ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම 

අහිලන් කදිරගාමර්

අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ  පීඩා අවම කර ගැනීම සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. 

ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී  ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට කඩා වැදී ඔහුගේ තටාකයේ පිහිනූ කල්හි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 දී වචනාර්ථයෙන්ම එළවා දමන ලදී. නිදහසින් පසු රට පාලනය කොට ඇති  දේශපාලන පක්‍ෂ සහ ඒවායේ අතු රිකිලි අහෝසි වෙමින් පවතියි. 

නව ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පක්ෂයට අයත් වන අතර නව මධ්‍ය-වාම ජාතික ජන බලවේගය (ජාජබ) සභාගයට නායකත්වය දෙයි. ජනතා විමුක්ති පෙරමුණ 1970 දශකයේ මුල් භාගයේ සහ 1980 දශකයේ අගභාගයේ ප්‍රධාන කැරලි දෙකක නිරත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගණනකගේ ජීවිත අහිමි විය – බහුජන ප්‍රචණ්ඩත්වය ජනතා විමුක්ති පෙරමුණ සහ රාජ්‍යය යන දෙකම විසින් සිදු කරන ලදී. එහෙත් පක්ෂය මධ්‍යවාදී ප්‍රධාන ප්‍රවාහයට ගමන් කරනු ලදුව, විප්ලවවාදී මාක්ස්වාදී-ලෙනින්වාදයේ සහ සිංහල වාර්ගික-ජාතිකවාදයේ මිශ්‍රණයෙන් ඔබ්බට  ගමන් කර ඇත. පක්ෂය රටේ ග්‍රාමීය දකුණේ සිය මූලයන්ගෙන්  පටන් ගෙන, තදාසන්න ප්‍රදේශවල සහ කුඩා නගරවල එහි පදනම නැවත හැඩ ගස්වා ගත් අතර දූෂණය පිළිබඳ ප්‍රශ්නය අතට ගනිමින් මධ්‍යම පාන්තිකයන් පවා දිනා ගත්තේය.   එය මැතිවරණ මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීම පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මත රඳා පැවතුනේ දේශපාලන සුළං හැරෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටිය  හෙයිනි.

නමුත් අනුර කුමාර දිසානායක ගන්න. පෙර පැවති 2019 ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත්තේ 3.8% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මේ සතියේ ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

එහෙත් එහි ජයග්‍රහණය පැමිණෙන්නේ දුෂ්කර සමයකදී ය. මන්ද යත්, නිදහස් වෙළෙඳපොළ නාමයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ සුබසාධන කප්පාදුව දිගු කලක් ප්‍රවර්ධනය කර ඇති වොෂින්ටනය පදනම් කරගත් මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) සමග ඇති කරගත් ගිවිසුමක කොන්දේසි වලට අනුකූලව දැඩි පටිතද කිරීමේ කප්පාදු පියවරයන්ට බංකොලොත් වූ රට යටත්ව සිටින බැවිනි.  

පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි සාකච්ඡා කිරීම ගැනවත් සැලකුවේ නැත. එය ගෝලීය බලවතුන් ඉදිරියේ බඩගාමින් වැඳ වැටෙන්නට කැමැත්තක් දැක්වූ අතර බටහිර ආයතනවල මිණුම් සලකුණු සහ නිර්දේශයන්ට අනුකූලව ආර්ථිකය මෙහෙයවීය. මෙම ආර්ථික ප්‍රතිපත්ති රටේ ප්‍රභූ පැලැන්තියට ප්‍රතිලාභ අත්කර දුන් අතර, වැට් බද්ද ඉහළ යාමේ බර, බලශක්ති වෙළඳපොල මිලකරණය, බොහෝ දෙනෙකුගේ සැබෑ වැටුප් අඩකින් අඩුවීම සහ ජීවන වියදම දෙගුණ කිරීම යන සියල්ල වැඩකරන ජනතාවට පහර එල්ල කර ඇත. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් – (විශාල හෙජ් අරමුදල් (hedge fund) (1)  සහ අනෙකුත් මූල්‍ය සපයන්නන්ගෙන් සමන්විත)- විසින් තල්ලු කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාමූඅ හි ණය තිරසාරත්ව විශ්ලේෂණය  තෘප්තිමත් කිරීම සඳහා ද අවශ්‍ය විය. මෙයින් දැන් අදහස් වන්නේ, ඉදිරි වසර 16 තුළ ඇඟලුම් කම්කරුවන් සහ තේ දළු නෙළන්නන් වැනි වැඩ කරන ජනතාවගේ විශ්‍රාම අරමුදල්වල වටිනාකමෙන් අඩක් අහිමි වනු ඇති බවයි. මේ අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ ධනවත් ආයෝජකයින් ඔවුන්ගේ ආයෝජනවලට අත නොතැබීම සමඟ කිසිදු දඬුවමක් හෝ හානියක් නොමැතිව නිදහස් වී ඇත.

දිසානායක ඉදිරියේ ඇති කේන්ද්‍රීය අභියෝගය වන්නේ වඩා හොඳ ජාමූඅ ගිවිසුමක් ලබා ගැනීමයි. සමාජ වෙනසක් අපේක්ෂා කරන නව ජනාධිපතිවරයෙකු සහ ගෝලීය මූල්‍ය හා වෙලඳපොලවල අවශ්‍යතා සඳහා කැපවී සිටින පැරණි ජාමූඅ අතර මෙම ආතතිය, ඉදිරි සති සහ මාසවලදී දිග හැරෙනු ලැබීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව සති හතකින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන අතර  පාර්ලිමේන්තුව තුළ  දිසානායකගේ ශක්තිය සහ ඔහුට ගොඩනගා ගත හැකි ජාතික සම්මුතිය ජාමූඅ  සමඟ ඔහුගේ කේවල් කිරීමේ බලය සහ  රට තුළ ප්‍රභූ පැළැන්තියෙන් එන බළපෑම වළක්වා තබා ගැනීමට ඔහුට හැකි ප්‍රමාණය තීරණය කරනු ඇත. 

ඕනෑම නැවත සාකච්ඡාවක හදවතේ ඇත්තේ ජාමූඅ හි ඉලක්ක වේ. මේවාට අනුව, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කළ යුතු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වූ පසු වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් බාහිර ණය සහ පොළී ආපසු ගෙවීම සඳහා වැය කළ යුතුය. මෙය සියලුම රාජ්‍ය ආදායමෙන් 30% ක් ණය සහ පොළී ආපසු ගෙවීම මත යෙදවීමකි – ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට, විශේෂයෙන් ඩොලර් බිලියන 12.55ක් ණය ලබා දී සිටින ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට මෙය කදිම අවස්ථාවකි. නමුත් ණය සහන ලැබී ඇත්තේ සුළුවෙන් වන තත්ත්වයක් යටතේ, යථාර්ථය නම්, ශ්‍රී ලංකාව නැවතත් ණය ගෙවීම පැහැර හැරිමකින් කෙලවර විය හැකි බවයි.

මෙම සන්දර්භය තුළ, ජාමූඅ සමඟ ගමන් මඟෙහි අවසානය දක්වා රැඳී සිටින ලෙස දිසානායකට පීඩනය වැඩි වෙමින් පවතී. කොළඹ අගනුවර ප්‍රභූ පැලැන්තියේ සිට බටහිර මාධ්‍ය දක්වා පවතින බොහෝ කතා බහට ලක්ව ඇත්තේ හිටපු මාක්ස්වාදියෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ කර ආර්ථිකය කළමනාකරණය කළ නොහැකි බවයි. මෙය එක්තරා ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගැනේ. වැඩසටහනේ කාලසීමාව සඳහා ඊනියා “ජාමූඅ ණය සහන ලබාදීම” මසකට ඩොලර් මිලියන 60 ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ මසක විදේශ ඉපැයීම් (අපනයන, සේවා ඉපැයීම් සහ විදෙස්ගත සේවකයන් රටට එවන මුදල් ) දැන් එම මුදල මෙන් 30 ගුණයක් පමණ වන අතර එය ඩොලර් මිලියන 1,800 ක්  වන බව මෙහිදී පෙන්වා දීම වැදගත්ය. වෙනත් වචන වලින් කිවහොත්, ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලන පීඩනය සහ හුදකලා වීමේ බිය නිසා මිස, ජාමූඅ හි  අරමුදල් සඳහා  එම වැඩසටහනට ඇලී නොසිටිනු ඇත.

මෙහිදී වෙනත් තැනකින් – විශේෂයෙන් කෙන්යාවෙන් ඉගෙන ගත යුතු පාඩම් තිබේ. එහි සභාපති විලියම් රූටෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමකින් වසරකට පසුව, 2022 දී බලයට තේරී පත් වූ අතර, නව ලිබරල් වැඩපිලිවෙලට ඇලී සිටීම නිසා අවසානයේ ඔහු වෙනුවෙන් වොෂින්ටනයේදී රතු පලස් එලන ලදී. එහෙත් වසර දෙකක් ඇතුළත කප්පාදුවට සහ රාජ්‍ය මර්දනයට එරෙහි දැවැන්ත විරෝධතා එම රට විනාශ කර ඇත. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 70ක පමණ මෙන්ම ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව තුළද එම ප්‍රශ්න මතු වේ. ඔවුන් තම ජාතික ප්‍රතිපත්ති බැඳුම්කර හිමියන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උකස් කිරීම දිගටම කරගෙන යනවාද, නැතහොත් ඔවුන් සංවර්ධන මූල්‍යයේ විකල්ප මාර්ග සොයා, අබ්බගාත ජාමූඅ වැඩසටහන්වලින් මිදීම සඳහා සාකච්ඡා කරනවාද?

මෙම විකල්පයන් දෙක අතර දිසානායකට තදින් අදින ලද කඹයක් දිගේ ඇවිදින්නාක් ෙමන් කටයුතු කිරීමට සිදුවනු ඇත. නිදහසින් පසු  අසන්තක කරණයේ නරකම අදියර පසුකරමින් සිටින රටකට සහ ජනතාවකට ජාත්‍යන්තර සහයෝගීතාවය යන්නෙන් අදහස් විය යුත්තේ රට යළි ගොඩනැගීමට අවකාශය සැලසීමයි. මක්නිසාද යත්, දිසානායක තමන් සමඟ පුරවැසියන් කැටුව යාමට අසමත් වුවහොත්, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව විනාශ කළ ජාතිවාදී හා ධ්‍රැවීකරණ බලවේගයන් අවි අමෝරා සිටිනු ඇත.

අහිලන් කදිර්ගාමර් යනු දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

අග සටහන්

  1. වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් මුදල් එකතු කර කළමනාකරණය කරන පුද්ගලික ආයෝජකයින්ගේ සීමිත හවුල්කාරිත්වයකි. 

එංගලන්තයේ  The Guardian පුවත්පත 2024 සැප්තැම්බර් 24 දින Sri Lanka’s new president faces a problem shared by too many developing countries: austerity imposed by the west මැයෙන් පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.

Comments

  1. සිංගප්පූරුව ගොඩනගද්දී ලී ක්වාන් යූ ට තිබුණූ අභීයොග දෙකෙන් එකක් වුනේ ලංකාව ලංකාවේ තිබුණු ශක්තීන් වලින් එකක් හැටියට ලී ක්වාන් යු සදහන් කරලා තිබුනේ ලංකාවේ සිවිල් සේවය ඒ වෙනකොට දූෂණයට පෙළඔවිය නොහැකි ශක්තිමත් සිවිල් සේවාවක් අපිට තිබුනා .මෙය 1977 දක්වා පැවතුනත් 77 සිට වෙනස් වෙන්න පටන් ගත්තා ඉතාමත් වේගයෙන් .77 ජේ .ආර් ජවයර්ධන රජය දූෂණයට මාවත විවර කලා කීවොත් නිවරදියි .එහි ප්‍රතිඑලයක් ලෙස අද වන් විට දූෂණය අවම කිරීමටවත් නොහැකි වන ලෙස දූෂණය ලංකාවේ රාජ්‍ය සේවයේ විතරක් නොවේයි දේශපාලනය හා සමාජ දේහයම තුල පිලිකාවක් වගේ පැතිරිලා තියෙන්නේ .කාර්යාලයටකට ගියත් පොලීසියට ගියත් පාසලකට ගියත් පන්සලකට ගියත් අපිට දූෂණය හමුවෙනවා .අවාසනාවකට මේ බොහො තැන් වලින් මිනිසුන් සමාජානුයොජනය කරනවා ඒ සමාජානුයොජනය කරන්නේ දුෂණයත් එක්කම වීම තමයි මෙහි ඇති භයානක තත්වය.මේ නිසා මේ සමාජයේ වැඩියෙන්ම දුක්විදින්නේ අවංක මිනිස්සු වන අතර දූෂීතයො ඕන තරමි සැප විදිනවා .අපිට දූෂණයෙන් තොරව ජීවත් වීමට නොහැකි තරම් දූෂණය අද මුල් බැහැගෙන තියෙනවා .

    දූෂණය සාමාන්‍යකරණය විමේ අනෙක් විනාශකාරි දේ වන්නේ මේ දූෂිතයින් දඩුවම් වලට ලක් නොවීම .තමන් දූෂිත නැතැයි කිව හැකි රාජ්‍ය සේවකයෙක් නොමැති තරම්. මේ ගොඩක් අය හිතන්නේ තමන් දූෂීත නැහැ කියලා හැබැයි දූෂණය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තම තමයි තේරෙන්නේ තමනි දූෂිතයි කියලා .ඒ නිසා අපි බලමු දූෂණය කියන්නේ මොකක්ද කියලා

    දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ස්ටීවන් ඩී. මොරිස් ට අනුව දේශපාලන දූෂණය යනු තම  අවශ්‍යතා සඳහා මහජන බලය නීති විරෝධී ලෙස භාවිතා කිරීම බවයි.

     ආර්ථික  දූෂණය යන්න නිර්වචනය කළේ තුන්වන පාර්ශ්වයකට හෝ අධිකාරී බලය ඇති  නියෝජිතයෙකුට  දෙපාර්ශවයටම වාසි වන ඇතැම් ක්‍රියාවලට බලපෑම් කිරීමට තුන්වන පාර්ශ්වයකට රහසිගතව භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමේ ක්‍රියාවක් ලෙසය.

    ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ Daniel Kaufmann  මෙම සංකල්පය  විස්තර  කළේ නීතියේ සීමාවන් තුළ බලය අනිසි ලෙස භාවිතා කරන “නීතිමය දූෂණය” ගැනය  බලය ඇති අයට බොහෝ විට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නීති සැකසීමේ හැකියාව ඇත.

    යටිතල පහසුකම්වල දූෂණයේ බලපෑම වන්නේ පිරිවැය සහ ඉදිකිරීම් කාලය වැඩි කිරීම, ගුණාත්මකභාවය අඩු කිරීම සහ ප්රතිලාභය අඩු කිරීමයි.

    හොරකම දූෂණයේම තවත් අවස්ථාවක්  පසුගිය දවසක කිඑරිබත්ගොඩ ඥාණානන්ද හිමිගේ අසපුවක් විසින් අපාය පිලිබද වීඩියොවක් පාසලක පෙන්වනු ලැබුවා .එය අවසානයේ එතන හිටිය වෛද්‍යවරයෙක් ස්වාමින් වහන්සේ නමකගෙන් අපූරු ප්‍රශණයක් ඇසුවා ස්වාමිණි මම පන්සිල් රකිනවා කිසිම බොරුවක් කරන්නේ නෑ හැබැයි මම මගේ යටතේ ඉන්න සේවකයින්ට අතීකාග අරන් දෙන්න බොරු ලේඛන වල අත්සන් කරනවා මේ නිසා මටත් අතීකාල ලැපෙනවා

    දූෂණය සංකීර්ණ සංසිද්ධියක් වන අතර එය විවිධ පරිමාණයන් මත සිදු විය හැක. දූෂණය යනු සුළු පිරිසක් අතර (සුළු දූෂණය),මහා පරිමාණයෙන් රජයට බලපාන දූෂණය (මහා දූෂණය) සහ සමාජයේ එදිනෙදා ව්‍යුහයේ කොටසක් වන තරමට බහුලව පවතින දූෂණය දක්වා විහිදේ.

    නිරවද්‍යතාවයකින් විවිධ ආකාරයේ දූෂණ මැනිය හැකි දර්ශක සහ මෙවලම් ගණනාවක් සංවර්ධනය කර ඇත;, එක් අධ්‍යයනයකින් පෙනී යන්නේ කැබිනට් අමාත්‍යවරුන්ගේ තරබාරු බව සොයා ගැනීමෙන් පසු ශරීර මේදය දූෂණය පිලිබද දළ මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කිරිමයි . ලංකාවේ පලමු වරට මැතිවරණයට ඉදිරිපත් වීම හා වසර කීපයකය පසු ශරීරයේ ස්වභාවය මීට  අදාල වේ . ජී එල් පීරිස්  ඇමතිවරයා මෙයට හොද උදාහරණයක්ද …යම් පුද්ගලයෙකුගේ වැටුප හා ජීවන තත්වය අතර වෙනස දූෂණයේ තත්වයකි . රැකියාවට නොගැලපෙන දේපල , විදේශ සංචාර පාරිභොජන රටාව දූෂණයේ නිර්නායක විය හැක .වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මගින් යම් තරමකට හො මහා පරිමාණ  දුෂණය අවම කර ගත හැකි.නමුත් සුළු දූෂණය නැවතිය හැක්කේ බලවත් නීති පද්ධතියකින් හා දැඩි දඩුවම් ක්‍රමවේදයකිිනි මේ සදහා දුෂණය ප්‍රතික්ෂේප කරන නායකත්වයක් අවශ්‍ය වේ .එය ලංකාවේ නිර්මාණය වි තිබේද යන්න සිකා බැලීම ඔබට භාර කරමි .

    සංවර්ධනයේ බොහො ව්‍යපෘති අසාර්ථක වන්නේ දූෂණය නිසා බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.මහවැලි ව්‍යපාරයේ සිට සියගනන් සංවර්ධන ව්‍යපෘති දූෂණයේ පිලිකාව විසින් විනාශ කර ඇත.

    දුෂනයේ ශබ්දකොෂමය අරුත වන්නේ කෙලෙසිම, දුරාචාරය ,ඛාදනය යන්නයි .එය වංක ක්‍රියාවකි .එය සදාචාරය පිලිබදව සමාජයේ පිලිගත් ව්‍යවහාරයන් විනාශ කරයි .මේ නිසා දූෂණය නිර්වචනය කල හැක්කේ නීතියට ව්‍යතිරේකයක් වශයෙන් මිස නීතිමය දෙයක් ලෙස නොවේ . ලංකාවේ බොහො මහා පරිමාණ හා සුළු දූෂණයන් බොහොමයක් සිදුව ඇත්තේ නීතිමය රාමුව තුලය . මේ නිසා දූෂණය අප තේරුම් ගත යුත්තේ සදාචාරමය හා සංවර්ධන විරෝධී සංකල්පයක් ලෙසිනි .එබැවින් දූෂණය නිවරදිව තේරුම් ගන්න …දූෂණයට එරෙහිවන්න ….

    වජිර කාන්ත උබෙිසිංහ

Leave a comment