ගාසා ඛේදවාචකය සහ ආණ්ඩුවේ මුනිවත

– සුනන්ද දේශප්‍රිය විසිනි

“ජනාධිපති සහෝදරයා, ලැජ්ජයි! නින්දිතයි! තුච්ඡයි! දැන්වත් ඇහැරෙන්න!”

පසුගිය සතියේ ජනාධිපති සහෝදරයා කොළේ වහලා ගේමක් ගැසුවේය. ඒ, රටවල් 40ක පුරවැසියනට වීසා නොමිලේ ලබා දීමට ගත් තීන්දුවට යටිනි. එම ‘වීසා නිදහස්’ රටවලට ඊශ්‍රායලය ඇතුළත් කරමින් අනුර කුමාර දිසානායක, ළමා ඝාතක, ජන ඝාතක ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF, අයිඩීඑෆ්) සොල්දාදුවන්ට ඝාතන අතරතුර විවේක ගැනීමට නොමිලේ ලංකාව විවර කළේය.

ජනාධිපති සහෝදරයාගේ කොළේ වැසීම මෙරට පලස්තීන ක්‍රියාකාරීහු වහාම සොයා ගත්හ. සඳුදා වන විට විරෝධතාවක් සංවිධානය කිරීමට ද ඔවුහු සමත් වූහ.

ගාසාහි ඊශ්‍රායල ජන ඝාතනයට උඩගෙඩි දුන් යුරෝපා බලවතුන් දණ ගැස්වීමට සමත් වූයේද එවැනි ක්‍රියාකාරකම්ය. ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ දස ලක්ෂයකට අධික ජනතාවක් ගාසා හි ජන ඝාතනයට විරුද්ධව වීදි අරක් ගත්හ. දැන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව තමන් පලස්තීන රාජ්‍යය පිළිගන්නට යන බව ප්‍රකාශ කර තිබේ. මේ තාක් කල් මේ රටවල් යුද අපරාධකාරී ඊශ්‍රායලයට සහය දුන්හ.

දැන් යුරෝපයේ දුෂ්ටතම රාජ්‍යය ලෙස ඔටුනු පැළඳ සිටින්නේ අපට මානව හිමිකම් ගැන බණ කියන ජර්මනියයි. එහි පලස්තීන සහයෝගිතා ක්‍රියාකාරකම් සැලකෙන්නේ ත්‍රස්ත ක්‍රියා ලෙසය.

ගාසා හි අද සිදුවන්නේ මහ පොළව නූසුලන අපරාධයකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය සොයා ගෙන ඇති අමානුෂිකම ආයුධය නම් සාගින්නට ලක් කර ජනයා ඝාතනය කිරීමයි. එහි පළමු ගොදුර වන්නේ දරුවන්ය. එවැනි අනීතික, අමානුෂික සහ ජනඝාතක යුද්ධයකට විරුද්ධව ස්ථාවරයක් ගැනීමට ජනපති අනුර කුමාරට හෝ අගමැතිනි හරිනිට හෝ පිට කොන්දක් නැත.

ඊශ්‍රායලයට සේවකයින් පැටවීමටත්, යුද අපරාධකාරී ඊශ්‍රායල ආරක්ෂක හමුදා සොල්දාදුවන්ට ආරක්ෂාකාරී විවේකාගාරයක් සැපයීමටත්, කලෙක ලෝක විප්ලවය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණට දැන් සිදුව තිබීම ඉතිහාසයේ සරදමකි. මෙය ඩොලර් කීයක් හෝ සොයා ගැනීම පිණිස සිය ආත්මය විකිණීමකි. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදා යුද අපරාධකරුවනට මෙරට දී කරදරයක් වීම වැළැක්වීම පිණිස, පලස්තීනයට සහාය දක්වන මුස්ලිම් ප්‍රජාව බිය ගැන්වීමද අනුර කුමාර ආණ්ඩුවේ කූටෝපායකි. සිය ජංගම දුරකථනයන්හි ඊශ්‍රායල විරෝධී රූප තිබුණේයැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයින් දෙදෙනෙකුගේ අනාගතය සහමුලින්ම විනාශ කිරීමට අනුර කුමාර ආණ්ඩුව වග කිව යුතුය. අත්අඩංගුවට ගත් එම තරුණයින් දෙදෙනාම පුනරුත්ථාපනය වීමට කැමැත්ත දක්වා ඇතැයි දුෂ්ඨ බොරුවක් නිර්මාණය කිරීමට තරම් අනුර කුමාර ආණ්ඩුව පහත් තැනකට ඇද වැටුණේය. නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කළ එම ප්‍රකාශය, අනුර කුමාර විසින් දින 90කට සිරගත කළ සුහායිල්ගේ පියා රිෆායි ප්‍රතික්ෂේප කළේය.

ජවිපෙ පුනරුත්ථාපනය වී ඇති නිසා අනුන්ද පුනරුත්ථාපනය විය යුතු යැයි එය කල්පනා කරන්නේද?

ගාසා හි ඊශ්‍රායල දුෂ්ඨත්වයට විරුද්ධව මෙරට මුස්ලිම් ජනයා කෙරෙන් පැන නැඟිය හැකි විරෝධතා වැළැක්වීම අනුර කුමාර ආණ්ඩුවේ උපායයි. ඒ, යුද අපරාධකාරී ඊශ්‍රායලුවන්ට මෙරට නීති විරෝධී ව්‍යාපාර කිරීමට සහ ආගමික ස්ථාන පවත්වාගෙන යාමට ඉඩ දී තිබෙන අතරතුර ය. මේ යුද අපරාධකාරී නොමිනිස් රූපකායන්ට සියලු අවසර දෙන අනුර කුමාර, ඒ වෙනුවට මුහුදු තීරයේ වෙළෙඳාම් කළ ලාංකිකයන්ට නිසි විසඳුමක් නොදී එළවා දමයි.

ඊශ්‍රායලය ගාසා හි ගෙන යන නෑසූ විරූ දුෂ්ඨ ජන ඝාතනය ගැන දැන් ඕනෑ තරම් සාක්ෂි තිබේ. එහි ජනයාට ආහාර බෙදා දීම එක්සත් ජාතීන්ට තහනම් කළ ඊශ්‍රායල ත්‍රස්ත රාජ්‍යය, ඒ වෙනුවට ඇටවූයේ මර උගුලකි. එම කාර්යයට බඳවා ගැණුනු ඇමරිකානු සොල්දාදුවකු වූ ඇන්තනි අගුයිලර් මෙසේ කීවේ අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේය:

“ඊශ්‍රායල ආරක්ෂක හමුදා පලස්තීන ජනතාව වෙත වෙඩි තබන ආකාරය මම දුටුවෙමි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා, මර්කාවා යුද ටැංකියකින් ජනතාව වෙත වෙඩි තබා, එම ස්ථානයෙන් ඉවතට ධාවනය කරමින් සිටි සිවිල් වැසියන්ගේ මෝටර් රථයක් විනාශ කරන ආකාරය මම දුටුවෙමි. ඔවුන් පාලනය කර ගැනීම සඳහා ජනතාව වෙත මෝටාර් උණ්ඩ එල්ල කරන ආකාරය මම දුටුවෙමි.”

“මගේ වඩාත්ම අවංක තක්සේරුවේදී, ඒවා අපරාධකාරී බව මම කියමි. මගේ මුළු වෘත්තීය ජීවිතය තුළම සිවිල් ජනගහනයකට, නිරායුධ, කුසගින්නෙන් පෙළෙන ජනගහනයකට එරෙහිව අයිඩීඑෆ් සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්, ම්ලේච්ඡත්වය සහ අවිචාරවත් සහ අනවශ්‍ය බලය භාවිත කිරීමේ මට්ටමක් මම කිසි විටෙකත් දැක නැත.”

“කිසිදු සැකයකින් තොරව, මම යුද අපරාධ දුටුවෙමි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ, නිරායුධව ආහාර ඉල්ලා සිටින සිවිල් වැසියන්ට යුද ටැංකි ප්‍රහාර එල්ල කිරීම, සැකයකින් තොරව, යුද අපරාධ ය.”

කුසගින්නේ සිටින දරුවන්, ආහාර ලබා දීමට යැයි පෝලිම් ගස්සවා වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දැකීමට රතු කමිසකාර අනුර කුමාර ආණ්ඩුව බය මන්ද? හෘද සාක්ෂියක් ඇති ජවිපෙ සහෝදර සහෝදරියන් මෙම දුෂ්ඨත්වය සමඟ සිය ආණ්ඩුව බාල් නැටීම ඉවසා සිටින්නේ කෙසේද?

සිරිමා බණ්ඩාරනායක වැනි ගැහැනියක් මෙරට ජනාධිපතිනිය වී නම්, නිරායුධ ජනතාවකට එරෙහිව ගෙන යන මේ ඊශ්‍රායල ළමා ඝාතන, ජන ඝාතනය හෙළා දකිනවා පමණක් නොව, තෙවැනි ලොව ප්‍රගතිශීලී රටවල් ඒ සඳහා එක් කිරීමටද ඉඩ තිබුණි. 70 වසරක සාපය ගැන කතා කරන ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතිහාසයට බියවීම පුදුමයක් නොවේ.

ජන ඝාතක සමාජයක්

ඊශ්‍රායලයේ ජන ඝාතක දුෂ්ඨත්වය හුදෙක් නෙතන්යාහුගෙන් පැන නඟින එකක් නොවේ. එම සමාජයම ජන ඝාතක සමාජයකි.

ඊශ්‍රායලයේ ජනයාගෙන් සියයට 80කට වඩා ගාසාහි සමස්ත ජනගහනය ඝාතනය කිරීමට පක්ෂ ය. එරට යුද්ධයට විරුද්ධ පිරිස සියයට දහයකට අඩුය. ඊශ්‍රායල දරුවන් ගයන්නේ පලස්තීන දරුවන් ඝාතනය කළ යුතු බව කියැවෙන ගීත ය. සමාජ මාධ්‍යයෙහි ඇති එක් වීඩියෝවක, ඊශ්‍රායල ආරක්ෂක හමුදා සාමාජික මිනීමරුවකු කියන්නේ තමා ඝාතනය කිරීමට ආශා කරන ළදරුවන් සොයා ගැනීමට බැරි වූ නිසා 12 හැවිරිදි බාලිකාවකට වෙඩි තබා මරා දැමූ බවයි. එවැනි වීඩියෝ සමාජ මාධ්‍යයන්හි දුලබ නැත.

තවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා සාමාජික තොරතුරු හෙළි කරන්නකු පවසා සිටියේ තමන් ට්‍රක් රථ 1,000 කින් ලැබුණු ආධාර වළ දමා හෝ පුළුස්සා දැමූ බවයි. එසේ විනාශ කරන ලද්දේ අන්තර්ජාතික සංවිධාන විසින් සපයන ලද ඉවුම් පිහුම් භාණ්ඩවල සිට තෙල්, ජලය දක්වා සියල්ලය.

එරට මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච්, ගාසා තීරයේ “පැවැත්ම නවත්වා” ඇති බව ප්‍රකාශ කළ අතර, එහි ජනගහනය බලාපොරොත්තු සුන් කර පිටුවහල් කිරීමට බල කිරීමේ සැලසුම් විස්තර කළේය.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස හඳුන්වා සමූළ ඝාතනය සාධාරණීකරණය කරයි. උරුමය පිළිබඳ අමාත්‍ය අමිහායි එලියාහු ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බයක් හෙළීමට යෝජනා කළේය.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඓතිහාසිකව සමූලඝාතනය සාධාරණීකරණය කරන බයිබලානුකුල මූලාශ්‍ර උපුටා දක්වමින් ‘ගාසා තීරය ස්ථිරවම වාසයට නුසුදුසුය’ යන අදහස ප්‍රවර්ධනය කරයි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක නිසිම් වටුරි, ගාසා තීරය “පුළුස්සා” එහි ඉතිරි ජනගහනය එළවා දැමිය යුතු බව කියයි. මෙවැනි, ඝාතන සාධාරණීකරණය කරන කතා බහුල ය.

තමා ගාසා තීරයට ගෙන ගිය ළදරු කිරිපිටි සෑම පෙට්ටියක්ම රාජසන්තක කළ බව මෑත දී කියා සිටියේ බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍ය නික් මේනාඩ්ය. ඔහු වසර 35 කට වැඩි පළපුරුද්දක් සහ මානුෂීය සේවයේ දිගු වාර්තාවක් ඇති, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල රෝහල්වල සේවයේ නියුතු, ඉතා පළපුරුදු බ්‍රිතාන්‍ය උපදේශක ආමාශ-ආන්ත්‍රික ශල්‍ය වෛද්‍යවරයෙකි.

මතක තියා ගන්න, අනුර කුමාර බුලත් දී පිළිගන්නේ එවැනි මිනීමරු පිරිසක් බව.

“ජනාධිපති සහෝදරයා, ලැජ්ජයි! නින්දිතයි! තුච්ඡයි! දැන්වත් ඇහැරෙන්න!”

( කාටුනය ගිහාන් ඩි චිකේරා විසිනි.)

Leave a comment