සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය

සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.

මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව ගත් ක‍්‍රියාවලීන් ගණනාවක් තුළ හඳුනාගත හැකි වෙයි.

එය නම්, ජනතාව සහ රටට බලපාන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී ඒවායින් මහජනයාගේ ජීවිතවලටත් රටේ අනාගතයටත් ගෙන දෙන හානිකර ඵලවිපාක වැදගත් කොට නොසැළකීමේ ආකල්පයයි. එය ප‍්‍රකාශ වන සිදුවීම් විමසා බලන කළ දැකිය හැකි පොදු රටාවක් මතු වෙයි. එම රටාව මෙසේය. ප‍්‍රතිපත්්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී, ඉන් ආසන්නව බලපෑමට ලක්වන ජනතාවගේ මෙන්ම රටේ සෙසු පුරවැසියන්ගේද අදහස් නොවිමසා තීරණ ගැනෙයි. ඒවා ක‍්‍රියාත්මක කිරීමට රාජ්‍ය බලය යොදා ගැනෙයි. මහජනයා අතරින් ඊට විරෝධය එල්ල වන විට එය නොසලකා තම ක‍්‍රියා මාර්ගයේ දිගටම නිරත වෙයි. විරෝධය උග‍්‍ර වුවහොත් මැර බලය හෝ රාජ්‍ය බලය අයුතු ලෙස හෝ යොදා ගනිමින් විරෝධය මර්ධනයට යොමු වෙයි. නමුත් ඒ සියල්ල තිබියදීත් විරෝධතා දිගින් දිගටම පැවතුණහොත් තම ක‍්‍රියාමාර්ගය වෙනස් කරන්නට හෝ එය නවතා දමන්නට ආණ්ඩුව පෙළඹෙයි.

ආණ්ඩුකරණයේ මෙම රටාව ප‍්‍රකාශයට පත්කෙරෙන සිදුවීම් බොහොමයක් ආණ්ඩුවේ ‘‘සංවර්ධන’’ වැඩ පිළිවෙලට පොදුවේත් එහි ප‍්‍රධාන යොමුවක් බවට පත්ව ඇති සංචාරක කර්මාන්තය වර්ධනයටත් එනිසාම නාගරික ‘‘සංවර්ධනය’’ටත් සුවිශේෂව බැඳී පවතී. මෙම සිදුවීම් සළකා බලන කල පෙනී යන්නේ ජන දිවි පෙවෙතට, රටේ අනාගතයට බලපාන ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේදී ඒ පිළිබඳ මහජන මතය කල් තබා විමසීමේ ප‍්‍රතිපත්තියක් ආණ්ඩුවට නොමැති බවයි.

මේ පිළිබඳ මූලික උදාහරණ කිහිපයක් පමණක් ඉදිරිපත් කිරීමට මෙහි අවකාශ තිබේ. කොළඹ නගරයේ ස්වයං රැකියාවල යෙදෙන්නන් පදික වේදිකාවලින් ඉවත් කිරීමෙන් පටන් ගෙන, පළමුව මීගමුවේත් ඉන් පසුබසින්නට සිදු වූ විට අනෙක් කලපු සහ ජලාශ ආශ‍්‍රිතවත් ධීවර ජනයාගේ දිවි පෙවෙතට හානි කරන සංචාරක ව්‍යාපෘති දියත් කිරීම, නාගරික ‘‘අනවසර’’ පදිංචිකරුවන්ගේ නිවාස ඇතුලූ ගොඩනැගිලි කඩා බිඳ දමා ඔවුන් එම වාසස්ථානවලින් ඉවත් කිරීම, කොළඹ නගරයෙන් දිළිඳු පවුල් 70,000 ක් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කිරීමේ යෝජනාව, නැගෙනහිර සහ අන් ස්ථානවල වෙරළ තීරු වලින් ධීවර ජනයා ඉවත් කිරීම, විදුලි බල මණ්ඩලයේ ආරම්භයේ සිට එහි සිදුවී ඇති වි-කළමනාකරණය හා නාස්තිය කෙටි කලකින් පියවා ලාභ පෙන්වීමට විදුලිබල ගාස්තු හිටි අඩියේ අධික ලෙස වැඩි කිරීම, පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා යෝජනා කළ විශ‍්‍රාම වැටුප් පනත, යුද සමයේ කළ කොළඹ නගරයේ රථ වාහන ගමනාගමන ප‍්‍රතිසංවිධානය යුද්දයෙන් පසුත් පවත්වා ගෙන යාම සහ පුළුල් කිරීම, කොළඹ නගරයේ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පවා ගොඩනැගිලිවල තාප්ප ඉවත් කිරීම, අධික වියදමක් දරා නගරයේ ප‍්‍රභූ කේන්ද්‍රයේ පදික වේදිකා ඉදි කිරීම සහ නගරයේ මංමාවත් අලංකරණය මඟින් නගරය සුන්දරකරණය, නගරයේ මහජන ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, ආණ්ඩුවට අයත් ඉඩම් විදේශීය පෞද්ගලික ව්‍යවසායකයින්ට අළෙවි කිරීම දක්වා සියල්ලම ඉහත සඳහන් කළ පොදු රටාවට අඩු වැඩි වශයෙන් ඇතුළත්ව, වෙනස්කම් සහිතව සිදු වූ ක‍්‍රියාවලීන්ය. මින් ඇතැම් ක‍්‍රියාවලීන් රට පුරා ව්‍යාප්තය.

තමන් අයිතිකරු ලෙස නොව, හුදෙක් භාරකරු ලෙස වගකීම භාරගෙන ඇති ආණ්ඩුවක් ප‍්‍රතිපත්ති ක‍්‍රියාකිරීමේදී අයිතිකරු ලෙස හැසිරෙන තැනට පත්ව තිබීම පිටුපස ඇති ඉහත ආකල්පයට පදනම කුමක්ද?

එම පදනම ඇත්තේ, ‘‘සමාජීය ඉංජිනේරුකරණය’’ කෙරෙහි විශ්වාසය තැබීමෙහිය. එහි අදහස තාක්ෂණතන්ත‍්‍රය විසින් කල් තබා සකස් කරගත් සැළසුම් මත මානව සමාජයේ කටයුතු හිතු මතයේ සංවිධානය කිරීමට නිලධාරීතන්ත‍්‍රය යොමුවීමයි. ආණ්ඩුව සහ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් විසඳා ගත යුතු, දේශපාලන ගම්‍ය වීම් ඇති ප‍්‍රශ්න තාක්ෂණික ප‍්‍රශ්න බවට ලඝු කිරීමයි. සමාජීය ඉංජිනේරුකරණයට තමන්ගේ ක‍්‍රියාවට ලක්වන ජනයා පෙනෙන්නේ ජීවමාන මිනිසුන් ලෙස නොව හුදෙක් සංඛ්‍යා ලේඛන, දත්ත සහ අංක ලෙස පමණි.

මෙම ක‍්‍රියාවලියෙහි අධිපතිභාවය දරන්නේ තාක්ෂණතන්ත‍්‍රය සහ නිළධාරිතන්ත‍්‍රයයි. රාජ්‍යය ශක්තිමත් වන විට, දේශපාලනඥයන් සතුටු කිරීමට අවශ්‍ය වාසි සහ පහසුකම් ඔවුනට සලසමින් රාජ්‍යයේ නියම හිමිකරුවන් වන්නේ, රාජ්‍යය තමන්ගේ අණසක පැතිරවීමට සහ සුඛ විහරණය සඳහා යොදා ගන්නා නිළධාරිතන්ත‍්‍රයයි.

දැනටමත් මෙම ආණ්ඩුවට දකුණේ ගැමි ජනතාවගේ බහුතරයක විශ්වාසය දිගින් දිගටම පළ වී තිබේ. ඉදිරියේදී එළඹෙන ජාතික මට්ටමේ මහ මැතිවරණ දිනන්නට නම්, කම්කරු පන්තියේ, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ, නාගරික දිළින්දන්ගේ සහ මුහුදු බඩ ධීවරයන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහ නාගරික මැද පන්තිකයන්ගේ ප‍්‍රසාදයද ආණ්ඩුවට දිනා ගත යුතු වෙයි.

නමුත් මෙය හුදෙක් ඡුන්ද දිනා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක්ම නොවේ. අපගේ සමාජය බෞද්ධ චින්තනය මත පදනම් වූ දැහැමි සමාජයක් කළ හැක්කේ ධනේෂ්වර සංවර්ධන ඉලක්ක අරමුණු කොට, ඊට නොගැළපෙන විවිධ ජන කොටස් බලහත්කාරයෙන් සමාජයෙන් පිට මං කිරීමෙන් නොවේ. සියලූ ජනයාට තම දිවි පෙවෙත ගොඩ නඟාගෙන පවත්වා ගෙන යාමට ඇති මානව හිමිකම තහවුරු කෙරෙනල අදාල සියලූ දෙනාගේ මත විමසා සාධාරණය ඉටු කරන්නට කැපවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරන ක‍්‍රියාවලියක් තුළින් පමණි.

සමාජීය ඉංජිනේරුකරණය පිළිබඳ අදහස් ගැළපෙන්නේ බෞද්ධ චින්තනය මෙන්ම බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී චින්තනයේද ආභාෂය ලබා ඇති සමාජ භාවිතාවන් මුල් බැස ගෙන ඇති අපගේ වැනි රටකට නොව, ඒකාධිපති පාලන ක‍්‍රමයකට ඇලූම් කරන රටකටය.

පුරවැසියා විසිනි.

‘ශක්තිය‘ පුවත් පතේ 2011 ජූලි කලාපයේ ‘දේශපාලන සටහන‘

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s