මහජන සහ පෞද්ගලික පරිමණ්ඩලය – හනා ආරන්ඩ්ට්

ලොව ශ්‍රේෂ්ඨතම චින්තකයන්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබෙන හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන නිදහසත් අහිමිවීම පිළිබඳ ගැටලුව විග්‍රහ කරන්නටය. මේ වනවිට දේශපාලන සහ සමාජීය න්‍යායේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන 1958 දී පළමු වරට පළ කළ The Human Condition කෘතිය  ආරන්ඩ්ට් ගේ ප්‍රධාන න්‍යායික කෘතිය ලෙස සැලකෙයි. බොහෝ දෙනාගේ එකඟත්වයට යටත් විය යුතු ප්‍රායෝගික දේශපාලන කටයුතු කවරදාකවත් තනි පුද්ගලයෙකුගේ න්‍යායාත්මක සළකාබැලීම්වල හෝ මතයෙහි හෝ නිශ්චය විය නොහැකිබව ඇය කියා සිටියාය. නූතනත්වය යටතේ මානවයාට අහිමිව ගිය දේශපාලන ක්‍රියාවේ යෙදීමේ හැකියාව යලි ස්ථාපිත කරනු වස් ඉපැරණි ග්‍රීකයන්ගෙන් ඊට ආභාෂය ලබාගැනීමට ඇතන්ස් නුවර පැවති පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය වෙත හැරුණු ඇය ඒ ඇසුරෙන් න්‍යාය ගැන්වූ මහජන පරිමණ්ඩලය සහ පෞද්ගලික පරිමණ්ඩලය අතර ග්‍රීකයන් දුටු වෙනස පිළිබඳ ඉදිරිපත් කරන විග්‍රහය ඇතුළත් The Human Condition කෘතියේ “The Public and the Private Realm” නමැති දෙවැනි පරිචේඡ දයේ සංක්ෂිප්ත අනුවර්තනයකි, පහත පළවන්නේ.

මානවයා: සමාජීය නැතහොත් දේශපාලන සත්ත්වයෙක් ද?

නූතනත්වය යටතේ මිනිසාගේ සාමාජීයභාවය වෙන කවරදාකටත් වඩා දේශපාලනය සමඟ පටලවා ගෙන තිබේ ය. මිනිසාට අන් මිනිසුන්ගේ අන්‍යෝන්‍ය සමාගමයෙන් තොරව ජීවත්විය නොහැකි බව ආදි කාලයේ සිටම පිළිගැනුණු කරුණක් නමුදු මෙම කොන්දේසිය සුවිශේෂී මානව ලක්ෂණයක් ලෙස එකල පිළිනොගැනුණි. තම වර්ගයාගේ අන්‍යෝන්‍ය සමාගමය තුළ ජීවත් වීමට අවශ්‍යවීම නැතහොත් හුදු සාමාජියභාවය, මානවයන්ටත් සතුන්ටත් පොදු ජීව විද්‍යාත්මක අවශ්‍යතාවන්ගෙන් පැනැවුණි. එනිසාම එය අන් සතුන්ටත් පොදු ලක්ෂණයක් ලෙස පිළිගැනුණි. ගී‍්‍රක චින්තනයට අනුව දේශපාලන සංවිධානය සඳහා වන මානව සාමර්ථ්‍යය ගෘහය සහ පවුල කේන්ද්‍ර කොටගත් ස්වභාවික (සාමාජීය) සංගමයෙන් වෙනස් වූවා පමණක් නොව ඊට ඉඳුරා ප‍්‍රතිපක්ෂව පිහිටා ඇත්තේ ය. පුරවර රාජ්‍යයේ පැන නැඟීම, සනිටුහන් කරන්නේ එම පෞද්ගලික ජීවිතයට එරෙහිව දේශපාලන ජීවිතයේ පැන නැඟීමයි. ”මිනිසා වූ කලී දේශපාලන සත්ත්වයෙකි” යන ඇරිස්ටෝටල්ගේ ප‍්‍රකාශයෙන් දැක්වුණු එකල පුරවර රාජ්‍යයේ පිළිගැනුණු අදහසින් කියැවුණේ, පුරවර රාජ්‍යයේ දේශපාලන සංවිධානයෙන් පිටස්තරව ජීවත් වූ, මිනිසුන්ට ශිෂ්ට සම්පන්න වූ පැවැත්මක් නැත යන්නයි. පුරවැසිභාවයෙන් පිටත පෞද්ගලික ජීවිතයේ පැවැත්ම අයිතිවූයේ පූර්ව-දේශපාලන තලයටයි.

කුටුම්බය නැතහොත් ගෘහයට සහ දේශපාලන තලයට අනුරූප වන පෞද්ගලික සහ මහජන පරිමණ්ඩලය (public realm) අතර ඇති පැහැදිලි වෙනස පුරාතන පුරවර රාජ්‍යයේ පැන නැඟීමත් සමඟ හඳුනාගෙන තිබුණි. නමුත් පෞද්ගලික තලයත් මහජන තලයත් දෙකම නොවන සාමාජීය තලයේ පැන නැඟීම නූතන යුගය බිහිවීමත් සමඟ ඇතිවන සාපේක්ෂව අලුත් සිදුවීමකි. මෙම සාමාජීය තලයේ දේශපාලන ආකෘතිය වන්නේ ජාතික රාජ්‍යයයි. මහජන සහ පෞද්ගලික (private) තලයන්, පුරවර රාජ්‍යයේ පරිමණ්ඩලය සහ ගෘහයේ සහ පවුලේ පරිමණ්ඩලයත්, පොදු ලෝකයකට අදාළ කටයුතු සහ ජීවිතය නඩත්තු කිරීමේ කටයුතුත් අතර ඇති ලෙසින් ඉපැරණි දේශපාලන චින්තනය තුළ ඉතා පැහැදිලිව හඳුනාගෙන තිබූ වෙනස්කම් මෙම නූතන සංවර්ධනය නිසා අවුලට පත්වෙයි. අද අප ජනයන්ගේ සමූහය සහ දේශපාලන ප‍්‍රජාව දකින්නේ පවුලක ප‍්‍රතිබිම්බයක් වශයෙනි. මෙම පවුලේ දෛනික කටයුතු බලා කියා ගැනීම සඳහා ගෘහ පාලනය පිළිබඳ දැවැන්ත ජාතික මට්ටමේ පරිපාලනයක් අවශ්‍ය කෙරෙයි. මෙම ‘සාමුහික ගෘහ පාලනය’ පිළිබඳ හැදෑරීම තවදුරටත් අයිති වන්නේ දේශපාලන විද්‍යාවට නොව, ‘ජාතික ආර්ථිකය’ට හෝ ‘සාමාජීය ආර්ථිකය’ටයි. අද අප සමාජය යැයි කියන්නේ, එක සුපිරි මානව පවුලක නිසි පිටපතක් බවට ආර්ථිකමය වශයෙන් සංවිධානය කල පවුල් සාමුහිකයට ය. එහි දේශපාලන සංවිධාන ආකාරයට අපි ජාතිය යයි කියමු. මේ නිසා අප අතර සුලබ යෙදුමක් බවට පත්ව ඇති ‘දේශපාලන ආර්ථිකය’ යන යෙදුමම පූර්ව නූතන ව්‍යවහාරය තුළ නිසගයෙන්ම ප‍්‍රතිවිරුද්ධාත්මක අරුතක් රැගත් පදයක් වනු ඇතිව තිබිණි, යන්න වටහා ගැනීම අපට දුෂ්කර වනු ඇත. ‘ආර්ථික’ වූ කවර දෙයක් හෝ වේවා, පුද්ගලයාගේ ජීවිතයට සහ වර්ගයාගේ පැවැත්මට බැඳුණු හෙයින්, නිර්වචනයෙන්ම ගත් කල දේශපාලනික නොවන, ගෘහමය කටයුත්තක් ලෙස එකල සැලකුණු හෙයිනි.

ගෘහමය පරිමණ්ඩලයේ සුවිශේෂ ලක්ෂණය වූයේ, තමන්ගේ ඕනෑ එපාකම් සහ අවශ්‍යතා විසින් පනවනු ලැබ මිනිසුන් එහි එකට ජීවත් වීමයි. එහි ගාමක බලවේගය වූයේ ජීවිතයමයි. එක් එක් පුද්ගල ජීවිතය නඩත්තු කිරීමටත්, වර්ගයාගේ (species) ජීවිතය ලෙසින් නොනැසී ජීවත්වීම සඳහාත් අන් අයගේ සමාගමය ජීවිතයට අවශ්‍ය වෙයි. ගෘහයේ ස්වභාවික ප‍්‍රජාව උපත ලද්දේ අවශ්‍යතාව (necessity) තුළිනි. එනිසා, එකල ඉටු කෙරුණු සියලු කටයුතු අවශ්‍යතාව විසින් ආණ්ඩු කැරුණි.

මීට ප‍්‍රතිපක්ෂව පුරවර රාජ්‍යයේ තලය නිදහස පිළිබඳ පරිමණ්ඩලය විය. මෙම දෙ-පරිමණ්ඩලය අතර තිබූ සම්බන්ධයක් වී නම් ඒ පුරවර රාජ්‍යය තුළ නිදහස සඳහා අවශ්‍ය කොන්දේසිය වූයේ ගෘහ ජීවිතයේ අවශ්‍යතාවන් සපුරාගැනීම ය, යන්නයි. කිසිදු තත්ත්වයක් යටතේවත් දේශපාලනය හුදෙක් සමාජය ආරක්ෂා කිරීමේ මඟක් පමණක් වනු හැකිව නොතිබිණි. මධ්‍යතන යුගයේ දී මෙන් භක්තිවන්තයන්ගේ සමාජයක් හෝ වේවා, ලොක් ගේ මෙන් දේපළ හිමිකරුවන්ගේ සමාජයක් හෝ වේවා, හොබ්ස්ගේ මෙන් දේවල් අත්පත් කර ගැනීමේ නිර්දය ලෙස යෙදී සිටින්නන්ගේ සමාජයක් හෝ වේවා, මාක්ස්ගේ මෙන් නිෂ්පාදකයන්ගේ සමාජයක් හෝ වේවා, අපේ සමාජයේ මෙන් රැකියා දරන්නන්ගේ සමාජයක් හෝ වේවා, සමාජවාදී හෝ කොමියුනිස්ට් සමාජයන්හි මෙන් ශ‍්‍රමිකයන්ගේ සමාජයක් හෝ වේවා, මේ සියලු සමාජයන්හි දේශපාලන අධිකාරය විසින් පැනවෙන සීමා කිරීම අවශ්‍ය වන්නේත්, යුක්තියුක්ත කෙරෙන්නේත් සමාජයේ නිදහස වෙනුවෙනි. නිදහස ස්ථානගත වී ඇත්තේ සාමාජීය තලයෙහි ය. බලය හෝ ප‍්‍රචණ්ඩත්වය ආණ්ඩුවේ ඒකාධිකාරය බවට පත්වෙයි.

සියලු ගී‍්‍රක දාර්ශනිකයන් අතර එක සේ පිළිගැනී තිබුණු මතයක් නම් නිදහස, තනිකරම ස්ථානගතවී තිබුණේ දේශපාලන තලයේ බවයි. අවශ්‍යතාව මූලිකවම පූර්ව-දේශපාලන සංසිද්ධියක් බවයි, අවශ්‍යතාව පෞද්ගලික ගෘහමය සංවිධානයේ ලාක්ෂණිකයක් වූ බවයි. ගෘහ පරිමණ්ඩලයේ දැකිය හැකි ප‍්‍රචණ්ඩත්වය සහ බලය සාධාරණ ලෙස සැලකුණේ, උදාහරණයක් වශයෙන් වහලුන් මත පාලනය පැනවීමෙන්, අවශ්‍යතාව ජයගෙන නිදහස් බවට පත්වන්නට හැකි එකම මාර්ග ඒවා වූ බැවිනි. සියලු මානවයන් අවශ්‍යතාවට යටත්වන හෙයින් අනෙකුන් කෙරෙහි ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඔවුන්ට අයිතියක් තිබේ යැයි, ලෝකයට හිමි නිදහස වෙනුවෙන් ජීවිතයේ අවශ්‍යතාව වෙතින් යමෙකු විමුක්තිය ලැබීමේ පූර්ව දේශපාලන කි‍්‍රයාව ප‍්‍රචණ්ඩත්වයයැයි පිළිගැනුණි. ගී‍්‍රකයන් විශ්වාස කළේ මිනිසාට සෞභාග්‍යය(felicity, eudaimonia) සඳහා ධනයත්, සෞඛ්‍යයත් හැරුණු කොට මෙම නිදහස අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බවයි. දිළිඳුවීම හෝ අයහපත් සෞඛ්‍යයෙන් පසුවීම, භෞතික අවශ්‍යතාවට භාජනය වීමකි. වහලෙකු වීම යනු මීට අමතරව, මිනිසා විසින් ඇති කරන ප‍්‍රචණ්ඩත්වයට ද භාජනය වීමකි.

මිනිසා ‘දේශපාලන සත්ත්වයෙකු’ වන්නට පෙර ඔහු ‘සාමාජීය සත්ත්වයෙකු’ වන හෙයින් අවශ්‍ය යැයි හැඟුණු, ගෘහ මූලිකයා විසින් පවුලත් එහි වහලනුත් පාලනය කිරීමට යොදා ගත් පූර්ව-දේශපාලන බලයත්, ව්‍යාකූල ස්වභාවය (chaotic state of nature) ත් අතර කිසිදු සමාන කමක් නැත. දහහත්වැනි සියවසේ දේශපාලන චින්තනයට අනුව ප‍්‍රකෘති ස්වභාවයේ ප‍්‍රචණ්ඩත්වයෙන් මිනිසුන්ට ගැලවීගත හැකිවූයේ බලය සහ ප‍්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරයක් තුළින් සියලු දෙනා බියට පත් කොට තැබීම මගින් සියලු දෙනාට එරෙහි සියලු දෙනාගේ යුද්ධය අහෝසි කරනු ඇති ආණ්ඩුවක් පිහිටුවීම තුළින් පමණි. මීට ප‍්‍රතිපක්ෂව ගත්කල, අප ඒවා වටහාගන්නා අන්දමට, ආණ්ඩු කිරීමත් (rule) ආණ්ඩු කිරීමට යටත්වීමත් ආණ්ඩුව සහ බලයත් පිළිබඳ මුළු සංකල්පයමත් ඒවා කැටුව එන හසුරුවනු ලැබූ පර්යායත් (regulated order) පූර්ව-දේශපාලන යැයි ද එමෙන්ම ඒවා හිමි මහජන පරිමණ්ඩලයට නොව පෞද්ගලික පරිමණ්ඩලයට යැ යි ද හඟිනු ලැබුණි.

ගෘහය ඉතාම දැඩි අසමානතාවේ කේන්ද්‍රය වූ අතර ”සමානයන්ගෙන්” පමණක් සමන්විත වීය යන හේතුවෙන් පුරවර රාජ්‍යය ගෘහයෙන් වෙන් කොට හඳුනා ගැනිණි. නිදහස්ව සිටීම යනුවෙන් අදහස් කෙරුණේ ජීවිතයේ අවශ්‍යතාවනට යටත්වීමට හෝ තවෙකෙකුගේ අණට යටත්වීමට සිදුනොවීම සහ තමා ම අණදෙන්නාගේ තත්ත්වයේ නොසිටීමත් යන දෙකරුණමය. ඉන් අදහස් කෙරුණේ ආණ්ඩු කිරිමත් නොවේ, ආණ්ඩු කරනු ලැබීමට යටත්වීමත් නොවේ. මෙපරිද්දෙන්, කුටුම්බයේ තලය ඇතුළත නිදහස පැවතියේ නැත. මන්ද යත්, ගෘහ මූලිකයා, එහි පාලකයා, නිදහස් යැයි සැලකුණේ, ගෘහයෙන් නික්මී, සියලු දෙන සමානයන් වූ දේශපාලන තලයට පිවිසෙන්නට ඔහුට බලය තිබුණු තාක් දුරට පමණක් වූ හෙයිනි. නිසැකව ම, දේශපාලන තලයේ මෙම සමානතාව සහ සමානතාව පිළිබඳ අපගේ සංකල්පය අතර ඇත්තේ ඉතා සුළු සමානකමකි. මුලින් කී සමානතාවෙන් අදහස් කෙරුණේ, යමෙකුගේ සාම්‍යයන් (peers) අතර දිවි ගෙවීමත්, ඔවුන් සමඟ පමණක් කටයුතු කරන්නට සිදුවීමත් ය. එය කල් තබා අපේක්ෂා කල දෙයක් නම් ”අසමානයන්” සිටීම යි. පුරවර_රාජ්‍යය තුළ ජනගහනයේ බහුතරය මෙබඳු ”අසමානයෝ” වූහ. මෙලෙසින්, සමානතාව, යුක්තිය හා සම්බන්ධ දෙයක් වනවාට වඩා නිදහසේ නියම හරය විය. නිදහස් ව සිටීම යන්නෙන් අදහස් කෙරුණේ, පාලකභාවයේ (ruelrship) ඇති අසමානතාවෙන් නිදහස්වීම සහ, ආණ්ඩු කිරිම හෝ ආණ්ඩු කරනු ලැබීම යන දෙකින් එකක්වත් නොපැවැති පරිමණ්ඩලයක විසීමයි.

නූතන ලෝකයේ සමාජිය හා දේශපාලන තල අතර ඇති වෙනස පුරාණයේ තරම් විශද නොවේ. දේශපාලනය සමාජයේ හුදු කෘත්‍යයක් පමණකැයි යන්න සහ මිනිසාගේ කි‍්‍රයාව, කථනය සහ සිතිවිල්ල මූලික වශයෙන් සාමාජීය ඵල-ප‍්‍රයෝජනයන් මත ඉදිවූ උපරි ව්‍යුහයන්ය යන අදහස ද නූතන යුගයේ දේශපාලන_ආර්ථික විද්‍යාඥයන්ගෙන් අවිචාරී ලෙස මාක්ස් ලබා ගත් ස්වසිද්ධි මූලික (axiomatic) උපකල්පනයන්ය. මෙම කෘත්‍යවාදීකරණය හේතුවෙන් මෙම පරිමණ්ඩල දෙක අතර කිසියම් බැරෑරුම් මහා පරතරයක් දැක ගැනීම දුෂ්කර වෙයි. සමාජයේ පැන නැඟීමත් සමඟ එනම් ‘කුටුම්බයේ’ නැතහොත් ආර්ථික කටයුතු මහජන තලයට නැඟීමත් සමඟ, ඊට පෙරාතුව පවුලේ පෞද්ගලික පරිමණ්ඩලයට අදාළ වූ ගෘහ පාලනය සහ සියලු කටයුතු ‘සාමුහික’ කාර්යයක් බවට පත්ව ඇත.

කුටුම්බයේ පටු පරිමණ්ඩලය ඉක්මවා යමින් දේශපාලනය පිළිබඳ පරිමණ්ඩලයට ‘නැඟීමට’ පුරාණයන්ට දිනපතා තරණය කරන්නටවූ මෙම පරතරය අතුරුදහන්ව යෑම අත්‍යවශ්‍යයෙන්ම නූතන සංසිද්ධියකි. කුටුම්බයේ රැකවරණය ලත් ජීවිතයත් දේශපාලන තලයේ දයා විරහිත නිරාවරණයත් අතර තිබූ මහත් පරතරය නිසාවෙන්, ධෛර්යය සම්පන්න බව නැතහොත් වීරත්වය පිළිබඳ විශිෂ්ටත්වය නැතහොත් යහගුණය (virtue) ඉතාමත්ම මූලික දේශපාලන ආකල්පයන්ගෙන් එකක් ලෙස පැරැන්නන් හඳුනාගෙන තිබුණි. දේශපාලනයට එහි පැරණි ගරුත්වය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට අසාමාන්‍ය උත්සාහයක් ගනිමින්, ඉහත සඳහන් පරතරය සහ එය තරණය කිරීමට අවශ්‍ය වූ ධෛර්යය පිළිබඳ යමක් වටහාගත් එකම පශ්චාත්-සම්භාව්‍ය න්‍යායධාරියා මකියාවෙල්ලි ය. අප‍්‍රසිද්ධියේ සිට කුමාරභාවය දක්වා, එනම් සියලු මිනිසුන්ට පොදු තත්ත්වයේ සිට ශ්‍රේෂ්ඨ කි‍්‍රයාවන්ගේ බැබළෙන මහිමය දක්වා නැඟීම වශයෙන් මකියාවෙල්ලි එය හැඳින්විය.

මුලින්ම කිසියම් නිර්භීත කි‍්‍රයාවක් සහ කීර්තිමත් ව්‍යාපාරයක නිරතවීමටත්, පසුව පුරවරයේ කටයුතු සඳහා හුදෙක් තමන්ගේ ජීවිතය කැප කිරීමටත් ගෘහය හැර පියා යෑම ධෛර්යය අවශ්‍ය කරන කටයුත්තක් වූයේ, කුටුම්බය තුළ යමෙකු මූලික වශයෙන්ම තමන්ගේම ජීවිතයත්, නොනැසී පැවැත්මත් පිළිබඳවම සැලකිල්ල දැක්වූ හෙයිනි. දේශපාලන පරිමණ්ඩලයට ඇතුලු වූ කවරෙකු හෝ වේවා පළමුව තම ජීවිතය පරදුවට තැබීමට සූදානම් වූවෙකු විය යුතු විය. ජීවිතය පිළිබඳ අතිමහත් ඇල්මක් දැක්වීම නිදහසට බාධා කළෙන් වහල්භාවයේ නිසැක ලකුණක් විය. මෙහෙයින් ධෛර්යය සම්පන්නභාවය නැතහොත් වීරත්වය අතිවිශිෂ්ටතම දේශපාලන යහගුණය සේ සැලකුණි. අන්තර්ගතය සහ අරමුණ අතින් දේශපාලනමය වූ සහ එනිසා වහලුන්, ම්ලේච්ඡයන් සහ ගී‍්‍රකයන් ද ඇතුළුව සියල්ලන් මත ජීවිතයේ අවශ්‍යතාවන් තුළින් පැනවුණු හුදු එකමුතුබව ඉක්මවා යන සමාගමයකට ඇතුළු කර ගත හැකි වූයේ එලෙස දිරිමත් බව හිමිවූවන් පමණි.

ඇරිස්ටෝටල් විසින් ”මනා ජීවිතය” (good life) යනුවෙන් හැඳින්වූ පුරවැසියාගේ ජීවිතය සාමාන්‍ය ජීවිතයට වඩා හුදෙක් වඩා හොඳ, වඩා සැහැල්ලු හෝ වඩා උතුම් වූවා නොව, එය සහමුලින්ම වෙනස් ගුණයකින් යුතුවීය. හුදු ජීවිතයේ අවශ්‍යතා ජයගනු ලැබීමෙන් ශ‍්‍රමයෙන් හා වැඩකිරීමෙන් (labour and work) නිදහස් කරනු ලැබීමෙන් තමන්ගේම පැවැත්ම සඳහා සියලු ජීවමාන සත්ත්වයන් තුළ ඇති සහජ පෙලඹවීම ජයගැනීමෙන් එය ජීව විද්‍යාත්මත ජීවන කි‍්‍රයාවලියට තවදුරටත් ගැට ගැසී නොතිබුණුතාක් දුරට එය ”මනා” ජීවිතයක් විය.

ජීවිකාව සපයා ගැනීමේ අරමුණට පමණක් සේවය කල, ජීවන කි‍්‍රයාවලිය පමණක් පවත්වා ගැනීමේ, කිසිදු කි‍්‍රයාවකට දේශපාලන පරිමණ්ඩලයට ඇතුළුවීමට ග‍්‍රීකයෝ අවසර නොදුන්හ. කුටුම්බ තුළ ජිවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් තොරව, ජීවිතය මතු නොව, ”මනා ජීවිතය” ද තිබිය නොහැකිය. නමුත් දේශපාලනය කවර කලෙකවත් ජීවිතය සඳහා නොවේය යන්න ගී‍්‍රකයන්ගේ පැහැදිලි අවබෝධය විය. පුරවර රාජ්‍යයේ සාමාජිකයන් අදාළ වන තාක් දුරට, ගෘහ ජීවිතය පැවැතියේ පුරවර රාජ්‍යයේ ”මනා ජීවිතය” වෙනුවෙනි.

සමාජීය දෙයෙහි පැණ නැඟීම

කුටුම්බයේ අඳුරුසහගත අභ්‍යන්තරයේ සිට මහජන පරිමණ්ඩලයේ ආලෝකයට සමාජය මතුවීම ගෘහ පාලනය, එහි කි‍්‍රයාකාරකම්, ගැටලු සහ සංවිධානමය උපක‍්‍රමයන් නැඟීම පෞද්ගලික හා දේශපාලන කටයුතු අතර තිබුණු ඉපැරණි සීමාව බොඳකොට ඇත්තා පමණක් නොවේ. මෙම පද දෙකේ අරුතත්, පුද්ගලයාගේ සහ පුරවැසියාගේ ජීවිතයට අදාළව ඒවායේ ඇති වැදගත්කමත්, හඳුනාගත නොහැකිවන ආකාරයට එය විසින් වෙනස් කරනු ලැබ ඇත්තේය. සාමුහිකයෙන් පිටත ‘තමන්ගේම’ රහස්‍යභාවයේ ගත කල ජීවිතයක් නිර්වචනයෙන්ම ‘මුග්ධ’ යැයි ගී‍්‍රකයන් තුළ තිබූ අදහසට නූතනයේ අපි එකඟනොවන්නෙමු. එමෙන්ම, ජන රජයේ (res publica) කටයුතුවලින් තාවකාලිකව රැකවරණය පිරිනැමුණු තැන පෞද්ගලික තලය වශයෙන් හඳුනාගත් රෝමවරුන් සමඟ ද අපි එකඟනොවන්නෙමු. නූතනයන්ට පෞද්ගලික තලය දෘඪ මිත‍්‍රත්වය, කුලුපගභාවය (intimacy) පිළිබඳ පරිමණ්ඩලයකි.

පැරැන්නන් දුටු ආකාරයට පෞද්ගලිකභාවයේ නැතහොත් අප‍්‍රසිද්ධභාවයේ ඇති ඌනතාව පිළිබඳ ලක්ෂණයෙන් කියැවුණේ වාව්‍යාර්ථයෙන්ම ගත් කල යමක් අහිමි කරනු ලැබූ තත්ත්වයකි. මිනිසාගේ උසස්තම සහ වඩාත්ම මානවීය වන සාමර්ථ්‍යයම පවා අහිමි කරනු ලැබීම මෙයින් දැක්වුණි. වහලා මෙන් මහජන තලයට ඇතුළුවීමට අවසර නොලැබ, නැතහොත් එවැනි තලයක නොපිහිටුවන්නට තෝරාගෙන ඇති ම්ලේච්ඡයා මෙන් හෝ, අප‍්‍රසිද්ධ, පෞද්ගලික ජීවිතයක් ගත කල මිනිසෙකු පූර්ණ වශයෙන් මානවයෙකු ලෙස ගී‍්‍රකයක් සැලකුවේ නැත. අප පෞද්ගලිකභාවය නැතහොත් “අප‍්‍රසිද්ධිය“ (“privacy”) නමැති පදය යොදා ගන්නා විට මූලික වශයෙන් යමක් අහිමි කිරීමක් ගැන තවදුරටත් නොසිතන්නෙමු. මීට තරමක් හේතුවූයේ නූතන පුද්ගලවාදය (individualism) තුළින් පෞද්ගලික පරිමණ්ඩලය අතිමහත් ලෙස සුපෝෂණය කරනු ලැබීමයි. මීටත් වඩා වැදගත් කරුණ ලෙස පෙනී යන්නේ, නූතන පෞද්ගලිකභාවය, අවම වශයෙන් එය දේශපාලන පරිමණ්ඩලයට තියුණු ලෙස ප‍්‍රතිපක්ෂ වන ආකාරයටම සාමාජීය පරිමණ්ඩලයට ද ප‍්‍රතිපක්ෂ වන්නේ ය යන්නයි. තීරණාත්මක ඓතිහාසික කරුණ වන්නේ, නූතන පෞද්ගලිකභාවය එයින් වඩාත්ම අදාළ කෘත්‍යය වන කුලුපගභාවයට රැකවරණ දීම අතින් ගත් කල සොයාගනු ලැබුවේ, දේශපාලන පරිමණ්ඩලයේ නොව සාමාජීය පරිමණ්ඩලයේ ප‍්‍රතිපක්ෂය ලෙසින් වීමයි. මේ නිසා එය වඩා සමීප හා අව්‍යාජ ලෙස බැඳී ඇත්තේ සාමාජීය පරිමණ්ඩලයටයි.

දෘඪ මිත‍්‍රත්වය නැතහොත් කුලුපගභාවය ලොවට හඬ නඟා කී ප‍්‍රථම ගවේෂකයා ද, එක්තරා දුරකට එහි න්‍යායධරයා ද වූ රූසෝ තම සොයාගැනීම කළේ රජයේ මර්දනයට එරෙහිව නොව, සමාජය විසින් මානව හදවත දරාගත නොහැකි ආකාරයට අයුතු ලෙස යොදා ගැනීමට එරෙහිව ගැසූ කැරැල්ලකිනි. නූතන පුද්ගලයා සහ ඔහුගේ නිමක් නැති ගැටුම් ද, සමාජය තුළ සතුටින් විසීමට හෝ මුළුමනින්ම ඉන් පිටත විසීමට හෝ ඔහුට ඇති නොහැකියාවත්, නිරතුරුවම වෙනස්වන ඔහුගේ මනෝවෘත්තියන් (mood) සහ ඔහුගේ භාවමය ජීවිතයේ සහමුලින්ම ඇතිවන ආත්මීයවාදය ද (radical subjectivity) උපත ලද්දේ හදවතෙහි මෙම කැරැල්ල තුළ ය. එම මුළුමනින්ම සාමාජීය කලා ආකෘතිය වූ, නවකතාවේ නැඟීමකැටුව ආ, දහඅට වැනි සියවසේ මැද භාගයේ පටන් දහනව වැනි සියවසේ අවසාන තුන්වැනි භාගය තරම්ම වන තෙක් කවියේ සහ සංගීතයේ සිදුවූ විස්මයජනක පිබිදීමත්, වඩාත්ම මහජන කලාවන්හි, විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ සිදුවූ ඊට නොඅඩුව සිතට කා වදින පිරිහීමත්, සාමාජීය හා කුලුපග තලයන් අතර සමීප සම්බන්ධතාවක් පිළිබඳ ප‍්‍රමාණවත් සාක්ෂ්‍ය වේ.

රූසෝ සහ රොමැන්තිකවාදීන් එහිදී කුලුපග බව අනාවරණය කරගත්, සමාජයට එරෙහි කැරලිකාරී ප‍්‍රතිචාරය පළමුව එල්ල කෙරුණේ සියලු දේ මට්ටම් කිරීමට සමාජයේ කෙරුණු බලපෑම්, හැම සමාජයකම නිසගයෙන්ම ඇතැයි අද අප කියන අනුකූලතාවට එරෙහිවය. මෙම කැරැල්ල සිදුවූයේ, අනුකූලතාව ඇතිවීම පිළිබඳව ටොක්විල්ගේ පටන් අප දොස් කියන, සමානතාව පිළිබඳ මූලධර්මයට සාමාජීය හෝ දේශපාලන තලයන්හි තිරසාරව ප‍්‍රකාශවන්නට තාලය ලැබෙන්නට පෙරාතුව බව සිහියේ තබාගැනීම වැදගත් ය. මේ අතින් ගත් කල, ජාතියක් සමන්විත වන්නේ සමානයන්ගෙන් ද, සමාන නොවන අයගෙන් ද යන්න එතරම් වැදගත්කමක් නොඋසුලයි. මන්ද යත්, එහි සාමාජිකයන්, එකම මතයක් සහ එකම ඵල ප‍්‍රයෝජනයක් පිළිබඳ ඇල්මක් පමණක් ඇති එක් දැවැන්ත පවුලක සාමාජිකයන් ලෙසින් කි‍්‍රයාකිරීම සමාජය විසින් බලකර සිටින නිසයි. පවුල නූතනයේ බිඳී විසිරී යෑමට පෙර, මෙම පොදු ඵල ප‍්‍රයෝජනයක් පිළිබඳ ඇල්ම සහ තනි මතය නියෝජනය කළේ, ඊට අනුකූලව පාලනය ගෙනගිය සහ පවුලේ සාමාජිකයන් අතර සිදුවිය හැකි අසමඟිය වළක්වා ලු ගෘහ මූලිකයාය. සමාජයේ නැඟීමත් පවුලේ බිඳවැටීමත් අතර ඇති බව පෙනෙන සමපාතවිම විසින් පැහැදිලිව, පෙන්වා දෙන කරුණ නම්, සැබැවින්ම සිදුවූයේ පවුල් ඒකකය ඊට අනුරූප සාමාජීය කණ්ඩායම් තුළට අවශෝෂණය කර ගැනීමයි. මෙම කණ්ඩායම්වල සාමාජිකයන්ගේ සමානතාව, සමානයන් අතර වන සමානතාවක් වනවා වෙනුවට, සමානවන්නේ අන් කිසිවකට වඩා ගෘහ මූලිකයාගේ ඒකාධිපති බලය ඉදිරියේ ගෘහ සාමාජිකයන්ගේ සමානතාවටය. එකම වෙනස නම් එය පොදු ඵල ප‍්‍රයෝජනයක් පිළිබඳ ඇල්මේ සහ ඒකමතික මතයක ස්වභාවික ශක්තිය හුදු සංඛ්‍යාවන්ගෙන් අතිවිශාල ලෙස ප‍්‍රබල කරන හෙයින්, පොදු ඵලප‍්‍රයෝජනයන් සහ නිවැරදි මතය නියෝජනය කරමින්, තනි මිනිසකු විසින් බලපවත්වන සැබෑ පාලනය අවසානයේදී අනවශ්‍ය යැයි ඉවත දැමිය හැකිවීමයි. අනුකූලතාව පිළිබඳ සංසිද්ධිය මෙම නූතන සංවර්ධනයේ අවසාන අදියරේ ලාක්ෂණිකයකි.

කුටුම්බයේ සංවිධානමය උපක‍්‍රමය ලෙස පැරැන්නන් දුටු තනි මිනිසාගේ ”රාජාණ්ඩු” පාලනය නූතන සමාජය තුළ කවරෙකුගේවත් නොවන පාලනයක් (no-man rule) බවට විපර්යාස කෙරී ඇත. නමුත් මේ කිසිවෙකු නොවන්නා (nobody), සමාජයේ සමස්තයක් ලෙස එක් ඵල ප‍්‍රයෝජනයකට ඇලුම් කරන්නේ යැයි, එක් මතයක් දරන්නේ යැයි බාර ගැනෙන තත්ත්වය තමන්ට පෞරුෂයක් නැතැයි කියා පාලනය කිරිම නවත්වන්නේ නැත. වඩාත්ම සාමාජීය ආකාරයේ ආණ්ඩුව වූ නිලධාරිවාදයෙන් අප දැනගත් පරිදි ”කිසිවකු නොවන්නා” විසින් කෙරෙන පාලනය අවශ්‍යයෙන්ම ‘පාලනයක් නැති කමක්’ (no-rule) නොවේ. කිසියම් තත්ත්වයන් යටතේ, එය සැබැවින්ම, එහි වඩාත්ම ක‍්‍රෑරතම සහ වඩාත්ම පීඩාකාරී පාලන ආකාරයක් වීම පවා සිදුවිය හැකිය.

සමාජය එහි හැම මට්ටමකදීම, මිනිසුගේ ස්වායත්ත කි‍්‍රයාකාරකම් (action) වෙනුවට, එහි හැම සාමාජිකයෙකුගෙන්ම කිසියම් ආකාරයේ හැසිරීමක් (behaviour) බලාපොරොත්තු වෙයි. මේ සඳහා අසංඛ්‍යාත සහ විවිධාකාර රීති පනවනු ලැබෙයි. මෙම සියලු රීතිවල අරමුණ එහි සාමාජිකයන් ‘සාමාන්‍යකරණයට’ පත්කිරීමයි. ඔවුන් නිසි ආකාරයට හැසිරීමට සැලැස්වීමයි. ඔවුන් ස්වයංසිද්ධව කි‍්‍රයාකිරීමෙන් හෝ විශිෂ්ට සාධනයන් අත්පත් කරගැනීමෙන් වළක්වනු ලැබීමයි.

නූතනය යටතේ බහුජන සමාජය (mass society) පැන නැඟීමත් සමඟ, සියවස් කිහිපයක් තිස්සේ සංවර්ධනයවීමෙන් අනතුරුව, සමාජ තලය, දෙන ලද ප‍්‍රජාවක සියලු සාමාජිකයන් එක හා සමානව හා සමාජ ශක්තියෙන් යුතුව වැළඳගන්නා සහ පාලනය කරන අවස්ථාව කරා ළඟාවී ඇත. සමාජය සියලු තත්ත්වයන් යටතේ සමානකරණය (equalization) කරන්නේය. නූතන සමානතාවට පදනම වී ඇත්තේ සමාජයේ අත්‍යන්තයෙන් පවතින එකම විදිහට හැඩගැසීමයි. නූතන ලෝකයේ සමානත්තයේ මෙම ජයග‍්‍රහණයෙන් කියැවෙන කරුණ නම් සමාජය විසින් මහජන තලය ජයගෙන ඇත්තේය, යන්න දේශපාලනමය සහ නීතිමය වශයෙන් පිළිගැනෙනු ලැබ ඇත්තේය යන්නයි. විශිෂ්ටභාවය සහ වෙනස, තවදුරටත් මහජන තලයට අයිති දේ නොව, පුද්ගලයාගේ පෞද්ගලික කාරණා බවට විස්ථාපනය කොට ඇත.

සමාජය තුළ නිසගයෙන් පවතින අනුරූපතාව මත පදනම් වූ සහ, ප‍්‍රමුඛ මානව සබඳතා ස්වරූපය වශයෙන් කි‍්‍රයාවේ තැන චර්යාව විසින් ගෙන ඇති නිසා පමණක් ඇතිවිය හැකි මෙම නූතන සමානතාව පැරැන්නන්, විශේෂයෙන්ම ගී‍්‍රක පුරවර රාජ්‍යයන්හි, සමානතාව හඳුනාගෙන තිබූ ආකාරයට ඉඳුරාම වෙනස්ය.

සුළු පිරිසක් වූ ’සමානයන්’ට අයිතිව සිටීමෙන් අදහස් කෙරුණේ, යමෙකුගේ සාම්‍යයන් (peers) අතර ජීවත් වීමට අවසර ලැබ සිටීමයි. නමුත්, මහජන පරිමණ්ඩලයට, එනම් පුරවර රාජ්‍යයේ (polis) මහජන පරිමණඩලය ගත් කල එය පුරා පැතිර තිබුණේ, උග‍්‍ර ලෙස විසංවාදී ජීවගුණය (agonal spirit) කි. එතුළ හැම කෙනෙකුටම නිරතුරුවම තමා අන් සියලු දෙනාගෙන්ම විශේෂ කොට පෙන්වීමට, අද්විතීය කි‍්‍රයා හෝ සාධනයන් මගින් තමා සියල්ලන්ම අතුරෙන් විශිෂ්ටයා බව පෙන්වීමට සිදුව තිබුණි. වෙනත් වචනවලින් කියන්නේ නම්, මහජන පරිමණ්ඩලය වෙන් කොට තිබුණේ පුද්ගලභාවය (individuality) වෙනුවෙනි. සැබැවින්ම සහ හුවමාරු කල නොහැකි ලෙස ‘තමන් කවුද?’ යන්න පෙන්නුම් කිරීම සඳහා මිනිසුන්ට තිබූ එකම ස්ථානය මෙයයි. යුක්තිය පසිඳලීම, ආරක්ෂාව, සහ මහජන කටයුතු පරිපාලනයෙහි බර පොදුවේ දරන්නට හැම කෙනෙකුම අඩු වැඩි වශයෙන් කැමැත්ත දැක්වූයේ, ‘තමන් කවුද?’ යන්න ප‍්‍රදර්ශනය කිරීම සඳහා තිබූ මෙම අවස්ථාව වෙනුවෙන් සහ ඔවුන් සියල්ලටම ඊට අවකාශය ලබාදුන් දේශපාලන සංවිධානයක්, ආණ්ඩුවක් හදාගත් පුරවැසියනට ඇති ඇල්මත් වෙනුවෙනි.

නූතන ආර්ථික විද්‍යාවේ මූලයෙහි ඇත්තේ ද, මිනිසුන් එකිනෙකා සම්බන්ධයෙන් කි‍්‍රයාකරන්නේ නැත, ඒ වෙනුවට ඔවුන් හැසිරෙන්නේය යන පිළිගැනීම, එනම් අනුකූලතාව පිළිබඳ අදහසයි. සමාජයේ නැඟීමත් සමඟ සමපාතව උපත ලද ආර්ථික විද්‍යාව, එය ප‍්‍රධාන තාක්ෂණික මෙවලම වන සංඛ්‍යාන විද්‍යාවත් සමඟ විශිෂ්ටතම සාමාජීය විද්‍යාව බවට පත්වුණි. නූතන යුගය වන තෙක් ආචාර ධර්මයේ සහ දේශපාලනයේ එතරම් ම වැදගත් නොවන කොටසක් වූ සහ මිනිසුන් වෙනත් හැම අතකින්ම කි‍්‍රයා කරන්නාක් මෙන් තම ආර්ථික කටයුතු ද සම්බන්ධයෙන් ද කි‍්‍රයා කරන්නේය යන පිළිගැනීම මත පදනම් වූ ආර්ථික විද්‍යාවට විද්‍යාත්මත ස්වභාවයක් අත්පත් කර ගත හැකි වන්නේ මිනිසුන් සමාජ සත්ත්වයන් බවට පත්ව, කිසියම් චර්යා රටාවන් ඒකමතිකව අනුගමනය කරන්නට පටන් ගත්විට පමණි. එවිට, එම නීති රීති අනුගමනය නොකලවුන් සමාජ විරෝධී හෝ සාමාන්‍ය නොවන, අවප‍්‍රමාණයන් ලෙසින් සලකන්නට හැකිවිණි.

සංඛ්‍යානයේ නියම වලංගුවන්නේ විශාල සංඛ්‍යාවන් හෝ දීර්ඝ කාලසීමාවන් අදාළ වන විට පමණි. කි‍්‍රයා හෝ සිද්ධීන් (events) සංඛ්‍යානමය වශයෙන් පෙනී යා හැක්කේ අපගමනයන් (deviations) හෝ උච්ඡාවචනයන් ලෙස පමණි. සංඛ්‍යානය යුක්තියුක්ත කෙරෙන්නේ කි‍්‍රයාවන් සහ සිද්ධීන් එදිනෙදා ජීවිතයේ සහ ඉතිහාසයේ දුලබ සිදුවීම් ය, යන අදහස මතයි. නමුත් දෛනික සබඳතාවල අරුත් පිරුණු බව අනාවරණය කෙරෙන්නේ එදිනෙදා ජීවිතය තුළ නොව දුලබ සිදුවීම්වල ය. හරියටම, ඓතිහාසික යුගයක ඇති වැදගත්කම මතු කෙරෙන්නේ එය ආලෝකවත් කරන සිද්ධීන් ස්වල්පය තුළ පමණක් වන්නාක් මෙනි. දේශපාලනයට හෝ ඉතිහාසයට විශාල සංඛ්‍යාවන්ගේ නියාමය ආදේශ කිරීම හරියටම පෙන්නුම් කරන්නේ ඒවායේ විෂය අඩංගුවම හිතාමතා මකා දැමීමකි. එදිනෙදා චර්යාව හෝ ස්වයංකී‍්‍රය ප‍්‍රවණතා නොවන හැමදේම අදාළ නොවන ලෙසින් සලකා ඉවත ලු විට, දේශපාලනයේ අරුත් හෝ ඉතිහාසයේ වැදගත්කමක් සොයා යෑම පලක් නැති උත්සාහයකි.

නමුත්, අප විශාල සංඛ්‍යාවන් සම්බන්ධයෙන් කටයුතු කරන කල සංඛ්‍යානයේ නියාමයන් පැහැදිලිව ම වලංගු වන හෙයින්, ජනගහනයේ හැම වැඩිවීමක්ම, වැඩිවන වලංගුභාවයක් සහ ‘අපගමනයේ’ පැහැදිලි අඩුවීමක් සලකුණු කරන බව ඉන් අදහස් කෙරෙයි. දේශපාලනමය වශයෙන් මෙයින් කියැවෙන්නේ, දෙන ලද දේශපාලන සංවිධානයක ජනගහනය වැඩිවන තරමට එහි මහජන පරිමණ්ඩලය සමන්විත වනු ඇත්තේ ”දේශපාලන” නොව සාමාජීයබවින් වන්නට වඩා ඉඩකඩ ඇති බව ය. අප දන්නා වඩාත්ම පෞද්ගලිකවාදී සහ අඩුවෙන්ම අනුකූලතාවාදී පුරවර රාජ්‍යයක් සතුව සිටි ගී‍්‍රකයන් පැහැදිලිව දැනුවත්ව සිටි කරුණක් නම් කි‍්‍රයාවත් කථනයත් අවධාරණය කල පුරවර රාජ්‍යයට නොනැසී පැවැතිය හැක්කේ, එහි පුරවැසි සංඛ්‍යාව සීමිතව සිටියේ නම් පමණක් බවයි. එකට රංචු ගැසුණු ජනයා විශාල සංඛ්‍යාවක් තනි පුද්ගලයකුගේ හෝ වේවා, බහුතරයේ පාලනයේ හෝ වේවා, ඒකාධිපතිත්වය (despotism) දිශාවට අනිවාර්යයෙන් ම පාහේ නැඹුරුවන්නේ ය. යථාර්ථය සංඛ්‍යානමය නියාමයන්ට යටත්කොට සැලකීම නූතන යුගයට පෙර දැන නොසිටි දෙයක් වූ නමුත් මිනිසුන් සංඛ්‍යානමය අගයන් ලෙසින් සැලකීම පහසු කරන සමාජ සංසිද්ධීන් එනම් මිනිස් කටයුතුවල අනුකූලතාව, චර්යාවාදය සහ ස්වයංකී‍්‍රයවාදය (automatism) මත ගී‍්‍රකයෝ තම ස්වයං අවබෝධයට අනුව තම ශිෂ්ටාචාරයෙන් වෙන්කොට දැක්වූහ.

චර්යාවාදය පිළිබඳ අවාසනාවන්ත සත්‍යය නම්, එහි නියාමයන්ගේ වලංගුභාවය නම්, ජනයා වැඩිවන තරමට ඔවුන් හැසිරෙන්නට ඇති ඉඩකඩ වැඩිවීමත්, නොහැසිරීම ඉවසා සිටීමට ඇති ඉඩකඩ අඩුවීමත්ය. සංඛ්‍යානමය වශයෙන් මෙය උච්චාවචනයන් මට්ටම් වීම තුළ පෙන්නුම් කෙරෙනු ඇත. යථා තත්ත්වය තුළ චර්යාවේ ප‍්‍රවාහය නවතාලීමට සිද්ධීන්ට ඇති අවස්ථාව එන්න එන්නම අඩුවනු ඇත. එමෙන් ම සිද්ධීන්වල වැදගත්කම එනම් ඓතිහාසික කාලය ආලෝකවත් කරන්නට ඊට ඇති සාමර්ථ්‍යය, වැඩි වැඩියෙන් අහිමිවනු ඇත. සංඛ්‍යානමය ඒකරූපතාව කිසිදු ලෙසකින්වත් අහිංසක විද්‍යාත්මත පරමාදර්ශයක් නොවේ. එය, එදිනෙදා ජීවිතයේ ඒකාකාරී බව තුළ මුළුනින් ම ගිලීගිය, එහි පැවැත්ම ම තුළ නිසගයෙන් ඇති විද්‍යාත්මත දෘෂ්ටිය භාරගත් සමාජයක තවදුරටත් රහසක් නොවන දේශපාලන පරමාදර්ශයයි.

සංඛ්‍යානමය නිශ්චය කිරීමට, සහ එනිසා විද්‍යාත්මතව නිවැරදි අනාවැකි කීමට ඉඩ සලසන ඒකරූපී චර්යාව ”සම්භාව්‍ය” ආර්ථික විද්‍යාවේ පදනම වන ස්වභාවයෙන් ම ඇතිවන, ඵල ප‍්‍රයෝජනයන්ගේ ”සම ස්වරත්වය” ක් (harmony of interests) පිළිබඳ ලිබරල් උපන්‍යාසයෙන් කිසිසේත් පැහැදිලි කල නොහැකි ය. මිනිසුන්ගේ චර්යාවට මග පෙන්වන සහ ඔවුන්ගේ එකිනෙක ගැටෙන ඵල ප‍්‍රයෝජන අපේක්ෂාවන්ගේ සම ස්වරත්වය උපදවන, සමස්තයක් වශයෙන් ගත් මුළු සමාජයටම හිමි එක් ඵල ප‍්‍රයෝජන ඇල්මක් ඇතැයි යන ”කොමියුනිස්ට්වාදී ප‍්‍රබන්ධය” හඳුන්වා දීමට සිදුවූයේ කාල් මාක්ස්ට නොව, ලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයන්ට ම ය. සමාජයට සම්පූර්ණ ජයග‍්‍රහණය ලැබීම හැමවිටමත් අදෘශ්‍යමාන හස්තයකින් පාලනය වන, එනම් කිසිවකු විසින් පාලනය නොකෙරෙන සමාජයක් පිළිබඳ ”කොමියුනිස්ට් ප‍්‍රබන්ධයක් ” හැමවිටමත් නිෂ්පාදනය කරනු ඇත. සාම්ප‍්‍රදායිකව අප රජය හා ආණ්ඩුව යැයි කියන දෙයෙහි තැන මෙහි දී හුදු කලමනාකරණය විසින් ගනු ඇත. මාක්ස් ”රාජ්‍යය වියැකී යෑම” යනුවෙන් නිවැරදිව අනාවැකි කීවේ මේ පිළිබඳවය. නමුත් එම තත්ත්වය උදාකල හැක්කේ විප්ලවයකට පමණි යැයි කීමේ දී ඔහුට වැරදුණි. ඔහුට ඊටත් වඩා වැරදුණු තැන වූයේ මෙලෙස සමාජයට සම්පූර්ණයෙන් විජයග‍්‍රහණය හිමිවීමෙන් අදහස් කරන්නේ අවසානයේ දී ”නිදහස පිළිබඳ තලය” පැන නගිනු ඇත යන්න විශ්වාස කිරීමේදී ය.

නුතන යුගයේ දී සමාජය ලැබූ ජයග‍්‍රහණයේත්, මුලදීම එය කි‍්‍රයාකිරීම වෙනුවට චර්යාව ආදේශ කිරීමත්, අන්තිමේ දී එය පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන පාලනය වෙනුවට කිසිවකුගේ නොවන පාලනය එනම් නිලධාරි තන්ත‍්‍රය ආදේශ කිරීමත්, යන මේ සියල්ලේ තරම මැනගන්නට නම් අප සිහිපත් කල යුතු කරුණක් වෙයි. එය නම්, සමාජයේ මුල්ම විද්‍යාව වූ ආර්ථික විද්‍යාව මානව කි‍්‍රයාකාරකම් පිළිබඳ තරමක් සීමිත තම විෂය ක්ෂේත‍්‍රය තුළ කි‍්‍රයාකාරකම්වල තැනට චර්යා රටාවන් ආදේශ කල අතර, අවසානයේ දී ඒ අනුව යමින් සාමාජීය විද්‍යාවනුත්, චර්යාමය විද්‍යාවන් ලෙසින්, මිනිසා සමස්තයක් වශයෙන්, ඔහුගේ සියලු කටයුතුවල දී නියම කෙරුණු ආකාරයකට යටත් සහ හැසිරෙන සත්ත්වයකුගේ මට්ටමට ලඝු කිරීම අපේක්ෂා කිරීම තුළින් සියල්ල අවබෝධ කොට ගතහැකිය යන ව්‍යාජ විශ්වාසයකට යට වූ බවයි. සමාජයේ මුල් අදියරවලදී එහි විද්‍යාව වූයේ ආර්ථික විද්‍යාව නම්, එකල එයට චර්යාව පිළිබඳ රීතීන් පැනවිය හැකිවූයේ ජනගහනයේ කොටස් මත සහ ඔවුන්ගේ කි‍්‍රයාකාරම්වල කොටස් මත පමණි. නමුත් ”චර්යාත්මක” විද්‍යාවන්ගේ නැඟීම පැහැදිලිව පෙන්නුම් කරන්නේ මෙම සංවර්ධනයේ අවසාන අදියරයි. ඒ වන විට, බහුජන සමාජය (mass society) විසින් ජාතියේ සියලු ස්තරයන් ගිලගෙන සහ ජීවිතයේ සියලු කලාපයන්ට අදාළව ”සමාජ චර්යාව” සම්මතය බවට පත් වී තිබුණි.

සමාජයේ නැඟීමත් සමඟ කුටුම්බය සහ ගෘහ පාලන කටයුතු මහජන පරිමණ්ඩලය තුළට වැද්ද ගැනීමත් සමඟ, මෙම නව තලයේ පැහැදිලිව පෙනෙන ලාක්ෂණිකයක් වී ඇත්තේ, වර්ධනය වන්නට සහ, දේශපාලනය සහ පෞද්ගලිකභාවයට අදාළ පැරණි පරිමණ්ඩලයන් මෙන්ම වඩා මෑත දී ස්ථාපිත කෙරුණු දෘඪ මිත‍්‍රත්වය පිළිබඳ පරිමණ්ඩලය ද ගිල දැමීමට ද ඇති නොවැළැක්විය හැකි නැඹුරුවකි. මෙම අනවරත වර්ධනයත්, පසුගිය සියවස් තුනක් පුරා අපට නිරීක්ෂණය කල හැකි, එහි ඊට අඩු නොවන අනවරත වේගය වැඩි කිරීමත්, ඊට හිමි ශක්තිය ලබාගන්නේ සමාජය තුළින් මහජන පරිමණ්ඩලයට එක් හෝ වෙනත් ආකාරයකින් යොමු කොට ඇත්තේ ජීවන කි‍්‍රයාවලියමය, යන්නයි. ජීවිතයේ අවශ්‍යතාවන් පුද්ගලයාගේ නොනැසී පැවැත්ම මෙන්ම වර්ගයාගේ සන්තතියත්, රැකබලා ගැනුණු සහ සහතික කෙරුණු පරිමණ්ඩලය වූයේ ගෘහයේ පෞද්ගලික තලයයි. දැඩි මිත‍්‍රත්වය සොයා ගැනීමට පෙර, පෞද්ගලිකතාව (privacy) පිළිබඳ තලයේ එක් ලාක්ෂණිකයක් වූයේ මිනිසා මේ තලය තුළ පැවැතුණේ සැබෑ මානවයකු ලෙස නොව මානව වර්ගයා නමැති සත්ත්ව විශේෂයේ ආදර්ශකයක් ලෙසය යන්නයි. පැරැන්නන් ඊට දැක්වූ ඉමහත් අවඥාවට පරම හේතුව වූයේ නිරවද්‍යයෙන්ම මෙයයි. සමාජයේ පැන නැඟීම මෙම සමස්ත පරිමණ්ඩලය පිළිබඳ තක්සේරුව වෙනස් කොට ඇති නමුදු එහි ස්වභාවය විපර්යාස කොට ඇත්තේ යන්තමිනි. හැම ආකාරයේ සමාජයක්ම එකම ගලින් කෙටුවාක් වැනි ස්වරූපයක් ගැනීමත්, එක් ඵලප‍්‍රයෝජනයකට ඇති ඇල්මටත්, එක මතයකටත් පමණක් ඉඩ සලසන එහි අනුරූපිකතාවත් අවසානයේ දී ගත් කල පිහිටා ඇත්තේ මානව වර්ගයාගේ ඒකත්වයෙහි ය (oneness). මානව වර්ගයාගේ මෙම ඒකත්වය මනඃකල්පිතයක් නොවේ. සම්භාව්‍ය ආර්ථිකවිද්‍යාවේ එන කොමියුනිස්ට්වාදී ප‍්‍රබන්ධයේ මෙන් හුදු විද්‍යාත්මත උපකල්පනයක් පවාවත් නොවේ. මිනිසා සමාජ සත්ත්වයෙකු වශයෙන් අනභිභවනීය තැනක් අරා සිටින සහ පෙනෙන අන්දමට ලෝකපරිමාණයෙන් වර්ගයාගේ පැවැත්ම සහතික කල හැකි බහුජන සමාජය, ඒ එක්වරම මානව වර්ගයා විනාශ කර දැමීමේ තර්ජනය එල්ල කරන්නට සමත් වී ඇත්තේ ද එහෙයිනි.

සමාජය සමන්විත වන්නේ, ජිවන කි‍්‍රයාවලියම මහජන තලයේ සංවිධානය කිරීම විසින් යන්නට පැහැදිලිම සලකුණු බාගවිට දැකිය හැක්කේ සාපේක්ෂව කෙටි කලක් තුළ නව සමාජිය පරිමණ්ඩලය, සියලු නූතන ප‍්‍රජාවන්හි ශ‍්‍රමිකයන්ගේ සහ රැකියා දරන්නන්ගේ සමාජයන් බවට විපර්යාස කොට ඇත්තේ ය, යන කරුණ තුළ ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඒවා එක්වරම ජීවිතය තිරසාර කිරීමේලා අවශ්‍ය එක් කටයුත්ත වටා කේන්ද්‍රගත වී තිබේ. මෙහි දී වැදගත් වන්නේ සමාජයේ හැම සාමාජිකයකුම තමන් කරන කුමක් හෝ වේවා මූලිකවම තමන්ගේ ම ජීවිත සහ තමන්ගේ පවුල්වල ජීවිත තිරසාර කිරීමේ මගක් ලෙස සලකන්නේය, යන්නයි. ජීවිතය සඳහා අන්‍යෝන්‍ය පරායත්තභාවය මිස අන් කිසිවක් මහජන පරිමණ්ඩලයේ වැදගත්කමක් නොඋසුලන සහ හුදු නොනැසී පැවැත්ම හා බැඳුණු කි‍්‍රයාකාරකම් ප‍්‍රසිද්ධියේ මහජන තලයේ පෙනී සිටීමට ඉඩ සලසන, ආකාරය සමාජයයි.

කිසියම් කි‍්‍රයාවක් පෞද්ගලිකව ඉටු කෙරෙන්නේ ද, මහජනයා හමුවේ ඉටු කෙරෙන්නේ ද යන්න සැලකිල්ලට නොගතයුතු කරුණක් නොවේ. ඊට වැද්දගන්නා කි‍්‍රයාකාරම් අනුව මහජන පරිමණ්ඩලයේ ස්වභාවය වෙනස්විය යුතු නමුදු බොහෝ කි‍්‍රයාකාරකම්ම තම ස්වභාවයම වෙනස් කරයි. ශ‍්‍රමය යෙදවීමේ කි‍්‍රයාකාරකම, සියලු තත්ත්වයක් යටතේ එහි ඉතාම මූලික, ජිව විද්‍යාත්මක අර්ථයෙන් ජීවන කි‍්‍රයාවලිය සමඟ බැඳී තිබුණු නමුදු, එය ගැටගැසී තිබුණු ජීවන කි‍්‍රයාවලිය සදාකාලිකව යළි යළිත් සිදුවීම තුළ සිරගත වී වසර දහස් ගණනක් යනතෙක් එක තැන රැඳී පැවතුණි. ශ‍්‍රමය, මහජන තත්ත්වයට ඇතුළු කර ගැනීම, කි‍්‍රයාවලියක් ලෙස වූ එහි ස්වභාවය නැතිකොට දැමුවේ නැත.

පුරවැසි ආණ්ඩු හැමවිටමත් සැලසුම් කෙරුණේ නිත්‍යභාවය අරමුණු කොට වීමත්, එවායේ නීති හැමවිටමත් චලනය මත පැනැවුණු සීමාවන් ලෙසින් වටහා ගැනුණි යන්නත් සිහිපත් කරන විට කි‍්‍රයාවලියක් ලෙස ශ‍්‍රමයේ ස්වභාවය නැති කර දැමීම වැන්නක් අපේක්ෂා කිරීමට ඉඩ තිබුණි. නමුත්, ඊට ප‍්‍රතිපක්ෂව සිදුවූයේ, මෙම ශ‍්‍රමයේ කි‍්‍රයාවලිය (process) එහි චකී‍්‍රය, ඒකාකාරී පුනරාවෘත්තියෙන් මුදවා සැණින් ප‍්‍රගතිය අත්පත් කරගන්නා සංවර්ධනයක් බවට විපර්යාස කිරීමයි. එහි ප‍්‍රතිඵල සියවස් ගණනක් ඇතුළත මිනිසුන් වසන මුළු ලොවම සහමුලින් ම වෙනස් කොට ඇත.

ශ‍්‍රමයේ නිරතවීම, එය පෞද්ගලික පරිමණ්ඩලයට පිටුවහල් කිරීමෙන් ඒ මත පැනැවුණු සීමාවන්ගෙන් එය නිදහස් කරගත් සැණින් හරියටම සියලු ඓන්ද්‍රිය ජීවිතයේ නිසගයෙන් පිහිටි වර්ධනය පිළිබඳ අංගය, ප‍්‍රකෘතියේ ගෘහය තුළ ඓන්ද්‍රීය ජීවිතයට බාධා කරන සහ එය තුලනය කරන ක්ෂයවීමේ කි‍්‍රයාවලිය මුලුමනින්ම ජයගෙන, එය යටකොට ගෙන වර්ධනය වන්නට සමත්වූවා වැනි ය. ජීවන කි‍්‍රයාවලිය, තමන්ගේම මහජන තලය ස්ථාපිත කල ස්ථානය වන සාමාජීය පරිමණ්ඩලය, ප‍්‍රකෘතියේ අස්වාභාවික වර්ධනයක් මුදා හැර ඇතැයි අපට කිව හැකි ය. එක් අතකින් පෞද්ගලික සහ දෘඪ මිත‍්‍රත්වයේ (private and the intimate) තලයනුත්, අනෙක් අතට (වචනයේ පටු අර්ථයෙන්) දේශපාලන තලයත්, තමන් ආරක්ෂා කර ගැනීමට අපොහොසත්වී ඇත්තේ හුදෙක් සමාජයට එරෙහිව නොවේ, මෙම අනවරත වර්ධනය, නිරතුරුවම වර්ධනය වන සමාජ පරිමණ්ඩලයට එරෙහිව ය.

ප‍්‍රකෘතියේ අස්වාභාවික වර්ධනය ලෙසින් ඉහත විස්තර කල දෙය සාමාන්‍යයෙන් සැලකෙන්නේ ශ‍්‍රමයේ ඵලදායීතාවයේ නිරතුරුවම වේගය වැඩිකෙරෙන වර්ධනය ලෙසිනි. එහි ආරම්භයේ සිටම මෙම නිරතුරු වර්ධනයේ විශාලතම තනි සාධකය වී ඇත්තේ ඊනියා ශ‍්‍රම විභජනය තුළ දැකිය හැකි ශ‍්‍රමයේ කටයුත්තට මහජන පරිමණ්ඩලයේ තත්ත්වයන් යටතේ සිදුවන දේය. මෙය කවර විටෙකවත් ගෘහයේ පෞද්ගලිකත්වය තුළ සිදු නොවනු ඇතිව තිබිණි. ශ‍්‍රමය මෙලෙස විප්ලවකාරී ලෙස විපර්යාසයට ලක් කිරීමේ දී ලබාගත් තරම් විශිෂ්ටත්වයක් (excellence) ජීවිතයේ අන් කිසි පරිමණ්ඩලයක අප ලබාගත් බවක් දැකිය නො හැකි ය.

ගී‍්‍රකයන් (arête) නමින් ද රෝමවරුන් (virtus) නමින් ද හැඳින් වූ, විශිෂ්ටත්වය ම ගත් කල එය හැම විට ම වෙන් කොට තිබුණේ, යමෙකුට විශිෂ්ටත්වය දැක්විය හැකි, තමා අන් අයගෙන් සුවිශේෂ කොට දැක්විය හැකි අවකාශය වන මහජන පරිමණ්ඩලයකට ය. මහජනයා හමුවේ, ප‍්‍රසිද්ධියේ සිදු කෙරෙන හැම කි‍්‍රයාකාරකමකටම, පෞද්ගලිකව, අප‍්‍රසිද්ධියේ කෙරෙන කටයුතු සමඟ කවර විටෙකවත් සමකල නොහැකි විශිෂ්ටත්වයක් ළඟාකර ගත හැකි ය. නිර්වචනයෙන්ම විශිෂ්ටත්වය සඳහා අන් අය හමුවේ සිදුවීම හැමවිටම අවශ්‍ය කෙරෙයි. මෙම අන් අයගේ සිටීම, සඳහා යමෙකුගේ සාම්‍යයන්ගෙන් (peers) සැදුම්ලත්, මහජන හමුවේ (public) විධිමත්භාවය (formality) අවශ්‍ය ය. එය යමෙකුගේ සමානයන් (equals) හෝ බාලතරයන් සමඟ වන අක‍්‍රමවත් හමුව විය නොහැකිය. සාමාජීය තලය විශිෂ්ටත්වය නිර්නාමික බවට පත්කල ද, මිනිසුන්ගේ සාධනයන් වෙනුවට මානව වර්ගයාගේ ප‍්‍රගතිය අවධාරණය කල ද, මහජන පරිමණ්ඩලයේ අඩංගුව හඳුනාගත නොහැකිවන පරිදි වෙනස් කල ද, මහජනයා හමුවේ ප‍්‍රසිද්ධියේ සිදු කෙරෙන කි‍්‍රයාවනුත්, විශිෂ්ටත්වයත් අතර ඇති සම්බන්ධය සහමුලින්ම වනසා දමන්නට සාමාජීය තලයට පවා හැකි වී නැත. මහජන තලයේ සිදුකරන ශ‍්‍රමයේ නිරත වීමේ දී අප විශිෂ්ටත්වය ළඟාකර ගෙන ඇතිමුත්, සාමාජීය පරිමණ්ඩලයේ නැඟීමේ සිට එය විසින් කි‍්‍රයාව සහ කථනය සඳහා අපේ සාමර්ථ්‍යය කුලුපග සහ පෞද්ගලික තලයන්ට පිටුවහල් කිරීමේ පටන් කි‍්‍රයාවේ සහ කථනයේ පෙර තිබූ ගුණය බොහෝ අතින් අඩු වී ඇත. මෙම පුදුම සහගත නොගැලපීම මහජන අවධානයෙන් ගැලවී නැති අතර සාමාන්‍යයෙන් එහි වරද පැටවෙන්නේ එක්කෝ අපේ තාක්ෂණික සාමර්ථ්‍යයන් සහ අපේ පොදු මානවවාදීමය සංවර්ධනය අතර හෝ, නැතිනම්, ස්වභාවය වෙනස් කරන සහ පාලනය කරන භෞතික විද්‍යාවන් සහ සමාජය වෙනස් කරන්නට හෝ පාලනය කරන්නට තවම නොදන්නා සාමාජීය විද්‍යාවනුත් අතර හෝ ඇතැයි පිළිගැනෙන කාලය සම්බන්ධ පසුබෑමකට ය.

මෙම විවේචනය අදාළ වන්නේ මානවයන්ගේ මනෝවිද්‍යාත්මත තත්ත්වයේ_එනම් ඔවුන්ගේ ඊනියා චර්යා රටාවන්හි සිදුවිය හැකි වෙනසක් පිළිබඳව මිස ඔවුන් සරන ලෝකයේ වෙනස්වීමකට නොවේ. මෙම මනෝවිද්‍යාත්මත අර්ථ විවරණය සඳහා නම්, මහජන පරිමණ්ඩලයක් තිබීම හෝ නොතිබීම ද, කුමන හෝ ප‍්‍රත්‍යක්ෂ ලෝකමය යථාර්ථයක් තරමට ම අදාළ නොවන්නේ ය. එහෙයින් එහි කි‍්‍රයාකාරිත්වය සඳහා ලොව නිසි අවකාශයක් සපයා නොදෙන්නේ නම් කිසිදු කටයුත්තකට විශිෂ්ට බවට පත්විය නොහැකිය, යන කරුණ සලකා බලන කල මෙම මනෝවිද්‍යාත්මත අර්ථ විවරණය වඩාත් සැකමුසු වන්නේ ය. මානව විශිෂ්ටත්වය සඳහා නිසි අවකාශය බවට එය පත් කරන, මහජන පරිමණ්ඩලය සැදුම් ගන්නා අංගවල තැන ගැනීමට අධ්‍යාපනයට හෝ දක්ෂකමට හෝ සහජ කුසලතාවට හෝ නොහැක්කේය.

මහජන පරිමණ්ඩලය: පොදු භූමිය

‘මහජන’ නැතහොත් ප‍්‍රසිද්ධ යන්නෙන්, සමීප අන්තර් සබඳතා ඇති නමුත්, මුළුමනින්ම සාම්‍ය නොවන සංසිද්ධීන් දෙකක් සනිටුහන් කෙරෙයි.

පළමුව, ඉන් අදහස් වන්නේ, මහජනයා හමුවේ, ප‍්‍රසිද්ධියේ දෘශ්‍යමානවන හැමදෙයක්ම හැමදෙනාම විසින් දකිනු ලැබිය සහ අසනු ලැබිය හැකි වන අතර ලැබිය හැකි පුළුල්තම ප‍්‍රචාරය ලබන්නේය, යන්නයි. අපට, දෘශ්‍යමානවීම නැතහොත් පෙනී සිටීම (appearance) අන් අය මෙන්ම අප විසින්මත් දකිනු ලබන සහ අසනු ලබන කිසියම් දෙයක් යථාර්ථය සැදුම්ගත් දෙය වන්නේය. දකිනු ලැබීමෙන් සහ අසනු ලැබීමෙන් ඇතිවන යථාර්ථය හා සන්සන්දනය කොට බලන කල, කුලුපග ජීවිතයේ (intimate life) ප‍්‍රබලම බලවේගයන් හදවතේ ලාලසාවන්, මනසේ සිතුවිලි, ඉඳුරන්ගේ ප‍්‍රමෝයදන් පවා ගෙවන්නේ අනියත, නොපැහැදිලි ආකාරයේ පැවැත්මකි. ඒවා එසේ නොවන්නේ, හරියට මහජනයා හමුවේ දෘශ්‍යමානවීමට ගැලපෙන හැඩයක ආකාරයට මෙන්, ඒවා, විපර්යාසකොට, නිර්-පෞද්ගලීකරණය (de-privatization) කොට, නිර්-පුද්ගලභාවයට පත් කොට (de-individualised) ගැනුණු විට පමණි. එවැනි විපර්යාසකරණයන් වඩාත් ප‍්‍රචලිත ආකාරයෙන් සිදුවන්නේ, කතාන්දරකීමෙහි දී සහ පොදුවේ ගත්කල පුද්ගල අත්දැකීම් කලාත්මකව ක‍්‍රම ද්විවිපර්යාසයට (transformation) ලක් කිරීමෙහිදී ය. නමුත්, මෙම දෙවිපර්යාසය දැකගන්නට අපට කලාකරුගේ වේසය අවශ්‍ය නොවේ. රහසිගතබව හෝ කුලුපගකම තුළ පමණක් අත්විඳිය හැකි දේ ගැන අප කථා කරන හැම විටෙකම, අපි ඒවා, කිසියම් ආකාරයක යථාර්ථයක් ආරෝපණය කරගන්නා පරිමණ්ඩලයක් කරා පිටතට ගෙන එන්නෙමු. එසේ නොවන්නට ඒවා කොතරම් ප‍්‍රබල වුවත්, එබඳු යථාර්ථයක් කවරවිටෙකවත් අත්පත් කරගන්නට, ඒවාට හැකිවනු ඇතිව නොතිබිණි. අප දකින දේ දකින සහ අප අසන දේ අසන අන් අය අප හමුවේ සිටීම (presence) ලෝකය සහ අපම පිළිබඳ යථාර්ථය අපට සහතික කරයි. නූතන යුගයේ පැන නැඟීමටත්, ඒ සමඟ යෙදුණු මහජන පරිමණ්ඩලයේ පිරිහීමටත් පෙර කවර කලෙකවත් නොදැක සිට තිබූ ආකාරයේ බඳු, මුළුමනින්ම සංවර්ධනය වූ පෞද්ගලික (private) ජීවිතයක කුලුපගභාවය, පුද්ගලනිශි‍්‍රත භාවයන් සහ පෞද්ගලික හැඟීම් පිළිබඳ සමස්ත පරිමාණයම හැමවිටමත් අතිශයින් තීව‍්‍රර කරනු සහ සරුකරනු ඇති නමුදු , මෙම තීව‍්‍රර කිරීම හැමවිටම උදාවනු ඇත්තේ, ලෝකය සහ මිනිසුන් පිළිබඳ යථාර්ථය පිළිබඳ සහතිකයට පාඩු පමුණුවමිනි.

යථාර්ථය පිළිබඳ අපගේ හැඟීමමුළුමනින්ම දෘශ්‍යමානවීම මතත් එහෙයින් දේවල්වලට, රැකවරණලත් පැවැත්මේ අඳුරුබවින් පිටතට පැමිණ, ඒ තුළට දෘශ්‍යමාන විය හැකි, මහජන තලයේ පැවැත්ම මතත් රඳා පවත්නා හෙයින්, අපගේ පෞද්ගලික සහ කුලුපග ජීවිත ආලෝකවත් කරන නොපැහැදිලි ආලෝකයත් අන්තිමේදී ලබා ගන්නේ, මහජන තලයේ වඩා සැර ආලෝකයෙනි. එතෙකුදු, මහජන දැක්මේ නියතවම අන්‍යයන් තමන් හමුවේ සිටීමෙන් ඇතිවන නොසන්සිඳෙන දීප්තිමත් ආලෝකය දරාගන්නට නොහැකි දේවල් අතිවිශාල රාශියක් තිබේ; එහි ලා ඉවසනු ලැබිය හැක්කේ, අදාළ යැයි සලකනු ලැබෙන, දකිනු හෝ අසනු ලැබීමට තරම් වටනේ යැයි සලකනු ලබන දේ පමණි. එපරිද්දෙන් අදාළ නොවන දේ ඉබේටම පෞද්ගලික කාරණයක් බවට පත්වෙයි. සහතිකෙන්ම, පෞද්ගලික කාරණා පොදුවේ ගත් කල අදාළ නොවන්නේය, යන්න මෙයින් අදහස් නොකෙරෙයි. එසේ නොව පෞද්ගලික පරිමණ්ඩලයේ පමණක් නොනැසී පැවැතිය හැකි ඉතාම අදාළ කාරණා ඇති බව අපට දැකිය හැකිය. උදාහරණයක් වශයෙන්, මිත‍්‍රත්වයට වෙනස්ව, පේ‍්‍රමය, ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කල සැණින්ම එය මරාදමනු ලැබෙයි, නැතහොත් ශූන්‍ය කොට දමනු ලැබෙයි. එහි නිසග ලෝකමය නොවන නැතහොත් අලෞකික භාවය (worldlessness) නිසා, ලෝකය වෙනස් කිරීම හෝ ගලවාගැනීම වැනි දේශපාලන අරමුණු සඳහා එය යොදා ගත් විට, ආදරය, ව්‍යාජ බවට පත්වීම සහ නොනිසි ලෙස යොදා ගැනීම පමණක් විය හැක්කේය.

මහජන පරිමණ්ඩලය විසින් අදාළ නොවන ලෙසින් සලකන දේට කොතරම් අසාමාන්‍ය සහ බෝවෙන වසඟ කිරීමේ ශක්තියක් තිබිය හැකිදැයි කියතොත්, එය ඒ හේතුව නිසා එහි අවශ්‍යයෙන්ම පෞද්ගලික ස්වභාවය වෙනස් කිරීමෙන් තොරව, මුළුමහත් ජනතාවක් එය තම ජීවන ආකාරය ලෙසින් යොදාගන්නට පුළුවන. ”කුඩා දේ” පිළිබඳ නූතන වශීවීම, සියලුම යුරෝපීය භාෂාවන්හිම පාහේ, විසිවැනි සියවසේ මුල් කාලීන කාව්‍ය විසින් දේශනා කෙරුණු නමුදු, එහි සම්භාව්‍ය ඉදිරිපත් කිරීම ප‍්‍රංශ ජනතාවගේ (petit bonheur) තුළ සොයා ගෙන ඇත. කලෙක ශ්‍රේෂ්ඨ සහ මහිමවත් වූ එහි මහජන පරිමණ්ඩලය නටබුන් වීමේ පටන්, ප‍්‍රංශවැසියන් ”කුඩා දේ” මැද්දේ, ඔවුන්ගේම බිත්ති හතරේ අවකාශය ඇතුළත, පෙට්ටගමත්, ඇඳත් අතර, මේසයත් පුටුවත් අතර, බල්ලා සහ බළලා සහ මල්පෝච්චිය අතර, සතුටින් විසීමේ කලාවේ පතීන් බවට පත්ව ඇත්තේ, ශීඝ‍්‍ර කාර්මිකකරණය අද වස්තූන් නිෂ්පාදනය කිරීමට ඊයේ දේවල් නිරතුරුවම මරාදමන ලෝකයක, ලෝකයේ අවසාන, හුදෙක්ම කාරුණික අහුමුල්ල ලෙසින් පවා පෙනී යා හැකි සැලකිල්ලක් හා කරුණාවන්තකමක් එම දේවලට දිගු කරමිනි. සමස්ත ජනකායකගේ පෞද්ගලික දේ, වශීකරණයවීම, විශාල කිරීමක් බඳු මෙය එය ප‍්‍රසිද්ධියට පත් නොකරයි, එයින් මහජන පරිමණ්ඩලයක් සැදුම් නොගනියි, නමුත්, ඊට ප‍්‍රතිපක්ෂව, ඉන් අදහස් කෙරෙන්නේ, මහජන පරිමණ්ඩලය සම්පූර්ණයෙන්ම පාහේ පසුබැස ගොස් ඇති බවයි. එලෙසින් හැම තැනකම ශ්‍රේෂ්ඨත්වය වශීකරණයට ඉඩ දී පසුබැස ගොස් ඇති බවයි. කෙසේදයත්, මහජන පරිමණ්ඩලය ශ්‍රේෂ්ඨ විය හැකි නමුදු, එයට වශීකරණ සුලු විය නොහැකිය.ඒ මන්දයත් අදාළ නොවන දේට රැකවරණ ලබාදීමට එය අපොහොසත් බැවිනි.

දෙවනුව ”මහජන” නැතහොත් ”ප‍්‍රසිද්ධ” යන පදය, එය අප සියලු දෙනාටම පොදුවන තාක් දුරට සහ ලෝකය තුළ අපට පෞද්ගලිකව (privately) හිමි ස්ථානයයෙන් වෙන්කොට ගත් කල, ලෝකය (world) ම සනිටුහන් කරයි. කෙසේ වුවත් මෙම ලෝකය, මිනිසුන් ගේ චලනය සඳහා වන සීමිත අවකාශය ලෙසින් සහ ඓන්ද්‍රීය ජීවිතයේ පොදු කොන්දේසිය ලෙසින්, පෘථිවිය හෝ ස්වභාවධර්මය සමඟ සාදෘශ්‍ය නොවේ. එසේ නොව, එය සම්බන්ධ වන්නේ, මානවයා විසින් නිමැවූ කෘතීන්ට, මානව දෑත්වල නිර්මිතයන්ට මෙන්ම, මිනිසා විසින් තැනූ ලෝකයේ එකට වසන්නවුන් අතර පවතින කටයුතුවලටය. ලෝකයේ එක්ව ජීවත්වීම යන්නෙන් අත්‍යවශ්‍යයෙන්ම අදහස් කෙරෙන්නේ මේසයක් වටා වාඩි වී සිටින්නවුන් අතර මේසය පිහිටුවා ඇත්තාක් මෙන්, ලෝකය පොදුවේ ඇති අය අතර, දේවල්වලින් සැදුණු ලෝකයක් (world of things) ඇත යන්නයි. හැම අතරමැද (in between) දෙයක් මෙන්ම ලෝකයත් එකම වර මිනිසුන් සම්බන්ධ කිරීම සහ වෙන්කිරීම කරයි.

පොදු ලෝකය වශයෙන් මහජන පරිමණ්ඩලය, අප එකට රැස් කරන අතර එනමුත් කතාවට කියන්නේ නම්, අප එකිනෙකා මත ඇද වැටීම වළක්වාලන්නේ ද වෙයි. බහුජන සමාජය දරා සිටීම එතරම්ම අපහසුවන්නේ අදාළ ජන සංඛ්‍යාව නිසා නොව අවම වශයෙන් මූලිකවම ඒ නිසා නොව, ඔවුන් අතර වන ලෝකයට ඔවුන් එකට එක්රැස් කරන්නට ඔවුන් සම්බන්ධ කරන්නට හා වෙන් කරන්නට ඊට ඇති බලය අහිමි වී ඇත්තේය, යන කරුණ නිසයි. මෙම තත්ත්වයේ ඇති අද්භූත බව සමාන ලෙස පෙනෙන්නේ, මේසයක් වටා එක්රැස් වී සිටින මිනිසුන් කිහිපදෙනෙකු හදිසියේම, මායාවී උපක‍්‍රමයකින් තමන් අතරමැදින් මේසය අතුරුදහන් වී යනු දැකීමකට ය. එවිට එකිනෙකාට අභිමුඛව වාඩි වී සිටින දෙදෙනෙකු තවදුරටත් එකිනෙකාගෙන් වෙන්වී නොසිටින අතර, එමෙන්ම ඔවුන් කුමන හෝ ප‍්‍රත්‍යක්ෂ දෙයකින් එකිනෙකාට සහ මුලින්ම සම්බන්ධ වීද නොසිටිනු ඇත.

පොදු ලෝකය කෙරෙහි තම උනන්දුව අහිමි ව ගිය සහ එය විසින් තවදුරටත් තමන් සම්බන්ධ කෙරෙනු හා වෙන්කෙරෙනු නොහැඟුණු ජන ප‍්‍රජාවක් එක්කොට තැබීමට කවරකලෙක හෝ එකම එක් උපක්‍රමයක් පමණක් ඓතිහාසිකව අපි දන්නෙමු. ලෝකයේ තැන ගැනීමට තරම් ශක්තිමත් බැඳීමක් ජනයා අතර, සොයාගැනීම මුල්කාලීන කි‍්‍රස්තියානි දර්ශනයේ ප‍්‍රධාන දේශපාලන කටයුත්ත වීය. කි‍්‍රස්තියානි ”සහෝදරත්වය” පමණක් නොව, දයානුග‍්‍රහය (charity) මත සියලු මානව සබඳතා පිහිටුවාලීමට යෝජනා කළේ ඔගස්ටීන් ය. නමුත් මෙම දයානුග‍්‍රහය එහි අලෞකිකභාවය (worldlessness) පේ‍්‍රමය (love) පිළිබඳ සාමාන්‍ය මානව අත්දැකීමට පැහැදිලිවම අනුරූපවන්නේ වී නමුදු, එම එක්වරම, ලෝකය බඳු මිනිසුන් අතර ඇති යමක් ලෙස පැවතීම නිසා, එය පැහැදිලිවම පේ‍්‍රමයෙන් වෙන්කොට හඳුනා ගනු ලැබෙයි: ”සොරුන් අතර පවා, ඔවුන් දයානුග‍්‍රහය යැයි හඳුන්වන දේ ඇත” කි‍්‍රස්තියානි දේශපාලන මූලධර්මයේ මෙම පුදුම එළවන නිදර්ශනය සැබැවින්ම ඉතා මනාව තෝරාගත් එකකි. මන්ද යත්, ජනයා අතර ඇතිවන දයානුග‍්‍රහයේ බැඳීම, එයටම හිමි මහජන තලයක් (public realm) පිහිටුවීමෙහි ලා අපොහොසත්වන අතර, අලෞකිකභාවය පිළිබඳ ප‍්‍රධාන කි‍්‍රස්තියානි මූලධර්මය ට බෙහෙවින් ප‍්‍රමාණවත් ය, අත්‍යවශ්‍යයෙන්ම අ-ලෞකික ජනයා කණ්ඩායමක්, සාන්තුවරයන් කණ්ඩායමක් හෝ, අපරාධකරුවන් කණ්ඩායමක්, ලෝකය තුළින් නිරුපදි‍්‍රතව කැඳවාගෙන යාමට එය ප්‍රශංසනීය ලෙසින් ගැළැපෙයි. දෙවෙනුව කී කරුණ සිදුවිය හැක්කේ, ලෝකයම එහි විනාශය කරා ළඟා වී ඇත්තේය, යන්න සහ එතුළ කෙරෙන හැම කටයුත්තක්ම කරනු ලබන්නේ ”ලෝකය පවත්නා තාක්දුරට” ය යන කොන්දේසිය සමගිනි, යන්න වටහා ගැනෙන්නේ නම් පමණි. කි‍්‍රස්තියානි ප‍්‍රජාවේ, දේශපාලනයට සම්බන්ධ නැති, මහජන-නොවන ස්වරූපය, කල්තබා නිර්වචනය කෙරුණේ, එකම පවුලේ සහෝදරයන් මෙන් එකිනෙකාට සම්බන්ධ වනු ඇතිව තිබුණු සාමාජිකයන්ගෙන් සැදුම්ලත්, ”දේහයක්”, ශරීරයක් (body) ලෙසින් එය සැදුම්ගත යුතුය යන ඉල්ලාසිටීම තුළ ය. ප‍්‍රජා ජීවිතයේ ව්‍යුහය පවුලක සාමාජිකයන් අතර ඇති සබඳතා මත ආකෘති ගත කෙරුණේ, ඒවා දේශපාලනමය-නොවන සහ දේශපාලන විරෝධී වශයෙන් පවා හඳුනාගෙන තිබූ හෙයිනි. පවුලක සාමාජිකයන් අතර මහජන තලයක් කවරකලෙකවත් පැන නැඟී නොතිබුණි. එමෙන්ම කි‍්‍රස්තියානි ප‍්‍රජා ජීවිතය, අන් කිසිවකින් නොව දයානුග‍්‍රහය පිළිබඳ මූලධර්මයෙන්ම පාලනය කෙරුණි නම්, කි‍්‍රස්තියානි ප‍්‍රජා ජීවිතයෙන් මහජන තලයක් වැඩී ඒම සිදුවිය නොහැක්කෙක් වීය. එසේවුව, තාපස නිකායන්ගේ ඉතිහාසයෙන් සහ රීතීන්ගෙන් අප දන්නා පරිදි – දයානුග‍්‍රහය පිළිබඳ මූලධර්මය දේශපාලනමය උපක‍්‍රමයක් ලෙසින් කවර කලෙක හෝ යොදා ගැනීම උත්සාහ කරනු ලැබූ එකම ප‍්‍රජාවන් මේවා වීය. ”වත්මන් ජීවිතයේ අවශ්‍යතාව” යටතේ, කි‍්‍රයාවට නංවනු ලැබූ ක‍්‍රියාකාරකම්, ඒවා අන්‍යයන් හමුවේ සිදුකෙරුණු නිසා, ඒවා විසින්ම කිසියම් ආකාරයක ප‍්‍රති-ලෝකයක් (counter world) නිකායන් ම තුළ මහජන තලයක්, පිහිටුවාලීමට යොමුවනු ඇතැයි යන අනතුර, අමතර රීතීන් සහ රෙකුලාසීන් නැතහොත් නියමයන් පැනවීම අවශ්‍ය කිරීමට තරම් විශාල විය. එම රීතීන් සහ නියමයන් අතුරෙන් අපගේ සන්දර්භය තුළ වඩාත්ම අදාළවන්නේ, විශිෂ්ටත්වය (excellence) සහ එයට පසුව එන අභිමානය (pride) නැතහොත් ආඩම්බරය තහනම් කිරීම යි.

දේශපාලන සංසිද්ධියක් වශයෙන් අ-ලෞකිකභාවය පැවතිය හැක්කේ ලෝකය නොපවතිනු ඇත, යන උපකල්පනය මත පමණි; කෙසේවුවද එම උපකල්පනයට අනුව, අලෞකිකභාවය එක් හෝ වෙනත් අයුරකින්, දේශපාලන රංගභූමිය මත ආධිපත්‍යය බලපවත්වන්නට පටන් ගනු ඇත, යන්න අනිවාර්යවීමට ඇති ඉඩකඩ බොහෝය. රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් පසු මෙය සිදුවූ අතර, පැහැදිලි අන් හේතූන් නිසා සහ බොහෝ වෙනස් බාගවිට වඩා දුඃඛිත ස්වරූපයන්ගෙන් වුව පවා, එය අපගේම කාලය තුළත් නැවත සිදුවන බව පෙනෙන්නට තිබේ. මානව නිර්මිතය (human artifice), මැරෙන සුලු දෑත්වල නිෂ්පාදිතයක්, එහි නිමවන්නන් මෙන්ම මැරෙන සුලු වන්නේ ය යන නිශ්චය කිරීමෙන් යමෙකුට එළඹිය හැකි එකම නිගමනය, කිසිසේත්ම ලෞකික දෙයින් කෙරෙන කි‍්‍රස්තියානි වැළැකීම නොවේ. ඊට ප‍්‍රතිපක්ෂව මෙය ලෞකිකමය දෙයින් සුඛාස්වාදනය ලැබීමත්, ඒවා පාරිභෝජනය කිරීමත් ලෝකය, සියලු දෙනාට ම පොදු දෙය (koinon) වශයෙන් මූලිකව වටහා නොගන්නා, ආශ‍්‍රය (intercourse) පිළිබඳ අනේක ආකාරයනුත් ප‍්‍රබල කල හැකිය. ස්ථිරත්වය මත (permanence) මුළුනින්ම රඳා පවත්නේ, මහජන තලයක පැවැත්මත්, ඊට පසුව, ලෝකය මිනිසුන් එකට රැස් කරන සහ ඔවුන් එකිනෙකාට සම්බන්ධ කරන දේවල ප‍්‍රජාවක් (community of things) බවට විපරිණාමය කිරීමත් පමණි. ලෝකයෙහි මහජන අවකාශයක් අඩංගු වන්නට නම්, එය එක් පරම්පරාවක් වෙනුවෙන් ඉදිකිරීම සහ ජීවත්වන්නවුන් වෙනුවෙන් පමණක් සැලසුම් කරනු ලැබීම කල නොහැක්කේය; එය මැරෙන සුලු මිනිසුන්ගේ ජීවන පරාසය ඉක්මවා යා යුත්තේය.

ප‍්‍රෘථිවීමය විභව (potential) අමරණීයත්වයක් බවට මෙලෙස අතිරෝහණයෙන් (transcendence) තොරව, දේශපාලනයක්, තදින් කියතොත් පොදු ලෝකයක්, මහජන තලයක් තිබිය නොහැක්කේය. කි‍්‍රස්තියානිදහම අවබෝධ කරගත් පරිදි පොදු යහපත යමෙකුගේ ආත්මයේ ගැලවීම සියල්ලන්ටම පොදු චින්තාවක් ලෙස මෙන් නොව, පොදු ලෝකය යනු අප ඉපදුණු විට අපි ඇතුළු වන සහ අප මියයන විට අප හැරයන ලෝකය යි. එය අපේ ජීවිත කාලපරාසය අතීතයටත්, අනාගතයටත් එක සේ අතිරෝහණය කරයි; අප මෙහි ඒමට පෙර එය පැවැතුණු අතර එතුළ වන අපේ කෙටි තාවකාලික පදිංචිය ඉක්මවා එය පවතිනු ඇත. එය අප සමඟ ජීවත්වන්නවුන් සමඟ පමණක් නොව, අපට පෙර මෙහි සිටියවුන් සමඟත් අපට පසු මෙහි එනු ඇති අය සමඟත් පොදුවේ අපට ඇති ලෝකය යි. තවත් එවැනි පොදු ලෝකයක් පරම්පරාවන් ගේ පැමිණී සහ නික්මයාම මධ්‍යයේ නො නැසී පැවැතිය හැක්කේ, එය මහජනයා හමුවේ, ප‍්‍රසිද්ධියේ දෘශ්‍යමානවන තාක්දුරට පමණි. කාලයේ ස්වභාවික විනාශයෙන් මිනිසුන්ට බේරාගැනීමට අවශ්‍ය වියහැකි කවරදෙයක් හෝ වේවා අවශෝෂණය කොටගෙන සියවස් තිස්සේ දීප්තිය විහිදවන්නට සැලැස්විය හැක්කේ මහජන තලයේ ප‍්‍රසිද්ධිය යි. අපට පෙර බොහෝ යුගයන් පුරා නමුත් දැන් තව දුරටත් නොවේ. මිනිසුන් මහජන තලයට පිවිසියේ, තමන්ගේ ම වන යමක් හෝ ඔවුන් අන් අය සමඟ පොදුවේ හිමිකරගත් යමක්, තමන්ගේ පෘථිවීමය ජීවිතවලට වඩා වැඩියෙන් නිත්‍ය බවට පත්වීම ඔවුනට අවශ්‍ය වූ නිසාය. (මෙලෙසින්, වහල්භාවයේ ශාපය සැදුම්ලද්දේ නිදහසත්, දෘශ්‍යතාවත්, අහිමි කරනු ලැබ තිබීමෙන් පමණක් නොව, ”අප‍්‍රසිද්ධව සිටීමෙන්, ඔවුන් පැවැතී ඇත්තේය යන්නට කිසිදු ලකුණක් නොතබමින් ඔවුන් මිය යනු ඇත” යනුවෙන් මෙම අප‍්‍රසිද්ධ ජනයා තුළම තිබූ බිය ද විසිනි.) නූතන යුගය තුළ මහජන පරිමණ්ඩලය අහිමිවීමට, අමරණීයත්වය (immortality) පිළිබඳ සත්‍ය සැලකිල්ල සම්පූර්ණයෙන්ම පාගේ නැතිවීම තරම් වඩා පැහැදිලි සාක්ෂියක් බාගවිට නැත්තේය. මෙම අහිමිවීම, ඒ හා සමඟම සිදු වූ සදාතනිකභාවය (eternity) පිළිබඳ පාරභෞතික සැලකිල්ල අහිමිවීමෙන් තරමක් දුරට මුවාකරනු ලැබිණි. නූතන යුගය තුළ අමරණීයත්වය පිළිබඳ සත්‍ය සැලකිල්ල නැතිව යාමට සාක්ෂියක්, අමරණීයත්වය සඳහා වෑයම්කිරීම, පෞද්ගලික දුශ්චරිතයක් වන අහම්මානය (vanity) සමඟ එකට වර්ගීකරණය කර තිබීමෙන් සැපයෙයි. නූතන තත්ත්වයන් තුළ කිසිවෙකුවත් පෘථිවීමය අමරණීයත්වයක් උනන්දුවෙන් බලාපොරොත්තු විය යුතුය යන්න සැබැවින්ම ගත් කල කෙතරම්ම විය නොහැක්කක් ද යතහොත් එය ඉඳුරාම අහම්මානය යැයි සිතීමෙහි ලා අප යුක්තිමත් විය හැකිය.

”මානව කාරණා සැළකිල්ලට ගැනීමේදී, මිනිසා ඔහු සිටින පරිද්දෙන් සැලකීම යමෙකු නොකල යුතුය, මැරෙන සුලු දේවල ඇති මැරෙන සුලු කුමක් දැ යි සැලකීම නොකල යුතුය, නමුත් ඒවා පිළිබඳ සිතිය යුත්තේ අමරණීයත්වයට පත්වීමට හැකි බව ඒවාට ඇතිතාක් දුරට පමණි.” යන ඇරිස්ටෝටල්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය දකින්නට ලැබෙන්නේ, ඉතා උචිත ලෙස ඔහුගේ දේශපාලන ලේඛනයන්හිය. රෝමානුවන්ට ජනරජය (res publica) වූවාක් සේම, ගී‍්‍රකයන්ට පුරවර රාජ්‍යය (polis) පළමුකොටම, පුද්ගල ජීවිතයේ නිෂ්ඵලතාවට විරුද්ධව ඔවුන්ගේ සහතිකය වීය, මෙම නිෂ්ඵලතාවට විරුද්ධව ආරක්ෂා කෙරුණු සහ මියෙන්නන්ගේ අමරණීයත්වය සඳහා නොවේ නම් සාපේක්ෂ ස්ථිරභාවය සඳහා වෙන්කොට තැබුණු, අවකාශය වීය.

සමාජය දර්ශනීය ආකාරයෙන් මහජනයා අතර කැපී පෙනෙන තත්ත්වයක් කරා නැඟීමෙන් අනතුරුව මහජන තලය පිළිබඳව නූතන යුගය සිතූ දේ ඇඩම් ස්මිත් විසින් විරුද්ධතා නැතිකරන අවංක බවකින් යුතුව ප‍්‍රකාශ කරන ලදී. ‘උගතුන් යැයි හඳුන්වනු ලබන පිරිස’ මහජන ප‍්‍රශංසාව හැමවිටමත් තමන් ලබන ත්‍යාගයේ කොටසක් ලෙස සලකන බවත්, භෞතික විද්‍යාඥයන් සහ නීතිවේදීන් වැඩිවන ප‍්‍රමාණයෙන් මහජන ප‍්‍රශංසාව අපේක්ෂා කරන අතර කාව්‍යකරණයේදී සහ දර්ශනයේදී එය සමස්ත ත්‍යාගයම පාහේ වන්නේ යැයි, ඇඩම් ස්මිත් පළ කළේ ය. ඔහුගේ ප‍්‍රකාශයෙන් මනාව ප‍්‍රකට වූ දෙය නම් මහජනයා විසින් ප‍්‍රශංසා කරනු ලැබීමත් මූල්‍ය තිළිණත් එක ම ස්වභාවයක් ගන්නා බවත්, එකිනෙකට ආදේශකයන් බවට පත්විය හැකි බවත්ය. මහජනයා ගේ ප‍්‍රශංසාවට ලක්වීමත්, ප‍්‍රයෝජනයට ගැනීම සහ පාරිභෝජනය සඳහා ඇති යමක්වන අතර, අද අප කියනු ඇති පරිද්දෙන් ආහාර එක් අවශ්‍යතාවක් සපුරාලන පරිද්දෙන් තරාතිරම තවත් එක් අවශ්‍යතාවක් සපුරාලයි, කුසගින්න විසින් ආහාර පාරිභෝජනය කෙරෙන පරිද්දෙන් පුද්ගල අහම්මානය විසින් මහජන ප‍්‍රශංසාව පාරිභෝජනය කෙරෙයි. පැහැදිලි ලෙසම, මෙම දෘෂ්ටිකෝණයෙන් ගත්කල, යථාව පරීක්ෂණයට ලක්වීම රඳා පවතින්නේ, අන්‍යයන් ප‍්‍රසිද්ධියේ පෙනීසිටීම මතට වඩා, අවශ්‍යතා පිළිබඳ වඩා වැඩි වශයෙන් හෝ අඩු වශයෙන් ඇති හදිසිය තුළ ය. ඒවායින් පීඩා විඳින්නා බවට පත්ව ඇති කෙනා හැරුණු විට මෙම හදිසි අවශ්‍යතාව පැවැත්ම හෝ නොපැවැත්ම පිළිබඳව අන් කිසිවෙකුටවත් සාක්ෂි දැරිය නොහැකි ය. ආහාර සඳහා ඇති අවශ්‍යතාවට එහි යථාව පිළිබඳ ඔප්පු කල හැකි පදනමක් ජීවන කි‍්‍රයාවලිය තුළම ඇති හෙයින්, මුළුමනින්ම පුද්ගලනිශි‍්‍රත (subjective) කුසගිනි වේදනාව, මහජන ප‍්‍රශංසාව සඳහා ඇති අවශ්‍යතාවට හොබ්ස් දුන් නම වූ ”බොරු ගර්වයට” වඩා සැබෑවකි. එතෙකුදු, මෙම අවශ්‍යතා අනුකම්පාව පිළිබඳ කිසියම් ප‍්‍රාතිහාර්යයක් තුළින්, අන් අයට ද එකසේ දැනුණද, ඒවායේ හුදු නිෂ්ඵලභාවයම, පොදු ලෝකයක් තරම් එතරම් ශක්තිමත් සහ කල්පවත්නා කිසිවක් කවරදාක හෝ ස්ථාපනය කිරීම වළක්වාලනු ඇත. එසේනම් මෙහිදී වැදගත් වන කරුණ නම්, නූතන ලෝකය තුළ කාව්‍යයට සහ දර්ශනයට ලැබෙන මහජන ප‍්‍රශංසාවේ අඩුවක් ඇත්තේය යන්න නොව, එවැනි ප‍්‍රශංසා, කාලයේ විනාශයෙන් දේවල් බේරාගන්නා අවකාශයක් බවට සැදුම් නොගන්නේ ය, යන්නයි. මීට ප‍්‍රතිපක්ෂව, එන්න එන්නම වැඩිවන ප‍්‍රමාණවලින් දිනපතා පාරිභෝජනය කෙරෙන මහජන ප‍්‍රශංසාවේ නිෂ්ඵලතාව කොතෙක් ද යත් දකින්නට ඇති වඩාත්ම නිෂ්ඵල දේවලින් එකක් වන මූල්‍ය ත්‍යාගය, වඩා වාස්තවික (objective) සහ වඩා සැබෑ බවට පත්විය හැකිය.

සියලු අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොදු හරයක් වශයෙන් මුදල් පමණක් පදනම වන මෙම ”වාස්තවිකතාවෙන්” (objectivity) විශදව ගත්කල, මහජන පරිමණ්ඩලයේ යථාර්ථය විශ්වාසය තබන්නේ, පොදු ලෝකය එතුළින් එයම ප‍්‍රදර්ශනය කරන, ඒ සඳහා පොදු මිනුමක් හෝ හරයක් කවර කලෙකවත් පිළියෙළ කොට ගත නොහැකි පර්යාලෝකයන් හා දෘෂ්ටීන් අසංඛ්‍යයක් සමගාමීව තිබීම මතය. පොදු ලෝකය සියල්ලන්ම හමුවන පොදු රැස්වීම් භූමිය නමුදු එහි පෙනී සිටින අයට එතුළ විවිධ පිහිටීම් ඇත. එමෙන්ම වස්තූන් දෙකක පිහිටීම යම්සේ ද, එක් අයෙකුගේ පිහිටීම අනෙකෙකුගේ පිහිටීම සමඟ ඊට වැඩි ආකාරයකින් සමපාත විය නොහැකිය. අනෙකුන් විසින් දකිනු ලැබීමේ සහ අසනු ලැබීමේ වැදගත්කම ලැබගන්නේ, හැම අයෙකුම වෙනස් ස්ථානයකින් දකින්නේය, අසන්නේය, යන කාරණයෙනි. මහජන ජීවිතයේ අරුත මෙයයි. ඒ හා සමඟ සැසඳූ කල, වඩාත්ම සාරවත්ම සහ වඩාත්ම තෘප්තිකර පවුල් ජීවිතය විසින් පිරිනැමිය හැක්කේ, ඒ කැටුව යන දෘෂ්ටීන් සහ පර්යාලෝක සමඟ යමෙකුගේම තත්ත්වය දික්ගැස්සීම සහ ගුණකිරීම පමණි. රහසිගතභාවයේ ආත්මීයභාවය (subjectivity of privacy) පවුලක් තුළ දික්ගැස්සිය සහ ගුණ කෙරුණු ලැබිය හැකිය. එහි බර මහජන පරිමණ්ඩලය තුළ දැනෙන පරිද්දෙන්, එය එතරම්ම ප‍්‍රබල බවට පවා පත්විය හැකිය. නමුත්, එක් වස්තුවක් (object) විසින් පේ‍්‍රක්ෂකයන් රාශියකට ඉදිරිපත් කරනු ලබන දෘෂ්ටිකෝණයන්ගේ මුළු එකතුවෙන් පැන නැ‍ඟෙන යථාවේ තැන වෙනුවට එතැන ගන්නට කිසිදාක මෙම පවුල් ”ලෝකය” ට නොහැකිය. ලෝකමය යථාර්ථය, සැබැවින්ම සහ විශ්වාසවන්ත ලෙස දෘශ්‍යමාන විය හැක්කේ, ඒවා වටා එකතු වී සිටින්නන්, තමන් අත්‍යන්ත නානාවිධත්වය (diversity) තුළ සාම්‍යය දකින්නේය, යන්න දනු ඇති පරිද්දෙන්, බොහෝ දෙනෙකු විසින් ඒවායේ අනන්‍යතාව වෙනස් කිරීමෙන් තොරව දෘෂ්ටිකෝණ විවිධ සංඛ්‍යාවකින් දේවල් දකිනු ලැබිය හැකි තැන පමණි.

පොදු ලෝකයක කොන්දේසි යටතේ, එය සමන්විතවන සියලු මිනිසුන්ගේ ”පොදු ස්වභාවය” විසින් මූලික වශයෙන් යථාව සහතික කරනු ලැබෙන්නේ නැත. එසේ නොව එය සිදුවන්නේ, තත්ත්වයේ ඇති වෙනස්කම් සහ එහි ප‍්‍රතිඵලය වන පර්යාලෝක විවිධ සංඛ්‍යාව එසේ තිබියදීත්, හැම දෙනම හැමවිටමත් එකම වස්තුව පිළිබඳව සැලකිල්ල දක්වන්නේය යන කරුණ විසිනි. වස්තු විෂයයෙහි සාම්‍යය තව දුරටත් පැහැදිලිව දැකිය නොහැක්කේ නම්, වටහාගත නොහැක්කේ නම්, මිනිසුන් ගේ පොදු ස්වභාවයකට, බහුජන සමාජයේ අස්වාභාවික අනුකූලතාවට නම් කොහෙත්ම පොදු ලෝකයේ විනාශය වළකාලිය නොහැක්කේය. සාමාන්‍යයෙන් එවැනි විනාශයකට පෙර, එය එනම් පොදු ලෝකය මානව අනේකත්වය නැතහොත් බහුවිධතාව (plurality) ට එයම ඉදිරිපත් කෙරෙන්නේ කුමන බොහෝ දෘෂ්ටිකෝණයන් තුළින් ද, ඒවා විනාශ කිරීමක් පළමුව සිදුවෙයි. සාමාන්‍යයෙන් ප‍්‍රජා පීඩක ක‍්‍රෑර පාලනයන් යටතේ සිදුවන්නාක් මෙන්, කිසිවෙකුට තවදුරටත් අන් කිසිවෙකු සමඟ එකඟවිය නොහැකි, අත්‍යන්ත හුදකලාමය තත්ත්වයන් යටතේ මෙය සිදුවිය හැකිය. නමුත් හැම අයෙකුම තම අසල්වැසියාගේ පර්යාලෝකය ගුණකරමින් සහ දික්ගස්සමින්, හරියටම ඔවුන් එක පවුලක සාමාජිකයන් මෙන් සියලු ජනයා හදිසියේ හැසිරෙනු අපට දැකිය හැකි, බහුජන සමාජයේ හෝ බහුජන මායාරෝගයේ තත්ත්වයන් යටතේ ද එය සිදුවිය හැකිය. මෙම උදාහරණ දෙකේදී ම, මිනිසුන් සහමුලින්ම පෞද්ගලික (private) වී ඇත්තේය, එනම්, අසනු ලැබීම ඔවුනට අහිමිකරනු ලැබ ඇත්තේය. තමන්ගේම ඒ අත්දැකීමේ පුද්ගලනිශි‍්‍රතභාවය (subjectivity) තුළ ඔවුන් සියලුදෙන සිරකරනු ලැබ ඇත්තේය. මෙම ඒක අත්දැකීම, අසංඛ්‍ය වාරයක් ගුණ කෙරුණු නමුදු එය ඒක අත්දැකීමක්වීමෙන් තොරවන්නේ නැත. පොදු ලෝකය එක දෘෂ්ටිකෝණයක් යටතේ පමණක් දකිනු ලබන විට සහ එක් පර්යාවලෝකයකින් ඉදිරිපත්වීමට පමණක් එයට අවසර ලැබෙන විට පොදු ලෝකයේ අවසානය උදා වී ඇත්තේය.

පෞද්ගලික පරිමණ්ඩලය: දේපළ

මහජන පරිමණ්ඩලය පිළිබඳ මෙම බහුවිධ අරුතට අදාළවය, ”පෞද්ගලික” යන පදය එහි මුල් නිෂේධනාත්මක අර්ථයෙන් අරුත් ගෙන දෙන්නේ. සහමුලින්ම පෞද්ගලික ජීවිතයක් ගෙවීම යන්නෙන් අන් සියල්ලටම ඉහළින් අදහස් කෙරෙන්නේ සැබෑ මානව ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල් අහිමි කරනු ලැබීම යි: අන්‍යයන් විසින් දකිනු ලැබීමෙන් සහ අසනු ලැබීමෙන් එන යථාර්ථය අහිමිකරනු ලැබීමයි, දේවල් පිළිබඳ පොදු ලෝකයක අතරමැදිභාවය තුළින් ඔවුනට සම්බන්ධ වෙනු ලැබීමෙන් සහ ඔවුනගෙන් වෙන් කරනු ලැබීමෙන් එන ඔවුන් සමඟ වන ”වෛෂයික” (objective) සම්බන්ධතාවක් අහිමිකරනු ලැබීමයි, ජීවිතයටම වඩා වැඩියෙන් නිත්‍ය යමක් මුදුන් පමුණුවා ගැනීමේ හැකියාව අහිමි කරනු ලැබීමයි. අප‍්‍රසිද්ධියේ නිෂේධාත්මක භාවය රැඳී ඇත්තේ අන්‍යයන් නොමැතිවීම තුළයි; ඔවුන්ට අදාළ වන තාක් දුරට, අප‍්‍රසිද්ධ මිනිසා පෙනී සිටින්නේ නැත. එනිසා හරියටම ඔහු නොපැවතුණාක් මෙනි. ඔහු කරන කවරදෙයක් හෝ වේවා, අන්‍යයන්ට එහි ඇති වැදගත්කමක් හෝ ඵලවිපාකයක් නැත. තවද ඔහුට වැදගත්වන දේ අන් ජනයා තුළ උනන්දුවක් ඇතිකරන්නේ නැත.

නූතන තත්ත්වයන් යටතේ, අන්‍යයන්ට ඇති ”වෛෂයික” සම්බන්ධතා සහ ඒවා තුළින් සහතික කෙරුණු යථාව අහිමිකරනු ලැබීම හුදකලා බව පිළිබඳ බහුජන ප‍්‍රපංචය බවට පත්ව ඇත්තේ ය, නූතනත්වය යටතේ හුදකලාබව එහි වඩාත්ම අන්තවාදී හා වඩාත්ම මානව විරෝධී ස්වරූපය අත්පත් කරගෙන ඇත්තේය. මෙම අන්තවාදීබවට හේතුව නම්, බහුජන සමාජය මහජන පරිමණ්ඩලය පමණක් නොව පෞද්ගලික පරිමණ්ඩලය ද විනාශ කරන්නේය යන්නයි, මිනිසුනට ලෝකය තුළ තමනට හිමි තැන පමණක් නොව, ඔවුනගේ පෞද්ගලික නිවෙස ද අහිමිකරන්නේය යන්නයි. ඔවුන් එක් කලෙක ලෝකය හමුවේ රැකවරණ ලැබීමේ හැඟීමෙන් පෙලුණේ එතුළ ය. ලෝකයෙන් බැහැර කරනු ලැබූවන්ට පවා ගෙදර උණුසුම තුළ සහ පවුල් ජීවිතයේ සීමිත යථාර්ථය තුල ආදේශකයක් සොයා ගත හැකි වූයේ, කුමන මට්ටමෙන් හෝ මෙතුළ ය. ගෙදර සහ පවුලේ ජීවිතය ඇතුළාන්ත සහ පෞද්ගලික අවකාශයක් බවට පූර්ණව සංවර්ධනය වීම පිළිබඳව අපේ ණයගැතිභාවය ඇත්තේ රෝමානු ජනයාගේ අසාමන්‍ය දේශපාලන හැඟීමට ය; ගී‍්‍රකයන් මෙන් නොව ඔවුන් කවර කලෙකවත් පෞද්ගලික දේ මහජන දේ වෙනුවෙන් කැප කළේ නැත. ඒ වෙනුවට මෙම පරිමණ්ඩල දෙකට පැවැතිය හැක්කේ සහජීවනයක ස්වරූපයෙන් පමණක් බව ඔවුහු වටහාගත්හ. වහලුන්ගේ තත්ත්වයත් ඇතැන්ස් නුවරට වඩා රෝම නුවරදී යහපත් වූයේ යම්තමින් වන නමුදු වහලුන්ට ස්වාමියාගේ ගෘහය, පුරවැසියන්ට ජනරජය (res publica) බඳු වී යැයි රෝමානු ලේඛකයෙකු විශ්වාස කලයුතු වීම මුළුනින්ම ආවේණික ගුණාංගයක් වී ය. ඇතන්ස්හි මෙන්ම රෝමයේත් පෞද්ගලික පරිමණ්ඩලය, ගී‍්‍රසියේ නම් ධනය රැස්කිරීම හෝ රෝමයේ දී කලාවට හා විද්‍යාවට දැක්වූ කැපවීම වැනි අද අප දේශපාලන කි‍්‍රයාකාරම්වලට වඩා ඉහළ පංතියක තබන කි‍්‍රයාකාරකම්වලට ඕනෑතරම් ඉඩකඩ සලසා දුන් නමුදු, පවුලේ පෞද්ගලික ජීවිතය කොතරම් දරාගත හැක්කේවීද යන්න පසෙක තිබියදීත් එයට පැහැදිලිවම කවරදාකවත් ආදේශකයකට වැඩි යමක් වීමට නොහැකිවීය. මෙම ”නිදහස්” (liberal) ආකල්පය හේතු කොට ගෙන යම් තත්ත්වයන් යටතේ ඉතා සමෘද්ධිමත් සහ ඉහළින්ම උගත් වහලුන් බිහිවීමට හේතුවිය හැකිව තිබුණු නමුදු ඉන් අදහස් කෙරුණේ සමෘද්ධිමත් බවට පත්වීම යන්නට ගී‍්‍රක පුරවර රාජ්‍යය තුළ යථාර්ථයක් නොතිබුණු අතර, දාර්ශනිකයකු බවට පත්වීම රෝමානු ජනරජය තුළ එතරම් ප‍්‍රතිඵලයක් ගෙනදුන් දෙයක් නොවූ බවයි.

අප‍්‍රසිද්ධභාවයේ නිෂේධනාත්මක ලක්ෂණය, ගෘහයේ සීමාකරනු ලැබූ පරිමණ්ඩලය තුළට ම සීමා වී ගතකල ජීවිතයකදී අත්‍යවශ්‍ය යමක් අහිමි කරනු ලැබ ඇත්තේය යන දැනුවත්භාවය, කි‍්‍රස්තියානි දහමේ නැඟීම විසින් එය නැත්තටම නැතිවී යන තරමට ම පාහේ දුර්වල කරනු ලැබිය යුතුවීම, සිදුවිය යුතුව තිබුණකි. කි‍්‍රස්තියානි දහමේ මූලික ආගමික ශික්ෂාවන්ගෙන් විශදව ගත්කල කි‍්‍රස්තියානි සදාචාරය හැමකෙනෙකුම තමන්ගේම වැඩක් බලාගත යුතු බවත් දේශපාලන වගකීම පළමුකොටම එය විසින් මහජන කටයුතු පිළිබඳව කරදරවීමෙන් නිදහස් කරනු ලැබූ අයවලුන්ගේ යහපැවැත්ම සහ ගැලවීම වෙනුවෙන්ම සුවිශේෂයෙන් භාරගත් බරකින් සමන්විත බවත් හැමවිටමත් තරයේ කියා සිට ඇත. මෙම ආකල්පය ලෞකික (secular) නූතන යුගය දක්වා කොතරම් දුරකට පවතිනු ඇතිව තිබුණිද යත්, මේ අතින් මෙන්ම අනිකුත් අතින් ද නූතනත්වයේ වසර දෙසියයේ යටින් දිවෙන උපකල්පනයන් සාරාංශ කිරීම, සංකල්පීකරණය කිරීම සහ වැඩපිළිවෙලක් බවට විපර්යාසකිරීම පමණක් කල කාල් මාක්ස්ට මුළු මහජන පරිමණ්ඩලයම ”වියැකී යාම” (withering away) පිළිබඳව අන්තිමේදී අනාවැකි කියන්නට සහ බලාපොරොත්තු තබන්නට හැකිවීම පුදුමඑළවනසුලුය. මේ අතින් ගත්කල එකක් මිනිසාගේ පාපකාරීත්වය නිසා ආණ්ඩුව අවශ්‍ය නපුරක් වශයෙන් දකිමින් සහ අනෙක කෙළවර එය අහෝසිකර දැමීම අපේක්ෂා කරමින් පෙන්වන කි‍්‍රස්තියානි සහ සමාජවාදී දෘෂ්ටිකෝණයන් අතර වෙනස මහජන පරිමණ්ඩලයම පිළිබඳව තක්සේරුවේ නොව, මානව ස්වභාවය පිළිබඳව තක්සේරුවේ ඇති වෙනසකි. මෙම දෘෂ්ටිකෝණ දෙකින් කුමන එකින් වුවද, වටහාගැනීමට කිසිසේත්ම නොහැකි දෙය නම්, මාක්ස්ගේ ”රාජ්‍යය වියැකී යාම” ට පෙරාතුව, මහජන පරිමණ්ඩලය වියැකී යාමක් සිදුවී ඇත, යන්න නැතහොත් එසේ නොව එය ආණ්ඩුකිරීම පිළිබඳ අතිශයින් සීමාකෙරුණු පරිමණ්ඩලයක් බවට විපර්යාසකරණය වී ඇත යන්න, යි; මාක්ස්ගේ කාලය තුළ, මෙම, ආණ්ඩුව තවදුර වියැකී යාමට එනම්, ජාතික මට්ටමේ ”ගෘහපාලනය” ක් බවට විපර්යාස කරනු ලැබීමට එවිටමත් පටන්ගෙන තිබුණු අතර මෙම වියැකී යාම, අපගේම කාලයේදී එය තවත් වඩාත් සීමාකෙරුණු, අපෞද්ගලික පරිපාලන පරිමණ්ඩලයක් තුළට මුළුනින්ම අතුරුදහන්ව යන්නට පටන්ගෙන තිබුණු තත්ත්වය වනතුරුම, පැවතවිත් ඇත.

මහජන පරිමණ්ඩලය අතුරුදහන්ව යාමේ අවසන් අදියර පෞද්ගලික පරිමණ්ඩලය පවා දියකර හැරීමට තර්ජනය කිරීමත් කැටුව යා යුතුවීම මහජන සහ පෞද්ගලික පරිමණ්ඩල අතර ඇති සම්බන්ධතාව ස්වභාවය තුළම තිබෙන්නක් සේ පෙනෙයි. මුළු සාකච්ඡාවම, පෞද්ගලිකව හිමි දේපළ වල අභිමතභාවය හෝ අනභිමතභාවය පිළිබඳ විවාදයක් බවට අන්තිමේදී පෙරළීයාමද අහම්බයක් නොවේ. මන්දයත්, දේපළ සම්බන්ධයෙන් ගත්කල ”පෞද්ගලික” යන වචනය, ඉපැරණි දේශපාලන චින්තනය සම්බන්ධයෙන් ගත්කල පවා එහි නිෂේධාත්මක ස්වභාවයත්, පොදුවේ ගත්කල මහජන පරිමණ්ඩලයට ඇති එහි විරුද්ධතාවෙන් බොහොමයකුත් වහා අහිමි කරගනියි. පෞද්ගලික පරිමණ්ඩලය තුළ පවතින්නා වූ නමුදු දේශපාලන දේහයට අතිශයින් වැදගත්වන බවට හැම විටෙමත් සිතනු ලැබුවා වූ යම් සුදුසුකම් දේපළවලට හිමි යැයි පෙනෙන්නට තිබේ.

පෞද්ගලික දේපළ පිළිබඳ ප‍්‍රශ්නය තුළ ඉතාම ප‍්‍රාථමික මට්ටමෙන් ප‍්‍රකාශිත, පෞද්ගලික සහ ප‍්‍රසිද්ධ අතර ගම්භීර සම්බන්ධය, අද වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ. මන්ද යත්, දේපළ සහ ධනය එක් පසෙකත් දේපළ අහිමිබව සහ දිළිඳුකම අනෙක් පසත් ඇති නූතන සමීකරණය නිසාවෙනි. දේපළ මෙන්ම ධනය යන දෙකම වෙනත් අන් පෞද්ගලික කාරණයක් හෝ සැලකිල්ලකට වඩා ඓතිහාසිකව වඩා විශාල අදාළත්වයක් මහජන පරිමණ්ඩලයට ඇති හෙයින් සහ අවම වශයෙන් විධිමත්ව මහජන පරිමණ්ඩලයට හා පරිසමාප්ත පුරවැසිභාවයට ඇතුළත් කරගනු ලැබීම සඳහා පූර්ණ කොන්දේසිය වශයෙන් අඩු වැඩි වශයෙන් එකම කාර්යභාරය ඉටු කර ඇති හෙයින්, මෙම අනවබෝධය වඩාත්ම පීඩා කරයි. එහෙයින්, ධනය සහ දේපළ, එකම දෙය වනවාට වඩා, සහමුලින්ම වෙනස් ස්වභාවයක් ගන්නේය, යන්න අමතක කිරීම පහසු ය. කුමන හෝ තනි පුද්ගලයෙකුගේ ධනය සමස්තයක් වශයෙන් සමාජයේ වාර්ෂික ආදායමේ ඔහුගේ කොටසින් සමන්විතවන නිසා එකමවිට ආවශ්‍යයෙන්ම දේපළ රහිතවන, සැබැවින්ම හෝ, එසේ විය හැකි බව අතින් ඉතා ධනවත් සමාජයක් වර්තමානයේදී හැමතැනම පැන නැඟීම, මෙම දේවල් දෙක එකට සම්බන්ධ වන්නේ කොතරම් අඩුවෙන් ද යන්න පැහැදිලිව පෙන්වයි.

දුප්පතුන් දේපළවලින් පලවා හැරීමෙන් ඇරඹී, අනතුරුව නව දේපළ අහිමි පංතීන් නිදහස් කරගැනීම දක්වා ඉදිරියට ගිය නූතන යුගයට පෙරාතුව සියලු ශිෂ්ටාචාරයන් පෞද්ගලික දේපළවල ශුද්ධභාවය මත රඳා පැවතුණි. මීට ප‍්‍රතිපක්ෂව, පෞද්ගලිකව අයිති වුවද නැතහොත් මහජනයා අතරේ බෙදා හැරුණද, ධනය පෙර කිසිකලෙකවත් ශුද්ධ දෙයක් වූයේ නැත. මුලින්ම දේපළ යන්නෙන් අදහස් කෙරුණේ, ලෝකයේ සුවිශේෂ කොටසක් තුළ යමෙකුගේ පිහිටීම තිබීමට සහ එනිසා දේශපාලන දේහයට නැතහොත් සංවිධානයට අයිතිව සිටීමටම පමණි. එනම් එකට එක් වී මහජන පරිමණ්ඩලය සැදුම්ගත් පවුල්වලින් එකක ප‍්‍රධානියා වීමට ය. පෞද්ගලිකව අයිති වූ ලෝකයේ මෙම කොටස එය අයිති වූ පවුල සමඟ කොතරම් සම්පූර්ණයෙන් සර්වසම වීද යත් පුරවැසියෙකු නෙරපීම යනුවෙන් අදහස් කෙරෙනු හැකිවූයේ, හුදෙක් ඔහුගේ දේපළ පවරා ගැනීම පමණක් නොව, ගොඩනැගිල්ලම පවා සැබැවින්ම විනාශකර දැමීම යි. විදේශිකයෙකුගේ හෝ වහලෙකුගේ ධනය කිසිදු තත්ත්වයක් යටතේවත් මෙම දේපළට ආදේශකයක් නොවුණු අතර, දුප්පත්කම, පවුලක මූලිකයෙකුට ලෝකය තුළ මෙම ස්ථානය සහ ඉන් උදාවන පුරවැසිභාවය අහිමිකළේ නැත. මුල් කාලයේදී, ඔහුට ඔහු පිහිටි ස්ථානය අහිමිවීම සිදුවී නම්, ඔහුට ඉබේට ම පාහේ ඔහුගේ පුරවැසිභාවයත් නීතියෙන් ලැබෙන රැකවරණයත් අහිමි වුණි. මෙම අප‍්‍රසිද්ධභාවයේ ශුද්ධභාවය නැතහොත් පූජනීයත්වය, සැඟවුණුදෙයෙහි එනම්, උපතේ සහ මරණයෙහි, සියලු ජීවමාන සත්ත්වයන් මෙන් සැඟවුණුලෝකයක අඳුර තුළින් වර්ධනය වී එතුළට ආපසු යන මැරෙනසුලු මිනිසුන් ගේ ආරම්භය සහ අවසානයෙහි ශුද්ධභාවය මෙන් වීය. ගෘහ පරිමණ්ඩලයේ නිෂේධනාත්මක නොවන ලක්ෂණය මුලින් පැවැතියේ, එය, මිනිස් දෑසට සැඟවුණු සහ මානව ඥානයට විනිවිද දැකිය නොහැකි දේවලට රැකවරණය සපයන හෙයින් මහජන පරිමණ්ඩලයෙන් සැඟවිය යුතු උපත සහ මරණය පිළිබඳ පරිමණ්ඩලය වීම තුළ ය.එය සඟවනු ලැබ ඇත්තේ ඔහු උපත ලබනවිට ඔහු කොහි සිට එන්නේ දැ යි සහ ඔහු මියයන විට ඔහු කොහි යන්නේ දැ යි මිනිසා නොදන්නා බැවිනි.

සැඟවී පවතින, සහ මහජනයා හමුවේ වැදගත්කමක් නොදරන, මෙම පරිමණ්ඩලයේ අභ්‍යන්තරය නොව, එහි බාහිර පෙනුම නගරයට පවා වැදගත්වන අතර, එක ගෘහයක් සහ තවෙකක් අතර ඇති මායිම් තුළින් එය නගරයේ පරිමණ්ඩලය තුළ පෙනී සිටියි. නීතිය මුලින් හඳුනා ගැනුණේ මෙම මායිම් රේඛාව සමගිනි. මෙම මායිම් රේඛාව අතීතකාලයන්හිදී ඒ වනවිටත් එය, සැබැවින්ම, ඒවා එකිනෙකාගෙන් වෙන්කොට තබන අතරම, ඒ එකමවිට එම පරිමණ්ඩල දෙකට ම රැකවරණයත් ආරක්ෂාවත් සපයන අවකාශයක්, පෞද්ගලික සහ මහජන අතර යම් ආකාරයක කිසිවකුටත් අයිති නැති භූමියක් වීය. පුරවර රාජ්‍යයේ නීතිය, නිසැකවම, මෙම ඉපැරණි අවබෝධය අතිරෝහණය කල නමුදු, කෙසේවුවද, ඉන් එහි මුල් අවකාශමය වැදගත්කම රඳවාගත්තේය. පුරවර රාජ්‍යයේ නීතිය, දේශපාලන කි‍්‍රයාවේ අන්තර්ගතය නොවූවා සේම (දේශපාලන කි‍්‍රයාකාරකම මූලිකවම නීති සම්පාදනයය යන අදහස, සම්භවයෙන් රෝමානු නමුදු, අවශ්‍යයෙන්ම නූතනවන අතර එහි විශිෂ්ටම ප‍්‍රකාශනය දක්නට ලැබෙන්නේ කාන්ට්ගේ දේශපාලන දර්ශනයෙහිය), සියලු නූතන නීතීන් තවමත් කරන්නාක් මෙන්, දශ පනතේ තහංචි මත රඳා පවතින ප‍්‍රතිෂේධයන්ගේ නාමාවලියක්වත් නොවීය. එය මුළුමනින්ම වාච්‍යාර්ථයෙන් ප‍්‍රාකාරයක් වීය, එයින් තොරව තිබෙනු හැකිව තිබුණේ නිවාසවල රාශීභූතවීමකි, නුවර කි (town) , නමුත් පුරවරයක් (city), දේශපාලන ප‍්‍රජාවක් නොවේ. මෙම ප‍්‍රාකාරයක් බඳු නීතිය ශුද්ධමය වූ නමුදු දේශපාලනමය වූයේ එහි ඇතුළත පමණි. එයින් තොරව මහජන පරිමණ්ඩලයකට තවදුරටත් පැවැතිය නොහැකිවූයේ, කොටු කෙරෙන වැටකින් තොරව දේපළ කැබල්ලකට පැවැතිය නොහැක්කාක් මෙනි. එකක් පවුලේ ජීවවිද්‍යාත්මත ජීවන කි‍්‍රයාවලියට සෙවණ දී එය ආරක්ෂා කරද්දී අනෙක දේශපාලන ජිවිතයට රැකවරණ දී එය වටකොට සිටියේය.

එහෙයින්, නූතන යුගයට පෙරාතුව පෞද්ගලික දේපළ, මහජන පරිමණ්ඩලයට ඇතුළත් කරගැනීම සඳහා බැලු බැල්මට පැහැදිලි කොන්දේසියක් ලෙස සිතනු ලැබීය යන්න කීම සැබැවින්ම නිරවද්‍ය නොවේ. අප‍්‍රසිද්ධිය, මහජන පරිමණ්ඩලයේ අනෙක් අඳුරු සහ සැඟවුණු පාර්ශ්වය මෙන් වී ය. එමෙන් ම, දේශපාලනික වීම යන්නෙන් අදහස් කෙරුණේ, මානව පැවැත්මේ ඉහළතම සම්භාව්‍යතාවට පැමිණීම වන අතර, (වහලෙකු බඳුව) තමන්ගේම පෞද්ගලික තැනක් නොතිබීමෙන් අදහස් කෙරුණේ තවදුරටත් මානවයෙකු නොවන්නේය, යන්නයි.

කෙනෙකු තම ජීවිකාව සඳහා මාර්ග ලබාගන්නා පෞද්ගලික ධනයේ ඇති දේශපාලන වැදගත්කම සම්පූර්ණයෙන්ම වෙනස් සහ ඓතිහාසිකව බැලුවහොත් පසුකාලීන සම්භවයක් ඇත්තකි. පැරැන්නෝ හැමකෙනෙකුටම තමා සඳහාම ජීවිතයේ අවශ්‍යතා ජයගැනීම කරන්නට සිදුවූ ගෘහයේ පෞද්ගලික පරිමණ්ඩලයත් සමඟ, අවශ්‍යතාව (necessity) සමානකොට හඳුනාගත්හ. තමන්ගේම අප‍්‍රසිද්ධභාවය නැතහොත් පෞද්ගලිකභාවය ඉවත දැමූ, සහ වහලෙකු මෙන් ස්වාමියෙකුගේ අභිමතයට යටත් නොවූ, නිදහස් මිනිසාට එතෙකුදු දුප්පත්කම විසින් “බලය පානු” හැකිව තිබුණි. දුප්පත්කම වහලෙකු ලෙස කි‍්‍රයාකරන්නට නිදහස් මිනිසාට බල කරයි. එහෙයින් පෞද්ගලික ධනය, මහජන ජීවිතය ට ඇතුළත් කර ගැනීමේ කොන්දේසියක් බවට පත්වූයේ එහි හිමියා ධනය ඒකරාශී කිරීමේ නිරතව සිටි නිසා නොව, ඊට ප‍්‍රතිපක්ෂව එහි හිමියාට තමා සඳහා ප‍්‍රයෝජ්‍ය සහ පරිභෝජන මාර්ගයන් සපයාගැනීමෙහි ලා නිරතවීමට සිදුනොවනු සහ එහෙයින් මහජන කි‍්‍රයාකාරකම් සඳහා ඔහු නිදහස් යන්න සෑහෙන නිසැකභාවයකින් යුතුව එය විසින් සහතික කෙරුණු බැවිනි. පැහැදිලිවම මහජන ජීවිතය සිදුවිය හැකිවූයේ බෙහෙවින් වඩා වැදගත් ජීවිතයේම අවශ්‍යතාව සපුරාගැනීමෙන් අනතුරුවය. ඒවා සපුරා ගැනීමේ මාර්ගය වූයේ ශ‍්‍රමය වන අතර එහෙයින් පුද්ගලයෙකුගේ ධනය නිතරම ගණන් ගැනුණේ ඔහුට අයිති වූ ශ‍්‍රමිකයන්, එනම් වහලුන්ගේ, සංඛ්‍යාව ආශ‍්‍රයෙනි. මෙහිලා දේපළ හිමිවීම් යන්නෙන් අදහස් කෙරුණේ, ජිවිතය පිළිබඳ යමෙකුගේම අවශ්‍යතාවන් ජයගැනීම සහ එහෙයින්, නිදහස් පුද්ගලයෙකු වීමේ, තමන්ගේම ජීවිතය අතිරෝහණය කොට සියලුදෙනා පොදුවේ සතු ලෝකයට ඇතුළුවන්නට නිදහස් වීමේ, භව්‍යතාවය ලබන්නටය.

සංයුක්ත ස්පර්ශනීයභාවය තුළ එවැනි පොදු ලෝකයක් පැන නැඟීම, එනම්, පුරවර රාජ්‍යයේ නැඟීමත් සමඟ පමණි, මෙම ආකාරයේ පෞද්ගලික අයිතීන්ට එහි විශිෂ්ට දේශපාලන වැදගත්කම අත්පත් කරගත හැක්කේ. එහෙයින්, සුප‍්‍රසිද්ධ “පහත් රැකියාවන් පිළිබඳ අවඥාව” මේ වන විටත් හෝමරික ලෝකය තුළ දැකගන්නට නොහැකිවීම, එලෙසින්ම සිදුවිය යුත්තක් තරම්ම වැනිය. දේපොළ හිමියා, දේශපාලන ජීවිතයක් ගත කරමින්, එය ඉවරකර දමනවා වෙනුවට තම දේපොළ වඩා විශාල කිරීම තෝරාගත්තේ නම්, එය හරියටම ඔහු කැමැත්තෙන්ම තම නිදහස පරිත්‍යාග කොට තමන්ගේම කැමැත්තට එරෙහිව වහලා පත්ව තිබූ දෙවන අවශ්‍යතාවයේ සේවකයෙකුගේ තත්ත්වයට ස්වේච්ඡාවෙන්ම පත්වීමකි.

නූතන යුගයේ ආරම්භය වන තෙක්ම, මෙබඳු දේපළ ශුද්ධ වූ ලෙසින් සැලකීම කවදාකවත් සිදු වී නොතිබූ අතර, ආදායම් ප‍්‍රභවය වශයෙන් ධනය, පවුලක් පිහිටා තිබූ ඉඩම් කැබැල්ල සමඟ සමපාත වී එකක් බවට පත්වූ විට, එනම් අවශ්‍යයෙන්ම කෘෂිකාර්මික සමාජයක පමණි, සියලු දේපොළ ශුද්ධ වූ භාවයේ ස්වභාවය ආරෝපණය කරගන්නා පරිද්දෙන්, මෙම දෙයාකාර දේපළ එතරම් දුරකට සමපාත විය හැක්කේ. නූතනයේ, පෞද්ගලික දේපළ වෙනුවෙන් කථා කරන්නන්ට අඩු ගණනේ, එය අන් කිසිවක් නොව පෞද්ගලිකව අයිති වූ දේපළ ලෙසින් ඒකමතිකව වටහාගන්නන්ට, පෞද්ගලිකභාවය (privacy) නිසිලෙස ස්ථාපනය කිරීමකින් සහ ආරක්ෂාවකින් තොරව නිදහස් මහජන පරිමණ්ඩලයක් තිබිය නොහැකි යැයි කියැවෙන සම්ප‍්‍රදායකට ආයාචනා කිරීමට, ඇත්තේ අල්ප හේතුවකි. මන්දයත්, ඉඩම්වලින් පලවාහරිනු ලැබීමෙන් – ප‍්‍රතිසංස්කරණයෙන් (Reformation) පසු පල්ලිය සහ ආශ‍්‍රමයන්ගේ දේපළ අත්පත් කරගැනීමේ අහම්බයක් තරම්ම වූ ඵලවිපාකයක් බවට පෙරළා පත්වූ ගොවි ජන පංතීන් ගේ ඉඩම් අහිමි කරනු ලැබීමෙන් ඇරඹුණු නූතන සමාජයේ දැවැන්ත සහ තවමත් සිදුවෙමින් පවතින ධනය සංචිතකරණය පෞද්ගලික දේපළ පිළිබඳ එතරම් සැලකිල්ලක් කවරකලෙකවත් පෙන්වා නැති නමුදු, ධනය සංචිතකරණයත් සමඟ එය ගැටුණු හැමවිටම එය දේපළ කැපකොට ඇත්තේය. දේපළ යනු සොරකමය යන ප්‍රෞඩන් (Proudhon) ගේ කියමනට නූතන ධනවාදයේ සම්භවයන් තුළ බලවත්, සත්‍ය පදනමක් තිබේ. පෞද්ගලික දේපළ අහෝසි කිරීම, දිළිඳුභාවය පිළිබඳ අයහපත පහකරන්නට ඉඩ ඇති නමුදු, ක‍්‍රෑරපාලනය යන වඩා විශාල අයහපත ට ඇරයුම් කිරීම පමණක් ඉන් විය හැකි බව ඔහු ඉතා හොඳින් දත් හෙයින් පොදුවේ දේපළ අයිතිය අහිමිකිරීමේ සැකසහිත පිළියම පිළිගන්නට ප්‍රෞඩන් පවා පැකිලුණි යන්න වඩාත් වැඩි වැදගත්කමක් ගනියි. ඔහු ධනය සහ දේපළ අතර වෙනසක් නොදුටු හෙයින්, ඔහුගේ මෙම අන්තර්දෘෂ්ටීන් දෙක ප‍්‍රතිවිරුද්ධතාවන් ලෙසින් ඔහුගේ කෘතීන්හි දැකිය හැකි නමුත් ඇත්තෙන්ම ඒවා එසේ නොවේ. ධනය තනි තනි පුද්ගලයන් විසින් අයිතිකරගැනීම, දිගුකාලීනව, සංචිතකරණ කි‍්‍රයාවලිය සමාජානුයෝජනය කිරීමට නොවැඩියෙන්, පෞද්ගලික දේපළට ගරු කරනු ඇත. පෞද්ගලිකභාවය (privacy) සාමාජීය “ඵලදායීතාවේ” සංවර්ධනයට හැම අර්ථයෙන්ම බාධා කල හැකිය යන්න සහ, පෞද්ගලික අයිතිය පිළිබඳ සැලකීම් එහෙයින්, සඳහටම වැඩිවෙමින් පවතින සාමාජීය ධනය පිළිබඳ කි‍්‍රයාවලිය ට පක්ෂව ප‍්‍රතික්ෂේප කල යුතුය යන්න, කාල් මාක්ස්ගේ නිමැවුමක් නොව, මෙම සමාජයේම නියම ස්වභාවය තුළම සැබැවින්ම පවතියි.෴

හනා ආරන්ඩ්ට් විසින් රචිත The Human Condition (Second Edition, 1998, The University of Chicago Press) නමැති කෘතියේ “The Public and the Private Realm” නමැති දෙවැනි පරිචේඡ දයේ පිටු අංක 22 සිට 67 දක්වා වන කොටසේ ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ අනුවර්තනයකි.

මෙම අනුවර්තනය @‘කතිකා‘ අධ්‍යයන කවය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි. උපුටා පළ කිරීම තහනම්.