දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය

දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය
– නිර්මාල් රංජිත් දේවසිරි

නාසිස්සස් යනු ග‍්‍රීක මිත්‍යා සම්ප‍්‍රදායේ එන චරිතයකි. ඔහු අතිශයින් රූමත් ශරීරයක් ඇත්තෙකු ලෙස ප‍්‍රකටය. දිය පොකුණක සිය රූපයේ පිළිබිඹුව දැකීම නිසා ඔහු සිය ශරීරයට දැඩි ලෙස ආශා කිරීමට පටන් ගත්තේය. මෙහි ප‍්‍රතිඵලය ලෙසම ඔහු තමා වෙත මරණය ද කැඳවා ගත්තේය. නූතන මනෝ විශ්ලේශනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් නාසිස්සස් කුමාරයා පිළිබඳ මෙම කතාව ආශ‍්‍රය කරගෙන පුද්ගලයාගේ අනන්‍යතාවය නිර්මාණය වීමේ එක් අවස්ථාවක් ඔහුගේ නමින් නම් කලේය. මෙයින් කියැවෙන්නේ තමාගේ ආශාවේ වස්තුව තමාම බවට පත්වීම පුද්ගල අනන්‍යතාවයේ එක් අංගයක් බවයි. කෙසේ වෙතත් මෙම නැඹුරුවේ අන්තය වන්නේ බාහිර වස්තුව සහ තමා අතර ඇති වෙනස පිළිබඳ සංවේදී තාවය නොමැති වී යාමයි. සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් අර්ථකතනය කරමින් මනෝවිශ්ලේෂනයේ විප්ලවීය වර්ධනයක් ඇති කල ෂක් ලකොන් නමැති ප‍්‍රංශ මනෝ විශ්ලේෂකයා කැඩපත් අවධිය පිළිබඳ සිය විග‍්‍රහය ආශ‍්‍රයෙන් අනන්‍යතාවයේ මෙම පාර්ශවය තව දුරටත් වර්ධනය කලේය.

මේ පිළිබඳව වැඩි දුරට කතා කිරීමට මෙහිදී අවකාශ නැති නමුදු මා මෙහිදී උත්සාහ කරන්නේ මේ ආශ‍්‍රයෙන් ලංකාවේ වත්මන් දේශපාලනය පිළිබඳ නිරීක්ශන කීපයක් ඉදිරිපත් කිරීමටයි.

මා මෙහිදී ආරම්භක වශයෙන් යෝජනා කිරීමට කැමැත්තේ ලංකාවේ වත්මන් අධිපති දේශපාලන සංවාදය නාසිස්සම ආකාරයක් ගන්නා බවයි. මෙයින් මා අදහස් කරන්නේ අධිපති දේශපාලන සංවාදය තුළ සිය දේශපාලන විෂය (මා මෙහිදී දේශපාලන විෂය යන පදය යොදන්නේ political subjectivity යන ඉංග‍්‍රීසි අරුත දීම සඳහාය) සකස් කරගන්නා පුද්ගලයා බෙහෙවින්ම ස්ව්‍යං කේන්ද්‍රිය පුද්ගලයෙක් වන බවයි. වර්තමාන ලාංකීකයාගේ, නිශචිතවම කියනවානම් සිංහල බෞද්ධයාගේ, දේශපාලන අනන්‍යතාවයේ මූලික ස්වභාවය මෙයයි.

මේ තත්වය ඉතා හොඳින් නිරීක්ශනය කල හැකි ක්ෂේත‍්‍රයක් වන්නේ සිංහල දෙමළ සබඳතාවන්හී දේශපාලනය පිළිබඳ ක්ෂේත‍්‍රයයි. පසුගිය අවුරුදු උත්සව දිනවල ජනමාධ්‍යවලින් දැක ගැනීමට හැකිවූ දෙයක් වූයේ උතුරේ දෙමළ ජනයා ‘සාමයෙන් හා සමගියෙන්’ අවුරුදු උත්සවය සමරන ආකාරය පිලිබඳ දර්ශනයන්ය. එහි දී යුද්ධය නිමාවීම පිළිබඳව දෙමළ ජනයා සතුටට පත්වී සිටින ආකාරයත් දැනට එම ප‍්‍රදේශ වල සියලූ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ඔවුන් බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවත් අපට මෙම ජනමාධ්‍ය මගින් දැනගැනීමට ලැබිනි. ඒ අනුව සිංහල හා දෙමළ ජනයා අතර සංහිඳියාව ගොඩනැංවී ඇති අතර අවශ්‍ය වන්නේ මේ යන මාවතේම තව දුරටන් ගමන් කිරීමයි.

මගේ අදහස වන්නේ මෙය සිංහල දෙමළ සබඳතා පිළිබඳ මෙම තේරුම් ගැනීම සිංහල බෞද්ධයා ලබන නාසිස්සම වින්දනයක් බවයි. එනම් අප පිළිබඳවම ස්ව්‍යං-උත්කර්ශයක් මගින් අප අප පිළිබඳවම ස්ව්‍යං-තෘප්තියක් ලැබීමයි. දෙමළ ජනයා තෘප්තිමත්ව ජීවත්වන බව බව විශ්වාස කිරීම සිංහල බෞද්ධයා තමා පිළිබඳව ලබන ස්ව්‍යං-තෘප්තියක් වන්නේ කෙසේ ද? එය අනෙකාගේ සතුට දෙස බලා තෘප්තිමත් වීමක් නොවේදැයි කෙනෙකුට තර්ක කල හැක. මා යෝජනා කරන්නේ සිංහල බෞද්ධයා මෙහිදී තෘප්තියක් ලබන්නේ දෙමළ ජනයා තෘප්තිමත්ව ජීවත්වන බව දැකීමෙන් නොව එම තෘප්තිමත් ජීවිතයේ හේතුව තමන්ය යන හැඟීම ඔවුන් තුළ ඇතිවන නිසාත් දෙමළ ජනයාට කරදර කරන්නේ හා ඔවුන්ට ලංකාව තුළ සිංහල බෞද්ධයින් හා සමානයින් ලෙස ජීවත් වීමට ඉඩ නොදෙන්නේ සිංහල බෞද්ධයින්ය යන චෝදනාව විවිධ පාර්ශව වෙතින් එල්ලවී තිබෙන නිසාත්, මෙසේ පෙන්නුම් කෙරෙන දෙමළ ජනයාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සාක්ෂි මගින් එම චෝදනා සුනුවිසුනු වී යන බව සිංහල බෞද්ධයා කල්පනා කරන නිසාත්ය.

කෙසේ වෙතත් සමාජයක් ලෙස අප මෙහිදී ඇසිය යුතු ප‍්‍රශ්නය නම් මෙම නාසිස්සම වින්දනය මගින් අපට අහිමි වන්නේ කුමක්ද යන්නයි. මගේ අදහස නම් මෙහිදී අපට ‘දෙමළ ජනයා ගේ තෘප්තිමත් බව’ යන්න අපගේම නිර්මානයක් ය යන යථාර්ථය නොපෙනී යන බව යි. දෙමළ ජනයාගේ තෘප්තිමත් ජීවිතය පිළිබඳ මෙම කතිකාව අප විසින් ගොඩ නංවනු ලබන්නේ අප නිසා දෙමළ ජනයා අතෘප්තියකින් පසුවේය යන අදහස පැතිරී පවතින නිසාත් එම අදහස අප තුළ දැඩි ආතතියක් ජනිත කරන නිසාත්ය. මා නිසා අනෙකා අතෘප්තියෙන් පසුවේය යන්න මගේ තෘප්තියට ඇති බාධාවකි. එය මා තුළ වරදකාරී හැඟීමක් ඇති කරවයි. නමුත් අනෙකා තෘප්තිමත් කිරීමට මට අනෙකා ඉල්ලා සිටින දෙය දීමටද නොහැකිය. මෙම වරදකාරී හැඟීමේ ප‍්‍රධාන ප‍්‍රතිඵලය වන්නේ ‘මං හොඳ මිනිහෙක්’ යන්න මටම කියාගැනීමට ඇති හැකියාව එ් මගින් දුර්වල වී යාමයි.

දෙමළ ජනයා ඉල්ලා සිටින්නේ මගේ රටෙන් කොටසකි, මා සතුව ඇති බලයෙන් කොටසකි. එය ලබාදිය නොහැක. එය ලබා දුනහොත් මට මා අහිමි වේ. මෙයට විසඳුම කුමක්ද? විසඳුම වන්නේ මට කිසිවක් අහිමි නොවන ආකාරයකට දෙමළ ජනයා තෘප්තියට පත්කිරීමයි. එසේ නැතහොත් අඩුම තරමින් මා සතුටින් ලබාදෙන දෙයක් තුළින් දෙමළ ජනයා සතුටුවන බව මට ම ඒත්තුගන්නවා ගැනීමට හැකි තත්වයක් ඇතිකර ගැනීමයි. අලූත් අවුරුදු සමය තුළ මෙම මිත්‍යාව ගොඩනංවා ගැනීමට අපට අපූරු අවස්ථාවක් උදාවේ.

කෙසේ වෙතත් දෙමළ ජනයාගේ අතෘප්තිමත් භාවයේ මුල් ඔවුන් අලූත් අවුරුද්ද සමරනු බලා එයින් නාසිස්සම වින්දනයක් ලබාගැනීමෙන් අවබෝධ කරගැනීමට නුපුළුවන. සිදුවන්නේ දෙමළ ජනයාගේ අතෘප්තිය ප‍්‍රකාශවන කිසිම හඬකට අපගේ දෙසවන් විවෘත නොකර සිටීමට ස්ව්‍යං හැකියාවක් මේ මගින් අපට ලැබීම පමණි. දෙමළ සමාජය සමඟ දිගුකාලීන සහජීවනයකට යාමට අපට අවශ්‍ය නම් අප කල යුත්තේ මෙම නාසිස්සම වින්දනයෙන් සෑහීමකට පත්වීම නවතා දෙමළ සමාජයෙන් එන හඬවල් වලට අපගේ දෙ සවන් හොඳින් විවර කර ගැනීමයි. නැතහොත් අපට ද උරුම වන්නේ නාසිස්සස් ගේ ඉරණම වන ස්ව්‍යං විනාශයම පමණි.

nrdewasiri@gmail.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s