කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!

ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය

2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය කතාව තුළ සඳහන් වේ. බොහෝ ශ‍්‍රී ලාංකිකයන් කුසගින්නෙන් පෙළෙන අතර, අයවැය කතාවේ ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොවීය. අර්බුදයේ මානුෂීය බලපෑම අවම කිරීම සඳහා යෝජනා ප‍්‍රසිද්ධියේ ජනතාව වටා කේන්ද්‍රගත විය යුතු මොහොතක, මේ රටේ සාමාන්‍ය ජනතාවගේ යථාර්ථයෙන් බරපතළ විතැන් වීමක් අයවැයෙන් පිළිබිඹු වේ.

1970 ගණන්වල අග භාගයේ සිට ආර්ථික ප‍්‍රතිපත්තිවල අසාර්ථකත්වය එය පිළිගන්නා අතරම, ජනතාව වෙත සෘජුව දොස් පැවරීම ගැන අපි කම්පාවට පත් වෙමු. අතීතයේ සහ වර්තමානයේ ජන ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධයක් නොමැතිකම පෙන්නුම් කරමින් අයවැය කතාවේ සඳහන් වන්නේ, ”අපි දවසින් දවස කම්මැලි වුණා. මිනිස්සු හැමදෙයක්ම රජයෙන් ලබාගන්න පුරුදු වුණා” යනුවෙනි. වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසුන් කම්මැලියන් ලෙස හුවා දක්වමින් ඔවුන් ආර්ථිකයට කරන දායකත්වය අපකීර්තියට පත් කර තිබේ. ලිබරල්කරණ ආකෘතියට මාරුවීම තුළින් ශ‍්‍රී ලාංකිකයන්, ඔවුන්ගේ ලාභ ශ‍්‍රමය සූරාකෑම සඳහා දුෂ්කර සේවා කොන්දේසි යටතේ වන රැකියාවලට තල්ලූ‍ කළ බව සිහිපත් කිරීම සුදුසු ය. ශ‍්‍රී ලංකා ආර්ථිකය නොනැසී පවතින්නේ මෙම අසාධාරණ ශ‍්‍රමය එනම්, මූලික වශයෙන් කාන්තාවන්ගේ උරහිස් මත පැටවෙන ඇඟලූ‍ම්, සංක‍්‍රමණික ශ‍්‍රම සහ වතුකරයේ කම්කරුවන් මත ය.  

අද ශ‍්‍රී ලංකාවේ වැඩ කරන දුප්පතුන් මුහුණ දී සිටින අර්බුදයේ වගකීම භාර නොගැනීම ආණ්ඩුවේ අන්ත අසාර්ථකත්වයකි. අර්බුදය වූ කලී, වැඩකරන ජනතාවට ප‍්‍රතිලාභ නොලබන ව්‍යාපෘතිවලට විදේශ ණය ආයෝජනය කිරීම ඇතුළුව පාලක පන්තිය විසින් වසර ගණනාවක් තිස්සේ වැරදි ලෙස සංකල්පනය කරන ලද ආර්ථික ප‍්‍රතිපත්තිවල සෘජු ප‍්‍රතිඵලයකි.

කාන්තා ශ‍්‍රමය

යෝජිත අයවැය මගින් කාන්තාවන් මත පැටවෙන අර්බුදයේ බර පිළිගැනීමට අපොහොසත් වන අතර ’තරුණ කාන්තා ව්‍යවසායිකාවන්’ යන නොපැහැදිලි කාණ්ඩයට පමණක් අවධානය යොමු කරයි. දුක් මහන්සියෙන් උපයන මුදල් මෙරටට එවීමට කාන්තාවන් දහස් ගණනක් සංක‍්‍රමණික සේවිකාවන් ලෙස පිටව යති. මේ අයවැයේ ඒවා කොහිද?

ක්ෂුද්‍ර මූල්‍ය ණය මත පදනම් වූ ව්‍යවසායකත්ව ආකෘතියක් දැනටමත් ගැඹුරින් ගැටලූ‍කාරී ලෙස ස්ථාපිත කර ඇත. වසර ගණනාවක් පුරා, මෙම ණය නිසා දුප්පතුන් සිර කර ඇති පුලූ‍ල්ව පැතිරුනු සහ අතිමහත් ගෘහ ණය චක‍්‍රයට විසඳුම් ලබා දීමට මේ රට අපොහොසත් වී ඇත. ඇතැමුන් සිය දිවි නසා ගනිමින් පවා ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩාවට පත් වූවන්, සිය දීර්ඝ කාලීන විරෝධතා හරහා මෙම ණයවල බිහිසුණු බව ප‍්‍රසිද්ධ කර ඇත. එමෙන්ම මේ වසරේ කාන්තා හිංසනය ඉහළ යාම හඳුනා ගැනීමට ද අයවැයෙන් අසමත් වී ඇත. මෙම අර්බුදයේ බර දරා සිටින්නේ කාන්තාවන් වන අතර මෙම අයවැය මගින් ආර්ථික ගොඩ නැගීමේ බර සෘජුවම කාන්තාවන් වෙත පැවරීමට උත්සාහ කරයි.

විරැකියාව

මේ වසරේ අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කින් ආර්ථිකය හැකිලීම නිසා, පුළුල් ලෙස විරැකියාව ඇති වීම නොවැළැක්විය හැකිය. මතුවෙමින් පවතින විරැකියාවට විසඳුම ව්‍යවසායකත්වයෙන් සහ විදේශ රැකියාවලින් විසඳිය නොහැක. ඒ වෙනුවට දේශීය ආර්ථිකය නැංවීම සඳහා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ දේශීය කර්මාන්ත වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍රවල ආයෝජනය කිරීමටත් රාජ්‍ය සේවා ශක්තිමත් කිරීමටත් රජය කැපවිය යුතුය. එවැනි කැපවීමක් අයවැයෙන් පිළිබිඹු නොවේ.

තරමක් අඳුරු ගෝලීය ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මත යැපීම අවදානම් සහගත ය. තවද, නව ආර්ථික කලාප සඳහා වන සැලසුම්, විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කර ගන්නා අස්ථාවර, ලාභ ශ‍්‍රමය ව්‍යාප්ත කිරීම පිළිබඳව සංඥා කරයි. අපනයන සැකසුම් කලාපවල සේවා යෝජකයන් විසින් කම්කරු නීති නොසලකා හැරීම ගැන අපි හොඳින් දනිමු. කම්කරුවන්ගේ අයිතීන් සඳහා අනතුරු ඇඟවීමේ සංඥා නංවන තවත් කම්කරු ප‍්‍රතිසංස්කරණ ද අයවැය යෝජනා කරයි.

ආහාර සුරක්ෂිතතාව

ජනගහනයෙන් තුනෙන් එකක් සඳහා ආහාර අනාරක්ෂිත බව ද, 70% කට වැඩි කුටුම්භ ආහාර ගැනීමේ පුරුදු වෙනස් කර ඇති බව ද, අස්වැන්න 33.7% කින් අඩු වී ඇති බව ද (අවුරුදු 50 කින් අඩු අගයක්) මෑත කාලීන වාර්තාවලින් පෙන්වා දුන්නද, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙම අයවැය තුළ ප‍්‍රමුඛතාවක් දී නැත. ආහාර නිෂ්පාදන හා බෙදා හැරීමේ ක‍්‍රමය යථා තත්ත්වයට පත් කිරීමේ ශක්තිමත් සැලැස්මක් නොමැතිව අපට බරපතළ ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් නැත.

මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමක් ඇති දරුවන් සඳහා පෝෂණ අතිරේක සඳහා මුදල් වෙන් කිරීම අයවැයේ අගය කළ යුතු අංගයකි. කෙසේ වෙතත්, ළමුන් අතර වාර්තා වන උග‍්‍ර මන්දපෝෂණය විසඳීමට එම මුදල ප‍්‍රමාණවත් නොවන බව අපි අවධාරණය කරමු. කුසගින්නෙන් මිය යාමේ සැබෑ අනතුර සැලකිල්ලට ගෙන, අයවැයෙන් ආහාර බෙදා හැරීමේ ක‍්‍රමයක් සහ විශ්වීය පාසල් ආහාර වැඩසටහනක් සඳහා ප‍්‍රමුඛත්වය දිය යුතුව තිබුණි.

‘භාවිතා නොකරන‘ සහ ’ඵලදායි ලෙස යොදා නොගත්’ ඉඩම්වල පවරා ගැනීම පසුගිය කාලයේ දුප්පතුන් සහ කම්කරුවන් අවතැන්වීම්වලට සහ ඉවත් කිරීමට හේතු වී තිබීම ගැන අපි කනස්සල්ලට පත්ව සිටිමු. අපි හොඳින් දන්නා පරිදි 2021 රසායනික පොහොර තහනමත්, වියදම් වැඩිවීමත් ගොවීන් වගාව අත්හැරීමට හේතු වී තිබේ. කුඩා ගොවීන්ට සහය වෙමින් තමන්ටත්, තම පවුලේ අයටත්, මුළු රටේම ආහාර අවශ්‍යතා සඳහාත් තිරසාර අනාගතයක් ගොඩනැගීමේ මාර්ගයක් ලෙස ගොවිතැන යළි පණ ගැන්වීමේ හදිසි අවශ්‍යතාවක් පවතී. ඊට පටහැණිව, බහුජාතික සමාගම් විසින් ඉඩම් අත්පත් කර ගැනීම විධිමත් කිරීමට සහ සාධාරණීකරණය කිරීමට අයවැය මඟින් හැකියාව ලබා දී තිබේ. මෙය ගොවීන්, විශේෂයෙන්ම කාන්තාවන්, දෛනික වැටුප් ලබන්නන් බවට පත් කිරීම නිසා ග‍්‍රාමීය ආර්ථිකයන් තවදුරටත් පිරිහීමට හේතු වන අතර ශ‍්‍රී ලංකාවේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා තිරසාර විසඳුම් සෙවීමේ ප‍්‍රගතියක් නොලැබෙනු ඇත.

අයවැයෙන් භූමිතෙල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළ දැමීමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ධීවර ජනතාවට කිසිදු සහනයක් ලබාදී නොමැති අතර, ශ‍්‍රී ලාංකිකයන් ප්‍රෝටීන් සඳහා යැපෙන ප‍්‍රධාන මූලාශ‍්‍රය අවිනිශ්චිත තත්ත්වයක පවතී. දශක ගනනාවක් තිස්සේ රාජ්‍යය විසින් අහිමි කරන ලද වතුකරයේ කම්කරුවන් නැවතත් අයවැයෙන් නොසලකා හැර ඇත.

සමාජ ආරක්ෂණය

අයවැයෙන් යෝජනා කරන්නේ  ‘සමාජ ආරක්‍ෂාව සහ විවෘත ආර්ථිකය’ යන විසුළු සහගත ප‍්‍රවේශයකි. යෝජිත අයවැයේ සමාජ ආරක්ෂණ අයිතම දෙස බලන විට පැහැදිලි වන්නේ සමාජ ආරක්ෂණය පුළුල් කිරීමක් සිදු නොවන බවයි. දරිද්‍රතාවයේ ශීඝ‍්‍ර වැඩිවීම පිළිබඳ විශ්ලේෂණය සහ ජීවන වියදම මත උද්ධමනයේ බලපෑම පිළිබඳ වටහා ගැනීමක් නොමැත. සැප්තැම්බර් අතුරු අයවැයෙන් පොරොන්දු වූ සහන තවමත් ලියාපදිංචි ප‍්‍රතිලාභීන්ට ලැබී නොමැති බැවින් ප‍්‍රමාණවත් නොවන සහන දෙස බැලිය හැක්කේ සැකයෙන් පමණි.

අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති විශේෂිත කාණ්ඩ සඳහා ලබා දෙන සුළු සහන ප‍්‍රමාණයන් අයවැයේ සඳහන් වේ. ජනගහණයෙන් අඩක් පමණ දරිද්‍රතාවයට ඇද වැටීමේ තර්ජනයට ලක්ව සිටින බවට බහුල පුරෝකථනයන් පවතින විට පවා, සමාජ ආරක්‍ෂාව පිළිබඳ එවන් අතිශය සීමිත අවධානයක් යොමු කිරීම තාර්කික නොවේ. මෙම භයානක තත්වයන් තුළ විශ්වීය සමාජ ආරක්ෂණය සලකා බැලීමට අසමත් වීම විශාල අඩුවකි.

අධ්‍යාපනය සහ සෞඛ්‍යය

කොවිඞ්-19 හේතුවෙන් පාසල් අධ්‍යාපනයට ඇති වූ ප‍්‍රධාන බාධාවන් සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය පිළිබඳව අයවැයේ සඳහනක් නොමැත. එය ඉගෙනීමේ පාඩුව ආමන්ත‍්‍රණය නොකරයි. බලපෑමට ලක් වූ සමස්ත පරම්පරාවකට උපකාර කිරීම සඳහා අධ්‍යාපනය සඳහා නව සැලැස්මක් යෝජනා නොකරයි. රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු හඳුන්වාදීමේ යෝජනාව ද දැඩි අවධානයට ලක් විය යුතු කරුණකි. බෙහෙත් හිඟය, ග‍්‍රාමීය රෝහල්වල අත්‍යාවශ්‍ය උපකරණ, යටිතල පහසුකම් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ හිඟකම වැනි රෝහල්වල ඇති භයානක තත්ත්වයන්ට පිළියම් යොදනවා වෙනුවට යෝජිත ගෙවන වාට්ටු මගින් දුප්පත්ම ජනතාව තවදුරටත් කොන් කරමින් ඉතිරි වී ඇති සීමිත සම්පත් මූල්‍යමය වශයෙන් දැරිය හැකි ජනතාවට වෙන් කරනු ඇත. මේවා ක‍්‍රියාකාරී මහජන සෞඛ්‍ය පද්ධතියක් සහිත දකුණු ආසියාවේ එකම ජාතිය යන සාඩම්බර ගෞරවයෙන් විතැන් වෙමින් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය අවසානයේ පෞද්ගලීකරණය කිරීමේ ආරම්භක පියවර බව අපි හොඳින් දනිමු.

ආරක්‍ෂාව සඳහා වෙන් කර ඇති ප‍්‍රතිපාදනවලට සාපේක්ෂව අත්‍යවශ්‍ය අංශ සඳහා වෙන් කර ඇති ප‍්‍රතිපාදන රජයේ ප‍්‍රමුඛතාවයන් පෙන්නුම් කරයි. ආරක්‍ෂාව සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රු. බිලියන 539ක් වන අතර, සෞඛ්‍යයට රුපියල් බිලියන 322ක් සහ අධ්‍යාපනයට රුපියල් බිලියන 232ක් පමණි.

ආදායම්

ආදායම් උත්පාදනය සඳහා රජය වක‍්‍ර බදු (VAT) මත දැඩි ලෙස විශ්වාසය තබයි. වැටුප් වැඩි වීමක් පෙනෙන්නට නොමැති නිසා ඉදිරි වසර තුළ ජීවන වියදම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. යෝජිත බදු ක‍්‍රමයේ බර දරාගෙන ආර්ථිකය ගොඩ ගැනීමට උර දීමට අපේක්ෂා කරන්නේ සාමාන්‍ය ජනතාවට වෙතිනි. ධනය මත පැනවෙන බද්දක් සඳහා වූ ඉල්ලීම් නොසළකා හැර තිබේ. අපි, ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකය ලෙස, සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිත වඩාත් දුෂ්කර නොකර රජයේ ආදායම වැඩි කිරීම සඳහා ධනය මත පැනවෙන බද්දක් හරහා යලි බෙදාහැරීමේ යුක්තිය ඉල්ලා සිටිමු.

ආර්ථික ගොඩ නැංවීම?

ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්වීමේ ක්‍ෂණික මානුෂීය අවශ්‍යතා අයවැයෙන් විසඳා නැත. ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප‍්‍රතිසාධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ ද නැත. ඒ වෙනුවට, පෙර යුගයේ අසාර්ථක වූ ප‍්‍රතිපත්තිවලට ආපසු හරවා යවන අසංවිධිත බෙහෙත් වට්ටෝරු ප‍්‍රතිපත්ති යළි පණගන්වා ඇත. අයවැය, සාමාන්‍ය ජනතාවට අර්බුදයේ බලපෑම තවත් තීව‍්‍ර කරනු නොඅනුමානය. මේ ජනතාව නැඟී සිට ආර්ථික සාධාරණත්වය ඉල්ලා සිටිය යුතු කාලයයි.

(ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකය යනු ඔවුන් වැඩ කරන ප‍්‍රජාවන්ගේ යථාර්ථයන් මත පදනම්ව ප‍්‍රතිපත්ති නිර්දේශයන් අවබෝධ කර ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ හඬ නැගීමට, ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සමඟ 2022 අපේ‍්‍රල් මාසයේදී එක් වූ රට පුරා සිටින ස්ත‍්‍රීවාදී ආර්ථික විද්‍යාඥයින්, විද්වතුන්, ක‍්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතිඥයින්ගේ එකතුවකි. )

 සම්බන්ධ වන්න: –feministcollectiveforjustice@gmail.com

Leave a comment