ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්

සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් දැක්වූ අදහස් මත පදනම්ව අහිලන් කදිරගාමර් විසින් ලියන ලද Trade liberalization in the times of global economic crisis – political and economic implications of ETCA යන ලිපියේ සිංහල පරිවර්තනය පහත පලවේ.

අපේක්ෂා කළ ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීම වෙනුවට දැන් ලෝකය අත්දකිමින් සිටින්නේ වේදනාකාරී අවධමනයකි. 1930 මහා ආර්ථික අවපාතයට පසු අවධමනය විසින් – එනම් මිල ගණන් පහල යාම සහ පාලනය කරගත නොහැකි ආකාරයකට ඉල්ලූමේ සිදුවන සර්පිලාකාර පහත වැටීම විසින්, මේ තරම් ඉහළ මට්ටමකින් ගෝලීය ආර්ථිකය සොලවා දැමූ අන් කිසිදු අවස්ථාවක් නැත.

ලෝකයේ ආර්ථික පොලිස්කාරයන් ලෙස ක්‍රියාකරන බටහිර බලවතුන් වන එක්සත් ජනපදය, ජර්මනිය විසින් නායකත්වය දෙනු ලබන යුරෝපා රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ඔවුන්ගේ නියෝජිතයින් වර්තමාන අර්බුදය ඇති වීම සම්බන්ධයෙන් පාර්ශවීය ලෙස වග කිව යුතු වෙති. 2008 ඇති වූ අර්බුදයේ තීව්‍රතාවය නොතකා ඔවුහු දිගටම ස්වකීය නව ලිබරල් දෘෂ්ටිවාදය වෙත ඇලී ගැලී සිටි අතර මූල්‍ය ප්‍රාග්ධනය නම් වූ සිය ස්වාමියා වෙත ඔවුන් තුළ තිබූ පක්ෂපාතීත්වය නොවෙනස්ව පැවැතිණ. ආයෝජන සහ වාණිජ බැංකු, අන්‍යොන්‍ය හා හෙජිං අරමුදල්, වෝල් වීදියේ හා ලන්ඩන් නාගරිකයේ ලැගුම් ගන්නා පුද්ගලයින්ගෙන් මෙකී මූල්‍ය ප්‍රාග්ධනය මූර්තිමත් වේ. මූල්‍ය ප්‍රාග්ධනය කෙරෙහි වූ මෙම පක්ෂපාතීත්වය දිගින් දිගටම සුබසාධන කප්පාදු වැඩපිලිවෙත් අනුගමනය කිරීම වෙත බටහිර බලවතුන් යොමු කළේය. බැරෑරුම් ආර්ථික විසඳුමක අවශ්‍යතාවය ඔවුන් විසින් සලකා බලනු ලැබුවේ හෝ නැත. මූල්‍යකරණ ක්‍රියාවලිය ආපසු හැරවීම සහ රජය විසින් සිදුකරන නිෂ්පාදනීය ආයෝජන මගින් රැකියා ජනනය වන ආර්ථික වර්ධන ක්‍රියාවලියක් සඳහා මුලපිරීම එබඳු බැරුරුම් ආර්ථික විසඳුමක් සඳහා අවශ්‍ය කෙරේ. ඒ වෙනුවට පෞද්ගලික ණය ප්‍රසාරණය කොට පරිභෝජනය හා සමපේක්ෂණමය ආයෝජන පුලුල් කිරීම ප්‍රවර්ධනය කෙරිණ. මෙම උපාය මාර්ගයේ නිෂ්ඵලභාවය සිතුවාටත් වඩා කලින් මේ වනවිට තහවුරු වී තිබේ.

නව ලිබරල් ගෝලීයකරණය

ගෝලීය ආර්ථික අර්බුදයට පහසු උත්තරයක් නැත. මෙය හුදෙක් 2008 දී පටන් ගත් අර්බුදයක් නොවේ. මෙය 1970 ගණන්වල මැද භාගයේ සිට පැවත එන්නා වූ අර්බුදයක එක්තරා දීර්ඝ වීමකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ දශක දෙකක දීර්ඝ කාලීන ආර්ථික ප්‍රසාරණයෙන් ඉක්බිති මහා පරිමාණයේ ආර්ථික අර්බුදයක් 1970 ගණන්වල මැද ඇති වූ අතර ඇතැම් ආර්ථික විද්‍යාඥයින් එය ලාභ මට්ටම් පහළ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ද ඇතැම් අය එය අව-පරිභෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ද පැහැදිලි කළහ. මෙම අර්බුදයට 1970 දශකයේ අග භාගයේ ඉදිරිපත් කළ විසඳුම වූයේ නව ලිබරල් ගෝලීයකරණයයි. නව ලිබරල් ගෝලීයකරණය විසින් වඩා ඉහළ ලාභ මට්ටම් සහතික කිරීම සහ මූල්‍ය ප්‍රාග්ධනය විසින් ප්‍රාග්ධනය සමුච්චනය කිරීම තහවුරු කිරීම සඳහා ප්‍රාග්ධන ගලනයට හා වෙළඳාමට තිබූ බාධා දිය කොට හැරියේය. එය ශ්‍රමිකයන්ගේ සංවිධානවලට සහ සුබසාධක රාජ්‍යයට පහර දුන්නේය. පුද්ගලිකකරණයට ලක්කළ හැකි සියලු සේවාවන් පෞද්ගලිකකරණය කළේය. මූර්ත වැටුප් පහල වැටෙන විට ලෝකය පුරා ජීවත් වන ශ්‍රමික ජනතාව ණය මත පරිභෝජනය කිරීමට යොමු වූ අතර ආර්ථිකය දුවවන ධාවක බලවේගය බවට පත්වූයේ මෙම ණය ක්‍රියාවලියයි.

1930 ගණන්වල ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු සිදුවූ ධනවාදී ආර්ථිකයේ පුනර්ජීවනයට අදාලව ඉදිරිපත් වූ විකල්පය මීටත් වඩා භයානක වූවකි. එම විකල්පය ලෝක යුද්ධයක ස්වභාවය ගත් අතර ආර්ථිකයන් නැවත ගොඩනැගීමට පෙර ඒවා එහෙම් පිටින්ම ඒ අනුව විනාශ කොට දමන ලදී. 1970 ගණන්වල ඉදිරිපත් වූ නව ලිබරල් ගෝලීයකරණය කිසිසේත්ම අර්බුදයට විසදුමක් වූයේ නැත. එය හුදෙක් දීර්ඝකාලීන අර්බුදයක් නැවත නැවත හා වඩාත් තීව්‍ර ලෙස ඇති වෙන මූල්‍ය අර්බුදයන්ගේ වේශයෙන් දිග්ගසනු ලැබුවා පමණි.

පසුගිය දශකය පුරාවට නැගී එන වෙළඳපොලවල් පිළිබඳ වූ රෝස පැහැයෙන් පින්තාරු කරනු ලැබූ ආඛ්‍යානයන් විය. බ්‍රික්ස් රටවල් ( බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව) සහ එම රටවල විභවය ගැන විවිධ කථා බහ ඒ අනුව දක්නට ලැබුණි. ඇත්තටම ආයෝජන සොයාගෙන මෙම බ්‍රික්ස් රටවලට ගලා ආ ප්‍රාග්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මේ රටවල අති විශාල ආර්ථික වර්ධනයක් ඇති වූ බව සැබැවි. කෙසේ වූවද එම ආයෝජනවල වැඩි පංගුව යොමු වී තිබුණේ යටිතල පහසුකම් හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍ර දෙසටය. එම නිසා මෙම ආර්ථික වර්ධන ක්‍රියාවලිය මූල්‍ය ප්‍රාග්ධනයේ සමපේක්ෂණ තර්කයෙන් නිදහස් වූවක් නොවීය.

චීනයේ ආර්ථික වර්ධන වේගය අඩාල වීමත් සමග ඊට පිරිනමා තිබූ දිව්‍යමය ස්ථානයෙන් චීනය මේ වනවිට පිරිහෙලී තිබේ. දැන් දැන් ආසියානු ආර්ථික සංවර්ධනයේ එන්ජිම ලෙස වර්ණනා කරනු ලැබෙන්නේ ඉන්දියාවය. කෙසේ වූවද ඉන්දියාවට සුබ පැතීමට දරන මෙම උත්සාහය තවමත් ඉක්මන් වැඩිය. යම්තම් වසර තුනකට පෙර ප්‍රාග්ධනය ආපසු ගලනයක තර්ජනයකට ලක්වූ ඉන්දියාව බැංකු අර්බුදයක මුවවිට සිටියේය. මෙහි තිබෙන ප්‍රශ්නය චීනයද ඉන්දියාවද යන්න නොවේ. රටවල්වල හා ජාතික මූල්‍ය පද්ධතීන්වල සියලුම සීමාවන් හා ආරක්ෂණයන් විවෘත කරනු ලබන පසුබිමක් තුළ එක් ස්ථානයක උද්ගත වන විශාල අර්බුදයක් ඉතා පහසුවෙන් සුනාමියක් ලෙස සියල්ල විනාශ කරමින් වෙනත් ස්ථානවලට ද පැතිරී යන අතර වර්තමාන ගෝලීය ආර්ථික පද්ධතියේ මෙන්න මේ බිඳෙන සුලු සැකැස්මය සැබෑ ප්‍රශ්නය වන්නේ.

රාජපක්ෂ රෙජිමය සහ මූල්‍ය ලිබරල්කරණය

ශ්‍රී ලංකාව යාත්‍රා කරමින් සිටින්නේ මෙබඳු චංචල ගෝලීය ආර්ථික පරිසරයක් තුළය. අප දැන් මුහුණ දී සිටින ජාතික අර්බුදය රටට බාහිරව සිදුවන වර්ධනයන්වල බලපෑමට නොවැලැක්විය හැකි ලෙස විෂය වනු ඇත. 1970 දශකය අගභාගයේ නව ලිබරල් ගෝලීයකරණයේ උද්ගතයට සමගාමීව සිදුවූ විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ලංකාව වඩ වඩා ගෝලීය ආර්ථික බලවේගවලට නිරාවරණය වන්නට පටන් ගත්තේය. කෙසේ වූවද යුද්ධය අවසාන වීමෙන් පසු රාජපක්ෂ රෙජිමය අනුගමනය කළ ප්‍රතිපත්තීන් සමග මූල්‍යකරණය කේන්ද්‍ර කොට ගත් නව ලිබරල් පිළිවෙත් වඩාත් බලවත් ලෙස අනුගමනය වීම ඇරඹිණ.

රාජපක්ෂ රෙජිමයේ ආර්ථික ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ප්‍රශංසාවට ලක්වූ බව මෙහිදී සිහිපත් කරනු වටී. 2009 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් හදිසි අවස්ථා සඳහා වූ ණය මුදල මෙකී ආයතන ආධාර සැපයීම කෙරෙහි දැක්වූ කැපවීමට මනා උදාහරණයකි. මූල්‍යකරණය මගින් අනුබල ලත් ඉදිකිරීම් යටිතල පහසුකම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල සිදුවූ අතර එමගින් සියයට 8 ක් තරම් වූ ඉහළ ආර්ථික වර්ධන වේගයක් ජනනය විය. කෙසේ වූවද මෙකී වර්ධනය දීර්ඝ කාලීන රැකියා නිර්මාණය කරන නිෂ්පාදනීය ආයෝජන ඉහල නැංවීමට දෙනු ලැබූ දායකත්වය අතිශය අවමය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම පිළිබඳ රාජපක්ෂ රෙජිමයේ සියලූ කියා පෑම් මධ්‍යයේ ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන ගණන්වලින් අලෙවි කිරීමේ ක්‍රියාදාමයකට එම රජය මුල පිරීය. තවද ඉදිකිරීම් හා ණය මත සිදුවන පරිභෝජනය මගින් තල්ලුව ලැබූ ආර්ථික වර්ධනය දිගටම පවත්වාගෙන යාම සඳහා එම රජය විදේශ ප්‍රාග්ධන වෙළඳපොලවලින් ණය ගැනීම කෙරෙහි රාජ්‍ය බැංකු හා රාජ්‍ය ආයතන මෙහෙයවූයේය.

මෙම සියලූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස නව ආණ්ඩුවට දැන් ඉහළ පොලී අනුපාතික යටතේ ලබාගත් කෙටිකාලීන වාණිජ ණය ද ඇතුලූ දැවැන්ත ණය ස්කන්ධයක් උරුම වී තිබේ. මේ වනවිට අපනයන වටිනාකම ඉක්මවා සිටින ආනයන වියදමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වී තිබෙන අතර එය පියැවීමට නව ණය නොමැති තතු තුළ සහ විදේශ සංචිත සිඳෙමින් පවතින සන්දර්භය තුළ වඩාත් බැරෑරුම් අර්බුදයක් මෝදු වෙමින් පවතී. ගෝලීය ආර්ථික අර්බුදයක් පවතින පසුබිමක ණය ආපසු ගෙවීම අවලංගු කරන ලෙස ඉල්ලා සිටීම ද සිදුකළ නොහැක්කකි. අපට අපගේ හිඟන පාත්තරය ගෙන නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය යැදීමට ඒ අනුව සිදුවී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරළා අර්බුදයට තුඩු දෙන ආර්ථික ප්‍රතිපත්තීන්ම අනුගමනය කරන ලෙස අපට උපදෙස් දෙනු ඇත. දැනට ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෙටිකාලීන ණය පහසුකම යම් සහන කාලයක් ලංකාවට ලබාදෙනු ඇති බව සැබැවි. ඇතැම් විට ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ ආත්ම විශ්වාසය හා අනුකම්පාව ලංකාව වෙත ලැබී, ප්‍රාග්ධන ගලනයේ සුළඟ ලංකාව වෙත හමා ඒමට ඉඩ තිබෙන අතර ණය ආපසු ගෙවීම සඳහා ඉන් කෙටිකාලීන සහනයක් සැලසෙනු ඇත. එහෙත් ලංකාව එලැඹී සිටින ගමන් මාර්ගය පසුගිය කාලයේ ආර්ථික අර්බුදයන්ට බරපතල ලෙස ලක්වූ රටවලින් එතරම් වෙනස් වූවක් නොවේ. ග්‍රීසියේ හා ලෝකයේ වෙනත් බොහෝ රටවල සිදුවූයේ හරියටම මේ දෙයයි. මූල්‍යකරණය වූ ණය හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම රටවලට කළ උපකාරය නම් ඔවුන්ගේ මිනීවල තව තවත් ගැඹුරට කපා ගැනීම සඳහා ආධාර කිරීමය.


වෙළඳාම ලිබරල්කරණය කිරීමේ න්‍යාය පත්‍රය

මේ මොහොතේ ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්ද? ආර්ථිකයේ තිබෙන අනෙක් ප්‍රධානතම කපොල්ලක් වන වෙළඳාම විවෘත කිරීම දෙස දැන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. ඉන්දියාවේ, බටහිර බලවතුන්ගේ හා ණය දෙන ආයතනවල සහයෝගය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ආර්ථික වර්ධනය හා නිෂ්පාදනය ඉහල නංවනු ලබන විසඳුම ලෙස ඒ අනුව වෙළඳාම ලිබරල්කරණය හුවා දක්වනු ලැබේ. ලෝක බැංකුවේ හා වෙනත් ආධාර දෙන ආයතනවල සහය ලබන, නව ලිබරල් ප්‍රතිපත්තීන් වෙත කැපවී ගත් කොළඹ පදනම් කොට ගත් ආර්ථික බුද්ධි පර්ෂද වෙළඳාම විවෘත කිරීම හරහා ආර්ථිකයේ දීර්ඝ කාලීන පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳ අදහස් ප්‍රචලිත කරමින් ඒ සඳහා වූ දෘෂ්ටිවාදී සාධාරණීකරනය සපයයි. ඔවුන්ගේ සංකීර්ණ තර්කයන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වෙළඳාම ලිබරල්කරණය කිරීම දක්වා පවා විහිදෙන්නකි. එය ග්‍රාමීය ආර්ථිකය අර්බුදයට යවමින් නාගරිකකරණය තීව්‍ර කරන ප්‍රවේශයකි.

ශ්‍රී ලංකාව කෘෂි හා ආහාර නිෂ්පාදිත සැලකිය යුතු ඉහල ප්‍රමාණයකින් ආනයනය කරයි. එවැනි පසුබිමක් තුළ වුව ග්‍රාමීය ආර්ථිකය මත ආයෝජනයන් සිදු නොවිය යුතු බවට ආධාර දෙන ආයතන වගබලාගෙන තිබේ. වාහන ඇතුලූ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය දිගටම ආණ්ඩුව විසින් කරගෙන යනු ලබන විට ඒ සම්බන්ධයෙන් බුද්ධි පර්ෂදයන් හා ආධාර දෙන ආයතන මුනිවත රැක්කේය. ඒ එවැනි ක්‍රියාමාර්ග ආනයන ඉහල නැංවීමට හා ගෙවුම් ශේෂ ගැටලු ඇති කිරීමට හේතුවක්ව තිබියදීය. වෙලඳාම විවෘත කිරීම වෙත මෙම කණ්ඩායම්වල තිබෙන කැපවීම කෙතරම් ද යත් කවර ආකාරයක හෝ ආනයනයක් සාදරයෙන් පිලිගනු ලැබෙන අතර ඒ නිසා මතු වී තිබෙන අර්බුදය වෙලඳාම තවදුරටත් ලිබරල්කරණය කිරීම සඳහා වූ අවස්ථාවක් ලෙස ඔවුන් විසින් හඳුනාගනු ලැබ ඇත.

රාජපක්ෂ රෙජිමය විසින් සිදුකළ මූල්‍ය ලිබරල්කරණය වසර කිහිපයකට පසු බැරෑරුම් අර්බුදයක් ජනිත කළේ කෙසේද නව ආණ්ඩුව විසින් මුල පුරා තිබෙන වෙලඳාම ලිබරල්කරණය පවතින අහිතකර ගෝලීය කොන්දේසි තුළ ඉදිරි කාලයේ දී වඩාත් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමට නියමිතය. මූල්‍ය ලිබරල්කරණය ජනයා ණයගැතිභාවයට පමුණුවන අතර වෙළද ලිබරල්කරණය ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට හා රැකියාවන්ට විවෘතව පහර ගසනු ඇත. ජාත්‍යන්තර තරගය විසින් පතුල දක්වා දිවෙන තරගකාරීත්වයක් නිර්මාණය කරන නිසා වැටුප් මට්ටම් හා කම්කරු අයිතීන් අවප්‍රමාණය කිරීමේ විභවය වෙළඳාම ලිබරල්කරණය සතුය. තවද ගෝලීය ආර්ථික අර්බුදයත් සමග ලෝකය පුරා භාණ්ඩ සඳහා වූ ඉල්ලුම පහත වැටෙමින් තිබෙන මෙම මොහොත මෙවැනි ක්‍රියාමාර්ගයක් සඳහා අතිශය අනුචිත කාලයකි. එවැනි පසුබිමක් යටතේ වෙළඳාම විවෘත කිරීම ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළඳපොලක් ආනයනය කළ භාණ්ඩවලින් පිරී ඉතිරී යාම සඳහා හේතු වනු ඇති අතර එය විනාශය සඳහා අතවැනීමක් බඳුය.

ගෝලීය ආර්ථික අර්බුදයක් පවත්නා අවස්ථාවල සිදුවිය හැකි නරකම දෙය නම් විශාල වෙළඳපොලකින් යුක්ත ප්‍රධාන පෙලේ ආර්ථිකයන් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙත එලැඹීමය. විශාල ආර්ථිකයන් මෙලෙස ස්වකීය දේශසීමා වසා ගන්නේ නම් එය ගෝලීය ආර්ථිකය බරපතල ඇණහිටීමක් වෙත පමුණුවනු ඇත. මිල පහළ යාම් හා භාණ්ඩ වඩ වඩාත් ලාභ වීම විසින් සංලක්ෂිත ගෝලීය අවධමනය තමන්ගේ වෙළඳපොලවල් ආරක්ෂා කරගැනීම සඳහා ස්වකීය වෙළඳ දේශසීමා තර කරගැනීම දෙස රටවල් පෙළඹවීමේ හැකියාවෙන් යුක්තය. ගෝලීය ඉල්ලුම සහ නිෂ්පාදනය ඉහළ නංවනු වෙනුවට මෙබඳු ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගයන් විසින් අර්බුදය වඩාත් තීව්‍ර කරනු ඇත. අවධමනයට දේශපාලන මිලක් ද ඇත. විදේශිකයින් කෙරෙහි තිබෙන නුරුස්නාභවය සහ ජනතාවගේ ආර්ථික දුක්ගැනිවිලි හා භීතීන්වල වගකිව යුත්තන් ලෙස “බාහිර පිරිස්” පින්තාරු කොට දැක්වීම ස්වෝත්තමවාදී හා ඇතැම් විට ෆැසිස්ට්වාදී ව්‍යාපාරවලට පවා මග පෑදිය හැක.

ශ්‍රී ලංකාව අද වනවිට අවධමනයට ලක්වූ ගෝලීය ආර්ථිකයට අදාළව අවදානම් දෙකකට මුහුණ දී සිටී. පළමුවැන්න ගෝලීය වෙළඳපොල තුළ අධි නිෂ්පාදනයක් හා මිල ගණන් පහළ වැටීමක් පවතින අවස්ථාවක ආණ්ඩුව විසින් වෙළඳාම විවෘත කිරීමේ අඥාන තීරණය වෙත යොමු වීමේ අවදානමයි. එය රට තුළ නිෂ්පාදනය අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. දෙවැන්න රටේ ආර්ථික දුක්ගැනිවිලි මත අවධාරණය යොදමින් එය වෙළඳාම ලිබරල්කරණය පිළිබඳ තිබෙන භීතින් සමග සම්බන්ධ කොට ජාතිවාදී හා ස්වෝත්තමවාදී ලෙස මහජනයා සංවිධානය කිරීමට රාජපක්ෂ රෙජිමයේ ඉතුරු බිතුරුවල තිබෙන යොමුවයි. පලමුවැන්න විසින් ඇති කළ හැකි ආර්ථික හානිය තරමට දෙවැන්න විසින් ඇති කළ හැකි දේශපාලන හානිය එක ලෙස මාරාන්තිකය. තමන්ගේ ආර්ථික අසමත්වීම් කෙරෙහි යොමු වන අවධානය වෙනතක හැරවීම සඳහා රාජපක්ෂ රෙජිමය මුස්ලිම් ව්‍යාපාරවලට එරෙහි ප්‍රහාර දිරි ගන්වමින් රට වාර්ගික වශයෙන් ධ්‍රැවීකරණය කිරීම දෙස යොමු වූයේ යම්තම් මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී සිහිපත් කරනු වටී.


එට්කා හරහා වාං දොරවල් හැර දැමීම

ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව සමග ආයෝජන හා සේවාවන්ට අදාලව අත්සන් කිරීමට යෝජිත වෙළඳ ගිවිසුම වන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා ගිවිසුම) කේන්ද්‍ර කොට ගෙන විශාල වාද විවාද පැන නගිනු පසුගිය කාලයේ දී දැකගැනීමට හැකි විය. දැනට මහජනයාගේ දැනගැනීම සඳහා තිබෙන්නේ යෝජිත ගිවිසුම පිළිබඳ දළ සැකිල්ලක් පමණි. ඉදිරි මාස කිහිපය තුළ වඩාත් විස්තරාත්මක වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වූ කැපවීම එමගින් ප්‍රකාශ වී තිබේ. එට්කා පිළිබඳ කිසිදු සාකච්ඡාවක් හුදෙක් එට්කා ගිවිසුමට සීමා කළ නොහැක්කේ ඒ නිසාය. ඒ පිළිබඳ කෙරෙන ඕනෑම සාකච්ඡාවක් වෙළඳාම ලිබරල්කරණය නමැති පුලුල් මාතෘකාව සමග සම්බන්ධ කළ යුතු අතර ගෝලීය ආර්ථික අර්බුදයක් පවතින වකවානුවක වෙළඳාම ලිබරල්කරණය කිරීමට අදාළ වාං දොරවල් හැර දැමීමේ අවදානම පිළිබඳ එහි දී අවධානය යොමු විය යුතුය. චීනය හා එක්සත් ජනපදය ආදී බලවතුන් සමග තවත් වෙළඳ ගිවිසුම් ඇති කරගනිමින් ඉදිරියට යාමේ අවශ්‍යතාවය දැනටමත් ආණ්ඩුව විසින් ප්‍රකාශ කොට තිබේ.

ස්වකීය කලාපීය හෙජමොනිය තහවුරු කරගැනීමේ අරමුණ මත එට්කා හෝ එවැනි වෙනත් ගිවිසුමක් ඇති කරගැනීමට ඉන්දියාව මහත් සේ උනන්දු වනු ඇත. එය ආර්ථික හේතුවලට වඩා දේශපාලන හේතු නිසා එන ප්‍රේරණයකි. පසුගිය දිනෙක ඉන්දීය කැබිනෙට්ටුව ලංකාවේ නමට මාස තුනක කාලයකට හෝ ලංකාව වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය ලැබෙන තෙක් දක්වා වූ කාලයකට බලපවත්වන ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදල් ආධාරයක් අනුමත කළේය. මෙම ආධාරය ලැබෙන්නේ මාස තුනක කාලයකට සාර්ක් සංවිධානයේ රටවල් සඳහා ඉන්දියාව ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍ය පහසුකම ලංකාව විසින් ලබාගෙන අවසාන වූ විගසය. තවද ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ණය ආධාරයක් ලබාගත් අතර එය කල් ඉකුත් වූයේ මෙම මාර්තු මසය. තමන්ගේ විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව වඩ වඩා ඉන්දියාව මත යැපෙන බවත් එහි ප්‍රතිඵල ලෙස නව වෙළඳ ගිවිසුමට අදාලව ලංකාව මත ඉන්දියාව විසින් යොදන පීඩනයට සැලකිය යුතු මට්ටමකින් අවනත වීමට ලංකාවට සිදුවන බවත් පැහැදිලිය.

ඉන්දීය ආණ්ඩුවට මෙබඳු වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් තිබෙන උනන්දුව මූලික වශයෙන් දේශපාලනික හේතු නිසා ඇති වූවක් වන නමුත් ගිවිසුම යථාර්ථයක් වූ පසු ඇතැම් ඉන්දීය ව්‍යාපාර විසින් ඉන්දීය රාජ්‍යයයට තිබෙන අසමමිතික බලය ශ්‍රී ලංකාව වෙත ආක්‍රමණශීලී ලෙස යොමු වීම සඳහා යොදාගැනීමේ සම්භාවිතාවයක් තිබේ. නූතන ලෝකය තුළ රාජ්‍යයන්ගේ දේශපාලන තර්කනය සහ ධනවාදී ව්‍යාපාරවල ආර්ථික තර්කනය බහුවිධ ආකාරයන්ගෙන් සමපාත වෙමින් ක්‍රියාත්මක වේ. එබඳු ගතිකයන් විසින් ඇති කළ හැකි ආර්ථික කොන්දේසි සහ සැක සංකාය රාජපක්ෂ රෙජිමයේ අපකීර්තිමත් ශේෂයන් විසින් ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සඳහා භාවිතා කරනු ඇත්තේ.

රැකියා නිර්මාණය කිරීම ද ඇතුලත් ආර්ථික වර්ධනයකට දායක වීමේ හැකියාව වෙළඳාම සතුය. එහෙත් එය නිසි ලෙස සංවිධානය කළ යුතු වන අතර විශ්වසනීය ආර්ථික දැක්මක් හා කාර්මික ප්‍රතිපත්තියක් තුළ එය ස්ථානගත කළ යුතුය. ශ්‍රී ලංකාවට මේ මොහොතේ නැත්තේ ද එවැනි දැක්මක් හා ප්‍රතිපත්තියකි. රාජපක්ෂ රෙජිමය විසින් යුද්ධය නිමාවීමෙන් ඉක්බිති ප්‍රවර්ධනය කළ ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොලවල් සමග වඩ වඩා ආබද්ධ වීමේ සහ මූල්‍ය ප්‍රාග්ධනය රට තුළට වඩ වඩා ඇද ගැනීමේ ක්‍රියාදාමය විසින් වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට අදාළ පසුබිම නිර්මාණය කරනු ලැබිණ. මෙලෙසම වෙලඳාම විවෘත කිරීම සහ කෙටිකාලීන උපකාර අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා වෙළදාමට අදාලව ගෝලීය වෙළඳපොල සමග වඩ වඩාත් ආබද්ධ වීම, එලැඹෙන වසර කිහිපය තුළ වඩාත් බරපතල අර්බුදයක් සඳහා පාර කැපීමට නියමිතය.