“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

“මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක. ”

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 අ‌ගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදී.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති වී. ආනන්දසංගරී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද විවෘත සංදේශය.

05.07.09

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි,

අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ශෝකජනක තත්වය.

මේ රටේ අභිමානය හා ගරුත්වය පවත්වා ගත යුතු නම් මෙම අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම අවශ්‍ය බව අවබෝධ කරවීම සඳහා මා මෙම ලිපිය ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. රටේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ සමහර කාණ්ඩ වලට අයත් අවතැන් වූවන් වහාම නිදහස් කිරීමටත් ඉතිරි අයගේ ගැටළුව ඉක්මණින් විමර්ශනය කිරීමටත් නියෝග කිරීමට ඔබ ගන්නා තීරණය මතයි. දැනට ඔවුන් රඳවා ගෙන ඇත්තේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව නොයෙකුත් සීමාවන් යටතේ සුභ සාධන මධ්‍යස්ථානයක නොව එලිමහන් සිරකඳවුරක බලහත්කාරයෙන් මෙනි. මා මෙය ලියන්නේ අවතැන් කඳවුරු වල සිදුවන බොහෝ දේ ඔබට දැන ගැනීමට නොලැඛෙන්නේය යන සිතුවිල්ල අනුවය. ඇසින් දකින දේ අපට විශ්වාස කළ හැක. එමනිසා අවතැන් වූවන්ගේ කඳවුරකට (මැණික් ෆාම් වලට පමණක් නොවේ) යෑම අත්‍යාවශ්‍යය. ඔබ රාජ්‍ය නායකයා වශයෙන් සිටින අපේ රටේ මෙවැනි දේ සිදු විය නොහැක. සිදු විය යුතුද නොවේ. ඔබගේ තීරණය, තමන්ගේ වරදක් නැතිව සරණාගත කඳවුරුවල දුක් විඳින 300,000 ක පමණ ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කළ හැකියැයි සිතන සමහරුන් ගේ ඇස් අරවනු ඇත. අප, තමන්ගේ සාක්කු වල ඇති මුදලින් මරණයට කැප වූ ගවයන් නිදහස් කර ගන්නා කුඩා ළමයින් සිටින ආඩම්බර ජාතියකි. මට අද මෙය ලියන්නට සිත් වූයේ පුල්මුඩෙයි අවතැන් කඳවුරේ සිටින වයස අවුරුදු එකක ළමයෙක් වයස 61 ක් වන තම ආච්චි සමග නිදහස් කිරීමට අධිකාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. තම වම් කකුළ කපා දමනු ලැබු මෙම ළමයාගේ පියා, ආච්චිගේ පුතා, දැන් පුල්මුඩේ හි සිටී. දකුණු පාදය කපා දමා ඇති ඔහුගේ බිරිඳ වම් පාදයේ බරපතළ කැඩුම් බිදුම් සහිතව වවුනියාවේ සිටී. මෙවැනි දේ ලොව අන් කිසි තැනක සිදු වන්නේ නැත. මෙවැනි සිද්ධීන් ගැන ඔබ දන්නේයැයි මොහොතකටවත් මම නොසිතමි. මෙවැනි සිදුවීම් 300,000 ක් පමණ වන අවතැන් වුවන් සිටින ඕනෑම කඳවුරක අපමණ ඇත.

මෙම රඳවා ගැනීම එල්ටීටීඊයේ පාලනය යටතේ ඇති ප්‍රදේශ වලින් අනතුරක් ඇතිව හෝ රජයේ පාලනය යටතේ ඇති ප්‍රදේශ වලට පළා එන වන්නියේ ජනතාව හොඳින් රැක බලා ගන්නේයැයි ඔබ ඔවුන්ට දුන් පොරොන්දුවට හාත් පසින්ම වෙනස්ය. එල්ටීටීඊ ප්‍රදේශ වලින් පළා එන විට කී දෙනෙක් මිය ගියේද මරා දැමුවේද යන්න ලෝකයා දන්නේ නැත. ඔවුන් හොඳින් රැක බලා ගැනීම වෙනුවට අවාසනාවකට මෙන් සිදුව ඇත්තේ අවතැන් වූවන්ගේ කඳවුරු වල දැනට පවතින තත්වය යටතේ ඔවුන් කායිකව හා මානසිකව වද බන්ධනයට ලක් කිරීමකි. මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදු වන බව ඔවුන් දැන සිටියේ නම් තමන්ගේ ජීවිත අනතුරට ලක් කරමින් රජයේ පාලන ප්‍රදේශයට එන්නේ නැතිව දෙපාර්ශ්වයෙන්ම එල්ල කළ ෂෙල් වෙඩි වලින් තම හිත මිතුරන් බොහෝ දෙනෙක් මිය ගිය ආකාරයටම මරණයට මුහුණ දීමට උන් තැන් වලම රැඳී සිටිනු ඇත. මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක.

මෙම කරුණු ඔබට කීමට සිදුවීම ගැන මම ඇත්තෙන්ම කණගාටුවෙමි. තත්වය හොඳ වනු ඇතැයි කාලයක් බලා සිටි මගේ හැඟීම් පාලනය කර ගත නොහැකිව පිට වීම ගැන මට සමා වන්න. ඔබ මා සිටින තත්වයේ සිටින්නේ නම් මගේ හැඟීම් තේරුම් ගැනීමට පහසු වනු ඇත. අවතැන්වූ කඳවුරුවල වෙසෙන සෑම කෙනෙකුගෙන්ම තොරක් නැතිව නැගෙන්නේ දුක් අඳෝනාවකි. සමහරුන්ට තම සැමියා අහිමිව ඇත. සමහරුන්ට තම බිරිඳ, දරුවන් අහිමිව ඇත. ඉන් බොහෝ දෙනෙකුට තම දෙමාපියන් සටන් බිමේදී අහිමිව ඇත්තේ ඔවුන් සටනට ගිය නිසා නොව දෙපැත්තේම නිකුත් වූ වෙඩි පහර වලට මැදි වීමෙනි. සමහරු බන්කර් කඩා වැටී පණ පිටින්ම වැලලී ගියහ. තවත් සමහරු මිය ගියේ හාමතින් හෝ කිරි ආහාර නැතිව මන්ද පෝෂණයෙනි. ඔවුහු තවමත් තම නෑදෑ හිතවතුන් සොයමින් සිටිති. අවතැන්වූ තම ඥාතීන් සොයා ගැනීමටත්, පිටරට වල සිටින අයට තම ඥාතී හිතවතුන් සොයා ගැනීමටත් හැකි වන සේ එක් එක් අවතැන් කඳවුරක සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරන ලෙස මම ආරම්භයේදීම ඉල්ලා සිටියෙමි. මෙතෙක් එය සිදුව නැත. සියලූම තුවාල කරුවන් පිළිබඳ වාර්තා තබා ගත් මුලතිවු සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ නිලධාරියෙක් වන ධර්මලිංගම් මහතා සේවයේ යෙදි සිටියදී ෂෙල් වෙඩිල්ලක් වැදී මිය ගියේය. වාර්තා සියල්ල ඉන් අවසන් විය. සොයා ගත නොහැකි පුද්ගලයෙක් මිය ගියේද නැද්ද දැන ගැනීමට කිසිම ක්‍රමයක් නැත. කුණු වෙමින් පවතින මළ සිරුරු රාශියක් සාමුහික මිනි වළ වල ඇත. අවතැන් කඳවුරු වල මිය යන්නන්ද එසේය. අවමගුලකදී සමීප ඥාතීන්ට හෝ අසළට යෑමට අවසරයක් නැත. අවමගුලකදී පැවැත් විය යුතු චාරිත්‍ර රැසක් ඇත. මිය ගිය පුද්ගලයාගේ ආත්මය වෙනුවෙන් ඒවා පැවැත් විය යුතුය. විහිළුවක් මෙන් පෙනෙන නමුත් චාරිත්‍ර ඉටු නොකළ විට මිය ගිය පුද්ගලයාගේ ආත්මය නොසන්සුන්ව මේ ලෝකයේ සැරි සරන බවට කතා පවතී. එය බොරු නම් ඕනෑම කෙනෙකුට අභියෝග කළ හැක. මේවා පහසුවෙන් ඉවත දැමිය නොහැකි සංවේදී කරුණුය. අවතැන් වූවන් ඒ ගැන පැමිණිලි නොකළත් නිහ~ව විඳ දරා ගනී. මම මෙය තදින්ම විශ්වාස කරන අතර බෞද්ධයෙක් වශයෙන් එය ඔබද පිළිගනු ඇතැයි තදින්ම විශ්වාස කරමි. එවැනි දෙයක් මගේ සතුරෙකුට හෝ සිදු වනු දැකීමට මම අකමැති වෙමි.

නිසි සැලකිල්ලක් නොලැබ වැඩියෙන්ම පීඩා විඳින්නේ තුවාල ලත් කාන්තාවන් හා ගර්භණීන්ය. නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත. කායික වේදනාව වඩා තදින් දැනෙන්නේ මානසික පීඩාවයි.

ඔබට වයස අවුරුදු හතලිහට වඩා වැඩි බව මම දනිමි. මේවා ඔබ නොඉවසන කරුණුය. අපමණ දුක් වේදනා විඳි ඔවුන් තුවාල වූ තම ඥාතින් අතහැර තම ජීවිතයද අනතුරට ලක් කරමින් තම ජනාධිපති ලෙස ඔබ වෙත දිව ආයේ සැනසීමක් බලාපොරොත්තුවෙනි. මා මේ කරුණු යෝජනා කරන්නේ හොඳ සිතින් බෞද්ධ රාජ්‍යයක් වශයෙන් රටේ විශ්වසනීයත්වය රැක ගැනීමටය. මීට පෙර අවස්ථාවකදීද ලෝකය අප කරන සියලූ දේ ගැන බලා සිටින බවත් අපගේ රටේත් වෙනත් තැන් වලත් සිදු වන දේ ගැන වාර්තා තබා ගන්නා අය සිටින්නේයැයි සිහිපත් කළ බවත් මට මතකය. ඔබත් මමත් තව දුරටත් ජීවතුන් අතර නැති විටෙක, සමහර විට අපේ ජීවිත කාලයේදීම සැඟවූ සත්‍යය හෙළිවී ශ්‍රී ලංකාව ලෝකයාගේ නින්දාවට ලක් වන දිනයක් උදා වනු ඇත. ඒ හැමට වඩා සියල්ල බලා ගන්නා කෙනෙක් අපට ඉහළින් සිටී.

ඔබ මා හොඳින් දනී. මා පුද්ගලික වාසියක් සඳහා කිසිවෙක් වර්ණනා කරන්නේ නැත. මම ඇත්ත කීමට බිය නොවෙමි. අවංකවම බෞද්ධ ශිෂ්ටාචාරයක් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. බෞද්ධයෙකු නොවන නමුත් මම බුදුන් වහන්සේ නමදිමි. මා මහියංගනය හා දළදා මාළිගාව වන්දනා කළ වාර ගණන අපමණය. අනාගතයේ සාඩම්බර බෞද්ධ ජාතියක් යන්න ප්‍රශ්නයට ලක්ව ඇති මෙම රටේ උපන්නේ ඇයිද යන්න මගේ සිතට වද දෙන ප්‍රශ්නයක්ව පවතී.

තුවාල ලැබුවන්, වයස්ගත වුවන් හා දුබලයන්, ගර්භණීන්, ළමයින් සමග සිටින මව්වරුන්, ආබාධිත පුද්ගලයන්, මානසික පසුබෑමට ලක් වූ පුද්ගලයන්, මානසික රෝගීන්, අනාථයින්, අසරණයන් හා නිදහස් කළ යුතු අනෙකුත් අය වහාම නිදහස් කරන ලෙස මම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි.

ඔබට දෙමළ ජනතාව දිනා ගැනීමට අවශ්‍යනම් පළමුව කළ යුත්තේ ඔවුන් වහාම නැවත පදිංචි කිරීමයි. සංවර්ධනය ගැන සිතිය යුත්තේ දෙවනුවයි.

ඔබට ස්තූතියි.

මීට හිතවත්,

වී. ආනන්දසංගරී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )