍රාග්ධනයේ නිරන්තර සහ විශ්වව්‍යාපී ඉලක්කය නම්, එහි සියළු කුදු මහත් කටයුතුවලදී, ඉගෙනගැනීමෙහි, වෘත්තීයාභිමුඛ පුහුණුවෙහි, විශ්‍රාමයෑමට සැළසුම් කිරීමෙහි, හෝ තමන්ම නව ජීවිතයක ලා නිමැවීමෙහි, තම ප්‍රයත්නය ව්‍යවසායකමයකරණය කිරීමට, එහි වටිනාකම වැඩිකර ගැනීමට, එහි ශ්‍රේණිය (ranking) සමග එහි තක්සේරුව (rating) වැඩි කර ගැනීමට ය.
මානව ප්‍රාග්ධනය මෙහිලා කරන්නේ සමකාලීන සමාගම්, රටවල්, ශාස්ත්‍රාලීය දෙපාර්තමේන්තු හෝ වාර සංග්‍රහ, විශ්ව විද්‍යාල, මාධ්‍ය හෝ වෙබ් අඩවි, කරන එකම දේ පිළිබිඹු කිරිමයි: එනම්, ව්‍යවසායකමයකරණය, තරඟකාරී ස්ථානගත කිරීම, සහ වටිනාකම වැඩිකර ගැනීම සහ තක්සේරු සහ ශ්‍රේණිගත කිරිම් උපරිමකරණයට ය.
මානව ප්‍රාග්ධනයේ රූපය හැම විශ්ව විද්‍යාල සහ රැකියා අයදුම් පත්‍රයකම, හැම අධ්‍යයන උපාය මාර්ග පොදියකම, හැම වෘත්තීයාභිමුඛ පුහුණු තනතුරකම, හැම නව ව්‍යායාම හෝ ආහාරපාලන වැඩ සටහනකම, පැහැදිළිව දිස්වෙයි.
හොඳම විශ්වවිද්‍යාල ශාස්ත්‍රවන්තයන් ව්‍යවසායකත්වය සහ ආයෝජන පිළිබඳ භාවිත දැනුම සහ හැකියාව ඇති ලෙසින් ලක්ෂණකරණය කෙරෙන්නේ හුදෙක් අරමුදල් හෝ අධිශිෂ්‍යත්ව ලබාගැනීමෙන් නොවේ, නමුත් පැරණි පර්යේෂණ වලින්, නව ව්‍යාපෘති සහ ප්‍රකාශන උත්පාදනය කිරීමෙන්, ප්‍රකාශන සහ ඉදිරිපත්කිරීම් කළ ස්ථාන ගණන් කිරීමෙන් සහ ඔවුන්ගේ වටිනාකම වැඩිකරනු ඇති පරිද්දෙන් තමන්වම සහ තම වැඩ සංසරණය කිරීම මගිනි. ජාලමයකරණයේ භාෂාව “ආයෝජකයන් ආකරෂණය” කරගැනීමේ භාෂාවකි. මේ ක්‍රියාකාරකම් හැමවටම මුදල් අගයන් නොගණියි. එසේ නොව, වාච්‍යාර්ථයෙන් ධනය උත්පාදනය කිරීම අතිමහත් ලෙස ඉක්මවා යන ආකාරයන්ගෙන්, ක්ෂේත්‍ර, පුද්ගලයන් සහ භාවිතාවන්, ආර්ථිකකරණයට ලක් කරනු ලැබ ඇත.
මානව සත්වයන් මානව ප්‍රාග්ධනය ලෙසට පත්කිරීම බොහෝ අතට විහිදෙන බලපෑම් ඇති කරයි.
පළමුව, අපි හුදෙක් අපට පමණක් නොව, වෙළෙඳ සමාගමට, රජයට, හෝ අප සාමාජිකයන් වන ජාතික හෝ පශ්චාත්-ජාතික සම්මංජරියටද මානව ප්‍රාග්ධනය වන්නෙමු. එනිසාම අපට ආරක්ෂාව, රැකවරණය හෝ පැවැත්ම පිළිබඳ පවා සහතිකයක් නැත. එබඳු විෂයන්, කොතරම් ප්‍රායෝගික දැනුම සහ හැකියාවන් තිබූණද, වගකිව යුතු ආකාරයෙන් කටයුතු කළද, තමන් කරන කිසිවක් තුළින් නොව අසාර්ථකවිමේ, අතිරික්තතාවට පත්වීමේ, සහ අත්හැර දමනු ලැබීමේ නිරන්තර අවදානමට ලක්වෙයි.
අප ප්‍රායෝගික දැනුම සහ හැකියාව ඇති වගකිවයුතු ආයෝජකයන් සහ ව්‍යවසායකයන්ව සිට ඇති විටත්, මූල්‍ය අර්බුද, සේවක කප්පාදු, සේවාවන් පිටතට පැවරීම, වැඩදින කප්පාදු කරමින් නිවාඩු යැවීම්, මේ සියල්ලත් ඊට වැඩි දේත් අපව උපද්‍රවයට පත් කළ හැකිය. සියළු ආකාරයේ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළවල් නවලිබරල්වාදය විසින් ගළවා දමා ඇති විට මෙම උපද්‍රවය අවම ආහාර සහ සෙවන සඳහා වන අවම අවශ්‍යතා කරා පහතටම ගමන් කළ හැකිය. සමාජීය දේ ව්‍යවසායකමය සහ ස්වයං-ආයෝජනමය පුංජයන් බවට බිඳී විසිරී යාමට සැළැස්වීම, විශ්‍රාම වැටුපකට හෝ පුරවැසි ප්‍රජාවකට අයිතිව සිටීමෙන් සැපයෙනු ලැබෙන ආරක්ෂණයේ ඡත්‍රය ඉවත් කරයි; වියදම් දැරිය හැකි නිවාස වල සිට අධ්‍යාපනය දක්වා වන, පවුල් ජිවිතය වෙනුවෙන් වන පොදු අනුග්‍රහයන් නවලිබරල්වාදය විසිනි පිරිහෙළා තිබියදී පවා, පවුල්මයභාවය පමණක්, පිළිගැනෙන සුළු සමාජීය වරායක් ලෙසින් පවතියි.
තවද, දේශපාලනමය සහ සදාචාරමය කරුණක් ලෙස, මානව ප්‍රාග්ධනයන්ට, අත්‍යන්තයෙන් වටිනා, ඔවුන් විසින්ම ගත් කළ අරමුණක් වන, කාන්ටියානු පුද්ගලයන්ගේ ස්ථානය හිමි නොවේ; ඔවුන්ගේ ස්ථාවරය අපැහැදිළි සහ ආකූල බවින් වැඩෙයි. අයිතිවාසිකම් ම පවා අර්ථයෙන් සහ භාවිතාවෙන් තියුණු ලෙස යළි සකස් කරමින් ආර්ථිකකරණය කළ හැකිය.
දෙවනුව, සමානාත්මතාව නොව අසමානතාව, තරඟ වදින මානව ප්‍රාග්ධනයන්ගේ මාධ්‍යය සහ සබඳතාවයි. අපි තවදුරටත් එකිනෙකාට සමානව නොසළකමු. එලෙසින්, සමානාත්මාතාව නවලිබරල්කරණය කළ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රාගානුභූත හෝ මෞලික හෝ දෙයක් වීම නවතියි. ව්‍යවස්ථා සම්පාදනයේ, නීති මීමංසාවේ සහ පොදු පරිකල්පනාවෙහි, අසමානතාව සාමන්‍ය බවට, ප්‍රතිමානක බවට පවා පත්වෙයි.
තෙවනුව, සියල්ලම ප්‍රාග්ධනය බවට පත්වූ විට ශ්‍රමය, එහි සාමුහික ආකෘතිය වන පංතියද සමගින් පරාත්වරෝපණය, සූරාකෑම, සහ කම්කරුවන් අතර සංගමය සඳහා වන විශලේෂණාත්මක පදනමත් එය සමගම රැගෙන යමින් ප්‍රවර්ගයක් ලෙසින් අතුරුදහන් වෙයි. කම්කරු නීති, ආරක්ෂණ සහ ප්‍රථිලාභ වලට අභියෝග කිරීමට මඟ පාදනු ලැබෙයි. එවැනි ආරක්ෂණයන් සහ ප්‍රථිලාභ පිහිටුවීම අපැහැදිළි දෙයක් වෙයි. විශ්‍රාම වැටුප්වලට, රැකියාවේ සුරක්ෂිතභාවයට, වැටුප් සහිත නිවාඩුවලට, සහ රාජ්‍ය අංශයේ සේවකයන් දුෂ්කරව දිනාගත් සාධනයන්ට ඇති වැඩිවෙමින් පවතින විරුද්ධත්වය උදාහරණයකි.
සිවුවැනිව, ආර්ථික සත්වයා පමණක් ඇතිවිට, දේශපාලන කලාපයමත් ආර්ථික අර්ථයෙන් හැඩ ගැස්වූ විට, මහජන දේ සහ පොදු යහපත පිළිබඳ සැළකිල්ල දක්වන පුරවැසිභාවයට පදනම අතුරුදහන් වී යයි. පුරවැසිභාවයට එහි දේශපලන සංයුජතාව සහ හමුවන අවකාශය අහිමි වෙයි. ආර්ථික සත්වයාට පොදු අරමුණ හෝ පොදු ගැටළු, සුවිශේෂව දේශපාලන ආකාරයකින් සිතිය නොහැකිය. එය, තම සාමුහික දේශපාලන පරමාධිපත්‍යය තහවුරු කරගන්නා ජනතාවක්, ප්‍රජාවක් පිළිබඳ අදහස අහෝසිකරයි. මානව ජිවිතයේ සියළු අංග මෙලෙස ආර්ථිකකරණයට ලක් කිරීම දේශපාලන සත්වයා දුර්වල කොට පසෙකට තල්ලු කරයි.
නවලිබරල්වාදය, දේශපාලනය මරා දැමීමෙන් තොරව, මහජන ජිවිතය නාටකීය ලෙස කෘශ කරයි. දේශපාලන පරිමණ්ඩලය වෙළෙඳපොළකරණයට ලක්කිරීම සමග බද්ධව, මහජන ජීවිතය, විශේෂයෙන්ම උගත් මහජන ජිවිතය විනාශ කිරීම මැද, දේශපාලනය පවතියි. එම දේශපාලනය හරසුන් ය.
ඒ යටතේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රීය යුක්තිය පිළිබඳ උනන්දුවීම් බැස යයි.
රාජ්‍යය නිර්බාධී යැයි කියනු ලබන ආර්ථිකයකට සහමුලින්ම සේවය කරන අතර එය විසින් පාලනය කෙරෙයි. රාජ්‍යයම එහි සියළු කෘත්‍යයන්හිදී වෙළෙඳපොළ බුද්ධිවාදයෙන් පෞද්ගලීකරණය කොට, වටකොටු වලින් බැඳෙයි. රජය වෙළෙඳ සමාගමක (firm) කළමනාකරුවෙකු වෙයි. සමානාත්මතාව, නිදහස සහ පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සැළකිළිමත්විම් පිළිබඳ අර්ථය සහ භාවිතාව දේශපාලන රෙජිස්ටරයකින් ආර්ථික රෙජිස්ටරයකට මාරු වෙයි.
නිදහස දේශපාලන ජිවිතයෙන් ආර්ථික ජිවිතයට ප්‍රති-ස්ථානගත කළ විට, එය ආර්ථික ජිවිතයෙහි ඇති අත්‍යන්ත අසමානතාවට යටත්වන අතර, එම අසමානතාව රැකගන්නා දෙයෙහි අංගයක් බවට පත්වෙයි.
නවලිබරල් බුද්ධිවාදය යටතේ “හුදු ජීවිතය” – නොනැසී ජීවත්විම සහ ධනය අත්පත් කරගැනීම පිළිබඳ සැළකිල්ල – සඳහා වු සීමිත මානව පැවැත්ම පංති හරහා සාර්වත්‍රික සහ පූර්ණ වෙයි.
“යහපත් ජීවිතය” යනුවෙන් ඇරිස්ටෝටල් හැඳින්වූ, “නිදහස පිළිබඳ සැබෑ පරිමණ්ඩලය” ලෙස මාක්ස් හැඳින්වූ, ආචාර ධර්මීය සහ දේශපාලන නිදහස, නිර්මාණශීලීත්වය, අසීමිත අවලෝකනය හෝ නවෝත්පාදනය සඳහා වූ “යහපත් ජීවිතය” නවලිබරල්වාදය බුද්ධිවාදය විසින් අහෝසි කරනු ලබයි.
නවලිබරල්වාදය යනු අවසානයේදී ධනවාදය මානව සංහතිය ගිලදමන බුද්ධිවාදය යි. මෙම ආකාරය පැතිරීයාම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩංගුව ඉවත්කොට ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය හුදෙක් විපර්යාස කොට, ප්‍රජාතන්ත්‍රවාදී ආශාවන් මැඩ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී සිහින අනතුරේ හෙළයි.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික පැවැත්මේ ජාතික රාජ්‍ය පරමාධිපත්‍යය, ධනවාදය, සහ බූර්ෂුව පුද්ගලවාදය විසින් හැඩ ගස්වනු ලැබූ එහි සීමා සුප්‍රසිද්ධය. එසේ තිබියදීත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හවුලේ බෙදා හදාගන්නා දේශපාලන සමානාත්මතාව, නිදහස සහ ජනතා පරමාධිපත්‍යයේ භාෂාව සහ පොරොන්දුව සියවස් ගණනාවක් තිස්සේ රැගෙනවිත් ඇත.
මෙම භාෂාව අතුරුදහන් වූ විට, හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපක්ෂය සංඥාර්ථවත් කිරීමට එය අවවර්ථනයට ලක් කළ විට සිදුවන්නේ කුමක් ද? ජනතාව නොහොත් ප්‍රජාව කතිකාමය වශයෙන් බිඳී විසිරී යෑමට සැළැස්වූ විට ජනතා පරමාධිපත්‍යය සඳහා ඇති අභිලාෂයට සිදුවන්නේ කුමක් ද? මානව ප්‍රාග්ධනය බවට ලඝු කළ මානව විෂයන් ජනතා බලය කරා යොමුවන්නේ හෝ ප්‍රාර්ථනා කරන්නේ වුව කෙසේද? ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන රැඩිකල් අභිලාෂයන්ට ප්‍රභවයක් සපයනු ඇත්තේ කුමක් ද?
නවලිබරල් බුද්ධිවාදය නගරයත් ආත්මයත් (සමාජයත් පුද්ගලයාත්), යන දෙකම එහි කොන්දේසිවලට අනුව යළි හැඩ ගැස්වුවහොත් එවිට කුමක් සිදුවේද?
මේ වෙන්ඩි බ්‍රවුන් ගේ අදහස් ය.
ඒ අනුව,ආණ්ඩුකරණමය තර්කනයක් යනු පිටතින් පැණවෙන්නක් මිස මානවයා තුළින් උත්පාදනය වන්නක් නොවේ.
‘නවලිබරල්වාදය යටතේ අපි හැම තැනකදීම,හැම විටකම ආර්ථික මිනිසුන් වෙමු’ යැයි බ්‍රවුන් පවසන විට ඇය අප යොමු කරන්නේ මානව ජීවිතයේ හැම දෙයම ආර්ථික මිණුම් දඬුවකින් මැනීම මානව පැවැත්මට ඇති කරන ගැටළුව කෙරෙහි ය.හනා ආරන්ඩ්ට් සංස්කෘතිය පිළිබඳ සාකච්ඡාවෙහිදී තර්ක කරන පරිදි මානවයා සංස්කෘතික වීම සියළු දේ ආර්ථිකමය දෘෂ්ඨියෙන්,එනම් හැම දෙයම පරිභෝජන භාණ්ඩ හා ප‍්‍රයෝජ්‍ය වස්තූන් මෙන් සළකා මණින ආකල්පයට එරෙහිව යන්නකි (බලන්න,“සංස්කෘතියේ අර්බුදය,” kathika.wordpress.com ).
පියෙරෙ බෝඩියු කළකට පෙර සමාජීය ප්‍රාග්ධනය සහ සංස්කෘතික ප්‍රාග්ධනය පිළිබඳ පළ කළ අදහස් සළකා බැලූ විට අප අවධාරණය කිරීමට යොමු වූයේ ‘මානවයන් හැම දෙයම ආර්ථික අර්ථයෙන් මනින්නේ නැත’ සහ ‘සමාජීය සහ සංස්කෘතික සබඳතා වලට අත්‍යන්ත වටිනාකම් තිබේ’ වැනි අදහසකි.නමුත්,නව ලිබරල්වාදය යටතේ ආර්ථික මිනිසා දේශපාලන මිනිසා පරදවා ජය ගැනීම පිළිබඳ බ්‍රවුන් ගේ නිරීක්ෂණය බෝඩියු ගේ නිරීක්ෂණයේ වලංගු භාවාය සනාථ කරන්නක් වැනිය.‘වත්මනෙහි ආර්ථික මිනිසා මානව ප්‍රාග්ධන පුංජයකි’ යැයි බ්‍රවුන් තර්ක කරන විට පෙනෙන්නේ බෝඩියු ගෙන හැර දැක්වූ පරිදි මානවයන් සංස්කෘතික සහ සමාජීය ප්‍රපංච පමණක් නොව තමන්මත් ප්‍රාග්ධනය ලෙස සළකා ක්‍රියා කරන ව්‍යවසායකයන්ගේ තත්වයට සැබැවින්ම පත්ව සිටීම යි.ඇතැමුන්,බෝඩියු ගේ ඉහත අදහස මිනිසුන් සමාජයේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ සාධනීය චිත්‍රයක් පෙන්නුම් කරන්නක් ලෙස ගැනීම උත්ප්‍රාසජනක ය.
නවලිබරල්වාදී ආකල්පයෙන් කටයුතු කිරීම,හුදු මුදල්මයකරණය පිළිබඳ කරුණක් නොවේ.මෙය ආකල්පමය ගැටළුවකි.එනම්,ලෝකය පිළිබඳ අප වගා කරගන්නා දැක්මකි.උදාහරණයක් ලෙස,පෙම් ඇසුර ට,මුදල් ලාභ පතා නොවන නමුත්, ව්‍යවසායකයෙකු හෝ ආයෝජකයෙකු ආකාරයෙන් එළඹීම මානව සබඳතාවක් ලෙස එයට ගෙන දෙන ඵල විපාක මොනවාද?එයින් පෙම් ඇසුර මානව ස්වයංඅවබෝධය සරුකරන විවිධ ආකාරයන් ලෙස මිනිසුන් වටහා ගෙන ඇති දෙයින්,තම ජීවිතය සරු කර ගැනීමේ අවස්ථාව මානවයන්ට අහිමි වෙයි.ඉන් කියැවෙන පරිදි,මේ වෙනස් කරමින් තිබෙන්නේ මානවයන් තම පැවැත්මේ ඉතිහාසය පුරා මානවයෙකු වීම යනු කුමක්දැයි වටහා ගෙන සිටි (ඉන් එකක් වන ආර්ථික ආකාරයද ඇතුළු)සියළු ආකාරයන් ආර්ථික මානයට පමණක් ලඝු කිරීම යි.
වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීම උසස් අධ්‍යාපනය නවලිබරල්වාදය අනුව යළි තැනීමේ ප්‍රථිඵලයකි.තවද,නවලිබරල්වාදය පසුගිය තිස් වසරක් තුළ වර්ධනය වූවකි.එය සම්බන්ධයෙන් ගත හැකි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ ඉඟියක් එම අදහසෙහි තිබේ.
අප,‘මානවයන්වීම යනු කුමක් ද?’ යන්න පිළිබඳ ආර්ථිකකරණය කළ නිර්වචනයකට අනුව වෙනස් වෙමින් සිටින්නෙමු. අපි අප තුළට පැමිණි සිටින ඒ නව මිනිසාට කැමැත්තෙමු ද? මිනිසෙකු ලෙස ජීවත් වීමේ මෙතෙක් අප දැන සිටි ඒවාට වඩා, යහපත් ආකාරයක් ලෙස ඒ නව මිනිසා අපේ දරුවන්ට හඳුන්වා දීමට අපි කැමැත්තෙමු ද?
——————–
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”?
මම දැන් මෙම කරුණු ඉදිරිපත් කිරීමෙහි සමාප්ති කොටසට පැමිණ ඇත්තෙමි.
අප අවසානයට සලකා බැලූ නවලිබරල්වාදය පිළිබඳ පෝල් වර්හාග සහ වෙන්ඩි බ්‍රවුන් ඉදිරිපත් කරන කරුණු හමුවේ ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය අප වටහා ගන්නේ කෙසේද?’යන්න පිළිබඳ අදහස් කිහිපයක් මෙහි ලා කෙටියෙන් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.
නවලිබරල්වාදය පිළිබඳ පෝල් වර්හාග සහ වෙන්ඩි බ්‍රවුන් මතුකරන මූලික ගම්‍යමානවීම් හරයෙන් ගත් කළ පොදුවේ ලාංකේය සමාජයටත් අදාළ වන්නේ යැයි සිතමි.අප අතරම ඒවායේ පූර්ණ වර්ධනයන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇත.වෙන්ඩි බ්‍රවුන් පැහැදිලි කරණ ඉරණමට අපගේ ප්‍රජාතන්ත්‍රවාදයත් ගොදුරු වී ඇත.
නවලිබරල්වාදයට අභියෝගයක් එල්ල කළ හැකි දේශපාලන බලවේගයක් ලෙසට ඇතමුන් අපට යෝජනා කෙරෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන ධාරාවයි. මෙම අදහස නියෝජනය කරන සංකල්ප ගත කිරීමක් ලෙස ගුණදාස අමරසේකර ගේ ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’ (2016) නමැති ලේඛනය සැලකිය හැකි යැයි සිතමි.එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම නිරීක්ෂණය කරමින් ඊට විකල්පයක් ලෙස “සභ්‍යත්ව රාජ්‍යය” නමැති සංකල්පය යෝජනා කරයි.සභ්‍යත්ව රාජ්‍යය යනු දෙන ලද රටක සභ්‍යත්වය හා රාජ්‍යය සමපාතවීමේ ප්‍රතිඵලය යි. අමරසේකර ලංකාවට අදාළව මෙම සංකල්පය වර්ධනය කරන්නේ සැමුවෙල් හන්ටින්ග්ටන් නූතන ලෝකයේ පශ්චාත් සීතල-යුද යුගය පිළිබඳ ඉදිරිපත් කළ ‘ශිෂ්ඨාචාර අතර ගැටුම’ යන ප්‍රවාදයත්,මාටින් ජැක් ඉදිරිපත් කළ ‘චීනය සභ්‍යත්ව රාජ්‍යයකි” යන ප්‍රවාදයත් පාදක කොට ගෙනය.මාටින් ජැක් ගේ අදහස,චීනය තමන්ව හඳුන්වා ගන්නේ ජාතික රාජ්‍යයක් ලෙසින් වුවද, චීන රාජ්‍යය ගැළපෙන්නේ නූතනයේ බටහිර උපත ලද එම සංකල්පයට නොව සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ සංකල්පයට බවයි.ඔහු තර්ක කරන්නේ චීන ජනයා තමන් ගේ පැවත්ම අරුත් ගන්වන්නේ චීන සභ්‍යත්වයේ කොටස්කරුවන් ලෙස බවයි.
අමරසේකරගේ ප්‍රස්තූතය චීනය මෙන්ම ‘ලංකාවද සභ්‍යත්ව රාජ්‍යයකි’ යන්න යි.මාටින් ජැක් ට අනුව චීන සභ්‍යත්ව රාජ්‍යයේ දාර්ශනික පදනම වූයේ කොන්ෆියුසියස් දර්ශනය නම්,ලංකාවේ පූර්ව නූතන යුගයේ පැවැති සභ්‍යත්ව රාජ්‍යයේ පදනම වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය බව අමරසේකර ගේ ප්‍රවාදය යි.මෙම සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය ධර්මිෂ්ඨ,සාමුහිකත්වය අගයන,ජනතා සහභාගීත්වය පදනම් කරගත්,සුබසාධන රාජ්‍යයක් යැයි අමරසේකර තර්ක කරයි.එහි පදනම මත අනාගත,නූතන සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නැංවීමේ විකල්ප අදහස සම්පාදනයට මුල පිරීම අමරසේකර ගේ මෙම දීර්ඝ ලිපියේ අරමුණයි. එම අරමුණට දායකකර ගත හැකි,ඉපැරැණි ගම් සභා ක්‍රමය හා සමාන ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පය වැන්නක් යෝජනා වී තිබීම අමරසේකර අගය කරයි. අමරසේකර සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ ඉදිරිපත් කරන අදහස්වල අනුභූතික වලංගුභාවය විවාදයට තුඩු දෙයි.එය විමසීම මෙහි ලා මගේ අරමුණ නොවේ.
මෙම ලිපිය සාකච්ඡා කරමින් ‘සභ්‍යත්ව රාජ්‍යය සහ සමසමාජය’ (2017) නමින් පොතක් සම්පාදනය කරන සුමනසිරි ලියනගේ මෙරට රාජ්‍යයේ විකාශනය වටහා ගැනීමෙහි ලා ජාතික රාජ්‍යය පිළිබඳ අදහසට වඩා සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස වඩා ප්‍රයෝජනවත් යැයි එකඟ වෙයි.එනමුදු ලියනගේ යෝජනා කරන්නේ සිංහල බෞද්ධත්වය මත පදනම් වූ ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය වසර 2300 ක පමණ ඉතිහාසයක මුහුණ දුන් වෙනස්කම් සලකා බලමින් මෙන්ම සභ්‍යත්ව සංකල්පයේ ඇති ආභ්‍යන්තරික විරුද්ධාභාෂයන් ද නිරාකරණය කරගනිමින් වත්මනට ගළපා ගත යුතු බවයි.එලෙස සකසා ගත් සභ්‍යත්ව රාජ්‍ය සංකල්පයක්,අන්තෝනියෝ ග්‍රාම්ස්චි යෝජනා කළ දේශපාලන සමාජයේ සහ සිවිල් සමාජයේ එකතුවක් වන ‘අනුකලනීය රාජ්‍යය’ සංකල්පයට ආසන්න වන බව ලියනගේ ගේ තර්කයයි.ඔහු දකින පරිදි මෙම නූතන ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය ගොඩනැඟීමේ වගකීම දැරිය හැක්කේ මකියාවෙලි ගේ අර්ථයෙන් ‘නූතන කුමාරයා’ නැතහොත් සමාජ පහත මාලයේ සාමූහික දේශපාලන පක්ෂයට ය.එම සභ්‍යත්ව රාජ්‍යයෙහි ලා නූතන කුමාරයා ඉටු කිරීමට සමත් කටයුතු වශයෙන් ලියනගේ හඳුනාගන්නා කරුණු අතර නවලිබරල් ගෝලීයකරණයට එරෙහි ජාතික ආර්ථිකයක් ගොඩ නැඟීම සහ හනා ආරන්ඩ්ට් ගේ අදහසක් අනුව යමින්, සමාජයේ සියලු ජනකොටස් ඇතුළත් කරගන්නා,කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය ( ward democracy) පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් යන දෙකරුණ ප්‍රධාන ය.
සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස නවලිබරල්වාදයට එරෙහිව සූත්‍රගත කිරීමට යෝජනා කෙරී ඇත්තේ ඉහත ආකාරයට ය.මෙය සංකල්පීයව වැදගත් අදහසක් යැයි සිතමි.ඉදිරියේදී,මෙම අදහස් තවදුර වර්ධනය කෙරෙමින් පුළුල් ලෙස සාකච්ඡා වනු ඇතැයි සිතමි. එහිදී,සාකච්ඡාව සඳහා ලියනගේ ගේ සූත්‍රකරණයෙන් මතුවන එක් ගැටලුවක් පමණක් මෙහි ලා සඳහන් කරන්නට කැමැත්තෙමි.එය,ඔහු ඉදිරිපත් කරන කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත්,රාජ්‍ය යාන්ත්‍රණයක් පිළිබඳ අදහස හා සබැඳෙයි.මගේ ප්‍රශ්නය නම්,නූතන ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය ගොඩනැංවීමේ වගකීම පැවරෙන්නේ පහත මාලයේ දේශපාලන පක්ෂයට නම් සැබෑ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැංවීමට එබඳු පක්ෂයක් කටයුතු කිරීමට යොමු වනු ඇති බවට තිබෙන සහතිකය කුමක් ද?යන්නයි.මේ ප්‍රශ්නය මතු වෙන්නේ, හනා ආරන්ඩ්ට් විප්ලවීය සභා නිරීක්ෂණය ඇසුරෙන් පුරවැසි සභා පිළිබඳ අදහස වර්ධනය කිරීමේදී කළ එක් නිරීක්ෂණයක් ආශ්‍රයෙනි. ඇගේ නිරීක්ෂණය වූයේ විප්ලවීය තත්වයන් තුළ පුරවැසියන් සක්‍රීය වීමේදී ස්වයංසිද්ධව ඔවුන් ගොඩ නගා ගන්නා විප්ලවීය කවුන්සිල, විප්ලවීය තත්වයේ ජයග්‍රහණයෙන් පසු වැඩි කල් නොයා,අහෝසි කෙරෙන තැනට පක්ෂ නායකත්වයන් විසින් හැමවිටමත් කටයුතු කළ බවයි.
ගුණදාස අමරසේකර සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස වර්ධනය කිරීමට සංකල්පීය ආස්වාදය ලබා ගන්නේ චීනයෙනි.ගෝලීයකරණය සාධනීය ලෙස යොදා ගන්නා චීනය සමග,නවලිබරල්වාදී ඇමෙරිකාවට එරෙහිව,ලංකාව සන්ධාන ගත විය යුතු යැයි සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග නියෝජනය කරන බුද්ධිමතුන් ප්‍රකාශ කරමින් සිට තිබේ.ඉන් ඔවුන් කියා සිටින්නේ චීනය නවලිබරල්වාදී නොවන බව ය.
චීනය නවලිබරල්වාදී පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න පිළිබඳ ශාස්ත්‍රීය විවාදයක් පවතියි.සමහරු එය ‘ව්‍යතිරේඛීය නවලිබරල්වාදය,’ ‘චීන නවලිබරල්වාදය’ යැයි නම් කරමින් එය බටහිර නවලිබරල්වාදයෙන් වෙනස් මාවතක් ගන්නා බව කියති.චීනය නවලිබරල්වාදී නැතැයි පවසන්නන් එය පැහැදිලි කරන්නේ චීන ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දෙන රජය විසින් බව කීමෙනි.තවත් අයට අනුව එරට ඇත්තේ කතාපයාධිපත්‍යයික සමායතන (oligarchic corporate) රාජ්‍යයක් සහ පක්ෂයකි.නමුත් වැඩි දෙනෙකු දකින්නේ රජයෙන් මෙහෙයවනු ලැබන නවලිබරල්වාදය ක් චීනයේ ඇති බවයි.චීනයේ ප්‍රධානතම විවේචකයා (බලන්න, Verso) සහ චීනයේ ප්‍රධාන පෙළේ ඉතිහාසඥයන්ගෙන් අයෙකු සහ වඩාත්ම සිත් ඇද ගන්නා සහ බලපෑම් සහිත මහජන බුද්ධිමතා (බලන්න, Los Angeles Times) ලෙස හඳුන්වනු ලැබෙන වාන්ග් හුයි ගේ The End of the Revolution: China and the Limits of Modernity (2011) ග්‍රන්ථය චීනයේ නවලිබරල්වාදයේ උදාව සාකච්ඡා කිරීමට දීර්ඝ පරිච්ඡේදයක් වෙන් කොට ඇත.
වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos (2015) කෘතියෙහි චීනයේ නවලිබරවාදය පිළිබඳ මෙසේ කියයි:නවලිබරල්වාදය ආර්ථික ප්‍රතිපත්තියක්,ආණ්ඩුකරන මාදිලියක්,තර්කනයේ පර්යායක් වශයෙන් ගත් කළ එක වරම ගෝලීය ප්‍රපංචයකි.නමුත් එය අනියත,විභේදනය වූ,අක්‍රමික,සහ අපරිශුද්ධ දෙයක් වෙයි.එය ස්වීඩනයේදී සුබසාධනවාදයේ අවිච්ඡින්න සුජාතභාවය,දකුණු අප්‍රිකාවේදී ප්‍රජාතන්ත්‍රීයකරණ සහ ප්‍රති-ව්‍යාප්තිය පිළිබඳ පශ්චාත්-වර්ණභේදවාදී බලාපොරොත්තුව,චීනයේදී කොන්ෆියුෂියන්වාදය,පශ්චාත්-මාඕවාදය සහ ධනවාදය,සහ ඇමෙරිකා එක්සත් ජනපදයේදී දීර්ඝකාලීනව ස්ථාපිත වූ රාජ්‍ය-විරෝධය සහ නව කළමනාකරණමයවාදය පිළිබඳ පුදුමාකාර මිශ්‍රණය,සමග හරහට වැටෙයි.
පවත්නා දේශපාලනයේදී,චීනය හා ලංකාව අතර සබඳතාව තව දුරටත්,හුදු සංකල්පීය එකක් නොවන තත්වයක් යටතේ,ගෝලීය දේශපාලනයේ ඇමෙරිකානු පිළට එරෙහිව,චීනය සමග ලංකාව සන්ධාන ගත විය යුතු යැයි සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග නියෝජනය කරන බුද්ධිමතුන් කරන ප්‍රකාශ සහ අමරසේකරගේ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය සමපාත වීමේ ප්‍රායෝගික දේශපාලන අනතුරක් පවතියි.එය නම්,ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග චීන රාජ්‍ය ආකෘතිය අනුව යමින්,චීනයේ වත්මනෙහි පවතින්නාක් මෙන් තනි පක්ෂයක පාලනය යටතේ, තනි යාවජීව නායකයෙකු ගේ නායකත්වයෙන් යුතු නවලිබරල් ජාතික රාජ්‍යයක් ගොඩනැඟීමට යොමු වීමයි. එවැන්නක්, සුමනසිරි ලියනගේ යෝජනා කරන නවලිබරල් විරෝධී,නූතන,සභ්‍යත්ව රාජ්‍යයෙන් බොහෝ දුරස්ථ එකක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ජාතික රාජ්‍යය පිළිබඳ සංකල්පය පශ්චාත් බැන්ඩුන් සමයේ පශ්චාත් යටත්විජිතවලට තව දුරටත් අදාළ නොවන බව ඩේවිඩ් ස්කොට් තම Refashioning Futures (1999) කෘතියෙහි ලා යෝජනා කළේය.ඔහු එහි ලා තර්ක කළේ එකල ‘තුන්වැනි ලෝකය’ නමින් හඳුන්වනු ලැබූ ලංකාව ද ඇතුළත් පශ්චාත් යටත් විජිතයන් වූ රටවල යටත් විජිත විරෝධී සහ ඓහික නූතන රාජ්‍ය සමාජවාදී ව්‍යාපෘතීන්,ජාතික රාජ්‍යයේ දේශපාලන ප්‍රජාව සාක්ෂාත් කරගැනීම පිළිබඳ විශ්වාසය අහිමිවීමෙන් ශ්‍රාන්තියට පත්ව ඇතැයි යන්නයි.ඔහු යෝජනා කළේ අප විමසිය යුත්තේ යටත් විජිතවාදය ශ්‍රී ලාංකේය දේශපාලන නූතනත්වයේ මූලික අංශ,වඩාත් මූලිකව සුළුතරය සහ බහුතරය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ග සංස්ථාපිත කළ ආකාරය බවයි.
නවලිබරල්වාදය සහ සිංහල බෞද්ධ ජාතිකවාදය අතර ඇති සබඳතාව පිළිබඳ පිළිබඳ අප මින් පෙර අවස්ථා ගණනාවකම සවිස්තරව කරුණු දක්වා ඇත්තෙමු.‘ජාතිකචින්තනය’ නියෝජනය කරන දේශපාලන ගතිකය මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු නවලිබරල් ජාතිකවාදයක් බවට හැරුණු බවට අපි තර්ක කළෙමු (බලන්න, ‘කතිකා‘ ප්‍රාරම්භක කලාපය,2009 “නව-ලිබරල් ජාතිකවාදයක්“ kathik.lk ).ඉන් අප අදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය ආර්ථිකයේ දී නවලිබරල්වාදයත් දේශපාලන තලයේදී ජාතිකවාදී පිළිවෙතකුත් අනුගමනය කළ බවයි.පශ්චාත් යුද ලාංකේය සමාජයේ අප අත් දකිමින් සිටින්නේ නවලිබරල්වාදය සහ ‘ජාතික චින්තනය’ අතර ගැටුමෙන් නවලිබරල්වාදය ජය ගෙන තිබීම බව අපි තර්ක කළෙමු:“අද වනවිට ආර්ථිකයේ නවලිබරල්වාදයත් සාමාජීය ජීවිතයේ පුද්ගලවාදයත් අධිපතිවාදයට පත් ව තිබේ”(බලන්න,නිදහස සහ අවශ්‍යතාව:අධ්‍යාපනය සහ සංවර්ධනය,‘කතිකා’අංක 1,2013 kathika.lk ).
අප දැනටමත් සඳහන් කොට ඇති පරිදි,කෝල්බෘක් -කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ නූතන ලංකාවේ ජාතික දේශපාලනයෙහි යටත් විජිතවාදී ලිබරල් බුද්ධිවාදය ස්ථාපිත කරනු ලැබිණි.ඉන් සකස් කළ අවකාශය තුළ,ඕල්කොට් සහ ධර්මපාලගේ බුද්ධිවාදී සහ දේශපාලන බෞද්ධ ව්‍යාපෘතිය සිංහල සුළු ධනේශ්වරය අතර මුල් බැස ගත්තේය.පසුකලෙක,වාමාංශික දේශපාලනය විසින් හඳුන්වාදෙනු ලැබූ මානවීයවාදී මාක්ස්වාදය ලිබරල්වාදයට අභියෝගයක් එල්ල කරමින් ගැමි ජනයා අතරම පවා පදනමක් ගොඩනඟා ගන්නට සමත් වීය. (ලංකාවේ අපට මානවීයවාදී මාක්ස්වාදයෙන් අපේ දේශපාලනය තවදුරටත් පෝෂණය කරගැනීම අහිමි වීමට ව්‍යුහවාදී මාක්ස්වාදය අපගේ විග්‍රහයන් හි අධිපතිවාදයට පත්වීම කොතෙක් දුරට හේතුවිණිද? යන්න අප සළකා බැලිය යුතු ය.) ’71කැරැල්ල,ඇමෙරිකානු-සෝවියට් සීතල යුද්ධය සහ චීන-සෝවියට් භේදය පසුබිමෙහි සිංහල සුළු ධනේශ්වරය අත මාක්ස්වාදය බුද්ධිවාදයට යටකිරීමේ ප්‍රතිඵලයකි. ‘87-’89 කැරැල්ල සහ එහි බිහිසුණු ස්වරූපය ග්‍රාමීය ප්‍රදේශද එහි ග්‍රහණයට ගත් ආකාරයෙන් පෙන්නුම් කළේ ද, ග්‍රාමීය සුළු ධනේශ්වරයේ බුද්ධිවාදී එළඹුමේ මතවාදී ප්‍රකාශනය යි.
1977න් උදා වූ පශ්චාත් නිර්බාධී ආර්ථිකය පසුබිමෙහි,බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි කරගත් සිංහල සුළු ධනේශ්වරයේ බුද්ධිවාදී දැක්ම,නවලිබරල්වාදී ලෝක දැක්ම සමග කදිමට පෑහීම සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය යටතේ ලාංකේය සමාජයේ නවලිබරල්වාදී කතිකාව අධිපතිවාදයට පත්වීම පහසු කළා විය යුතුය.
2015 ජනවාරි 8 වැනිදා රාජපක්ෂ රෙජිමය පරාජය කරමින් තමන් ජයග්‍රහණය අත්පත් කරගත්තේ යැයි මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සිතුව ද (එහි ලා රාජපක්ෂ රෙජිමය යටතේ පීඩාවට පත්ව සිටි සිංහල සුළු ධනේශ්වර කොටස්ද හවුල් වී සිටියහ)ඒ එකම මොහොතේම එම බලවේගයන්ගේ පරාජයත් සිදු වීය.මන්ද යත්,ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් අවධානය යොමු කොට දේශපාලන අරගල බිමේ නිරතව සිටින අතර නවලිබරල්වාදී බලවේග රාජ්‍ය බලයේ අධිපතිභාවය ගැනීමට කටයුතු කල්තබාම සැලසුම් කොට තිබුණු හෙයිනි,එලෙස බලය අත්පත් කරගත් දේශපාලන ප්‍රභූ පංතිය,බලයට පත් වූ පළමු මොහොතේම පටන් ප්‍රජාතන්ත්‍රවාදයත්,ජනතා පරමාධිපත්‍යයත් නොසලකා කටයුතු කළ හෙයිනි.
ඉහත පසුබිමෙහි තබා සලකා බලන කළ,පෝල් වර්හාග මතුකරන,නවලිබරල්වාදී කුසලතා තන්ත්‍රය පිළිබඳ අදහස සමාජයේ අධිපතිභාවයට පත්වීම පුද්ගල පෞරුෂයන් සහ අනන්‍යතාවන්ට කරන බලපෑමෙහි ඵලවිපාක මෙන්ම,වෙන්ඩි බ්‍රවුන් අප හමුවේ මතුකරන,නවලිබරල්වාදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය පොදුවේ මුහුණ දී ඇති අනතුර සහ එයින් මානව සමාජයේ යහ පැවැත්මේ අනාගතය පිළිබඳ ගම්‍යමාන කෙරෙන ඵලවිපාක, ලංකාවේ අපේ පොදු යහපත පිළිබඳ සිතීමේදී නොසලකා සිටීමට අපට හැකිද?
ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම අප මානව ප්‍රාග්ධනයන් බවට විපරිණාමය වීම සමග ගැට ගැසී ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අත් නොහැර එය යළි ස්ථාපිත කිරීමේ මඟක් එම සම්බන්ධයෙන් ගම්‍යමාන නොකෙරෙන්නේද?
අප හමුවේ ඇති ආසන්නතම,බැරෑරුම්තම සහ වඩාත් අභියෝගාත්මක දේශපාලන ගැටලු මේවා යැයි සිතමි.
පාද සටහන්
1. මෙම කොටසෙහි පෝල් වර්හාග ගේ කෘතියේ එන අදහස් ඉදිරිපත් කිරීමෙහිදී, මුල් කෘතියෙන් කරුණු උපුටා දැක්වීමට අමතරව, එහි එන ඇතැම් කරුණුවල සාරාංශ කළ අදහස් පහත සඳහන් විචාරයන්ගෙන් උපුටා ගෙන ඇත්තෙමි.
Peter S Grosvener, (2015), The Humanist.com,
https://thehumanist.commagazine/march-april-2015/arts_entertainment/what-about-me-thestruggle-for-identity-in-a-market-based-society
O Bombardelli (2016) , Journal of Social Science Education, http://www.jsse.org/index.php/jsse/article/view/1521
http://newbooksnetwork.com/paul-verhaeghe-what-about-me-the-struggle-for-identity-in-a- 3
market-based-society-scribe-2014/
2. Anna Fishzon, New Books Network http://newbooksnetwork.com/paul-verhaeghe-what-about-me-the-struggle-for-identity-in-a-market-based-society-scribe-2014/
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම
(2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.)
සියලු හිමිකම් (c) ‘කතිකා’ අධ්‍යයන කවය සතුය.