ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ: කාරණය පංතියයි, මෝඩයා!

අහිලන් කදිර්ගාමර්

“මෙහිදී, ගැටලුව වන්නේ ණය ලබා දෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ණය ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකයක් තුළින් හෝ ණය ගෙවීමට ඇති විවිධ නියෝජිතයන් සමග විටින් විට ගෙවීමේ පදනම මත ගිවිස ගැනීමකින් හෝ) ප්‍රතිව්‍යුහගත කළත් ආනයන විසින් අපනයන ඉක්මවා යනු ලබන තත්වය යටතේ රට කෙටි කලකදී  වැඩි වැඩියෙන් විදේශ ණය රැස් කර ගනී. එමනිසා ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයන් ආනයන සීමා කිරීම පිළිබඳව  කිසිදා කතා නොකරන්නේ මන්ද? මක්නිසාද දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්ති ගොනුව (වර්තමාන මොහොතේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යනුවෙන් හඳුන්වන්නේ එය කඩිනම් කිරීමයි.) සතුව ඇත්තේ හරයෙන් වෙළඳ නිර්බාධීකරණය පිළිබඳ අදහසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ආනයන වියදම නොසළකා රට තුළට භාණ්ඩ නිදහසේ ගලා ඒමයි.”

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයේ ගැඹුරින් ගැඹුරට කිඳා බසිමින් තිබේ. මෙම තත්වයට රට පිරිහෙළනු ලැබූ ආර්ථික සංස්ථාපිතය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති තවත් එවැනිම දේ සඳහා මොර ගසයි.

විදේශ ණය ඊනියා ප්‍රතිව්‍යුහගත කිරීමකින් අත් කරගත හැක්කේ කුමක් ද? එමෙන්ම, ඊනියා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල බලපෑම කුමක් වනු ඇත් ද? ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ සහතික සැපයීම යටින් සැඟව ඇති කාරණය පංතියයි; වැඩකරන ජනයාට එරෙහිව ධනවත් ප්‍රභූ පංතියේ ලැදිකම් ය.

ණය ගෙවීම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් බැංකු කරුවන් සහ ආර්ථික විද්‍යාඥයන් අදහස් කරන්නේ ණය නැවත ගෙවීමේ කාලය දික් කිරීමයි. එනම් පොලිය ගෙවීමේ කාලය සහ එකතු වූ ණය වල ප්‍රාග්ධන ගෙවීම පමා කිරීමේ ක්‍රම සොයා ගැනීමයි. ණය ලබා දෙන්නන්ගේ අනුකම්පාව ලබා ගැනීමේ දී ‘ණය නැවත ගෙවන්නේය’ යන විශ්වාසය ඇති කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍යතාවයක් ඇති බව ඔවුහු ප්‍රකාශ කර සිටිති. එම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වලට සමාජ සේවා කපා හැරීම සහ රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීම ආදී කර්කෂ ක්‍රියා මාර්ග ඇතුළත් වේ. කෙසේ නමුත් සමාජ සුභසාධනය කපා හැරීම වැඩ කරන ජනයාට ලැබෙන සුළු ආධාරය පවා අහිමි කරන අතර පොදු සේවාවන් සඳහා පවා වැඩි වැඩියෙන් ගෙවීමට ඔවුනට බල කරයි.

මෙහිදී, ගැටලුව වන්නේ ණය ලබා දෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ණය ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකයක් තුළින් හෝ ණය ගෙවීමට ඇති විවිධ නියෝජිතයන් සමග විටින් විට ගෙවීමේ පදනම මත ගිවිස ගැනීමකින් හෝ) ප්‍රතිව්‍යුහගත කළත් ආනයන විසින් අපනයන ඉක්මවා යනු ලබන තත්වය යටතේ රට කෙටි කලකදී  වැඩි වැඩියෙන් විදේශ ණය රැස් කර ගනී. එමනිසා ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයන් ආනයන සීමා කිරීම පිළිබඳව  කිසිදා කතා නොකරන්නේ මන්ද? මක්නිසාද දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්ති ගොනුව (වර්තමාන මොහොතේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යනුවෙන් හඳුන්වන්නේ එය කඩිනම් කිරීමයි.) සතුව ඇත්තේ හරයෙන් වෙළඳ නිර්බාධීකරණය පිළිබඳ අදහසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ආනයන වියදම නොසළකා රට තුළට භාණ්ඩ නිදහසේ ගලා ඒමයි.මේ අයුරින් විදේශ ණය නැගීම අවසානයේ අප වර්තමානයේ මුහුණ පා ඇති පරිදි ණය උගුලක් බවට පත්වීම බලවත් ගෝලීය ධනවාදී බලවේග වලට සහ ඔවුන්ගේ දේශීය කොම්ප්‍රදෝරු නියෝජිතයන්ට ප්‍රයෝජනවත් මෙවලමක් වී ඇත. එනම් වැඩ කරන ජනයාගේ හිමිකම් කපා හැරීමෙන් ප්‍රාග්ධන සමුච්ඡනය වෙනුවෙන් ආර්ථිකයන් ප්‍රතිව්‍යුහගත කිරීමයි.

විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ වලට රට ගෙන ගිය 1970 අර්බුදයට සමානව දක්ෂිනාංශික මතවාදීන් වර්තමාන  අර්බුදය දකින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සන්ධි කෙරෙන අහිමි කිරීමේ ව්‍යුහාත්මක  ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක  කිරීමේ අවස්ථාවක් ලෙසය.

පොදු බෙදා හැරීමේ පද්ධතියක්

පීඩාකාරී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වලට විකල්ප නැතැයි අපට කියනු ලැබේ. කෙසේ නමුත්, සැබැවින්ම වෙනත් ප්‍රතිවිරුද්ධ මාර්ග තිබේ. ප්‍රථමයෙන් ණය උගුල පිළිබඳ කරුණ සැළකිල්ලට ගැනීමේදී විදේශ සංචිත නැංවීමට විදේශීය නියෝජිතයන්ගේ සහය අවශ්‍ය නමුත් එය ගැළපිය යුත්තේ හුදෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමග නොව ආනයන වියදම් ප්‍රතිව්‍යුහගත කිරීම සමගය.

ශ්‍රී ලංකාව මසකට ඇ.ඩො. බිලියනයක් අපනයන මගින් උපයා ගනී. විදේශ ණය ගෙවීමට හැකි වන පරිදි එක් වර්ෂයකට ඇ.ඩො. බිලියන 5 ක සංඛ්‍යාවකට සමීප වීමට නම් මසකට ඇ.ඩො. මිලියන 600 ක් දක්වා ආනයන වියදම පහළ දැමීමට අවශ්‍ය වේ. ආනයන වියදම පහළ හෙළිය යුතු අතර අපට අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග, ආහාර සහ ඉන්ධන සහ අපනයන සඳහා අවශ්‍ය අන්තර් භාණ්ඩ සඳහා සීමා කළ යුතුය. ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි නම් ආනයන එක් මසකට ඇ.ඩො. මිලියන 800 කින් වැඩි කල හැකි යැයි කීමට වැඩි ඉඩක් තිබේ, නමුත් අත්‍යවශ්‍ය ආහාර සඳහා ආනයන සීමා කිරීම,  මධ්‍යකාලීන වශයෙන් බෙදා හැරීමේ පද්ධතියක අවශ්‍යතාවය ඇති කරයි. අත්‍යවශ්‍ය නොවන ආනයන සළකා බැලිය යුත්තේ අපනයන ප්‍රබල ලෙස වර්ධනය වූ  පසුව පමණි.

සහන සහ සමාජ ආයෝජන

අනතුරුව, ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග වැඩෙන දරිද්‍රතාවය සහ සමාජ පීඩනය නැගෙමින් තිබේ. වීදි වල වැඩෙමින් තිබෙන සිඟමන තුළින් එය ස්ඵුට වන බව පෙනේ. සහන සහ රාජ්‍ය ආධාරය ඉතා අවශ්‍ය මොහොතක සමාජ සුභසාධනය කපා හැරීම විනාශදායක ය. එවැනි සහන සඳහා රජය මුදල් සොයා ගන්නේ කොහෙන්ද? සැබැවින්ම දශක ගණනක් තිස්සේ සහ අවුරුදු දෙකකට ඉහත ඉතාම මෑතකදී ධනවතුන්ගේ බදු කපා හැරීමෙන් ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් දක්වා තෙරක් නොමැති ආගාධයකට ඇද දමා ඇත.

අප සමහරෙක් යෝජනා කර ඇති සහ ආණ්ඩුව පහසුවෙන් නොසළකා හැර ඇති විසඳුම ධන බද්ධයි. එනම් වැඩ කරන ජනයාට ප්‍රතිලාභ ඇති කරන, ආදායම් ප්‍රතිව්‍යාප්තිය සහිත, ධනවතුන්ගේ දේපළ මත පනවන බද්ධයි. සැබැවින්ම,මෙවැනි අර්බුද කාල වලදී  වැඩ කරන ජනයා මත සමාජ බර මුදා හැරීමට වඩා, එවැනි ධන බදු වලින් ලබා ගන්නා ආදායම, සමාජ සුභසාධනය තහවුරු කිරීමට යොදා ගත යුතුය. ඉක්බිති, එවැනි ධන බදු ආදායම් අපනයන නැංවීමට දායක විය හැකි යහපත් නිෂ්පාදන චක්‍රයක් ඇති කිරීමේ සහ ආනයන වලට ආදේශන සපයමින් දේශීය නිෂ්පාදන වැඩි කිරීමේ රාජ්‍ය ආයෝජනයක් වශයෙන් යොමු කළ යුතුය. ආර්ථික අවපාතය නිසා දේශීය නියෝජිතයන් ආයෝජනය කිරීමට පසුබා සිටින යුගයකි මේ. ආර්ථිකය ඉතාමත් යහපත් කාල වලදී පවා සාර්ථක නොවූ විදේශීය සෘජු ආයෝජන මේ මොහොතේ වර්ධනය වේ යැයි සිතීම සිහිනයක් පමණි. එමනිසා, නිෂ්පාදනය, රැකියා නියුක්තිය සහ සක්‍රීය ඉල්ලුම වර්ධනය කිරීමට රාජ්‍ය ආයෝජන තුළින් ආර්ථිකය ප්‍රාණවත් කිරීම තීරණාත්මකය.

ගෝලීය ආකූලතාව සහ පංති අරගල

ගෝලීය ආර්ථික සුළං රැලි පවා ශ්‍රී ලංකාවට අවාසිදායක ය. එ.ජ. පෙඩරල් සංචිත  පොලී අනුපාත වැඩි කිරීමේ මග ගෙන ඇති තත්වය යටතේ සංවර්ධනය වන රට වලට ප්‍රාග්ධන ප්‍රවාහය සහ ජාත්‍යන්තර ණය සඳහා ඇති ඉඩකට  ඉතා අඩු වීමට තිබේ. ණය ගෙවීම පැහැර හැරීමේ අබියස සිටින, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් විදේශ ආයෝජන ලැබීමේ ඉඩක් නැති, ශ්‍රී ලංකාව වැනි රටකට එය කොතරම් අභියෝගාත්මක ද යන්න කීමට උවමනා නැත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර මිළ දර්ශකය අනුව පසුගිය වර්ෂය පුරා ගෝලීය ආහාර මිළ ගණන් 28.1% කින් වැඩිවී ඇති අතර දර්ශකය අවුරුදු දහයකදී ළඟා වූ ඉහළම තැනට පත්ව තිබේ.

අපට ලාභ ආහාර අවශ්‍ය විටම අපගේ ආහාර ආනයන වියදම ඉහළ යමින් තිබේ. අවාසනාවට, අපගේ ආනයන වියදමේ විශාල අංශයක් වන ගෝලීය බොර තෙල් මිළ සම්බන්ධයෙන් ද එය සත්‍ය වී ඇත. මෙම කම්කටොලු සමයෙන් ගොඩ ඒම ඉතාම වැදගත් වන අතර එය ආරම්භ කළ යුත්තේ ආහාර වලිනි. වැඩකරන ජනයා සඳහා පොදු බෙදා හැරීමේ පද්ධතියක් සහ සහන නොමැති තත්වය යටතේ, අප සාගත හා සමාන තත්වයකට මුහුණ දෙනු ඇත. වැඩ කරන ජනයාගේ උදහස සහ වීදි විරෝධතා මතු වෙමින් තිබේ. ආර්ථික සංස්ථාපිතය සහ අපගේ පාලක පංතිය මෙම ඝෝර යථාර්තය අවබෝධ කර ගැනීමෙන් වළකා සිටින්නේ කුමන  කරුණක් ද? කාරණය පංතියයි, මෝඩයා.

2022 ජනවාරි 24 දින ඩේලි මිරර් පුවත් පතේ පළ වූ “Debt Restructuring and Structural Reforms: It’s Class, Stupid!” ලිපියේ සිංහල පරිවර්තනයයි.

සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

අහිලන් කදිර්ගාමර් යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

Leave a comment