සිළුමිණ, පුන්කලස සංස්කාරක, ‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපියෙන් අත් හළ කොටස් පිළිබඳ ව…..

‘කතිකා’ අධ්‍යයන කවය පළ කළ ‘අපට උසස් සාහිත්‍ය-කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් යුතු පත්‍රිකාවේ එන අදහස් සම්බන්ධයෙන් ලියනගේ අමරකීර්ති සිළුමිණ, පුන්කලස (25 . 11 . 2007) ට ලියූ ලිපියට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප‍්‍රතිචාර ලිපිය (පුන්කලස, 23. 12. 2007) පළ කිරීමේදී පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. අප එම කොටස් අපගේ පාඨකයන් සඳහා පහත ගෙන හැර දක්වමු.

මෙ‍ම කොටස් ද අඩංගු සම්පූර්ණ ලිපිය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි’ යන සිරස්තලය යටතේ මෙ‍ම වෙබ් අඩවියේ වෙනම ලිපියක් ලෙස පළ කොට ඇත.

අප දන්නා පරිදි, සිළුමිණ සංස්කාරක කරුණාදාස සූරිආරච්චි මහතා චන අතර ‘ආනන්දයේ සහ ප්‍රඥාවේ සංවේදී සංවාද මණ්ඩපය’ යනුවෙන් හඳුන්වා ගැනෙන පුන්කලස සංස්කාරක නන්දන වීරසිංහ ‍මහතා ය.

‘කතිකා’ අධ්‍යයන කවයේ ලිපි‍යෙන් සිළුමිණ, පුන්කලස සංස්කාරක අත් හළ කොටස් සඳහා දිගටම කියවන්න .....

1.

“අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.”

– සිසෙරෝ

(මෙම උධෘතය ලිපිය ආරම්භයේදී ම යොදා තිබුණි.)

2.

ලාංකේය සමාජයේ සංස්කාතික අර්බුදය

අමරකීර්ති, ලාංකේය සමාජය පිළිබඳව තම ලිපියෙන් මතුකරන, අප ඒ පිළිබඳව තව දුර සොයා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නට අප කැමැත්තෙමු. දේශපාලනීකරණය වීම නිසා අදහස් නිබයව ප්‍රකාශකරන්නට බියවීමත්, කාගේවත් දෝහියෙකු හෝ හතුරෙකු නොවී ලේඛනයක් කරන්නටත්, තව කාවවත් අගය කරන්නටත් නොහැකිවීමත්, විවේචන පෞද්ගලිකව භාර ගැනීමත්, ලාංකිය සමාජයේ අවගුණ ලෙස අමරකීර්ති දකියි. මෙබඳු දේශපාලනීකරණයක් අප සමාජය අරක් ගත්තේ කුමන සමයෙක, කුමන හේතූන් නිසාදැයි අප විභාග කළ යුතුය.

අමරකීර්ති සඳහන් කරන කාට හෝ පහර දෙන හැටි බලා එහි සන්ත්‍රාස රසය විඳින්නට කැමැතිවීම ලංකාවේ පොදු සමාජ ලක්ෂණයක්ද? නැත්නම් ලංකාවේ පශ්චාත් නූතනවාදයට ආකර්ශණය වූ සුවිශේෂ තරුණ කොටසට හිමිවූ මානසිකත්වයක්දැයි අප විමසා බැලිය යුතුය. කිසිවෙකු කටපුරා අගය කරන්නට නොහැකි කමත්, අමරකීර්ති කියන පරිදි අපේ රටේ අධ්‍යාපනයේත්, සංස්කෘතියේත් ලක්ෂණ නම්, ඒවා අපේ සම්ප්‍රදායික ලක්ෂණදැ’යි අප සිතා බැලිය යුතුය. අමරකීර්ති සඳහන් කරන ඉතා මහලු වයසේදී පවා අනුන් අගය කරන්නට ‘සරච්චන්ද්‍රට තිබුණු එම ලක්ෂණය’ ඔහුට උරුම වූයේ කොහෙන්ද? මේ ලක්ෂණ කලෙක අපට තිබී පසුව නැතිව ගියේ නම්, ඒ කුමන කලෙක ද? කෙසේද? යන කරුණුත් අප සිතා බැලිය යුතුය.

අමරකීර්ති දක්වන පරිදි ‘ලංකාවේ පශ්චාත් නූතනවාදී බොරු ඇඟවුම් ජනප්‍රිය වන්නේ’ ලංකාවේ දක්නට ඇති ඒකමානීත්වය නමැති සංස්කෘතික අර්බුදය නිසා නම් මෙම අර්බුදය කෙසේ ඇති වූවක්දැයි අප විග්‍රහයක් සම්පාදනය කරගත යුතුය. එමෙන්ම බටහිර බහුමානීත්වයේ පසුබිම ද අප විග්‍රහයට ලක් කළ යුතුය.

කලාවේ සමාජීය අරමුණු කවරේද? කලා විචාරයේ පදනම කුමක් විය යුතුද?

(ඉහත සම්පූර්ණ කොටස, එහි අවසානයට දක්වා ඇති ඊ ළඟ කොටසේ උප මාතෘකාවත් සමගින්ම අත් හැර දමා තිබුණි.)

3.

ගැඩමර් කලාව පිළිබඳව පළකරන අදහස් විවරණය කරමින් වෙයින්ෂෙයිමර් (Weinsheimer, රෝයි ටර්නර් ගේ ඉහත ලිපි‍යේ දක්වා ඇති පරිදි) කලාව පිළිබඳව පළ කරන මතය කලාවේ සමාජීයභාවය ගැඹුරින් තේරුම් ගන්නට අපට උදවු වෙයි. ඒ අනුව අපවම අර්ථවිවරණය කරනු වස්, අපට කලාව අර්ථවිවරණය කිරීම අවශ්‍ය වෙයි. අපට අභිමුඛව අප නොසිටීමේ හේතුවෙන්, අපට අපවම එමගින් තේරුම් ගන්නට අනෙකෙකු අවශ්‍ය වෙයි. කලාව, අසාමාන්‍ය සහ අපූර්ව දේ වශයෙන්, අපට ස්වයං-අවබෝධය සඳහා අවශ්‍ය අන්‍යතරභාවය සපයයි. කලාව පිළිබඳ එබඳු අවබෝධයක්, අස්මිතාවට, එනම් තමාට, බලපෑමට, විවෘතවීමට සහ හැදියාව වගා කරගැනීමේ ඵල – ප්‍රයෝජනය අරමුණු කොට අන්‍යතරභාවය සොයා යෑමට ඇරයුම් කරයි. ප්‍රබල අස්මිතාව, වඩා ප්‍රබල තේරීමේ භාෂාවක් කුමක් වනු ඇත්දැයි ඉගෙන ගනු වස් අනෙකා සඳහාවන තම අවශ්‍යතාව පිළිගනියි.

ඉහත අවබෝධය අනුව, කලාව රස වින්දනය සඳහා කලා කෘතීන් වල ඓතිහාසික හා සමාජීය පසුබිම කියැවීම අවශ්‍ය නොවේ. එබඳු කියැවීමක් ශාස්ත්‍රාලයීය කටයුත්තකි. කලාකෘති රස විඳීම බුද්ධිමතුන් යැයි කියා ගන්නා අයට පමණක් වෙන් වූ දෙයක් ද?

අප පහත ගෙන හැර දක්වන පරිදි, රෝයි ටර්නර් ( “Taking the National Pulse” ) දක්වන පරිදි, කලාව පිළිබඳ සම්ප්‍රදායික උනන්දුව තිබී ඇත්තේ සුන්දරදෙයෙහි ස්වභාවය පිළිබඳව හෝ රුචිය හෝ රසඥතාව සංවර්ධනය පිළිබඳව නිරතවීමට ය. රුචියට තෝරාගැනීම අදාළය. ඇතැම් විට නරක දේවල් දෙකක් අතරින් වඩා අඩුවෙන් නරක දේ තෝරා ගැනීම ට අපට බලකෙරෙන අවස්ථා තිබිය හැකිය. නමුත් මෙබඳු දුර්වල තෝරා ගැනීමකට වඩා ප්‍රබල රුචිය අදාළ වන්නේ යහපත් දේ තෝරාගැනීම සහ හොඳින් තේරීම පිළිබඳවය. තමාගේ තේරීම පිළිබඳව ගැඹුරින් අවලෝකනාත්මක වීම පිළිබඳව ය. දුර්වල තේරීම, ප්‍රබල තේරීමට ඇති හැකියාව හෝ අවශ්‍යතාව පිළිකෙව් කරයි. ටර්නර් කියන පරිදි අපේ තෝරාගැනීම් වලට ඉතිහාසයක් තිබේ. ඒවා සමාජීය ය.

හැනා ආරෙන්ඩ්ට් ( “සංස්කෘතියේ අර්බුදය” ) ඉදිරිපත් කරන ‘හැදියාවෙන් යුතු පුද්ගලයා’ පිළිබඳ අදහස (බලන්න, මේ ලිපියේ පහත) තේරීම පිළිබඳව සිතන්නට වැදගත් යමක් අපට ඉදිරිපත් කරයි. ඒ අනුව, “හැදියාවෙන් යුතු පුද්ගලයෙකු (යනු) අතීතයේ දී මෙන්ම වර්තමානයේ දීත්, මිනිසුන් අතර, දේවල් අතර, සිතිවිලි අතර, තම ඇසුර තෝරා ගැනීමට දන්නා අයෙකුයි.”

‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක්ද?

සාහිත්‍යය – කලා විචාරය පිළිබඳ සංවාදය අයත්වන්නේ විනිශ්චය නැතහොත් රුචිය, රසඥතාව පිළිබඳ කතිකාවට ය.

අප පා(ග්)ලියාගේ ප්‍රකාශයෙන් සාකච්ඡාව සඳහා මතුකරගත් අදහස නම්, සම්භාව්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් දෙන ගැඹුර උසස් සාහිත්‍ය – කලා විචාරයක් සඳහා අවශ්‍ය අත්තිවාරම සපයා දෙන්නේය, යන ඇගේ අදහස යි. පා(ග්)ලියා ගේ යෝජනාව ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම මේ සඳහා අවශ්‍ය බව යි.

උසස් සාහිත්‍ය කලා විචාරයක් සඳහා අවශ්‍ය රසඥතාව ශ්‍රේෂ්ඨ ග්‍රන්ථවල හුදෙක් යාන්ත්‍රිකව නිමග්නවීමෙන් ලැබෙන්නක් යැයි පා(ග්)ලියා කියනවා යැයි අපට සිතිය නොහැකිය.

මේ පිළිබඳව අප මතු කළ ප්‍රශ්නය නම්, ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක්ද? යන්නයි. රෝයි ට(ර්)නර් ( “ Friends and Enemies of the Canon” ) පෙන්වා දෙන පරිදි, අප මූලකෘති අධ්‍යනය කළයුත්තේ ඒවායින් වර්තමානයට ආලෝකයක් පතිත වන සේය.

ට(ර්)නර් ගේ අදහස මූලකෘතීන් හැදෑරීම යනු හුදෙක් එම කෘතීන් කියැවීම, වනපොත් කිරීම හෝ අනුකරණය නොවන බවයි. ට(ර්)නර් කියන පරිදි ශ්‍රේෂ්ඨ කෘතීන් කියැවීමේ සමීක්ෂණ පාඨමාලාවක් පොත් පිළිබඳ කෞතුකාගාරයක් තුළින් කෙරෙන හුදු සංචාරයක් විය නොහැකිය. යමක් ශ්‍රේෂ්ඨ

(ඉහත සම්පූර්ණ කොටසම එහි මැද දක්වා ඇති ඊ ළඟ කොටසේ උප මාතෘකාවත් සමගින්ම, එහි අවසානයේ දැක්වෙන පරිදි වාක්‍යයක් මැදින් හිටි හැටියේ, අත් හැර දමා තිබුණි.)

3.

හැනා ආරෙන්ඩ්ට් සිසෙරෝ ‘කුල්ටූරා ඇනිමි’ (cultura animi) නොහොත් ‘හැදියාවෙන් යුතු මනස’ යනුවෙන් ඉදිරිපත් කළ අදහස ගෙන වර්ධනය කරන සංකල්පය කලාවේ සමාජීය සම්බන්ධය යනුවෙන් අප හඳුනා ගන්නා දෙයෙහි ගැඹුරට අප ගෙන යයි. සිසෙරෝ ගේ මෙම අදහසට පාදක වන්නේ කලාකරුවන්ගේ නොව, කලා කෘති අතර සැරි සරන, මැදිහත් සිතින් ලොව නරඹන ප්‍රේක්ෂකයන්ගේ, ගුණාංගයක් වූ සුන්දර දෙයට ඇති නිසි ඇල්ම, සුන්දර දේ සමග ඇති උචිත ආකාරයේ සංවාසය, ලොව දේවල් රැක බලා ගැනීමට මිනිසා සුදුස්සෙකු කරන්නේය ‍යන දැක්මයි. සිසෙරෝ ගේ අදහස් පිලිබඳ තම අර්ථ විවරණයෙන් ආරෙන්ඩ්ට් මතු කරන කාරණය ‘රසඥතාව දේශපාලන හැකියාවන් අතරට අයිති වන්නේද?’ යන්නයි.

4.

“මිනිසුන් සහ දේවල් සමඟ මගේ සමාගමයට අදාළ දෙයෙහි දි, සත්‍යය විසින් පවා, සුන්දරත්වය විසින් පවා, බලාත්කාරයට යට කරනු ලැබීම මම ප්‍රතික්ෂේප කරමි” යන්න ඔහුගේ ආදර්ශ පාඨය යි. මේ මානවීයවාදය, හැදියාව ලද මනසක, ලෝකයේ දේවල් රැක බලා ගෙන, ආරක්ෂා කර, අගය කරන්නට දන්නා ආකල්පයක ඵලය වේ. “මානවීයවාදීන් වශයෙන් අපට, අප සැම ඉගෙන, ප්‍රගුණ කළයුතු, විශේෂඥතා අභිබවා නිදහසින් ඉහළ නැඟිය හැකිවා සේම, අපගේ රසඥතාව නිදහස් ලෙස ක්‍රියාවට නැඟීමට අප උගන්නා තරමට, සෑම ආකාර විශේෂඥතාවන් හා අවරසිකභාවයන්ට ඉහළින් නැඟි සිටීමට අපට හැකිය.”

5.

ආශ්‍රිත ග්‍රන්ථ

Hannah Arendt, “Crisis in Culture” in Between Past and Future
Alain Finkielkraut, Defeat of the Mind
Roy Turner, “Taking the National Pulse, Pedagogy and the Representation of Community,” Dianoia, Spring, 1991
“Friends and Enemies of the Canon,” Queen’s Quarterly

(ඉහත 3, 4, 5, යන කොටස් ද අත් හැර දමා තිබුණි.)

‘කතිකා’ අධ්‍යයන කවය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s