2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය – විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි

2010 ජනාධිපතිවරණය- දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය
– විදුර ප‍්‍රභාත් මුණසිංහ විසිනි

හෙට 2010 ජනාධිපතිවරණය පැවැත්වෙයි. මීට මාස 8 කට පමණ පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග තරඟ කිරීමට සිතීම පවා කෙනෙකු කරන්නේ කෙසේදැයි ඇසූ සමාජයක් වෙනදා පුරුදු ඡුන්දයකදී මෙන්ම දෙපිලකට බෙදී සිටින්නේ එකී මහින්ද රාජපක්‍ෂ එහි අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදීමය. ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස යුධ ජයග‍්‍රහණයේදී ඔහු සමඟ සිටි ඔහුගේ යුධ හමුදාපතිවරයා ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වයම යුධ ජයග‍්‍රහණයේ සුජාත අයිතිය තමන්ට හිමිවිය යුතු බව කියා සිටිති. මෙවන් සන්දර්භයක් තුල වර්තමාන නිමේෂයෙහි කිසියම් මූල බීජයක් යුධ ජයග‍්‍රහණයේ නිමේෂය හා බැඳී පවතින්නේ යැයි සිතිය හැක. එබැවින් වර්තමාන මෙහොත පිලනිබඳ උදහසක් දැක්වීමට ප‍්‍රවේශයක් ලෙස 2009. 05. 19 වන දින එනම් යුධ ජයග‍්‍රහණයෙන් ප‍්‍රභාකරන්ගේ මරණයෙන් දිනකට හෝ දෙකකට පසු මවිසින් ලියන ලද ලිවීමක කොටසක් උපුටා දක්වමින් ආරම්භ කිරීම උචිත යැයි සිතමි.

“ප‍්‍රභාකරන් අවසන්ය. මේ රතිඤ්ඤා හඬේ, අසීමිත පී‍්‍රතියේ, නිමක් නැති නිදහසේ තේරුම කුමක්ද ? දැන් අපිට, අපගේ කිසිදු කි‍්‍රයාකාරකමකට බාධාවක් නැත. මෙතෙක් ඔබ හා මා හමුවුයේ ත‍්‍රස්තවාදයට බියපත්වූ සමාජයක ප‍්‍රභාකරන් නම් අතුරු මුහුණත තුලිනි. දැන් අතුරු මුහුණත අවසන්ය. ඔබට ඍජුවම මා දැකිය හැක. අපගේ නිම්හිම් නැති සංතෘෂ්ඨිය කෙළවර අපි අපගේ පැවැත්මේ තර්ජනයකට මහුණදී ඇතිතෙමු. දැන් බාධාවකින් තොරව නග්න ලෙස මා හමුවන ඔබට මුණගැසෙන්නේ කුමක්ද ? සියලූ ප‍්‍රබන්ධයන් අවසන්ව ගිය තැන ඔබ දකින්නේ මගේ හොඳකම්, බැරිකම්, දුෂ්ඨකම්, කුහකකම්, ම්ලේච්ඡකම් සියල්ල නිරාවරණයව ඇති අයුරුය. මේවා වසා තැබූ අතුරු මුහුණත අවසන්ය. ඔබගේ ඒ සියල්ලද මට නිරාවරණය වෙයි. මෙවැනි සමාජයක් මහා බිහිසුනු අන්තරායකට මුහුණ දෙයි. මේ ක්ෂතිමය මොහොතේ උදාවද මේ අපි සමරන්නේ..”

යුධ ජයග‍්‍රහණයේ දිනය වනතුරු දකුණේ සමාජයට අවිවාදාත්මකව එකඟතාවයකට පත්විය හැකි දුෂ්ඨ නපුරු අයහපත් බලවේගයක් විය. ඒ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ ඔහුගේ සංවිධානයයි. ඒ අනුව සියලූ දුෂ්ඨකම්වල, නපුරුකම්වල උල්පත, ඒවායේ නියෝජිතයා, කොන්ත‍්‍රාත්කරුවා හා සහචරයා එය විය. එනම් ශී‍්‍ර ලංකාව දෙකඩ කිරීමේ වුවමනාව, සිංහල ජාතිය විනාශ කිරීමේ කෲර චේතනාව, අතාර්කික හෝ උන්මත්තක යැයි අප පරිකල්පනය කරන ලේ පිපාසය, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන්, කි‍්‍රස්තියානි මිෂනාරි කුමන්ත‍්‍රණ, ඒකාධිපතිවාදී පාලනය, අවනීතිය, ම්ලේච්ඡත්වය සහ සාමාන්‍ය ජනතාවගේ ධනය සූරාකමින් නායකයින් සුර සැප විඳීම, මානසික රෝගී හැසිරීම් සහිත නායකයින් යනාදී සියල්ල කරපින්නාගෙන සිටියේ ඒ අසහාය දුෂ්ඨත්වය දරාසිටි ප‍්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය යන භෞතිකය විසිනි (මේ සියල්ල පිලිබඳ අඩු වැඩි චෝදනා හා මැසිවිලි වෙනත් අය වෙතද මේ කාළය තුල එල්ලව තිබිය හැකි වුවද මා කියා සිටින්නේ මහජන කතාකිව තුල මේ සියල්ලේ පරම වගඋත්තරකරුකොට තිබුණේ ප‍්‍රභාකරන් වන බවයි. නොඑසේනම් අනෙක්වා ප‍්‍රභාකරන්ගේ දුෂ්ඨත්වය ඉදිරියේ නොතකාහැර සිටියහැකි තරමේ ඒවා විය.)ප‍්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය යන භෞතික ශරීරයන් විනාශකොට දැමුනු පසුව මේ අසීමිත (පරිකල්පනය කළහැකි නරකම) දුෂ්ඨත්වය දරා සිටීමට තනි ශරීරයක් අහිමිව යන ලදී.

අනතුරුව සිදුවූයේ අප කිසිසේත් නොසිතූවිරූ දෙයකි. යුධ ජයග‍්‍රහනය සමරමින් කිරිබත් කෑ අපි කිරිබත් මතෙන් නිදාගෙන නැගිටින විට තත්වයන් වෙනස්ව තිබුණි. ප‍්‍රභාකරන් හා ඔහුගේ සංවිධානයේ මියගිය සිරුරුවලින් නික්මුනු ඒ අදිසි දුෂ්ඨ බලවේගයෝ ඒ දුප්පත් සිරුරු හැරදා තටු සලා ඉගිලගොස් සමස්ථ ලාංකීය සමාජයේ සෑම අස්සක් මුල්ලක් කරාම පියඹාගොස් ලාංකීය මිනිස් ආත්මභාවයන් තුලද කිඳාබැස ඒවායෙහි වැදී සැඟව ගත්හ. දැන් එලැඹ ඇත්තේ ප‍්‍රභාකරන්නේ මෘත ශරීරය මතින් නැඟීසිටි ඒ දුෂ්ඨ බලවේගයන් ලාංකීය මිනිස් සන්තානයන් පත්ලෙන් ඉවතට ඇද විනාශකොට දැමීමේ නිමා නොවන අරගලයයි. මේ ජනාධිපතිවරණ සටන යන සංවාද තලය තුල එකී අරගලය පරමත්වයට නැංවීමක් වෙයි.

අප මේ සෑම දෙනෙක් දෙසටම ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන දුෂ්ඨත්වය පිලිබඳ සංවාදය අප තේරුම් ගන්නේ කෙසේද ? එය කිසියම් ලෙසකින් සූත‍්‍රගත කරන්නේ, අරුත් ගන්වා ගන්නේ කෙසේද යන්නට පිලිතුරක් සෙවීම මෙම ලිවීමෙහි අපේක්‍ෂාවයි. අවසානාත්මකව මෙම දුෂ්ඨ බලවේගයන්ගේ වංගකරියෙන් ඔබ්බෙහි වන අනාගතවාදී කි‍්‍රයාවක් කෙරෙහි වන අපේක්‍ෂාවක්ද මෙහි ගැබ්ව ඇත. ඒ අනුව මෙය මේ නිමේෂය තුල එතරම් ජනපි‍්‍රයවාදී නොවන නමුත් මාගේ සිතීමේ හැටියට මඟහැර යා නොහැකි කටයුත්තක් වෙයි.

ප‍්‍රභාකරන් සමග මිය නොගිය නපුර

පසුගිය කාළය තුල අපට ඇසුනු සියලූ සංවාදයන්හි ප‍්‍රවෘත්තිවල මෙන්ම එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරික ප‍්‍රකාශයන් තුල අන්තර්ගතවූ එක් පොදු සාධකයක් වන්නේ ඒවා පිටතින් වන තමා නොවන නපුරක් පිලිබඳව වන චෝදනාවක් මත පිහිටා එකට එක ගොඩනංවන ලද ආඛානයනක ප‍්‍රකාශමානවීම් වන බවයි. මෙහි නපුර යන්න වඩාත් අවධාරනය කළයුතු වන්නේ මෙම සංවාදයන්ගෙන් වියුක්තව අපගෙන් යමකු අපගේ සිතීමේ පදනම කරගත යුත්තේ හොඳ නරක යන ද්වෛතයෙන් කුමක්ද යන්න විමසා සිටියහොත් අප නිසැකවම හොඳ යන්න බව පවසන බැවිනි. මේ වෙනස්කම අප තේරුම් ගන්නේ කෙසේද ?

මෙහිදී අප මුලින්ම ඇසිය යුතු පැනය වන්නේ ‘නපුර’ යනු කුමක්ද ? යන්නයි නපුර පිලිබඳ අදහසට දීර්ඝ ඉතිහාසයක් පැවතියද ඒ සම්බන්ධයෙන් ස්ථාපිත අර්ථ නිරූපනයක් නොපවතී. නපුර හඳුනාගනු ලබන්නේ අදාල තත්වයක් තුල මිනිස් විෂය තර්ජනයට ලක්කරන, දුර්වල කරන, විනාශ කරන දෙයක් ලෙසිනි. එනම් නපුර පිලිබඳ අදහස හැමවිටම විෂය සංයුක්ත වන්නාවූ තත්වයන් මත රඳා පවතී. ඒ අනුව නපුර කුමක්ද යන්න නිර්ණය වන්නේ එය සංයුක්ත වන්නාවූ මිනිස් විෂය විසිනි. නොඑසේනම් නපුර පිලිබඳ වන අර්ථ නිරූපනයක් විසින් මිනිස් විෂය පැහැදිලි කිරීමක් සිදුනොකරයි. එනම් නපුර යනුවෙන් වූ පොදු සාධකයක් නොමැති අතර නරක පැවතිය හැකිවන්නේ කිසියම් තත්වයක් මත විෂය විසින් එළැඹෙන්නාවූ තීන්දුවක් තුල හෝ එකී තත්වය තුල එහි හැසිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් පමණකි. එනම් එක් විෂය සන්දර්භයක් තුල නපුරක් වන කි‍්‍රයාවක් තවත් සන්දර්භයක හොඳක් වියහැක.

ඒ අනුව අද අපට ඇසෙන නපුර දුෂ්ඨ බලවේගයන්ගේ අශුද්ධ සන්ධානය වැනි යෙදුම්, එසේත් නැතිනම් රටේ අනාගතය වනසන දුෂ්ඨ පවුල් හවුල වැනි යෙදුම් අප වටහාගන්නේ කෙසේද ? මේ සටන් පාඨයන් නරකට එරෙහිව හොඳ නියෝජනය කරන්නේ යැයි අප විසින් සැලකිය යුතුද යන ගැටලුව මෙහිදී පැන නඟී. සත්‍ය නම් මෙම සටන් පාඨය උච්ඡාාරනය කරන්නන් වෙතින් ප‍්‍රකාශමාන වන්නේ එකී සටන් පාඨයේ කියැවෙන අතිශය බියකරු නපුරට වඩා අඩු නරකක් ඔවුන් විසින් නියෝජනය කරන බවයි. එය එසේ වන්නේ මෙම සියලූ ප‍්‍රකාශයන් සහ සිතීම් ගොඩනැගෙන්නේ ‘හොඳ’ පිලිබඳව වන නොවෙනස්වන සුලූ පරම නිර්ණායකයක් මත පදනම්ව නොව අදාල තත්වයන් තුල එළැඹෙන්නාවූ නරක පිලිබඳ වන තීන්දුවක් මත වන බැවිනි. ඇත්ත වශයෙන්ම මෙකී ප‍්‍රකාශයන් විසින් සිදු කරනු ලබන්නේ අනෙකා විවේචනය කිරීම නොව තමන්ව සාධාරණීකරණය කිරීමය.

මේ තර්කනය තුල අනෙකාට ඒකාධිපතියා යැයි චෝදනා කරන්නා කියා සිටින්නේ තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීයකු බව නොව ඔහුට වඩා අඩුවෙන් තමන් ඒකාධිපතියකු වන බවය. පවුල්වාදයට විරුද්ධ වන්නා කියා සිටින්නේ තමන් ඔහුට වඩා අඩුවෙන් පවුල් වාදියකු වන බවය. අද දේශපේ‍්‍රමියා හෙට ඔහුගේ කි‍්‍රයාව අනුව දේශද්‍රෝහියකු වියහැකිය යන තර්කය ගොඩනැංවෙන්නේ මේ අනුවය. නපුර අදාල සන්දරභය තුල විෂය කි‍්‍රයාකාරිත්වය මත සිදුකරනු ලබන තීරණයක් වන බැවින් අද හොඳ හෙට නරක වීමද අද නරක හෙට හොඳ වීමද ආදී වශයෙන් නපුර, දුෂ්ඨත්වය පිලිබඳව වන කතිකාව නිමක් නොවන පරිදි දික්ගැස්විය හැකිය.

අඩු දුෂ්ඨයා තේරීමේ වරණය

දැන් 2009. 05. 18 දින ලිවීම සමඟ මෙය සම්බන්ධ කරන්නේ කෙසේද ? එදින වනතුරු අප හැමට ආවරනය වියහැකි පරම දුෂ්ඨත්වයක් පිලිබඳ පහසු තීරණයකට එළැඹිය හැකි සන්දර්භයක් පැවැති අතර එබැවින් අප හැමට ඉතා පහසුවෙන් අඩු දුෂ්ඨයකු වීමේ හැකියාව පැවතුනි. එබැවින් සාමූහිකව දකුණේ දේශපාලනයට ආවරණයක් පැවැති අතර එනයින් එය සුරක්‍ෂිත විය. වඩාත් නිවැරදිව කියන්නේ නම් දකුණේ ධනවාදය ප‍්‍රභාකරන් නම් දුෂ්ඨයාගෙන් ආවරනයව අභියෝගයකින් තොරව පැවතුනි. ඔහුගේ අවසානයත් සමඟ එකී පරම දුෂ්ඨත්වය අවසන්ව යන ලදී. දැන් අපට අවම දුෂ්ඨයකු වීම සඳහා පරම දුෂ්ඨත්වය පවරන්නේ කා වෙතද යන උභතෝකෝටිකය පැන නැඟී ඇත. දුෂ්ඨත්වය අන් තැනකය යන තර්කනය නොමැතිව පවත්නා ක‍්‍රමයට සුරක්‍ෂිත විය නොහැක්කේ එසේ නොවූවහොත් එහි සැබෑව හෙලිවන බැවිනි. එබැවින් දුෂ්ඨත්වය කොහෝ හෝ කා වෙත හෝ ආරෝපනය කළහැකි වියයුතු නමුත් ගැටලුව වූයේ මෙවර දුෂ්ඨත්වය ආරෝපනය කළයුතුව තිබුණේ අඩු දුෂ්ඨයින්ගේ සන්ධානය තුල වීරත්වයට, පිරිසිදු චරිත බවට පරමාදර්ශයන් බවට පත්කරවනු ලැබූ අය වෙත වීමය. ඒ අනුව දුෂ්ඨත්වය කැඩී බිඳී තනි දුෂ්ඨත්වයක් වෙනුවට කුඩා කුඩා දුෂ්ඨත්වයන් රැසක් නිර්මාණය විය. එහි ප‍්‍රතිඵලය වූයේ අදඅ පට අසන්නට දකින්නට ලැබෙන වතුර වීදුරුවේ කිඹුලන් දකින ඉවක් බවක් නැති දුෂ්ඨ බලවේගයන්ගේ උමතුවයි. එහි මස්තප‍්‍රාප්තවීම මෙම මැතිවරණ ව්‍යාපාරයයි. අප ජීවත්වන්නේ හොඳම තත්වයක නොවුනත් නරකම තත්වයෙන් ගැලවීසිටීමට අප වගබලාගත යුතුය යන තර්කය මෙහි පතිඵලය වෙයි. ඒ අනුව මෙම ක‍්‍රමය පවත්වාගෙන යාම සඳහා නපුර අත්‍යාවශ්‍ය සංකල්පයක් වේ.

නරක වෙනුවට හොඳ ද ? නොඑසේනම් නව සිතීමක්ද ?

ඊළග ප‍්‍රශ්ණය වන්නේ එසේනම් අප කළයුතු වන්නේ හොඳ වෙනුවෙන් පෙනී සිටීමද ? යන්නය. මෙහි පවතින ගැටලූව වන්නේ අප නරක සහ හොඳ සහසම්බන්ධ ප‍්‍රතිපක්‍ෂයන් ලෙස සලකන්නේ නම් පරම වූ නරකක් නොමැති විටෙක පරම වූ හොඳක් පැවතිය හැකිද යන්නය. ඒ අරුතින් ගත්කළ ස්ථායී වූ හොඳක්ද නොමැත. එනම් අප යමකට හොඳ යැයි කියන්නේ අඩු හොඳකට වඩා එය ඉහලින් අපවතින බව ප‍්‍රකාශ කිරීමටය. මේ චල්‍යකාරී සහසම්බන්ධ ප‍්‍රතිපක්‍ෂයන් නැවතත් පවතින ධනවාදී තර්කනයේම සංස්කරණයන් වෙයි. මේ සංකල්පයන් විසින් පවත්නා සැබෑ ගැටලූ අපට අභිමුඛවීම වලකාලයි. මෙයින් හැමවිටම සිදුවන්නේ ගැටලූව වෙනත් තැනකට විතැන් කරවීමයි.

කරුණු මෙසේ වන්නේ නම් අපගේ කිසිදු කි‍්‍රයාවක් අර්ථ විරහිත වන්නේද යන ප‍්‍රශ්ණය පැනනඟී. දේශපාලනය පිලිබඳ අපගේ ආස්ථානයන් ප‍්‍රශ්ණ කෙරෙන්නේ මෙහිදීය. අප දේශපාලනය යනුවෙන් වටහා ගන්නේ පවත්නා තත්වයන් කළමණාකරණය කිරීමද ? එය එසේ නොවේ. දේශපාලනය යනු පරිපූර්ණ වශයෙන් නව්‍ය වූ නව ස්ථාවර යථාර්ථයක් සොයාගැනීම සහ එය භාවිතාවේ යෙදවීමයි. එනම් තත්වයන් මත එළැඹෙන්නාවූ තීරණයන්ගේ තර්කනයෙන් (නරක/ හොඳ) ඔබ්බෙහි වූ සත්‍යයක් අප විසින් සොයාගත යුතු වෙයි. මෙහිදී සිදුකළයුතු වන්නේ ධනවාදයේ තර්කනයම කැටිකොටගත් එහි සංස්කරණයන් පසුපස යාම වෙනුවට එමගින් ප‍්‍රතිඵල කෙරෙන නැවත නැවත සිදුවන පුනරාවර්තනය වලකන නව්‍ය වූ සංකල්පගත කිරීමක් හරහා මෙම චල්‍යතාවයට පිලිතුරක් සෙවීමයි.

එය විටෙක ආචාරධාර්මික ජීවිතයක් පිලිබඳව වන සංකල්පයක් වියහැක. නොඑසේනම් පරම වූ සත්‍යයක් පිලිබඳව වන සංකල්පගත කිරිමක් විය හැකිය. නපුරු බවේ විෂම චක‍්‍රයෙන් ඔබ්බෙහි වූ ඒ කවරක් පිලිබඳව හෝ වන සංවාදයක් මිනිස් ප‍්‍රජාවක් ලෙස ලාංකීය සමජාය මුහුණ දෙන අර්බුධයේදී වඩාත් ඉදිරිගාමී ප‍්‍රවේශයක් සඳහා වන දායකත්වයක් සපයනු ඇතැයි යන්න මගේ හැඟීමයි. මෙම මැතිවරණ සංදර්ශනයන්ගෙන් ඔබ්බෙහි පවතින සමාජීය වියවුල පිලිබඳ කිසියම් සංවේදීතාවයක් දක්වන සුළු පිරිසට එකී වගකීමෙන් මඟහැර යා හැකි යැයි මම නොසිතමි. පවත්නා මිනිස් සමාජයකට ඉදිරියට යා හැක්කේ තත්වයන් කළමණාකරණය කිරීම වෙනුවට නව තත්වයන් සූත‍්‍රගත කරමින් ඒවා කි‍්‍රයාවන් දක්වා පරිවර්තනය කිරීමෙන් පමණකි.

Comments

  1. මිනිසුන්ට තම අනන්‍යතාව ගොඩ නගා ගැනීම‍ට තමාගෙන් පිටත ප්‍රතිපක්ෂයක් අවශ්‍යමද? අප යහපත් වීම යනු අනෙකාගේ දුසිරිත හොවා දැක්වීමද? නපුර සහ දුසිරිත දෙකම එකක් ද? ඇරිස්ටෝටල් දුටුවේ හැම දෙයක්ම – හැම කලාවක්ම හෝ ව්‍යවහාරික විද්‍යාවක්ම, සහ සහ හැම ක්‍රමානුකූල ගවේෂණයක්ම, සහ එසේම හැම ක්‍රියාවක් සහ වරණයක්ම – කිසියම් යහපතක් ඉලක්ක කරන බව පෙනෙන බවයි. ඇරිස්ටෝටල්ට අනුව යහපත හෝ අයහපත යනු අප භාවයන්ට දක්වන සම්බන්ධතාවේ කොන්දේසිය යි. ඒ අනුව, මිනිසුන් යහපත් වන්නේ යහපත් ගති ගුණ තමන් තුළ වගා කර ගැනීමෙනි.

    දේශපාලනය පවත්නා තත්ත්වය පරිපූර්ණ විපරිවර්තනයකට ලක් කිරීම යැයි ගතහොත්, ධනවාදයට විකල්පයක් ගොඩ නැගීමට යොමු වීමේදී, විකල්පය ධනවාදය තරම්ම හෝ ඊට වඩා හානිකර දෙයක් නොවන බවට අප වග බලාගන්නේ කෙසේද? ධනවාදයට විකල්පයක් වන ජීවිතය අපේ ජීවිත තුළ මේ දැන් මෙහි ගොඩ නැගීම හැර වෙන විකල්පයක් තිබිය හැකිද? එය පරම සත්‍යයක් පිළිබඳ න්‍යාය ගැන්වීමක් මත පදනම් විය හැකි යැයි සිතීම අන්තරායකාරී ය. දේශපාලනය පවත්නා දේ සමග ගණුදෙනුවක් විනා එයට සහමුලින්ම විකල්පයක් ලෙසින් සූත්‍රගත කිරීම අප යොමු කරනු ඇත්තේ පවතින දෙයට සහමුලින්ම එරෙහිව යාමට ය. එය මානව ලෝකයට විනාශකාරී ප්‍රථිඵල ගෙන දෙනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s