‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට ස්ථායීභාවයැයි කීහ. ’

– ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ ඵලවිපාක වලින් ඉගෙන ගත හැකි පාඩමක්

‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට සාමය යැයි කීහ.’ – යානිස් වරූපාකිස්

( යානිස් වරූපාකිස් ග්‍රීසියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ, IMF ) ට යාමට යුරෝපීය සංගමය විසින් බලකරනු ලැබූ විට එරට රජයේ මුදල් ඇමතිව සිටියේ ය. ග්‍රීසිය වෙනුවෙන් ජාමූඅ සමග සාකච්ඡාවල නායකයා ලෙස කටයුතු කළ ඔහු ජාමූඅ විසින් ග්‍රීක ජනතාව මත පටිතද කර ගැනීම් පැනවීමට කළ යෝජනා ප්‍රතික්ෂේප කොට එම සාකච්ඡා වලින්  බැහැර වීය.) 

එච් කේ ( HK ) නමැති 12 හැවිරිදි බෙල්ජියම් සිසුවකු/වියක, පාසලේ පංතියේ ඉදිරිපත් කිරීමක් සඳහා  ප්‍රශ්නයක් තෝරා ගෙන ඒ පිළිබඳ  යානිස් ගේ මතය විමසීය. ප්‍රශ්නය මෙසේ වීය: “ ග්‍රීසියේ වසර කිහිපයකට පෙර මූල්‍ය අර්බුදයේ සමාජ බලපෑම වූයේ කුමක්ද, නැතහොත් එය කුමක්ද?” යානිස්  එච් කේ වෙත නැවත විද්‍යුත් තැපෑලෙන් යැවූ පිළිතුරෙහි මෙසේ සඳහන් වීය :

2008 ගෝලීය මූල්‍ය අර්බුදය, එය 2010 දී ග්‍රීසියට ළඟා වන විට, මගේ මව්බිම තුළ විනාශකාරී අර්බුදයක් ඇති විය. දරුණු  ලැව් ගින්නක් බඳු වූ එහි ගිනිදැල් මැකී ගිය පසු, 2017 දී, ග්‍රීසියේ සමාජ ආර්ථිකයේ සමස්ත පරිසර පද්ධතියම සමාජ-ආර්ථික කාන්තාරයකට සමාන විය. අපට ලක්ෂ සංඛ්‍යාත හොඳින් උගත් තරුණයින් (අපගේ තරුණ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් ඇතුළුව!) අහිමි විය, කුඩා ව්‍යාපාර ස්ථිර බංකොලොත් භාවයකට ඇද වැටුණි, රජය ස්ථිර ලෙස බංකොලොත් වී ඇත, ඒ අනුව, එහි ජාත්‍යන්තර ණයහිමියන් විසින් අධික බදු අනුපාත අය කිරීමට බලකෙරෙනු ලදුව,  කුමන හෝ  ‘හරිත රිකිලි’ මතු වුවත්  ඒවා ඉක්මනින් වියළී වියැකී යයි. රාජ්‍ය හා පෞද්ගලික ණය ක්‍රමානුකූලව කපා දැමීමක් සිදු නොවන්නේ නම්, මෙම සුන්දර රට සංචාරකයින්ගේ අපූරු ක්‍රීඩා පිටියක් ලෙසත් එහි වැසියන්ට ණය උගුලක් ලෙසත් පවතිනු ඇත. ග්‍රීසිය දැන් සාමකාමී බවත් ණය ප්‍රශ්නයෙන් බැහැර බවත් අවධාරනය කරන අයට, ටැසිටස් (Tacitus ) වරක් පැවසූ දේ මතක් කර දිය යුතුය: ‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට සාමය යැයි කීහ ‘ (Ubi solitudinem faciunt pacem appellant ).

ලංකාවේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ අපේ අත්දැකීමෙන් පසු කියන්නට සිදුවනු ඇත්තේ ‘ ඔවුහ කාන්තාරයක් සාදා එයට ස්ථායීභාවයැයි කීහ’  කියා ය.  

‘කතිකා’