‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්කුමුදු කුසුම් කුමාර‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ යන මැයෙන් නාමල් උඩලමත්ත ‘දිවයින-වටමඬල’ අතිරේකයට (2013 මැයි 16) ලියූ ලිපිය පිළිබඳ ලියමි.
එම ලිපියට මාතෘකා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් මැයි 2 දා සංවිධානය කළ ‘සාහිත්‍ය සහ ඉතිහාසය’ නමැති සංවාදයේදී මා කීවේ යෑයි කියන අදහසක් නාමල් උඩලමත්ත මෙසේ සඳහන් කරයි. ‘අමරසේකර සිය කෘති ඔස්‌සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම්කර ගැනීම පරස්‌පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය’
නාමල් උඩලමත්ත එසේ කියා ඒ පිළිබඳ විවේචනයක් කරයි. මා මේ ලියන්නේ එම විවේචනය පිළිබඳ නොවේ. එම විවේචනය ගොඩනැංවීමට ඔහු පාදක කරගන්නා මා කීවේ ඔහු යෑයි කියන අදහස පිළිබඳවය. විශේෂයෙන්ම පාඨකයා මා පිළිබඳ වැරැදි හැඟීමක් ඇතිකර ගැනීම වළක්‌වාලීමටය.
නාමල් උඩලමත්ත සඳහන් කරන මෙම කරුණට අදාළව මා කී දේ, එම සංවාදය පටිගත කළ හඬ පටයට අනුව පහත දැක්‌වෙන පරිදි වෙයි. මෙහිලා ප්‍රකාශිත මූලික අදහස වෙනස් නොකරමින් අදහස් වාක්‍ය වලට නගා ඇත.
‘ගමනක මුල’ කෘතියෙන් ආරම්භ වන ගුණදාස අමරසේකරයන්ගේ නවකතා මාලාව පසුබිම් කරගන්නා ඉතිහාසය සමග අප නූතනත්වයට, යටත්විජිතවාදයට විවරවීමේ ඉතිහාසයද ගැට ගැසී ඇත. මෙය විවේචනය කිරීම අමරසේකරයන්ගේ නවකතා මාලාවේ එක් අරමුණකි. යටත්විජිත ඉතිහාසයෙන් අපට ඇතුළුවූ නූතනත්වයේ හර පද්ධතිය පිළිබඳ කරුණ මෙයට අදාළය. පේරාදෙණි ගුරුකුලය පිළිබඳ එල්ල කෙරෙන අමරසේකරයන්ගේ විවේචනය නූතනත්වයත් සමග ආ හර පද්ධතිය පිළිබඳ විවේචනයක් ලෙසින් ගත හැකිය.
මට ඇති එක් ගැටලුවක් නම් අමරසේකරයන්ගේ සිතීමේ ක්‍රමයත් සමග කොතෙක්‌දුරට නූතනත්වය ගැට ගැසී ඇත්තේද යන කරුණයි. මෙය ජාතිකත්වය පිළිබඳ ලිපි ලේඛන කියවනවිට දිගින් දිගටම අප හමුවේ මතුවන කරුණකි. මෙයට උදාහරණයක් දක්‌වතොත්, නවකතාවේ චරිත තුළින් ඉදිරිපත් වන අදහස් මෙන්ම චරිත අතර ඇතිවන අදහස් ගැටීම අතරින්ද දිවෙන හුයවල් බඳු කරුණු අපට සොයාගත හැකිය. එබඳු එක් කරුණක් නම් ද්වෛතයන් පිළිබඳ කරුණයි. ඒ අනුව සමාජ සංසිද්ධීන්, සමාජ පරිකල්පනාව දෙකට බෙදී ඒවා අතර ඇතිවන ගැටුම විටෙක ප්‍රකාශ වන්නේ කලු සුදු ආකාරයෙනි. මේ සඳහා උදාහණ වශයෙන් කය සහ මනස පිළිබඳ බෙදීම, අනුරාගය නැතහොත් ලිංගිකත්වය සහ ප්‍රේමය පිළිබඳ බෙදීම, හදවත සහ අධ්‍යාත්මය අතර බෙදීම, අඳුර සහ ආලෝකය පිළිබඳ බෙදීම (මෙහි ආලෝකය ඇත්තේ සංස්‌කෘතිය, ශිෂ්ටාචාරය පසයි) යනාදිය ගත හැකිය. තවද හිස සහ කවන්ධය පිළිබඳ බෙදීම වෙයි. (මෙහි හිස විචාර බුද්ධිය (rationality, reason ) නියෝජනය කරයි. මේවා නූතනත්වයේ බෙදීම් වෙයි. අමරසේකරයන් පෙන්වාදෙන ආකාරයට අප සමාජය, ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය හිස නැති කවන්ධයක් බවට පත්වීම ජය ගැනීමට හිස නැවත සිටුවීම අවශ්‍ය කෙරෙයි. මේ අනුව සිතන කල අපට ඇතිවන ගැටලුවක් නම් නූතනත්වයේ චින්තනය අමරසේකරයන්ගේ චින්තනය සමග සහ ඔහු ගෙඩනගන චරිතවල සිතීම සමග කොතෙක්‌දුරට බද්ධවී ඇතිද? යන්නයි. අමරසේකරයන් තම කෘතීන් හරහා ගොඩනගන මෙ සිතුවිල්ල ඔහු සඳහන් කරන අපගේ සභ්‍යත්වය විඥානයෙන් සංස්‌කෘතික විඥානයෙන් වෙනස් වන්නේ කෙසේද? යන්න අප සිතා බැලිය යුතුය. මගේ යෝජනාව නම් අපගේ චින්තනයත් සමග ගැට ගැසුණු නූතනත්වයේ චිත්නයෙන් මිදීම සරල දේශපාලන අදහසකට වඩා සංකීර්ණ කටයුත්තකි යන්නයි.
ඒ මා සංවාදයේදී කී අදහස්‌ය. මා සංවාදයේදී එලෙස සඳහන් කරන ද්වෛතයන් (dualities) අමරසේකරයන් ගේ නවකතා තුළින් මතුකොට ගන්නේ අපගේ සිතීම නූතනත්වයේ චින්තනය විසින් හැඩ ගැසී ඇත යන්න අවධාරණය කිරීමට මිස එම යුගල පදවලට අයිති දෑ නූතනවාදී යෑයි කියන්නට නොවේ. මෙහි ලා නූතනවාදී වන්නේ ද්වෛතයන් නැතහොත් සහසම්බන්ධ ප්‍රතිපක්‌ෂයන් ඇසුරෙන් මානව අත්දැකීම් වටහා ගැනීම මිස මානවයන් අත් දකින ලිංගිකත්වය සහ ප්‍රේමය වැනි දෑ නොවේ. මානව අත්දැකීම් සහසම්බන්ධ ප්‍රතිපක්‌ෂයන් ඇසුරෙන් වටහා ගැනීමේදී ද්වෛතයේ ඇති පද යුගල අතරින් එකක් වරප්‍රසාද තත්ත්වයට පත් කෙරෙන්නේය, ඒ මත දේශපාලනය ගොඩනැගීමට ඉඩ ඇත්තේ යන අදහස සමාජ න්‍යායේ දැන් සුලබ අදහසකි.