ජනවාර්ගික සබඳතා

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි.

“ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්, රෝගීන්, ගැබිනියන්, දරුවන් ඇතුළු සාමාන්‍ය දෙමළ පිරිසක්ද මරණයට ගොදුරු විය. මෙම සිද්ධි දාමය විමසා බැලූ විට නිරාවරණය වන්නේ යුද්ධයේ ඇති මිලේච්ඡ ස්වරූපයම පමණි. මුළු මිනිස් ඉතිහාසය පුරා සියළු මහා දාර්ශනිකයන් චින්තකයන්, කළා කරුවන්, සාහිත්‍යධරයන්, ප්‍රාඥයන්, ශාස්තෘවරුන් හා අශෝක මහරජු වැනි යුධ ශූරයන් එරෙහිවුනේ එනිසාම විය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයෙන් පරාජයට යමින් පසු බසිද්දී තම ගැලවීමේ හා රජයේ ප්‍රහාර ප්‍රමාද කිරීමේ උපායක් ලෙස යොදා ගත්තේද සාමාන්‍ය අහංසක වැසියන් බව අද අවිවාදිතය. පලා යාමට තැත්කළ වැසියන්ට, දරුවන්ට හා මහල්ලන්ට පවා එල්.ටී.ටී.ඊ. ය වෙඩි තබා මරා දැමුවේ නැවතත් යුද්ධයේ මිලේච්ඡත්වය දක්වමින්ය. මෙයින් පෙනෙන්නේ සාධාරණත්වය හෝ මානව හැඟීම් පිළිබඳව යුද්ධයේ ඇති අන්ධ බවයි. අනික් අතට එල්.ටී.ටී.ඊ. ය මෙසේ අමානුෂික ලෙස අහිංසක මිනිසුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඔවුන් අතර සැඟවෙමින් හමුදාවට පහර දෙන විට එල්.ටී.ටී.ඊ. ය අවසන් පරාජයකට ගෙන යාම සඳහා ඔවුන් අතර සිටි වැසියන් ගැන නොතකා වුවද ගුවන් ප්‍රහාර හා බරඅවි ප්‍රහාර එල්ල කිරීමෙහි රජය නිරතවූ කල්හිද නැවත නිරාවරණය වූයේ යුද්ධයේ මිලේච්ඡත්වයමය. යුද්ධයක් තුළ මානව හැඟීම් හා සාධාරණත්වය මිය යන බවය.

දැන් යුද්ධය අවසන් වී ඇතත් සාමාන්‍ය දෙමළ වැසියන් තුන් ලක්ෂයක් පමණ සීමිත භූමි ප්‍රදේශයක් තුළ සිටිති. ලක්ෂ සංඛ්‍යාත ජනයාට තමන් කැමති ස්ථානයකට යාමට ඊමට හෝ කඳවුරට නැවත පැමිණීමට නිදහස නොදෙන්නේ 9000ක් පමණ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ඔවුන් අතර ඇති නිසා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම පිණිස බව කියැවේ. 9000ක් දෙනා සොයා ගැනීම සඳහා ලක්ෂ ගණනක් රඳවා තැබීම මනුෂ්‍යත්වයට හා නීතියටද පටහැනි වරදකි. ලක්ෂ ගණනක්වූ මොවුන් අතර සිටින අහංසක කුඩා දරුවන්ට, ගැබිනි මාතාවන්ට, දුබල මහලු පුද්ගලයන්ට, නිදහසේ යාමට ඊමට ඇති අයිතිය අහිමි කර තිබෙන්නේ කුමන ලෝක නීතියක් හෝ සාධාරණයක් අනුවද ………..? යුද්ධ සමයේ නොවැලැක්විය හැකි තත්ත්වයක් යටතේ හිංසාවට හා පීඩනයට ලක් වූ අහිංසක පුරවැසියන්, පශ්චාත් යුධ සමයේද සිරකරුවන් බවට පත්වීම දෛවයේ සරදමකි. මෙම යුද්ධය දෙමළ වැසියන්ට එරෙහිව කළ යුද්ධයක් නොවන බවට රජය කළ ප්‍රකාශයේ අවංකභාවය මේ අනුව ප්‍රශ්නයට බඳුන්වී ඇතුවා පමණක් නොව බරපතල ලෙස ජනතාව නොමඟ යැවීමක් බව තහවුරු වී ඇත. ඊට අමතරව මෙම කඳවුරෙන් තැනින් තැනට රැගෙන යන පුද්ගලයන් කොපමණද? ඔවුන් කවුරුන්ද? ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? යනාදී විස්තර නොදන්නා පවුල් හැඬු කඳුලින් හා බියෙන් ද ඒ ගැන කරකියා ගත හැකි දෙයක් නොමැතිව අසරණව සිටිති. යුද්ධයේ ජයග්‍රහණයෙන් අපගේ රජය හා නායකත්වය ලබා ගත් කීර්ති ප්‍රසංශාවන්ට මෙය කැළලකි.”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s