ජනප්‍රිය සිංහල සංගීතය ආනන්ද සමරකෝන්

අව්‍යාජ සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය අතර සම්බන්ධය මතුකරමින් සංගීතඥ ආනන්ද සමරකෝන් ලියූ පහත ලිපිය 2009 සැප්තැම්බර් 11, සිළුමිණ පුන්කල‍ස අතිරේකයෙන් උපුටා ගෙන ඇති සැටියෙන්ම පළකෙරෙයි. මෙම ලිපියේ මූලාශ්‍රය සිළුමිණ ලිපියේ සඳහන් කොට නැත. මෙම ලිපියේ නිවැරදි මුල් පිටපතක් අපට ලබාදෙන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය අපට පහත ලිපියේ ඇති දෝෂ වලින් තොරව පළ කළ හැකි වෙතැයි සිතමු.

ජනප්‍රිය සිංහල සංගීතය

ආනන්ද සමරකෝන්

එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්, යම් සංගීතයක් ඇත. මෙසේ කල්පනා කර බලන විට සංගීතයක් ගොඩ නැඟීමට මුල් වූයේ හඬයි.

අද ලෝකයේ භාවිතා කෙරෙන නානාවිධ භාෂා සකස්කර ගැනීමට පෙර ආදී කාලයේ විසූ මනුෂ්‍යයෝ තම හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කරන්නට ඇත්තේ සත්වයින් මෙන් කට හඬින් පමණක් විය යුතුයි. නොයෙක් විට ඒ හැඟීම් සංගීතයට නගා කුරුල්ලන් මෙන් ප්‍රකාශ කරන්නට ඇතැයි සිතිය හැකි. සංගීතයේ මුල් ආරම්භය මෙසේ ඇති වී මිනිසා ක්‍රම ක්‍රමයෙන් ආශා ගොඩනගත්ම සංගීතය ද ගොඩ නැඟෙන්නට ඇත.

එකල රාගතාල සොයා ගෙන නොතිබුණේ වී නමුදු ශබ්දය ඇසුරු කොට ඇති වූවක් නිසා මෙය ගණන් ගත්තේ සංගීතයක් හැටියටයි. මෙවැනි සංගීතයක් අද ලෝකයේ සෑම රටකම සෑම ජාතියවකටම හිමිවී ඇත. එය ඒ ඒ මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතිය අනුව හැඩ ගැසුණි. භාරතය ආදී සමහර රටවල මේ ජන සංගීතය ක්‍රමයෙන් දියුණුව ඉන් උසස් ශාස්ත්‍රීය සංගීතය පවා ගොඩ නැඟී ඇත.

ලංකාවේද මෙවැනි ජන සංගීතයක් ලෙස ගණන් ගැනෙන්නේ අරාබියේ සිට පැවත එන අපේ කවියයි. එවකට ජනකවි හැර විදේශීය සංගීතයක් මෙහි භාවිතා කෙරුණු බවක් පෙනෙන්නට නැත. එම නිසා ලංකාවේ ජනප්‍රිය සංගීතයව පැවැත්නේ ජනකවියයි. මේ ජන කවියෙන් ජනප්‍රිය සංගීතය මහජනයා අතර බහුල ප්‍රචාරය වූයේ අදට වඩා පැරණි සිංහල රාජකාලවල බව අපට පොත පතින් වටහා ගැනීමට පුළුවන. එදා කුඹුරේ හාන හෝ වපුරන හෝ කපා පාගන ස්ත්‍රියට හෝ පුරුෂයාටත් නෙලන දැරියටත් ගල්කරුවාටත් පාරුවක් පදවාගෙන යන හැඩි දැඩි තරුණයාටත් හේනේ පැල් රකින ගොවියාටත් ගැයීමට සුදුසු ඉතා අලංකාරවූ තාල වල් ඕනෑ තරම් විය. මේ කවි නොහොත් ජනප්‍රිය සංගීතය ඔවුන්ගේ වැඩ කටයුතු වලදී ආධාර වූවා මිස එයට බාධාවක් නොවුණි.

සමූහයකට එක්ව ගැයීමට සුදුසු සමූහ ගී ද එමට තිබුණි. ඔන්චිලි වාරම්, ඔලිඳ කෙළිය වැනි ගම්බද ක්‍රීඩාවලදී එකල විසූ සිංහල දරු දැරියන් විනෝද වූයේ මේ සමූහ ගී ගයමින් ය.

එවකට භාරතයේ මෙන් උසස් ශාස්ත්‍රීය සංගීතයක් ලංකාවේ නොවූ නමුදු ලොකු කුඩා සියලු දෙනාම මේ ජනප්‍රිය සංගීතයේ රසය විඳිමින් ප්‍රීතියට පත්වූහ. ඒ හැමගේ ජීවිත විනෝදාත්මකව ගෙන යෑමට උදව් විය. ඉන් ඔවුනට නිරන්තරයෙන් ලැබුණ කලාත්මක රසය හේතු කොට ගෙන ඔවුන්ගේ ගොවිකම් ආදී දිනපතා කටයුතු සර්වාකාරයෙන් ම සපල විය. එදින ලංකාව කිරෙන් හා පැණියෙන් ඉතිරී ගියේ මේ ජන සංගීතයෙන් වින්දා වූ රසය නිසා ය.

අවාසනාවකට මෙන් ලංකාව විදේශීන්ට යටත් වූවාට පසු ක්‍රමයෙන් දියුණු වී ආ මේ වැඩදායි සංගීතය අභාවයට පත්වුණි. එවක් පටන් බටහිර සංගීතයත් භාරතයෙන් ගලා ආ හිංදුස්තාන් සංගීතයත් මෙහි ප්‍රචාරය වීමට පටන් ගති.

මෙසේ හැම එකක් ම මිශ්‍ර වීමෙන් අසංකර සංගීතයක් හැඩ ගැසී ගෙන ආ නමුදු වාසනාවකට මෙන් සිංහල සංගීතයක් හැටියට එකල බිහිවූයේ මෙහි ගලා ආ හින්දුස්තානි තනුවලට බැඳුණු සිංහල ගීතයි. ඒවා ද නෘත්‍ය ශාලාවලට හා ශබ්ද වාහිනී තැටිවලට සීමා වූවා මිස පෙර මෙන් මුලු රටපුරා ප්‍රචාරය වූ ජනප්‍රිය සංගීතයක් නොවී ය.

භාරතයෙන් ගෙනා හින්දුස්තාන් තනුවකට සිංහල වචන ගොඩක් පුරවා නෘත්‍ය ශාලාවකදී හෝ තැටිගත කිරීමකදී ගායනා කිරීමෙන් එය වෙළෙඳ සංගීතයක් වූවා මිස පැරණි ජන කවියෙන් ඇති කරදුන් රසයත් ප්‍රයෝජනයත් එහි නොවීය. එකල සිංහල සංගීතයෙන් හැඩ ගැසීමට පුරෝගාමීව මහත් උනන්දුවකින් ඉදිරිපත් වූ ස්වල්ප දෙනෙක් යම්තම්වත් කල්පනා කළා නම් ඒ යටපත් වූ ජනකවි එළියට ඇද දමා එයට නව පණක් දීමට අපට අපේ සිංහල ඌරුවට හැඩ ගැසුණු නියම සිංහල ජනපි‍්‍රය සංගීතයක රස භුක්ති විඳින්නට ලැබෙනවාට කිසිම සැකක් නෑ.

බෙංගාලය අද පවතින ජනප්‍රිය සරල සංගීතය ආරම්භය පැරණි ජන කවියෙන් ම ඇති වූවකි. එයට පුරෝගාමීව කටයුතු කළ තාගෝර් මහ කිවිඳා වැනි අය ජන කවියටම නව පණක් දී එහි ගැබ්ව ඇති දේශීය ඌරුව නොසිතන පරිදි එයට හැඩ ගැසූහ. පසුව භාරතයේ ශාස්ත්‍රීය සංගීතයේ ද ආධාරය ඇතිව මෙය සකස් වූ නමුත් අද දක්වා ම එහි වූ වංග ඌරුව රඳා පවතී. කොතෙක් දුරට මෙය සපල වී දැයි විමසා බලන්නෙකුට වංග ගීයක් ඇසුණු සැණෙකින් ම එහි වූ තනුවෙන් පමණක් ඒ වංග ගීයකැයි කිව හැක. අද බෙංගාලයේ ජනප්‍රියව ඇත්තේ මෙවැනි සරල සංගීතයකි. එම ගී තනි තනිව හෝ සමූහයකට හෝ ගායනා කිරීමට සුදුසු පරිදි පිළියෙළ වී ඇත.

මේ නිසා පැරණි ජන කවියෙන් නොහොත් ජනප්‍රිය සංගීතයෙන් ලබාගත් රසයත් විනෝදයත් අද වංග ජාතිකයෝ මේ නූතන සංගීතයෙන් ලබා ගනිති. බෙංගාලයේ මේ ප්‍රචාරය වී තිබෙන ජනප්‍රිය සංගීතය නිදර්ශනයක් කොට ගෙන අපට ද ලංකාවේ ජනප්‍රිය සංගීතයක් නිපදවා ගත හැක. මෙය ජනකවි පදනම් කොට කළ යුත්තෙකි. දැනට ලංකාවේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය ක්‍රමයෙන් වගා වී එන නිසා එය ද මීට ආධාර කැරැගෙන එය වඩාත් අලංකාර පරිදි කළ හැක.

මේ අන්දමින් සලකා බලන කළ භාරතීය ශාස්ත්‍රීය සගයුව අපට අවශ්‍යයි. විද්‍යාව ඇත්තේ ශාස්ත්‍රීය සංගීතයේ බැවිනි. භාරතයේ බහුලව ඇති හින්දි සරල සංගීතය අද එතරම් දියුණු වී ඇත්තේ ශාස්ත්‍රීය සංගීතයෙන් එයට ලබා ගත් ආධාරය හේතු කොට ගෙනයි. මුල් පදනම ජනකවි වුව ද පසුව ඇති වූ නානාවිධ තනු හැඩ ගැසුවේ ශාස්ත්‍රීය සංගීතයෙන් ගත් රාග තාල අනුවයි.

ලංකාවේ ද එවැන්නක් අපට කළ හැකි වූ නමුත් අද එයට විශාල බාධාවක් වී තිබෙන්නේ භාරතයෙන් ගලා එන හින්දුස්තානි සරල සංගීතයයි. අමාරුදේ කිරීමට වෙහෙස දරා ඉන් සැබෑ ප්‍රතිඵල ලබා ගන්නවාට වඩා ලෙහෙසි පහසුව සලකා තැටි හා චිත්‍රපට මාර්ගයෙන් අප රටට වැල නොකැඩී එන මේ හින්දි සරල ගී උපුටා ගැනීමට කවුරුත් පුරුදු ව සිටිති.

එම ගීත ඉතාමත් රසවත් බව අපට නොකියා බැරි නමුත් ඒවා සදහටම උපුටා ගැනීමට පුරුදු වුවහොත් අපට අපගේ යුතුකමක්ව ඇති දේ නියමිතව කිරීමට එය බාධාවක් වේ. තැටි ගත කිරීමට හෝ චිත්‍රපටයකට යෙදීමට හෝ ගුවන් ගැන්වීමට හෝ ගීතයක් උවමනාවූ විටකදී හෝ කෙළින් ම හින්දි ගී උපුටා ගැනීමට දුවන්නේ නම් එය කලින් සඳහන් කළ පරිදි සිංහල සංගීතයක් සකස් වෙන්නේ කෙසේද?

අද භාරතයේ සංගීතඥයෝ අපට සිනාසෙන්නේ මේ නිසා ය. තමුසෙලාට අපේ ගී සිංදු නැත්නම් උඩ බලා ඉන්ටයි වෙන්නේ යයි ඒ උදවිය කියන්නේ අපි ඒ වැරැද්ද කරන නිසයි. ඒ අය තමන්ගේ ජනප්‍රිය ගීත වෙන කාගෙන්වත් උපුටා නොගෙන වෙහෙස දරා ස්වඋත්සාහයෙන් පිළියෙල කරගන්නේ නම් අපට ද, ඊට ආරම්භයක් වශයෙන් එසේ කිරීමට බැරි කමක් නැත.

ගීතයක තනුව හිංදි වුවත් වංග වුවත් එය රසවත් නම් උපුටා ගත්තාට වරදක් නැතැයි බොහෝ දෙනා කියන නමුදු එය වැරදි අදහසකි. එසේ කීමෙන් ඒ වරද තව තවත් දුරට කෙරෙන්නට පුළුවන. එය පණින රිළවුනට ඉණිමං බැන්දාක් වැනි වේ. අවසානයේ දී ඒ රෝගය අසාධ්‍ය විය හැක.

අපි කෙතරම් දුරට මේ සම්බන්ධව කීවත් ලීවත් සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමට උනන්දුව හා ධෛර්ය ඇති සංගීතඥයාට හෝ නිබන්ධකයාට රජයේත් මහජනයාගෙත් ආධාර නොමැති නම් ඔහුගේ ඒ ප්‍රයත්නය නිෂ්පල වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )