‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා

Globe and Mail, 2008 March 14

PDF මාදිලියෙන් කියවන්නGet PDF downloadpdf

මිනිසුන් අතර කුමාරයා‍
නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා

මයිකල් ඉග්නටියෙෆ්
පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

500jenkins11532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ පාපොච්ඡාරණය නොකරනු ඇත. එබඳු නපුරු දේ අපි කවරදාකවත් නොකරමු! නමුත් ඔහු නොනැසී පවතින්නේය, මන්ද යත් ඔහුගේ කෘති තවමත් සත්‍යයේ විෂ තුඩ අඩංගු කොටගත් බැවිනි. යුගයෙන් යුගයට මැකියවෙල්ලිගේ ශ්‍රේෂ්ඨ පණිවුඩය වී ඇත්තේ දේශපාලනඥයකු සදාචාරාත්මක යථාර්ථවාදියකු විය යුතු බවය. අප සැබැවින්ම ජීවත් වන ආකාරය අප ජීවත් විය යුතු ආකාරයෙන් කොතෙක් දුරට ඈත් වූ එකක් ද යත් සුචරිතයේ පරමාදර්ශයන්ට අනුකූලව ජීවත් වීමට උත්සාහ දරන්නන් විනාශ කරනු ලැබීම නියමිත බව මැකියවෙල්ලි කියා සිටින්නේ ය. දස්කම් පෑමට අපේක්ෂා කරන සෑම දේශපාලනඥයකුම ‘වැරදි කරන්නේ කෙසේද යන්න සහ අවශ්‍යතාවය අනුව එය යොදා ගන්නේ හෝ නොගන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු’වෙයි.

මැකියවෙල්ලි කියා සිටින්නේ දේශපාලනඥයකු වැරදි කරන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු බව මිස අවශ්‍යයෙන්ම වැරදි කළ යුතු බව නොවේ යන්න සැළකිල්ලට ගන්න. දේශපාලනඥයකු තමාම වැරදි කළ යුතු නොවේ, නමුත් “සියලු මිනිසුන් නරක” ය යන්න ඔහු කිසිදා අමතක නොකළ යුතු බව මැකියවෙල්ලි කියා සිටී. අශුභවාදී උපකල්පනයන් කරන්න, ඔබ අපේක්ෂා භංගත්වයට පත්වීමට ඇති ඉඩ අඩුයැයි මැකියවෙල්ලි තර්ක කරයි. දේශපාලනයේදී කිසිවිටෙක පමණට වඩා විශ්වාස නොකරන්න. ඔවුන් ඔබට වූ පොරොන්දු රකින තාක් පමණක් අනෙක් දේශපාලනඥයන්ට ඔබ වූ පොරොන්දු රකින්න යැයි මැකියවෙල්ලි අවවාද කරයි. ඉන්පසු සියලු පරදු තැබීම් අවසන් වෙයි. ඔබට ආදරය කරනු ලැබි‍ය නොහැකි නම් ඔබට අනෙක් අය බිය වන බවට හා ගරුකරන බවට වගබලා ගන්නැයි ඔහු අවවාද කරයි. දේශපාලනඥයකු “උගුල් හඳුනාගැනීමට නරියකු” වැනි විය යුතු අතර “වෘකයන් බියට පත් කිරීමට සිංහයකු මෙන්” සසල නොවී සිටිය යුතුය.

කුමාරයා වූ කලී සටකපට කම් හා මුළාකිරීම් යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳ නිබන්ධයකි. “ක්‍රියාත්මක කිරීමට සූදුසු වනතෙක් සතුරාගෙන් සඟවා තැබුණූ ව්‍යාපාරයකට වඩා වැඩියෙන් සාර්ථක වීමට ඉඩ ඇති වෙනත් කිසිදු ව්‍යාපාරයක් නැත.” ඔබට ප්‍රතිවාදියෙකුට හානි කළයුතුම නම්, ඔහු ඔබෙන් පළිගැනීමට තරම් ශක්තිමත්ව ඉතිරි නොකෙරෙන පරිද්දෙන් ඔහුව විනාශ කිරීමට වගබලා ගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි.

the-prince2මැකියවෙල්ලිගේ යථාර්ථවාදය දැරිය නොහැකිය, නමුත් එය නරුමවාදයම නොවේ. ජීවිතයේදී මෙන්ම දේශපාලනයේදී ද තක්කඩිකමට වඩා, ජනතාව තුළ ඇති උතුම් දේට ආමන්ත්‍රණය කිරීම සහ උදාර පූර්වාදර්ශයක් ස්ථාපිත කිරීම සාර්ථක වන්නේය යන්න පිළිබඳ ඔහු මුළුමනින්ම දැනුවත්ය. ඔහු මෙසේ ලියයි, කුමාරයා “සිය ක්‍රියාවන් තුල විශිෂ්ඨත්වය, ධෛර්යය, බැරෑරුම්කම සහ ස්ථිරබව පෙන්වීමට උත්සාහ කළ යුතුය.” අල්ලස සහ ත්‍යාග අපේක්ෂාව මගින් නොව “ආත්මයේ විශිෂ්ඨත්වය සහ උදාරභාවය” තුළින් ආධාරකරුවන් ඔබ වෙතට බැඳ තබා ගැනීම වඩා යහපත්ය. මැකියවෙල්ලි ඔහුටම ආවේණික ප‍සෙකට කරන කතාවක් ලෙස එයට මෙසේ එක් කරයි, මාහැඟි සදාචාර ගුණාංගයන් ඔබ සතුව සැබැවින්ම නොමැත්තේ නම් “ඒවා ඇති ලෙසින් පෙන්වීම අවශ්‍යය.”

මැකියවෙල්ලිට අනුව දේශපාලනය යනු රඟබිමයි: අවංකකම, උදාරභාවය සහ සත්‍යවාදීභාවය ඔබට සැබැවින්ම නොමැති නම්, ඒවා ප්‍රකාශමාන කිරීම ඔබට පිහිටවනු ඇත. “හැම කෙනෙකුම දකින්නේ ඔබ ලෙස පෙනෙන්නට ඇති දේය, ඔබ කවුදැයි සැබැවින්ම දන්නේ කිහිපදෙනෙකු පමණකි.”

නායකයෙකු තමන්ගේම කීර්තිය නිකලැල්ව රැකෙන පරිද්දෙන් දේශපාලනයේ සියලු නොහොබිනා වැඩ තමා යටතේ සිටින්නන් වෙත පැවරීමට වගබලා ගත යුතුය. කුමාරයකු, “අපවාදයට ලක්වන කාරණාවන්” තමා යටතේ සිටින්නන් වෙත පවරා “ප්‍රසාදය ලැබෙන කාරණාවන්” ට අයිතිවාසිකම් කිව යුතුය.

කුමාරයා වූකලි වංකභාවය වෙතට වන මාර්ගෝපදේශනයකට වඩා වැඩි දෙයකි. එය මානව විචක්ෂණය පසසමින් ලියැවුණු ප්‍රඥාවන්ත හා උත්ප්‍රාසාත්මක රචනයකි: “ එයට පරිපූර්ණ ලෙස ආරක්ෂිත වූ ක්‍රියාමාර්ගයන් තෝරා ගත හැකි යැයි උපකල්පනය කිරීමට කිසිදු ආණ්ඩුවකට කිසිවිටෙක ඉඩ නොදෙන්න; එසේ නොව ඉතා සැක සහිත ඒවා ගැනීමට සිදුවනු ඇතැයි බලාපොරොත්තු වීමට ඉඩදෙන්න, මන්ද යත් සාමාන්‍ය කටයුතු සම්බන්ධයෙන් සොයාගනු ලැබ ඇති දෙය නම් යමකු තවත් කරදරයකට පැටලන්නේ නොමැතිව එක් කරදරයකින් ගැලවිමට කවරදාකවත් පැතිය නොහැකි බවයි; නමුත් විචක්ෂණභාවය සමන්විත වන්නේ කරදරයන් හි ස්වභාවය පැහැදිළිව වටහා ගන්නේ කෙසේද යන්න සහ වඩා අඩු අන්තරාය භාරගැනීම තෝරාගැනීමෙහිය.”

දේශපාලනයේ නියැලී සිටි කිසිවකුට දන්නා දේ හඳුනා ගැනීමෙන් බියෙන් වෙවුලුමකින් සහ විටින් විට ඇතිවන දැනුම් තේරුම් ඇති කමේ සිනහවකින් තොරව කුමාරයා නැවත කියවිය නොහැක. මැකියවෙල්ලි අපගේ සමකාලීනයකුව රැඳී සිටින්නේය. ඔහු 24 වැනි වියේදී ෆ්ලෝරන්ස් ජනරජයේ රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන සේවයට පිවිසියේය. ඉතාලිය විදේශීය ආක්‍රමණ, කුමන්ත්‍රණ සහ දේශපාලන ඝාතන විසින් ප්‍රචණ්ඩ ලෙස කලඹනු ලැබූ කාලපරිච්ඡේදයක් වූ සැඩ වසර 18 ක් පුරා ඔහු දේශපාලනය එහි වඩාත්ම දූෂිත සහ කුමන්ත්‍රණකාරී ස්වරූපයෙන් දුටුවේය. වයස 42 දී ඔහුට සිය වරප්‍රසාද අහිමි වූ අතර, එහිදී ඔහු කුමාරයා ලියූ, තම වතුයාය කරා බේරී පළායන්නට පෙර ඔහුට සිර අඩස්සියේ සිටින්නට සහ වධබන්ධනයන්ට ලක්වන්නට සිදුවිය.

මෙම පොත ‍‍ෆ්ලෝරන්ස්හි නව පාලකයා වූ ලොරන්සෝ ඩි මෙඩිසි ගේ හොඳ හිත දිනාගැනීම සඳහා ඔහු දැරූ නිරර්ථක උත්සාහයක් විය. ඔහු නැවත පෙර තත්ත්වය ලබාගැනීමට අසමත්වීම පිළිබඳව අප සැමට සතුටු විය හැක. දේශපාලනයේදී අසාර්ථක වන අය සාර්ථක වන අයට වඩා සමහර විටෙක මතු පරපුරේ මතකයෙහි වඩා දිගු කලක් ජීවත් වෙති.

මයිකල් ඉග්නටියෙෆ්

මයිකල් ඉග්නටියෙෆ්


මයිකල් ඉග්නටියෙෆ්
කැනඩාවේ ලිබරල් පක්ෂයේ නායකයා මෙන්ම එටෝබිකෝ-ලේක්ෂෝ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වෙයි. ඔහු විසින් රචිත කෘති අතර Blood and Belonging, Isaiah Berlin: A Life සහ තවත් නවකතා කිහිපයක්ද වේ.

විදුර ප්‍රභාත් මුණසිංහ
වෘත්තියෙන් නීතිඥයෙකි. සමාජය සහ දේශපාලනය අධ්‍යයනය කිරීමෙහි ලා උනන්දුවක් දක්වයි.

Comments

  1. Good.If it’s possible please use a more large font as it is hard to follow the text with the present type of font.Especially because the text has a depth visual friendliness is required
    keep it up

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s