මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය නැගී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, එම ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු වශයෙන් ඒ විපර්යාසයට මැදිව ඊට හසුවී ගසාගෙන නොයන්නට තමා තුළ ඇතිවන අරගලය කවි කැඩපතක් ලෙස අප හමුවේ තබනවා. ඒ තුළ අපේ සැබෑ රූපය දකින්නට අප ජීවත්වන සමාජයේම ජන කොටස් සමාජ විෂමතාවයේ පීඩනයෙන් පරිපීඩිතව සිටීමේ, ඊට අප ඉඩ හැරීමේ ඇති ම්ලේච්ඡකම, සිතීම සඳහා අප හමුවේ තබනවා. මෙසේ වර්ධනය වන පුද්ගලවාදය, ස්වාර්ථසාධනය මුල්කරගත් බුර්ෂුවා චින්තනයත්, සමාජයේ පොදු යහපතක් පිළිබඳ අප හැම තුළ තිබිය යුතු අඩු වැඩි වශයෙන් ඇතිවන අරගලයත් සේකර ගවේෂණය කරනවා. ස්වාර්ථ සාධනය මතු වී, පොදු යහපත යටවීගෙන යන විට සමාජයේ ඇතිවන මිනිස් ගුණ පිරිහීම දුටු ඔහු ඒ පිළිබඳව සිතන්නට ඔහුගේ කවිය අපට පිරිනමනවා. අපට අහිමි වීගෙන යන අපේ හෘදය සාක්ෂිය ඔහු කවි කොට අපේ හදට, මනසට ඇතුළු කරනවා. තමාගේ ආත්ම ගවේෂණය තුළින් ඔහු අපේ ආත්ම ගවේෂණයට අපව කැඳවනවා. ආත්ම ගවේෂණයට මිනිසුන් තුළ ඇති හැකියාව අවදිකරනවා. මෙම ආත්ම ගවේෂණය ඇතුළු හදට හැරීමෙන් පුද්ගල විමුක්තිය පතා සමාජයෙන් අබිනික්මන් කිරීමෙන් කෙලවර වන්නක් නොවෙයි. තමාගේ සිත විමසමින් තමා හා සමාජය අතර ඇති සම්බන්ධතාවය විමසමින් කෙරෙන්නක්. වාණිජකරණය උදාවන සමාජයක සමාජ චිත්තය වසා පැතිර යන බුර්ෂුවා චින්තනය ස්වාර්ථ සාධනය පරදවා මනුෂ්‍යභාවයේ විශිෂ්ඨකම රැකගන්නට නම් ‘පොදු යහපත’ පිළිබඳ කරුණු දිගින් දිගටම සමාජ දේශපාලන කතිකාව මැදට ගෙන ආ යුතු බව සේකර තම කවියෙන් මතු කළා.

නාගරීකරණය හරහා ධනවාදය බිහිකළ ජන මිනිසා (mass man) ආවේ අපේ සමාජයෙන්ම බව, ගමෙන් නගරයට විත්, නගරයෙන් මතුපිටට විත්, නැවත ගමට ගිය බව, ඒ ජන මිනිසා අප හැම තුළම සිටින්නෙකු බව, අප හැම දෙනාම බුර්ෂුවා චින්තනයට යට වීමේ අවදානමට නිරන්තරව මුහුණ දෙන බව සේකර දුටුවා. නමුත් දැනුවත්ව අරගල කරන්නේ නම් බුර්ෂුවා චින්තනයට ගොදුරු නොවී ඉන් මිදීමේ හැකියාව මිනිසාට ඇති බවත් ඔහු දුටුවා. මේ ලෝකය කෙසේ විය යුතුද යන්න තීරණය කරන්නේ මිනිසාමය යන්න ඔහු දුටුවා.”

ඉතිරිය මෙහි කියවන්න