බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්

ගණනාථ ඔබේසේකර

ගණනාථ ඔබේසේකර

මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය.

P1010318අප පහත පළකිරීම අරඹන්නේ දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය නමැති පොතෙහි පළ කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ (පිටු 23-64) නමැති දීර්ඝ ලිපියයි. මෙම පොත ප්‍රකාශනය කොට ඇත්තේ නෝර්වේ හි ඔස්ලෝ නුවර නෝර්වේ බෞද්ධ සංගමය සහ එංගලන්තයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආගම් අධ්‍යයන දෙපාර්තමේන්තුව විසිනි. මෙම පොත 2002 වර්ශයේ ජූනි මස එංගලන්තයේ බාත් නගරයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු “බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය“ නම් සම්මන්ත්‍රණයේ දේශන එකතුවෙන් සකස් කෙරුණකි. මෙම ලිපිය පළ කිරීමේ සියළු හිමිකම් දීගල්ලේ මහින්ද හිමි සතුය.

මෙයින් අප උපුටා දක්වන මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ ලිපිය ලංකාවේ ජනවාර්ගික ගැටුම් සංදර්භය තුළ සිංහල ජන මානසිකත්වය වටහා ගැනීමෙහි ලා ඉතා වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කරන්නක් බව අපේ අදහසයි. මෙම ලිපියෙහි දැනවෙන බහු අරුත් සහ ඉන් කෙරෙන දේශපාලන ගම්‍යමාන කිරීම් නිසාම මෙම ගැටුම පිළිබඳ දෙපිල බෙදී වාද කරගන්නා සිංහලයන්ගේ මූලික දෙපිළෙන් – එනම් සිංහල ජාතිකවාදීන් මෙන්ම වාම-ලිබරල්වාදීන්ද යන දෙපිළෙන් – එක පිළක්වත් සාකච්ඡා නොකොට මඟ හැර යන ලිපියකි.

පළමු කොටස
අශාස්ත්‍රීය පූර්ව ප්‍රකාශයක්

මේ ලිපියේදී මට අවශ්‍ය වන්නේ බෞද්ධ ශ්‍රී ලංකාව යටත් විජිත යුගයට පෙර “ජාතිකභාවය” හා “අනන්‍යතාව” ගොඩ නැගුණු ආකාරය අනුමාන වශයෙන් පිරික්සීමට ය. එනම්, යටත් විජිත වාදය හා අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ප්‍රතික්‍රියා ලෙස 19 වන සියවස අග හා 20 වන සියවස මුල කර්නල් ඕල්කොට් හා අනගාරික ධර්‍මපාල විසින් ජනිත කරන ලද විශාල විපර්යාසයන් සිදුවීමට පෙර පැවැති තත්ත්වයන් සොයා බැලීමට ය. මෙය දුෂ්කර කටයුත්තකි. වසර දෙදහසක් පමණ කලක් මීට අදාල හෙයින් මේ කටයුත්ත ගෞරව සම්ප්‍රයුක්ත භීතියක් ජනිත කරන්නේ ද වේ. මේ නිරීක්ෂණයේදී අවසාන නිගමනාත්මක ප්‍රකාශයක් කළ හැකියයි නොකියමි. එසේ වුවද යටත් විජිත අවධියෙහි සිදු වූ දැඩි විපර්යාසයන් වටහා ගැන්ම පිණිස ඊට පෙර අවධියේ ජාතිකභාවය හා අනන්‍යතාව පිළිබඳව තිබුණු අදහස් කවරේදැයි සොයා බැලීම ප්‍රයෝජනවත් ය. මෙම විස්තරය වත්මන් ජනවාර්ගික අර්බුදය වටහා ගැන්මට කෙතෙක් දුරට ඉවහල් වේ දැයි ද නොදනිමි. එසේ වුවද වත්මන් තත්ත්වයේ සංකීර්ණ ස්වභාවය පිළිබඳව තැනින් තැන මා දුටු ඇතැම් කරුණු කීපයක් සඳහන් කොට වත්මන් සාම ක්‍රියාවලිය ඇරඹෙන මේ මොහොතේ බෞද්ධයන් මුහුණ පා සිටින දුෂ්කරතා සමහරක් පෙන්වා දෙනු කැමැත්තෙමි.

උගත් බටහිර වැසියන් විසින් ශාස්ත්‍රවේදීන් වන අපෙන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ දැඩි සේ අහිංසාවාදයට කැප වූ බුදුසමය වැනි ආගමක් විසින් පසුගිය දශක දෙක තුළ ප්‍රචණ්ඩත්වයේ අන්තයට ගිය සමාජයක් නිර්මාණය කළේ කෙසේද? යන්නය. එය ඇසිය යුත්තක් සේ පෙනෙන නමුත් මා සිතන්නේ එය වැරදි ප්‍රශ්නයක් කියා ය. අනෙක් කුමන ලෝක ආගමක් ම මෙන් බුදු සමයටත් ජාතියකට මුහුණ පෑමට තිබෙන සමාජ හා ආර්ථික ගැටළුවලින් මිදිය නොහැකි ය. එහෙත් මේ කාරණයට අදාළව වෙනත් ප්‍රශ්නයක් නැගිය හැකිය. එනම්, වත්මන් තත්ත්වය ගැන උත්සුක වූ බෞද්ධ ගිහියන් හා භික්ෂූන් විසින් සමකාලීන සමාජය යථා තත්ත්ව නිරූපණයකට භාජනය කොට එහි බලපෑම මගින් විනාශකාරී සිංහල ජාතිකවාදයකට නැඹුරු වූවක් වෙනුවට බුදු සමයේ මූලික සාරධර්මයන්ට අනුගත වූ නව සමාජ දර්ශනයක් නිර්‍මාණය කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද? යන්නය. මේ දේ මට මෙහිදී සලකා බැලිය හැක්කාට වඩා ව්‍යාකූල ප්‍රශ්නයකි. එහෙත් මා සිතන්නේ අද ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මුහුණ පාන අර්බුදයෙන් ගොඩ ඒමට නම් 19 වන සියවසේ අග හා 20 වන සියවස මුල ඕල්කොට් හා ධර්මපාලයන් කළ පරිමාණයේ ගුණධර්මමය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවය. ඔවුන්ගේ ව්‍යාපාරයේ අන්තර්ගතය මා අනුමත නොකරතත් මා එසේ කියන්නේ ඇයි දැයි පැහැදිළි කිරීම පිණිස ශාස්ත්‍රීය නොවන අයුරකින් වත්මන් බෞද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ හා අපේක්ෂා විරහිත ස්වභාවය මදක් විස්තර කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ අද පවතින ප්‍රචණ්ඩත්වය හා සමාජ අතෘප්තියෙහි මාපකයක් සේ මේ බෞද්ධ රට ඉතාමත් ඉහළම ප්‍රමාණයේ මිනීමැරුම් සංඛ්‍යාවක් හා ලෝකයේ ඉහළම මට්ටමේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාවක් තිබීම දැක්විය හැකිය. ශ්‍රී ලාංකික බෞද්ධයන් පන්සිල් කවරේ දැයි හොඳින්ම දන්නා නමුත් පසුගිය විසි වසරක පමණ කාලය තුළ ලෝකයේ ඉහළම මත්පැන් භාවිතය පෙන්නුම් කරන රටක් බවට පත් වී තිබේ. මෙය තම පක්ෂයට ආධාර කළවුන්ට බීමහල් විවෘත කිරීමට අවසරපත් ලබා දුන් දේශපාලනඥයන් විසින් අනුබල දෙන ලද ප්‍රවණතාවකි. එසේම ශ්‍රී ලාංකික බෞද්ධයෝ විශාල ප්‍රමාණයේ මාංස භක්ෂකයන් ද බවට පත්ව සිටිති. මා දන්නා පරිදි මහනුවර එක් ප්‍රසිද්ධ පන්සලක දානය සඳහා කුකුල් මස් ලබා දෙන ලෙස දායකයන්ට පවසනු ලැබේ. ඇතැම් විට භික්ෂූන්ගේ කටයුතු, විශේෂයෙන් දේශපාලනය, විවේචනය කරන ගිහියන් පවා භික්ෂූන්ට සුඛොපභෝගී භාණ්ඩ විශේෂයෙන් දානාවස්ථාවේදී ආහාර වර්ග ගොඩ ගසන ආකාරය දැක්ක හැකිය. මෙයින් භික්ෂූන්ගේ ලෞකිකාශා වර්ධනයට අනුබල ලැබේ. වැඩිපුර සිවුරු, තුවා ආදිය (දොස් කිව නොහැකි පරිදි) ආපසු වෙළඳ පොළට යැවේ.

මා කුඩා අවදියේ විහාරයන් හෝ පුරාවිද්‍යා ස්ථාන මංකොල්ලයක් ගැන සිතන්නට පවා හැකියාවක් තිබුණේ නැත. එහෙත් අන්තර්ජාතික පුරාවස්තු වෙළෙඳ පොළෙන් අනුබල ලැබ මෙය “කර්මාන්තයක්” බවට පත් වී ඇති සැටි පුවත්වලින් දැක්ක හැකිය. එම ඇතැම් විස්තර අනුව මේ අපරාධයන්ට භික්ෂූ සහාය ද ඇතැම් විට ලැබේ. භික්ෂූන් බෞද්ධ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වා ගෙන ආවෙමුයි උදම් අනන මුත් පන්සල් වල ඇති පුස්කොළ පොත් එක්කෝ පුස් කමින් තිබෙනු හෝ සංචාරකයන් රවටා “බුදුන්ගේ ලියමන්” ලෙස පිටුව පිටුව විකිණෙනු දැක්ක හැකිය. අද භික්ෂූන් ස්වල්ප දෙනෙකු පමණකි පාලි දන්නේ. බුදු සමය තවදුරටත් නිශ්ශබ්ද වූ ආගමක් නොවේ. ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ශබ්ද දූෂණය කෙරෙමින් භික්ෂූහු අසල්වැසි මුස්ලිම් පූජකයන් හා සමඟ “ශබ්ද යුද්ධයේ” යෙදෙති. මහනුවර බලවත් දේශපාලනඥයෙකු අනුග්‍රහ දක්වන එක් පන්සලක පෝ දිනක මේ ශබ්ද කරදරය කොතරම් උත්සන්න වී ද යත් කෙනෙක් භික්ෂුවට දුරකථනයෙන් පැමිණිල්ලක් කළේය. වැඩි කල් යාමට පෙර නායක භික්ෂුව පෙරටු කොට ගත් බීමත් මිනිසුන් පනස් දෙනෙකු පමණ වුත් විශ්ව විද්‍යාල ඇදුරෙකු වූ එම පුද්ගලයාගේ නිවසට කඩා වැදී මරණීය තර්ජන එල්ල කරන ලදී. අද භික්ෂුවකට රජයේ ඉඩමක් හෝ පුරාවිද්‍යා ආරක්ෂිතයක් බලෙන් අල්ලාගෙන පන්සල් හැදීමට පුළුවන. කිසිදු අවස්ථාවක ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණැයි මා අසා නැත.

පුවත්පත් වාර්තා අනුව ගැහැණු නිරතුරුව දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වෙති. පාතාලයේ මැරයෝ මහ දවාලේ ම මංකොල්ල කෑම් හා මිනීමැරුම් කරති. පාසලේ දී “බුදුසමය” උගත් පාසල් සිසුවෝ ද එය කර්ණකටුක වීමෙන් දෝ අපරාධයන්හි නිරත වෙත්. පාතාලයේ මත් ද්‍රව්‍ය වාණිජයෝ හා දාමරිකයෝ සෑම දේශපාලන පක්ෂයකම අනුගාමික පිරිස් වල සිටිති. ඇතැම් විට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ ආරක්ෂක භටයන් ලෙස ද ඔවුහු යොදා ගැනෙති. මේ සියල්ලටම යටින් ඇත්තේ එක තැන පල් වන ආර්ථිකයකි. ඊට තුඩු දුන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ජනවාර්ගික යුද්ධයත්, විශාල ජනගහණ වර්ධනයත් දිනෙන් දින වැඩි වන විරැකියාවත් ය. මේ හේතු නිසා 80 දශකයේ අග සිංහල බෞද්ධ ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලෙන් සමාජය තිරශ්චීනභාවයට පත් විය. මේ අවධියේදී ජවිපෙ විසින් බියජනක වූද මනුෂ්‍යත්වයට නොතරම් වූ ද අපරාධ කරනු ලැබුවා පමණක් නොව එම ව්‍යාපාරය මර්ධනය සඳහා රජය යෙදූ ප්‍රතිප්‍රහාරය ද ඒ ආකාරයෙන්ම බිහිසුණු වූයේය. අද දින සමාජයේ පවතින භීෂණ සංස්කෘතියට ප්‍රධාන හේතු කාරකය වූයේ එදා ජවිපෙ හා ඊට එරෙහිව රජය විසින් ඇති කල ප්‍රචණ්ඩත්වයය යනු මගේ විශ්වාසයයි.

භික්ෂු ශාසනයේ තත්ත්වය ගතහොත් එහි ඇති අපිළිවෙළ පැහැදිළිව පෙනේ. ගම්වලින් කුඩා ළමයි මහණ කෙරෙනු ලැබේ. ඒ අනුව තමන් අවට සිටින ගිහියන්ගේ මානසික ස්වභාවය භික්ෂූන් අතර ද තිබීම පුදුමයක් නොවේ. ගැමි භික්ෂූන් සමාජයේ නැතිවම බැරි සේවයක් ඉටු කරන බවත් භික්ෂූන් අතරෙන් වැඩි දෙනා බුදුසමයෙහි බොහෝ උගත්කම් නැතත් තමන් අවට සිටින ගිහි වැඩිපුර දෙනෙකු මෙන් යහපත් උදවිය බව විශ්වාස කරමි. කෙසේ වුවද අප අපේක්ෂා කරන අන්දමේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් සඳහා නායකත්වය සැපයීමට අවශ්‍ය ස්වයංවිවේචන ශක්තිය හෝ නායකත්ව ගුණාංග ඔවුනට නැත. මීට ප්‍රතිවිරුද්ධව ප්‍රකාශක හැකියාව ඇති භික්ෂූහු හා ගිහි බෞද්ධයන් කරන්නේ බුදුසමය යහපත්ව පවතිනවාය යන ආත්ම වංචනයෙහි නිමග්නව සිටිමින් “බෞද්ධයන්ට ඇති මැසිවිලි” සඳහා රජය විසින් විසඳුම් ලබා දිය යුතු යැයි උද්ඝෝෂණය කිරීමය. අනුන් පිට වරද පැටවීම බහුලව සිදුවේ. ජාතිය වැටී ඇති ප්‍රපාතය ගැන එල්ටීටීඊයටත්, ක්‍රිස්තියානින්ටත්, සමහර විට පිටරට වැසි ශාස්ත්‍රඥයින්ටත් දොස් පවරනු ලැබේ. සමාජයක් ව්‍යාධිගතව ප්‍රතිමාණ විරහිතව (anomic) සිටින විට මේ අන්දමින්, ස්වයං විභ්‍රමණයන් සිදු වීම පුදුමයට කරුණක් නොවේ.

භික්ෂුව හා ගිහියා අතර වෙනස අපැහැදිළි බවට පත් වෙමින් තිබෙන මෙවැනි යුගයක භික්ෂූන් ද දැඩි මතධාරී වූ ද ඇතැම් විට ප්‍රචණ්ඩ වූ ද දේශපාලන කටයුතු වල නිරත වෙතැයි සිතිය හැකිය. ජවිපෙ ඇතුළුව සෑම දේශපාලන පක්ෂයකටම අයත් භික්ෂූන් සිටින හෙයින් ඔවුන් බුදුන්ගේ පණිවුඩයට නොව එම දේශපාලන පණිවුඩයන්ට ප්‍රතිචාර දක්වන අයුරු දැක්ක හැකිය. ඒ කෙසේ වුවද සංසන්දනාත්මකව බලන කල බෞද්ධයන්ගේ හැසිරීම එතරම් නරක නැත. ජාතිකවාදී භික්ෂූන් හා ගිහියන් දේශපාලනමය ඝෝෂාවන්හි යෙදී සිටියත් ඔවුන් අද දින ඉන්දියාවේ සිටින තාපස භටයන් තරම් ප්‍රචණ්ඩ හෝ ගුජරාතයේ මිනීමරු ජන පිරිස් හෝ තරම් තත්ත්වයකට පත් වී නැත. මුස්ලිමුන්ගේ ජීහඩ් දර්ශනයේ ආභාශය ලැබූ අය සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පය. මව්බිම වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් නිවන් යනවා යැයි කියන්නේ එකම එක භික්ෂුවක් විසින් පමණි. භික්ෂූන්ගේ ජාතිභේදවාදී අදහස් දමිළයන් අන්තවාදීන් වීමට වත්මන් යුද්ධය දිගින් දිගටම පැවතීමටත් තරමක් දුරට හේතුභූත වූ නමුත් ඔවුන්ගේ වත්මන් ප්‍රතිචාරයන් තනිව ගෙන නොව එලිටීටීඊය විසින් සිදුකර ඇති අපරාධ පසුබිමේ තබා බැලිය යුතු වේ. වන්දනාවේ යමින් සිටි භික්ෂූන් හා සාමණේරයන් ඝාතනය, සිවිල් වැසියන් වෙත එල්ල කළ ප්‍රහාර, මෑතකදී මහනුවර දළදා මාළිගාවට පහර දීම ආදී ප්‍රකෝපකාරී සිද්ධි රාශියක් එල්ටීටීඊය සිදු කළහ. මේ කෙසේ වුවත් “බෞද්ධයන්” ලෙස මනුෂ්‍යයන්ගේ දුක්විඳීම් ගැන කම්පා වනවා නම් භික්ෂූන් හා ගිහි බෞද්ධයන් දැන් සිදුවන සාම ක්‍රියාවලියට විරුද්ධ නොවිය යුතුය. ප්‍රධාන පෙළේ භික්ෂූන් බොහෝ දෙනෙකු සාම ක්‍රියාවලිය අනුමත කරමින් එය අත්හදා බලන්නට කැමැති වී තිබීම වාසනාවකි. ජවිපෙ, සිහල උරුමය සහ තවත් සංවිධාන කිහිපයකට සම්බන්ධ තරුණ භික්ෂූහු මීට විරුද්ධ වී සිටිති.

වත්මන් තත්ත්වය ගැන මගේ සිතේ තිබුණු බරකින් ඉහත අයුරින් නිදහස් වී මා සාකච්ඡා කරන්නට යන පූර්ව යටත් විජිත යුගයේ ජාතික භාවය හා අනන්‍යතාව වෙතට දැන් යොමු වෙමි.

(මතු සම්බන්ධයි)

Leave a comment