කම්පන  ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය

අහිලන් කදිර්ගාමර් 

මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව,  වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

 ———-

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙමින් තිබේ, ජනයා සාගතයේ මුවවිටට තල්ලු කරනු ලැබ ඇත.  ආණ්ඩුව කෙරෙහි කෝපය වැඩි වෙමින් පවතියි , ඒ සමගින් තවත් විරෝධතා රැලි ඇතිවීමේ හැකියාව  තිබේ. රනිල්-රාජපක්ෂ පාලනයේ ප්‍රතිචාරය විරෝධතාකරුවන්ට එරෙහි ආක්‍රමණශීලී මර්දනයයි.  එම ක්‍රියාමාර්ගවලට විරෝධතාකරුවන් විශාල පරිමාණයෙන් අත්අඩංගුවට ගැනීම් සහ කුරිරු නීතිමය ක්‍රියාමාර්ග — නීති පොත් භාවිතා කිරීම සහ මර්දනය සඳහා නව නෛතික බලතල සෙවීම යන දෙකම  යොදා ගැනීම  — ඇතුළත් වේ, එහි ප්‍රථිඵලය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහසට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීම  යි. විරෝධතා ව්‍යාපාරය එවැනි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට සහ බලහත්කාරකම්වලට ප්‍රතිචාර දක්වත්ම, ඊටත් වඩා කපටි ආකාරයේ මර්දනයක් තිබේ. වැඩ කරන ජනතාව දැන් සාගතයේ අවතාරය සමගින් අබ්බගාත කරන සුළු  වැටුප් මර්දනයකට මුහුන දී සිටිති.

පසුගිය මාස හය තුළ උද්ධමනය 60% ක පමණ මටටෙම් පවතින අතර ආහාර උද්ධමනය 90% ඉක්මවා ඇත, නමුත් වැඩ කරන ජනතාවගේ ආදායම ඉහළ ගොස් නැත. ඇත්ත වශයෙන්ම, වැඩිවන විරැකියාව සහ ජීවනෝපායන් කඩාකප්පල් වීමත් සමඟ ඔවුන්ගේ ආදායම පහත වැටෙමින් තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල නාටකීය  ඉහළ උද්ධමනය හුදෙක් දිග හැරෙමින් පවතින ආර්ථික අර්බුදය හෝ ගෝලීය භාණ්ඩ මිල ඉහළ යාමට තුඩු දුන් යුක්රේනයේ යුද්ධය නිසා ඇති වූවක් නොවේ. ඒ වෙනුවට, එය මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල සහ අද දක්වාම ගෙන ගිය කම්පන  ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි.

මෙම කම්පන ප්‍රතිපත්ති වලට  රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට රු. 200 සිට රු. 360 දක්වා හදිසියේ අවප්‍රමාණ කිරීම, සහ 80% මිල ඉහළ යාම පාරිභෝගිකයන් මත පැණවීම ඇතුලත්ය.  එම ප්‍රමාදකර අවධියේදී පවා ආනයන ක්‍රමානුකූලව සහ ප්‍රමුඛතාමය  වශයෙන් අඩු කිරීමේ හැකියාව අක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ණය අකාලයේ පැහැර හැරීම ද එයට ඇතුළත් ය.  ඇත්ත වශයෙන්ම, දැනට වසර ගණනාවක් තිස්සේ, ආහාර මිලට ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා පොදු ව්‍යාප්ති ක්‍රමයක් සමඟ අත්‍යවශ්‍ය ආනයන ක්‍රමයෙන් අඩු කිරීම සහ ප්‍රමුඛතා පදනමක පිහිටුවීම කරන ලෙස අප සමහරෙකු ඉල්ලා සිටිමින් ඇත්තෙමු. කෙසේ වෙතත්, නව ලිබරල්වාදී ආර්ථික සංස්ථාපිතයට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවට වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ ) ට යටත් වන ලෙස බල කරමින් අකාල ණය පැහැර හැරීමකි. ජාමූ අරමුදලින්  ආශ්වාදය ලත් ආන්ඩුවේ කම්පන ප්‍රතිපත්ති විනිමය අනුපාතිකය පා කර හැරීම, බලශක්ති වෙළඳපල මිලකරණය සහ සහනාධාර කපා හැරීම නියම කළේය. මේ සියල්ල කළේ ජාමූඅ දෙන විසඳුම හැර වෙනත් විකල්පයක් නොමැති බව සහතික කිරීම සඳහා ය.

දැඩි  පැහැර හැරීම

2022 නොවැම්බර් 5 වැනි දින ප්‍රමුඛ ජපන් මූල්‍ය පුවත්පතක් වන  නිකෙයි (Nikkei)  සමඟ මෑතකාලීන සම්මුඛ සාකච්ඡාවකදී විදේශ ණය පැහැර හැරීම් දිශාවට ආණ්ඩුව ගමන් කිරීම ගැන අප්‍රේල් මාසයේදී එවකට මුදල් අමාත්‍යවරයා වූ විදේශ අමාත්‍ය අලි සබ්රි විස්තර කරන්නේ මෙසේය.

“අපගේ සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 20 දක්වා වේගයෙන් කඩා වැටී තිබුනා — පැය භාගයක ආනයන සඳහාවත් ප්‍රමාණවත් වුනේ නැහැ… තත්වය ඉතා බරපතල වුනා. අපිට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට කාලය ළඟා වෙමින් තිබුණා. … ඒ නිසා අපි දැඩි ණය පැහැර හැරීමකට යනවාද නැතිනම් ක්‍රමික ණය පැහැර හැරීමකට ගොස් ජාමූඅ සමඟ ගණුදෙනුවට එළඹෙනවාද යන්න ගැන තීරණයක් ගැනීමට අපට සිදු වුනා.”

ඊනියා “ක්‍රමිකව ණය  පැහැර හැරීමේ” සිට මාස හතකට පසුව, ජාමූඅ අරමුදල් පෙනෙන තෙක් මානයක නැත, එය ලැබීම සිදු වුවත්, එය වසර හතරක් තුළ සොච්චම් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක් හෝ මසකට ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් පමණ වනු ඇත.  එම කාලයේ ආණ්ඩුව සහ නව ලිබරල් ප්‍රචාරකයින් කියා සිටියේ ණය පැහැර හැරීම සහ ජාමූඅ සහාය නොමැතිව ආනයන සඳහා අරමුදල් නොමැති වනු ඇති බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලර් බිලියන 01 ක් වන මීළඟ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීමට නියමිතව තිබුණේ මාස තුනකට පසුව ජූලි මාසයේදී පමණි. මෙම සන්දර්භය තුළ, අප්‍රේල් මාසයේ සිට, ශ්‍රී ලංකාව සෑම මසකම, සාමාන්‍යයක් ලෙස  ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක භාණ්ඩ ආනයනය කිරීම දිගටම කරමින් සිටියි. රටට ඉන්ධන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරගෙන යාමට හැකි වන්නේ එය අපනයන සහ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් ඇතුළු විදේශ ඉපැයීම් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අවසානයේදී ප්‍රමුඛත්වය දෙමින් සිටින බැවිනි. වසර ගණනාවක් පුරා, නව ලිබරල් ආර්ථික විද්‍යාඥයින් සහ නියෝජිතායතනවලින් පොළොඹවන ලද අනුප්‍රාප්තික ආන්ඩු, නිදහස් වෙලඳපොලවල් සඳහා ඔවුන්ගේ නව ලිබරල් කැපවීම නිසා ආනයන සීමා කිරීම හෝ ප්‍රමුඛත්වය දීම ප්‍රතික්ෂේප කළහ.

යථාර්ථය නම්, මෙම ණය පැහැර හැරීම කම්පන ප්‍රතිපත්ති මාලාවක කොටසක් වන අතර ඉන්ධන මිල තුන් ගුණයකින් වැඩි වීමත් පාන් මිල පස් ගුණයකින් වැඩි වීමත් සමග කිසිදු සරණකින් තොරව තමන් ගැන තමන්ටම බලා ගැනීමට  සිදුවී ඇති වැඩ කරන ජනතාවට “දැඩි පැහැර හැරීමක්” වීම ය.  එය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලවල ණය ගැනීම සඳහා ආපසු යාම ඇතුළත් බලාපොරොත්තු පිරුනු  විසඳුම යෝජනා කළ නව ලිබරල් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ චින්තන බුද්ධි මණ්ඩලවල  බොළඳකම ද හෙලිදරව් කරයි. ඔවුන්ගේම සමායතන තර්කනය භාවිතා කරමින්, ඔවුන් සියල්ලන්ම, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නවලිබරල් චින්තන පර්ෂද ඇතුළු ඔවුන්ගේ උපදේශකයින්, ඔවුන්ගේ අසමාර්ථ්‍යය නිසා සේවයෙන් පහ කළ යුතුය. පවතින අර්බුදය පිළිබඳ වගකීම රනිල්-රාජපක්ෂ ආණ්ඩුව භාරගත යුතු අතර ජනතාව නිවැරැදිව ඉල්ලා සිටින්නේ ඔවුන් සියලු දෙනාම ගෙදර යන ලෙසය. ඔවුන්ගේ ජාමූඅ විසඳුම  සහිත ජරාජීර්ණ නව ලිබරල් මතවාදය විසින් තල්ලු කරනු ලබන ආර්ථික අර්බුදයක්, දළ දේශීය නිෂ්පාදිතය 10% කින්  හැකිලීමත් මිනිසුන් හාමත අද්දර සිටීමත් සමඟ,  ආර්ථිකය කඩා දමද්දී  වෙන කුමක් කිව හැකිද?

සමුච්චයකරණය හෝ ප්‍රතිව්‍යාප්තිය

සෘණ 10% GDP වර්ධනය දැවැන්ත විනාශයකි. කෙසේ වෙතත්, අර්බුදයකින් පසු ධනේශ්වර සමුච්චයකරණය රඳා පවතින්නේ එවැනි විනාශයක් සහ බුත්තිය අහිමි කිරීමක් මත ය. අද අප දකිමින් සිටින දැවැන්ත වැටුප් මර්දනය, එනම්, ඉහළ උද්ධමනය හේතුවෙන් සියයට තිහක සිට පනහක් දක්වා පමණ මට්ටමකින් සැබෑ වැටුප් – ඔවුන්ගේ වැටුපෙන් මිලදී ගත හැකි දේ – පහත වැටීම ධනේශ්වර ව්‍යාපාරවලට සහ නිසැකවම අපනයනකරුවන්ට හිතකර තත්ත්වයකි. විශේෂයෙන්ම අපනයන අංශයන් වඩා අඩු සැබෑ වැටුප් සහ විනිමය අනුපාතික ක්ෂයවීම් යන දෙඅංශයෙන්ම අතිමහත් ප්‍රථිලාභ අත්කර ගනිමින් සිටියි, දේශීය පිරිවැය අඩුවීම ඉහළ ලාභයක් ලබා ගැනීමට හේතු වෙනවා මදිවාටඑය  ඔවුන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ වඩාත් තරඟකාරී කරයි. ධනේශ්වර සමුච්චයකරණයේ කුරිරු තර්කනය නම් ආර්ථිකය පහලම අඩියට වැටුණු  පසු අතිවිශාල ලාභ ලැබිය හැකි වීමයි. වෙනත් වචන වලින් කිවහොත්, ව්‍යාපාර බංකොලොත් වීම් සහ විරැකියාව ඉහල යාම ඇතුළු විනාශයෙන් පසුව, වැඩකරන ජනයාට ඔවුන්ගේ ශ්‍රමය සඳහා සොච්චම් මුදලක් ගෙවන අතර ව්‍යාපාර විසින් විශාල ලාභයක් ලබා ගන්නා බැවින් සමුච්චයකරණය නැවත ආරම්භ වෙයි.

මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව,  වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ධනේශ්වර සමුච්චයකරණයේ කුරිරු තර්කනයට මුහුන දීම සඳහා ප්‍රතිව්‍යාප්තියේ ප්‍රගතිශීලී ඉල්ලීම් අවශ්‍ය වනු ඇත. ඇත්ත වශයෙන්ම, වැඩකරන ජනතාව,  ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තියේ  දශක ගනනාවක පිළිකුල් සහගත ප්‍රකට පරිභෝජනය සහ සමුච්චයකරණය  මෙන්ම ගෝලීය මූල්‍යකරුවන්ගේ ලාභ සඳහා, ගෙවිය යුත්තේ ඇයි? සුඛෝපබෝගී වාහන විශාල වශයෙන් ආනයනය කිරීම, කොළඹ නගරය අලංකරණය සහ සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් සඳහා ඵලදායි නොවන ආයෝජනයන් සිදු වූයේ රටේ විදේශ ඉපැයීම් සඳහා දායක වූ ශ්‍රමයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ වියදමෙනි.

උතුරේ ග්‍රාමීය ප්‍රජාවන් සමඟ මගේ නියැලීමේදී ඔවුහු ආහාර, බලශක්ති සහ ප්‍රවාහනයේ දුෂ්කරතා ගැන නැවත නැවතත් කතා කරති. සතියකට සහල් කිලෝග්‍රෑම් කිහිපයක් පමණක් ලබාගත හැකි වී නම්, ඔවුන්ට බඩගිනි නොවී නිදා ගත හැකි බව හෝ පසුදින බඩගින්නේ සිටීම ගැන කරදර නොවිය හැකි බව ඔවුහු පවසති. යාපනයේ සමුපකාර, වෘත්තීය සමිති සහ සමාජ ව්‍යාපාර සමඟ සාකච්ඡා කිරීමේදී විවෘත ආර්ථිකයට පෙර ශ්‍රී ලංකාවේ තිබූ සහල් සහනාධාරය වැනි සහනාධාරයක් පිළිබඳ අදහස මතුවෙමින් තිබේ;  එහිදී පුද්ගලයෙකුට සතියකට සහල් කිලෝග්‍රෑමයක් පමණ නොමිලේ හෝ විශාල සහනාධාරයක් සහිතව ලබා දෙන ලදී. ඉදිරි වසර තුළ එවැනි සහල් සහනාධාරයක් ලබා දෙන්නේ නම් ඒ සඳහා රජයට රු. බිලියන 200ක් හෙවත් 2022 අයවැයෙන් මාර්ග සහ මහාමාර්ග සඳහා වෙන් කළ මුදලින් තුනෙන් දෙකක් වැය වනු ඇත.

2023 සඳහා වන අයවැය ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති අතර, සියලු ගණන් බැලීම් වලට අනුව එය ප්‍රාග්ධනයේ වාසිය සඳහා වන තවත් පටි තද කරන අයවැයක් වනු ඇත. අපේ ආර්ථිකය පිළිබඳ ජාතික විවාදයකට කාලයයි මේ. ධනවතුන් සඳහා බදු වැඩි කළ යුතු අතර, එය ආහාර, බලශක්ති සහ ප්‍රවාහන සඳහා සහනාධාර ඇතුළුව ජනතාවට සහන ලෙස මාරු කළ යුතුය. ප්‍රතිව්‍යාප්තිය සඳහා වන වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සමඟින් අප ධනේශ්වර සමුච්චයකරණයේ කුරිරු තර්කයට අභියෝග නොකරන්නේද, එවිට ආර්ථිකය පුනර්ජීවනය විය හැකි නමුත් ඒ පරම්පරාවක් අහිමි වීමෙන් පසුව පමණි.

Shock Policies and Wage Repression යන මැයෙන් Daily Mirror පුවත් පතේ  2022 නොවැම්බර් 07 පළකළ ලිපියේ පරිවර්ථනයකි.

Leave a comment